පොදු ජනයාගේ දුක්ගිනි නිවීමට….

276

පොදු ජනයා මුහුණදෙන දුක

2022 වසරේ අප මුහුණ දුන් ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හමුවේ වඩාත් ම ආර්ථික පීඩනයකට ( වේදනාවට ) ලක් වූයේ මේ රටේ අතිමහත් බහුතර පොදු ජනයායි. එසේම එම ආර්ථික පීඩනය සමාජයේ පාර්ශ්වයන් අතර වඩාත් සාධාරණ පදනමක් මත බෙදී යෑමට අවශ්‍ය පියවර රජය විසින් අනුගමනය කිරීම ද අවශ්‍ය දෙයකි. පසුගිය රජය සමයේ එවැන්නක් සිදු නොවූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලනය යටතේ සිදු වූයේ සාමාන්‍ය ජනයාට වැල් පාලමේ යන දුෂ්කර ගමනක් ගැන කියමින් බංකොලොත් වී ගොඩඑමින් සිටින රටකට නොගැළපෙන ලෙස තම ගජ මිතුරන් පිරිසකට වඩා ප්‍රතිලාභ ලබාදෙන පිළිවෙතක් අනුගමනය කිරීමයි. ඒ ගැන මේ රජය විසින් රටට හෙළිකර තිබේ. ඒ නිසා මේ ආණ්ඩුවටත් අපට කීමට ඇත්තේ නොයෙකුත් තෝරාගත් පාර්ශ්වයන් ඉලක්ක කරගෙන ඔවුන් සතුටු කිරීමට සහන සලසන පිළිවෙතක් වෙනුවට අතිමහත් බහුතර මහජනයා වෙත පොදුවේ සහනයක් සැලසෙන (ඔවුන්ගේ ආර්ථික පීඩනය සැහැල්ලු කෙරෙන) පිළිවෙතක් (ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග) අනුගමනය කරන ලෙසයි. රට තවමත් ආර්ථික අර්බුදයෙන් මුළුමනින්ම මිදී නොමැති නිසා රිසිසේ අතදිගහැර සහන සැලසිය හැකි මට්ටමකට ආර්ථිකය තවමත් පත්ව නැති බව ඇත්තකි. එය අපට පිළිගත හැකිය. ඒ නිසා තවදුරටත් අපේ ආර්ථිකය ස්ථාවර කර ගැනීම සඳහා යන ගමනට සමාජයේ සෑම දෙනාට ම ( රාජ්‍ය සේවකයන් සහ මහ බැංකු සේවකයන් ද ඇතුළුව) අඩු වැඩි වශයෙන් කැපකිරීම් සිදු කිරීමට සිදුවෙනු ඇත.

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම

මේ පසුබිම තුළ යම් යම් තෝරාගත් කණ්ඩායම් ඉලක්ක කරගෙන විශාල වැටුප් වැඩි කිරීම් ඇතුළු සහන සැලසීමේ පිළිවෙතකට ගියහොත් වන්නේ එය එම පාර්ශ්වයට සහනයක් වුවත්, ඒ නිසා අප සඳහන් කළ අතිමහත් බහුතර පොදු ජනයා තවත් පීඩාවට පත්වීමයි. හේතුව ඒ සඳහා පිරිවැය (බර ) දරන්නේ එම බදුගෙවන පොදු ජනයාම වීමයි. එවිට එම සහන සලසන කණ්ඩායම් හා පොදු ජනයා අතර ආදායම් මට්ටම්වල බරපතළ විෂමතාවක් ද ඇතිවෙනු ඇත. කොවිඩ් කාලයේ පවා රාජ්‍ය සේවකයන්ට නියමිත වැටුප් රජයෙන් කිසිදු අඩුවක් නැතිව ලැබුණි. එහෙත් පෞද්ගලික අංශයේ සහ අවිදිමත් අංශවල ආදායම් මට්ටම එම කාලයේ දී අඩුවීම හෝ මුළුමනින්ම නැතිව යෑම ද සිදු වූ බව අපට මතකය. ඇතැම් පෞද්ගලික අංශයේ සේවක පිරිස්වලට වැටුප් අඩු වීමක් නොවුණත් ඒ අයට ලැබෙමින් තිබූ වෙනත් පහසුකම් සහ ප්‍රතිලාභ අහිමිවීම හෝ අඩු වීම ද සිදු විය. මෙයට අමතරව පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආයතන රැසක් වැසී යෑමට ලක් විය. ඇතැම් ආයතන වැසී යෑමට ලක් වූයේ ඩොලර් හිඟය හමුවේ සිය නිෂ්පාදන කටයුතුවලට අවශ්‍ය ආනයනික අමුද්‍රව්‍ය සපයා ගැනීමට නොහැකි වීම සහ ඒවායේ මිල ගණන් අධික වීමෙන් නිෂ්පාදන පිරිවැය අධික වීම නිසාය. මෙසේ ඒවා වැසී යෑම නිසා ඒවායේ සේවය කළ විශාල පිරිසකට රැකියා පවා අහිමි විය. අවිදිමත් අංශවල අයට පවා සිය ජීවනෝපාය අහිමි වීම හෝ ආදායම් මට්ටම් අඩු වීම සිදුවිය. එම කොවිඩ් සහ ආර්ථික අර්බුද කාලවල දී මේවා ගැන අප විසින් ලියන ලද ලිපිවලින් මෙන්ම විවිධ මාධ්‍යවලට ගොස් සිදුකළ කරුණු පැහැදිලි කිරීම්වල දී ඇතිතරම් සාකච්ඡා කර ඇත. එහෙත් ඔවුන්ට සාපේක්ෂව රාජ්‍ය සේවකයන් වූ බලපෑම අවම එකක් වන අතර මූලික වශයෙන් රාජ්‍ය සේවක වැටුප කිසිම ප්‍රශ්නයකින් තොරව එලෙසම ඔවුන්ට ලැබුණි.

රජයේ තීරණයේ දී සැලකිය යුතු දේ

මේ කරුණු කාරණා නිසා ලබන (2025) අයවැයෙන් සිදු කිරීමට නියමිත රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම ගැන අපට වර්තමාන රජයට ද දීමට පණිවිඩයක් තිබේ. එනම් අයි.එම්.එෆ් සහාය ඇතිව ආර්ථික අර්බුදය සමනය කර ගැනීමට තවදුරටත් අනුගමනය කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග හමුවේ අවශ්‍ය කරන්නේ පොදු ජනයාගේ ආර්ථික පීඩනය කිසියම් දුරකට සමනය කරන පිළිවෙතකට ගමන් කිරීම මිස තෝරාගත් කණ්ඩායම්වලට සාපේක්ෂව ඉහළ මට්ටමේ සහන සලසමින් පොදු ජනයාගේ ආර්ථික පීඩනය තවත් වැඩි කිරීම නොවන බවයි. රටේ ජීවත් වීමේ අමාරුකමට, ආර්ථික පීඩනයට මුහුණ දී සිටින්නේ රාජ්‍ය සේවකයන් පමණක් නොවේ. අඩුවැඩි වශයෙන් පොදුවේ සමාජයේ සියලුදෙනාම ජීවත් වන්නේ අමාරුවෙනි. සාපේක්ෂව විශාල මුදලකින් මහ බැංකු සේවක වැටුප් වැඩි කිරීමේ තීරණය පසුගිය කාලයේ අප විවේචනයට ලක් කළේ ද මේ පදනමිනි. පසුගිය රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ජනපතිවරණයට පෙර කියා සිටියේ රාජ්‍ය සේවකයන්ට රු.20,000ක වැටුප් වැඩි කිරීමක් සිදුකරන බවයි. එහෙත් පොදුජනයා මත බර පැටවෙන සාපේක්ෂව එවැනි අධික වැටුප් වැඩි කිරීමක් සිදුකළ හැකි මට්ටමට අපේ ආර්ථිකය තවමත් පත්ව නැති බව මේ ලියුම්කරුගේ අදහසයි. එහෙත් අවශ්‍ය නම් අයි.එම්.එෆ් එක විරුද්ධ නෑ කියමින් රාජ්‍ය සේවකයන්ට රු.20,000ක වැටුප් වැඩි කිරීමක් ලබන අයවැයෙන් කිරීමට මේ රජයට බැරි කමක් ද නැත. එහෙත් එවිට සිදුවනුයේ රටේ සමස්ත සේවක ප්‍රජාවට සාපේක්ෂව සුළුතරයක් වන රාජ්‍ය සේවකයන් සතුටට පත්වුවත්, ඒ වැය බරත් සමග සාමාන්‍ය ජනයාගේ ආර්ථික පීඩනය තවත් වැඩිවිය හැකි වීමයි.

රනිල්ට රාජ්‍ය සේවක සහාය නොලැබීම

හිටපු ජනපති රනිල් රාජ්‍ය සේවකයන්ට රු.20,000ක වැටුප් වැඩි කරන බව කියමින් ඒ සඳහා වන කැබිනට් තීරණයක් පවා ගත්තේය. එහෙත් පසුගිය ජනාධිපතිවරණයේ දී රාජ්‍ය සේවකයන්ගේ සහාය එම හිටපු ජනාධිපතිවරයාට ලැබුණේ නැත. රාජ්‍ය සේවකයන්ගෙන් අතිබහුතරයක් තම විශ්වාසය පළ කළේ ජාතික ජන බලවේගයටයි. ඒ නිසා අප විශ්වාස කරනුයේ රාජ්‍ය සේවකයන් බහුතරයක් පසුගිය ජාතික මැතිවරණ දෙකේ දීම එවැනි තීන්දුවක් ගනිමින් අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට තම සහාය දුන්නේ තම පඩිපත ගැනම සිතා නොවන බවයි. තමන් කලින් ඡන්දය දුන් අනෙකුත් සාම්ප්‍රදායික දේශපාලන බලවේගවල ක්‍රියාකාරීත්වය ගැන බරපතළ විශ්වාසය පළුදු වීමක් සමග රටේ පොදු යහපත සලසා ගැනීම උදෙසා මෙන්ම වංචා හා දූෂණ වළක්වා ගැනීම සඳහා ඔවුන් මෙවැනි තීරණයක් ගත්තා විය හැකිය. එසේ නැත්නම් තම පඩිපත වැඩිවීම ගැන පමණක් සිතුවා නම්, රු.20,000ක වැටුප් වැඩිවීමක් සිදුකර ගැනීම

සඳහා ම ගෑස් සිලින්ඩරයට ඡන්දය දීමට ඔවුන්ට ඕනෑ තරම් හැකියාව තිබුණි. එහෙත් එවැන්නක් සිදු නොවීය. මේ කරුණු කරණා අප සටහන් කළේ, රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි වීමක් අවශ්‍ය නැතැයි කියන්න නොවේ. ඔවුන්ට යම් වැටුප් වැඩි වීමක් අවශ්‍ය වන අතරම සමාජයේ අනිත් සියලු දෙනාටම පවතින ආර්ථික පීඩනය සමනය වීමට නම් ඔවුන්ට යම් ආදායම් මට්ටමේ වැඩිවීමක් හෝ ඔවුන්ගේ වියදමේ අඩුවීමක් සිදුවිය යුතු වේ. මේ දෙය කළ යුතු වන්නේ කවර මට්ටමකින් ද ඒ සඳහා අනුගමනය කරන ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග කවරේ ද යන්න ගැන තීරණය කළ යුතු වන්නේ අදාළ සියලු ආර්ථික හා මූල්‍ය කරුණු කාරණා ගැන සලකා බලා වත්මන් රජය විසිනි. විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශය විසිනි. වත්මන් මුදල් ඇමැතිවරයා වන්නේ ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම බැවින් මේ ගැන ජනාධිපතිවරයාගේ මෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු රජයේ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමුවිය යුතුව ඇත. කෙසේ හෝ රජයේ මැති ඇමැතිවරුන්ගේ ප්‍රකාශ අනුව ලබන (2025) අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමක් සිදුකෙරෙනු ඇත. එසේ වැටුප් වැඩි කෙරෙන ප්‍රමාණය ගැන තවමත් ප්‍රකාශයට පත්ව නැත.

රවිගේ ප්‍රශ්නයට ආණ්ඩුවේ ප්‍රතිචාරය

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කිසිදු විරෝධයක් නොමැති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසා ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා විසින් පසුගියදා (09දා) පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට පිළිතුරු දෙමින් එම නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. තව ද එළැඹෙන අයවැයෙන් සැලකිය යුතු රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට නියමිත බව සඳහන් කරමින් එම නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී වැඩි දුරටත් මෙසේ ද පවසා ඇත.

‘අපිට මතකයි මේ රටේ වෘත්තිකයෝ වැඩ වර්ජන කරද්දි, උද්ඝෝෂණ කරද්දි, අරගල කරද්දි උපයනවිට ගෙවීමේ බද්ද අඩු කරන්න කියලා, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා ගිහින් අයි.එම්.එෆ් එකත් එක්ක කතා කර ගන්න කියලා. දැන් අපි තීරණය කරලා තියෙනවා ඒ උපයන විට ගෙවීමේ බද්දේ සීමාව රු.150,000 දක්වා ඉහළ දාන්න. ඒ වගේම අපිට කිසි ගැටලුවක් මතු වෙන්නේ නැහැ. මේ තත්ත්වය එක්ක අයි.එම්.එෆ් එකේ කිසි විරෝධයක් නැහැ වැටුප් වැඩි කිරීමට. රු. 25,000ක් කියලා නෑ. අපි ඉලක්කම බලාගමු. කලබල වෙන්න එපා. ලිහලා බලන්න තියෙන මල්ල ඔබලා බලන්න හදන්න එපා. රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 4 තැපැල් ඡන්දෙට පෙර කැබිනට් තීන්දුවක් ගත්තා මේ රටේ රාජ්‍ය සේවකයන්ගේ ඡන්දය ඉලක්ක කරගෙන. හැබැයි රාජ්‍ය සේවකයෝ හොඳ උත්තරයක් දුන්නා. ඒක රාජ්‍ය සේවකයන් මුලා කරන්න ඉදිරිපත් කරපු දෙයක් මිසක් ඇත්ත දෙයක් නෙමෙයි.’

මේ නියෝජ්‍ය ඇමැතිවරයා කියන පරිදි හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ විසින් රු.20,000කින් වැටුප් වැඩිකරන බව කියා ඇත්තේ පසුගිය තැපැල් ඡන්ද ඉලක්ක කරගෙනය. එසේම එය රාජ්‍ය සේවකයන් මුලාකිරීමට කියපු දෙයක් මෙන්ම ඇත්ත දෙයක් නොවන බව ද ඔහු සඳහන් කර ඇත. එසේ නම් ඇත්ත දේ කුමක්ද යන්න 2025 පෙබරවාරි 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන රාජ්‍ය අයවැය ලේඛනය මගින් අපට දැකබලා ගත හැකිය. මේ රජයට ඡන්දය දුන්නේ රාජ්‍ය සේවකයන් පමණක් නොවේ. අනෙකුත් ඡන්ද දායකයන් බහුතරයකගේ සහාය ද පසුගිය ජාතික මැතිවරණ දෙකේ දී ජාතික ජන බලවේගයට ලැබුණි. අනිත් එක බහුතර ජනවරමින් යම් ආණ්ඩුවක් බලයට පත් වූ විට ඒ ආණ්ඩුව පත්වන්නේ රටේ සමස්ත පුරවැසියන්ට සේවය කිරීමට මිස තමන්ට ඡන්දය දුන්අයට පමණක් සේවය කිරීමට නොවේ. මේ නිසා රට පවතින තත්ත්වය තුළ වඩාත් පුළුල් වශයෙන් මේ රජයේ යුතුකම වනු ඇත්තේ පොදුවේ රටේ සමස්ත පුරවැසියාගේ ආර්ථික පීඩනය සමනය කිරීමේ පිළිවෙතකට යොමු වීමයි. එවිට ඒ සහනය රාජ්‍ය සේවකයන්ට ද හිමි වේ. පොදුවේ කාටත් හිමිවේ.

ආර්ථිකයේ සියලුම පාර්ශ්වකරුවන්ගේ දායකත්වය

අප විශ්වාස කරනුයේ 2022 දී රට මුහුණ දුන් දරුණුතම ආර්ථික විපතින් පසු සැලකිය යුතු ශක්තිමත් තැනකට අපේ ආර්ථිකය මේ වනවිට පත්ව ඇති බවයි. එය පසුගිය ජනවාරි 08 වැනිදා නිකුත් වූ මහ බැංකුවේ 2025 සහ ඉදිරිය සඳහා වන ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද මෙසේ සඳහන්ව ඇත.

‘ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණදුන් ශ්‍රී ලංකාව මේ වනවිට කැපී පෙනෙන ලෙස යථා තත්ත්වයට පත්ව ඇත. තීරණාත්මක ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සහ සාමූහික ප්‍රයත්න තුළින් ළඟා කරගත් සාර්ව ආර්ථික ස්ථාවරත්වය, ශක්තිමත් සහ වඩා ඔරොත්තු දෙන ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා පදනම සකස් කළේය. යළි ස්ථාපිත වූ ස්ථායිතාවය උපයෝගී කර ගනිමින් ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අඛණ්ඩව ඉදිරියට ගෙන යන අතර, රටෙහි ආර්ථික ස්වාරක්ෂක, ආයතන සහ පාලනය ශක්තිමත් කර ගනිමින් සහ ඇතිවිය හැකි කම්පනයන් සඳහා ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැඟීම මගින් රට සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගනිමින් සිටී.’

මෙසේ කියන එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ තවදුරටත් සඳහන් වන්නේ එම ආර්ථික ප්‍රගතිය, සාමාන්‍ය ජනතාව ඇතුළු ආර්ථිකයේ සියලුම පාර්ශ්වකරුවන් විසින් දක්වන ලද අඛණ්ඩ දායකත්වය, නොපසුබට උත්සාහය සහ කැපකිරීම්වල ප්‍රතිඵලයක් බවයි. ඒ නිසා මේ මට්ටමට රට ගොඩගැනීම සිදුව ඇත්තේ ආර්ථිකයේ සියලුම පාර්ශ්වකරුවන්ගේ සාමූහික ප්‍රයත්නයක, දායකත්වයක සහ කැපකිරීමක ප්‍රතිඵලයක් ලෙස බව පැහැදිලිය. එසේ නම් දැන් ආර්ථිකය ශක්තිමත් තැනකට පත්කර ගැනීමට කැපවීම් කළ, ඒ සියලු පාර්ශ්වකරුවන්ට කිසියම් සහනයක් සැලසිය යුතු මොහොතකට රට පත්ව ඇත. ඒ නිසා මේ මොහොතේ 2025 අයවැයෙන් වඩාත් අවශ්‍ය කරන්නේ ද ඒ කැපකිරීම් කළ ආර්ථිකයේ සියලු පාර්ශ්වකරුවන්ට, මේ මොහොතේ ආර්ථිකයට දැරිය හැකි මට්ටමකින් කිසියම් අස්වැසිල්ලකි. සහනයකි. එසේ නැතුව රාජ්‍ය සේවකයන් හෝ තෝරාගත් පාර්ශ්වකරුවන් ඉලක්ක කරගෙන පමණක් ප්‍රතිලාභ සැලසීමෙන් වන්නේ පොදු ජන අසහනය වර්ධනය වීමයි. ආර්ථික අර්බුදය තවදුරටත් සමනය කර ගැනීම සඳහා යෑමට තවත් ඉදිරි ගමනක් ඇති බව ද අප අමතක කළ යුතු නැත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]


advertistmentadvertistment