පොදු ප්‍රවාහනය පවත්වාගෙන යෑමේ වැදගත්කම

260

ප්‍රවාහනය යනු රටේ ආර්ථිකයට ඍජු බලපෑමක් ඇති කරන එක් ප්‍රධාන අංගයකි. ලංකාවේ පොදු ප්‍රවාහන සේවා අතර මගී ප්‍රවාහන බස් රථ හා දුම්රිය සේවය වඩා වැදගත්ය. මගී බස් රථ ප්‍රවාහනයේදී රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශයේ දායකත්වය දැකිය හැකිය.ශ්‍රී ලංකාවේ මගී ගමනාගමනය ආරම්භ වූයේ 1907 වසරේ හලාවත සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථයක් ධාවනය කරමිනි. එදා සිට 1958 දක්වා මගී ප්‍රවාහනය සිදු වූයේ පෞද්ගලික බස් රථ සමාගම් මගිනි. 1958 ජනවාරි 01 දින සිට පෞද්ගලික බස් රථ සමාගම් මගින් ධාවනය කරන ලද බස් රථ ජන සතු කිරීමෙන් ලංකා ගමනාගමන මණ්ඩලය ආරම්භ විය. එතැන් සිට එතෙක් තිබූ පෞද්ගලික ඒකාධිකාරය බිඳ වැටී රජය මගින් අත්පත් කර ගනිමින් රාජ්‍ය මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවය ආරම්භ විය. ඈත දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවලට ප්‍රවාහන සේවය සැපයීම, පාසල් සිසුන්ට සහනදායී ගාස්තු මත ගමන් කිරීමේ අවස්ථාව හිමිවීම වැනි කරුණු හරහා එහි සේවාව මහජනයා වෙත වඩාත් සමීප විය. නව බස් රථ මිලදී ගෙන ධාවනය කිරීමත් ධාවනයෙන් ඉවත් කර ඇති බස් රථ අලුත්වැඩියා කර නව එන්ජින් සවි කර ධාවනය කිරීමත් ඔස්සේ රථ ඇනිය පුළුල් කර ගනිමින් 1977 වන විට ලංගම ස්වර්ණමය යුගයක පසු විය. 1977 වසරේ බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ රජය මගින් නැවත පෞද්ගලික අංශය ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ කර ගත් අතර රජය මගින් පවත්වාගෙන ගිය බස් රථ දිගින් දිගටම පාඩු ලබන තත්ත්වය හා වැඩි වන මගී ඉල්ලුම සපුරාලීමට අපොහොසත් වීම මත පෞද්ගලිකකරණය මගින් රාජ්‍ය අංශය ව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ 1987 අංක 23 දරණ රාජ්‍ය සංස්ථා හෝ රාජ්‍ය සතු ව්‍යාපාර පොදු සමාගම් බවට පත් කරන ලදි.

පසුගිය දශක කිහිපය තුළ පොදු ප්‍රවාහනය භාවිතා කරන ජනගහනය ඉහළ යෑමත් සමග ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් වැඩි බස් රථ ප්‍රමාණයක් අවශ්‍ය විය. එහිදී පෞද්ගලික අංශයේ බස් රථ වැඩි ප්‍රමාණයක් ධාවනයට එක් විය. වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ධාවනය වන බස් රථ වලින් වැඩි ප්‍රමාණයක් අයත් වන්නේ පෞද්ගලික අංශයටය. එය දෛනිකව ධාවනය වන ලංගම බස් රථ ප්‍රමාණය මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකි. පෞද්ගලික බස් මාෆියාවට ඉඩ දී පසු බැස ගිය ලංගම තවමත් හිස එසවීමට සමත් වී නැත.

 කෙසේ නමුත් පෞද්ගලික බස් රථ සේවයෙන්ද මගී ජනතාවට සතුටුදායක සේවයක් අත්විඳීමට නොහැකි විම කනගාටුවට කරුණකි. පෞද්ගලික බස් රථ බොහෝ විට ධාවනය වන්නේ මගීන් වැඩි ප්‍රමාණයක් ගැවසෙන කාලවල හා මගීන් වැඩි ප්‍රමාණයක් ගැවසෙන මාර්ගවල පමණි. ලාභ අරමුණින් පමණක් ධාවනය වන බස් රථවල රාත්‍රී කාල සටහනක් ක්‍රියාත්මක නොවන තරමටම ඇතැම් ප්‍රදේශයන්හි මාර්ගවල මෙම තත්ත්වය උග්‍රය. ඇතැම් බස් රථවල කොන්දොස්තර හා රියදුරු මහතුන් විනයෙන් නොහික්මුණු පිරිසක්ය. අධික වේගයෙන් රිය පැදවීම, නොසැලකිලිමත්ව රිය පැදවීම, බීමතින් රිය පැදවීම හා අනෙක් බස් රථ සමග ඇති තරගය නිසා අද වන විට බස් රථ අනතුරු ඉහළ ගොස් ඇත. සැප පහසු ගමනක් බලාපොරොත්තුවෙන් බසයට ගොඩවන මගියාට කිසිදු හරයක් නොමැති ඝෝෂාකාරි ගීත වාදනය, අධික ශබ්ද නළා හැඬවීම කරදරකාරි හැඟීමකි. තවද සුඛෝපභෝගී යැයි පවසා අවම පහසුකම්වත් නොමැතිව වැඩි බස් රථ ගාස්තු ද අය කරමින් ධාවනය වන ඇතැම් පෞද්ගලික බස් මගී ප්‍රවාහනය මාෆියාවක් බවට පත් කරගෙන ඇත. සාමාන්‍යයෙන් බස් රථ ධාවනය වන්නේ බසයේ යා යුතු මගී ප්‍රමාණයටත් වඩා වැඩ පිරිසක් පටවා ගෙන ගමනාන්තයට ළඟා වීම, නියමිත ධාවන කාලයටත් වඩා වැඩි කාලයක් ගනිමිනි. මෙම ක්‍රියාව පෞද්ගලික බස් රථ සඳහා මගීන්ගෙන් එල්ල වන බරපතල චෝදනාවකි. දවසේ වැඩි කාලයක් මහමගට මිඩංගු කිරීමෙන් නිකරුනේ වැය වන්නේ මහජනයාගේ වටිනා කාලයයි රටේ ඵලදායීතාවයයි.

 අපගේ පොදු ප්‍රවාහනයේ ආබාධ සහිත පුද්ගලයින්ට, ගැබිනි මාතාවන්ට සහ වැඩිහිටියන්ට නිසි පරිදි ආසන වෙන්කර නොමැති බස් රථ ධාවනයේ යෙදෙන අතර විශේෂයෙන් කාන්තාවන් සඳහා වෙනම ආසන පහසුකම් සලසා නොමැත. ඇතැම් බස් රථ නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා බස් ධාවනයේදී විවිධ කාර්මික දෝෂවලට ලක්වීමෙන් මගීන් අපහසුතාවයට පත් වන වාර අසීමිතය. ඒ නිසා හිටිහැටියේ ගමන් වාර අත්හිටු වීමද සිදුවේ. ග්‍රාමීය මට්ටමින් පමණක් නොව නාගරික මට්ටමින්ද රාත්‍රී කාලයේ පොදු ප්‍රවාහනය ඉතාමත් අඩු මට්ටමකින් පවතී.

 ඒ හේතුවෙන් රාජකාරි කටයුතු සඳහා යන සේවකයින්ටද, වෙනත් අවශ්‍යතා සඳහා පොදු ප්‍රවාහනය භාවිතා කරන මගීන්ටද, අධ්‍යාපන කටයුතු සඳහා පිටත් වන දරුවන්ටද නැවත රාත්‍රියේ නිවසට පැමිණීම ඉතා දුෂ්කර කටයුත්තක් බවට පත්ව ඇත. සතියේ දිනවල මධ්‍යම රාත්‍රීය දක්වා බස් රථ ධාවනය අනිවාර්යයෙන්ම සිදු කළ යුතුය. රජයේ හා පෞද්ගලික අංශයේද

 රැකියාවල නියුතු සේවකයින් පස්වරු 8-9 දක්වාම සේවයේ යෙදී සිටින අතර ඔවුන්ට නිවෙස් වෙත යෑම සඳහා පොදු ප්‍රවාහනය අදටත් ක්‍රියාත්මක වන්නේ නැත.

 වැඩකරන අහිංසක ජනතාව පීඩනයේ පතුලටම ඇද වැටී ඇත. 1977 පෙර ලංකා ගමනාගමන මණ්ඩලය ක්‍රියාත්මක වූ අවධියේ රාත්‍රී බස් සේවය අඛණ්ඩව පවත්වාගෙන ගිය බව සඳහන් කළ යුතුය. දුම්රිය සේවයේ ද තදබදය, ප්‍රමාදය හා නිසි නඩත්තුවක් නොමැති නිසා ගමන් වාර අතර තුර ඇති වන කාර්මික දෝෂ මගී ජනතාව පීඩනයට පත් කරයි. එයද අනාරක්ෂිත යල්පැනගිය එකක් වීම කනගාටුවට කරුණකි. රජය විසින් පවත්වාගෙන යා යුතු සේවාවන් ගණනාවක්ම ඇත. අධ්‍යාපන, සෞඛ්‍ය, ආරක්ෂක සේවය මෙන්ම පොදු ප්‍රවාහන සේවාව ද රජය මගීන් පවත්වාගත යුතු අත්‍යවශ්‍ය සේවාවක් බව රජය වටහා ගත යුතුය.ප්‍රවාහන සේවයක් භාවිත කිරීමේ අරමුණ වන්නේ ගමන ආරම්භයේ සිට අවසානය දක්වා ආරක්ෂිතව පහසුවෙන් ඉක්මනින් හා අඩු පිරිවැයකින් ගමනාන්තය දක්වා ගමන් කිරීමට ය. ලංකාවේ පොදු ප්‍රවාහනයේ ගුණාත්මකභාවය අඩු මට්ටමක පැවතීම හේතුවෙන් වර්තමානයේ ප්‍රවාහන අවශ්‍යතා පෞද්ගලික මට්ටමින් ඉටුකර ගැනීමට මහජනයා විශාල තරගයක යෙදෙමින් සිටී. ඒ හේතුවෙන් දිනෙන් දින වැඩිවන මාර්ග තදබදය, පරිසර දූෂණය, මාර්ග අනතුරු වැඩිවීම වැනි අතුරු ප්‍රතිඵල ද අද වන විට අපට අත්විඳීමට සිදුව ඇත.

 ‘රටක් දියුණු වීම යනු සෑම මිනිසෙක්ම කාර් එකක වැඩට යන එක නොවේ. දුප්පතාටත් ධනවතාටත් ගමන් කළ හැකි ලෙස පොදු ප්‍රවාහනය දියුණුවීම බව’ කොළොම්බියාවේ බොගෝටා නගරයේ හිටපු නගරාධිපති එරිකෝ පෙනරෝසාගේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් ද ඇත.වර්තමානයේ පවතින ඉන්ධන හිඟයත් සමග රජය මගින් ක්‍රියාත්මක ගුණාත්මක පොදු ප්‍රවාහන සේවාවක අවශ්‍යතාවය වැදගත් වී ඇත. දෛනික ආදායම මත ධාවනය වන පෞද්ගලික බස්රථ අඩුවීමත් සමග අත්‍යවශ්‍ය සේවා සඳහා වන මගී ඉල්ලුම සපුරාලීමට ලංගම බස් ද අපොහොසත් වීම නිසා අධික වියදමක් ද දරා වෙනත් කුලී රථ මගින් ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීමට සිදුවීම නිසා මාසික ආදායමින් වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය වෙනුවෙන් වැය කිරීමට සිදුව ඇත. මෙවැනි අවස්ථාවක ගුණාත්මක පොදු ප්‍රවාහනයක් අත්විඳීමට නොහැකි වීම රාජ්‍යයක් මගින් එහි ප්‍රජාව වෙත ප්‍රදානය කරන සියලු නීත්‍යානුකූල අයිතිවාසිකම් හා වරප්‍රසාද භුක්ති විඳීමට හිමිකම් ලැබිය යුතු ප්‍රජාතාන්ත්‍රවාදි රටක පුරවැසියාගේ අවාසනාවකි. අනෙකුත් දියුණු රටවල්වල ගුණාත්මක පොදු ප්‍රවාහනයක් පවතී. ඕනෑම කෙනෙකුට තනිව යා හැකි ආරක්ෂාකාරී, සැප පහසු හා ඉක්මන් ප්‍රවාහන සේවාවක් පැවතීම එවැනි රටවල් ආර්ථික හා සමාජීය වශයෙන්ද දිනෙන් දින දියුණුවට පත්වීමට හේතුවක් බව නොරහසකි.

 ප්‍රවාහනය දෛනික අඛණ්ඩ අවශ්‍යතාවයක් බැවින් පොදු ප්‍රවාහනය භාවිතයට ජනතාව වැඩි වශයෙන් යොමු වන විට ධාවනය වන පෞද්ගලික වාහන අඩුවීම මගින් වායු දූෂණය අඩුවේ. පොදු ප්‍රවාහන සේවා වර්ධනය මගින් මාර්ග තදබදය නිසා මහජනයාට ඇතිවන අපහසුතාව අඩුවීම හා අහිමි වන කාලය ඵලදායී ලෙස භාවිත කළ හැක. මේ නිසා වැය වන ඉන්ධන ප්‍රමාණය අඩුවන අතර ඒ සඳහා වැය වන විදේශ විනිමය ද ඉතිරි වේ. පොදු ප්‍රවාහන සේවා විධිමත්ව පවතින්නේ නම් එය භාවිතය ද ඉහළ යන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

 ලංගමට හා දුම්රිය සේවයට පොදු ප්‍රවාහනයේ ප්‍රධානතම කාර්යභාරය පැවරී තිබේ. එහෙත් අද වන විට මහජනතාවගේ බදු මුදලින් ඒවා නිසි ලෙස නඩත්තු නොවීම නිසා පොදු ප්‍රවාහනය කෙරෙහි මහජනතාවගේ ඇති විශ්වාසය බිඳ වැටී ඇත. එයට ප්‍රධානම හේතුව වී ඇත්තේ රාජ්‍ය ප්‍රවාහන සේවය නිසි ලෙස වගකීම් ඉටුකිරීමට අපොහොසත් වීමය.

 නාගරික හා ග්‍රාමීය මට්ටමින් ඇති මහාමාර්ග වැඩි දියුණු කර නව මාර්ග ඉදිකරමින් මගීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් දෛනිකව අඛණ්ඩව බස්, දුම්රිය ධාවනය කළ යුතුය. ඒ අතර රාත්‍රී කාල සටහනක්ද පැවතීම අනිවාර්ය විය යුතුය. ධාවනයෙන් ඉවත් කර ඇති ධාවනයට සුදුසු බස් රථ නැවත අලුත්වැඩියා කිරීම හා ඉතා අඩු පිරිවැයක් දරා බස් රථවල ගුණාත්මකභාවය වැඩි කරමින් ධාවනයට එකතු කිරීම හා විනය ගරුක හා පුහුණු සේවක පිරිසක් සේවයේ යෙදවිය යුතුවේ. පෞද්ගලික වාහනයක ගමන් කරනවාට වඩා ඉක්මන් ආරක්ෂාකාරී, සුවපහසු ගමනක් යා හැකි ලෙස නිසි ලෙස නවීකරණය කරන ලද සුඛෝපභෝගී දුම්රිය ධාවනයට එක් කළ යුතුය. පාලකයින් මෙම සේවා දෙක නිසි ලෙස නඩත්තු කිරීමේ කටයුතු කරමින් රාජ්‍ය ප්‍රවාහන සේවය ශක්තිමත් කරමින් රටේ ජනතාවට අවශ්‍ය සේවා ලබාදිය යුතුය.රටේ සියලුම ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතාව සපුරාලීමට රජය මගින් දිවා රාත්‍රී ක්‍රියාත්මක වන පොදු ප්‍රවාහන සේවාවක් පවත්වාගෙන යෑම, ජනතාවගේ එදිනෙදා ජීවන කටයුතු පහසුවෙන් කරගෙන යෑමට අවශ්‍ය විධිවිධාන සැලසීම ජනතාව විසින් බලය පවරන ලද විධායක ජනාධිපතිගේ පරම වගකීමක් බව දන්වා සිටිමි. එබැවින් ඉතා අත්‍යවශ්‍ය කටයුත්තක් වශයෙන් ඉක්මන් තීරණ ගෙන පොදු ප්‍රවාහන සේවය රජය මගින් නඟා සිටුවීම අනිවාර්ය කටයුත්තක් බව අවසාන වශයෙන් සඳහන් කරමි.

 අතුල වීරසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment