පොන්නම්බලම් ගුටි කෙළිය

1326

දෙමළ ජාතික සන්ධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී, ලන්ඩන් බැරිස්ටර් ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ පොලිස් නිලධාරීන් කිහිපදෙනකු අතර ඉතා අමිහිරි සිදුවීමක් පසුගිය දිනක වඩමාරච්චියේදී ඇතිවිය. එය මෙසේය; නැගෙනහිර වඩමාරච්චියේ මරිධන්කර්නි ප්‍රදේශයේ ජන හමුවකට සහභාගි වීම සඳහා ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් එහි ගියේය. මේ ජන හමුවට පොලිස් ආරක්ෂාව සපයා තිබූ අතර යාබද තිබූ පාසලක ඕලෙවල් විභාගය පැවැත්වෙමින් තිබිණ. මේ අතර හිටි හැටියේම බුද්ධි නිලධාරීන් ලෙස හඳුනාගනු ලැබූ පුද්ගලයන් දෙදෙනකු නිසා කළබගෑනියක් ඇතිවිය. ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඉතා ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන ආකාරයත් බුද්ධි නිලධාරීන්ට පහරදීමට තැත්කරන ආකාරයත් සඳහන් වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් පවතී. ඊළඟට ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් පොලිස් නිලධාරියකුට පරුෂ වචනයෙන් බැන්නේය. පොලිස් නිලධාරියාද ඒ භාෂාවෙන්ම මන්ත්‍රීතුමාට රිටන් එක දුන්නේය. මන්ත්‍රීතුමා “උඹ” යන ආමන්ත්‍රණය යොදාගෙන පොලිස් නිලධාරියාට බැන්නේය. “උඹ කටවහපන්. මට උඹ කියන්න උඹ කව්ද” යනුවෙන් පොලිස් නිලධාරියා පාර්ලිමේන්තු මන්ත්‍රීගෙන් එවිට ඇසුවේය. සිංහල භාෂාවේ නිර්ණායකයන්ට අනුව මෙතැන කුණුහරුප නැත. “උඹ කට වහපන් යනු” සාමාන්‍ය ගැමි වහරේ එන විධානයකි. “මට උඹ කියන්න උඹ කවුද” යන්නද ඒ ආකාරයෙන්ම ගැමි වහරේ එන ප්‍රශ්නයකි. මේ ව්‍යවහාරය සහ අසභ්‍ය වචන අතර විශාල වෙනසක් තිබේ. වචනයක් පරුෂ වචනයක් ලෙස හැඳින්විය හැක්කේ එය කියන විලාශය අනුවය. “උඹ කට වහපන්” යන්න ලාවට කියූ විට එය පරුෂ වචන කීමක් නොවේ. එහෙත් පය පොළොවේ ගසා, ඇස් දෙක අහසේ තබා, කට දෙපයේ ගෑවෙන තරමට විවරකොට, මහ හයියෙන් “උඹ කට වහපන්” යැයි කී කල එය පරුෂ විධානයක් බවට පත්වෙයි. පොන්නම්බලම් සහ පොලිස් නිලධාරීන් අතර ඇතිවූ සිද්ධිය පිළිබඳ වීඩියෝව අපි ඉතා පරීක්ෂාවෙන් අධ්‍යයනය කළෙමු. දෙමළ සන්ධානයේ මන්ත්‍රීතුමා බුද්ධි නිලධාරීන් ලෙස හඳුනාගත් අයට පහරදීමට තැත් කරන අයුරුද පණ බේරාගැනීම සඳහා ඔවුන් දිවයන අයුරුද පොන්නම්බලම් පොලිස් නිලධාරියාට බැන වදින අයුරුද එම වීඩියෝවේ සටහන් වී ඇත. පොලිස් නිලධාරියා යනු රාජ්‍යය සේවකයෙකි. ඔහු සේවයේ නිරත වී සිටින අවස්ථාවක ඔහුට බැන වැදීම, ඔහුට පහරදීම හෝ පහරදීමට තැත් කිරීම යනාදිය රාජකාරියට බාධා කිරීමක් සේ සලකනු ලැබේ. ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් පොලිස් නිලධාරීන් ඉදිරිපිට හැසිරුණු ආකාරයට අනුව සාමාන්‍ය සිවිල් වැසියකු හැසිරුනේ නම් පොලිසිය ඔහු අල්ලා බිම දමා අම්බානක නෙළා කූඩුවට දමනවා ඇත. පොන්නම්බලම් මේ ආකාරයෙන් හැසිරෙද්දී පොලිසිය ඔහුට බැන වැදීමෙන් පමණක් ගනුදෙනුව නිමකළේ ඇයි? පොන්නම්බලම්ගේ තනතුරට පොලිසිය බියවිය යුතුද? පොන්නම්බලම්ගේ තනතුර ආපසු ලැබෙන්නත් පුළුවන් / ආපසු නොලැබෙන්නත් පුළුවන් වර්ගයේ රැකියාවකි. එහෙත් පොලිස් නිලධාරියා විශ්‍රාම යන තුරුම අවුරුදු තිහ හතළිහක් තම රස්සාව එකදිගට කරගෙන යයි. පොන්නම්බලම් වඩමාරච්චියේදී හැසිරුණු ආකාරයෙන් මේ රටේ පොලිස් නිලධාරියාගේ තත්ත්වය තවදුරටත් බාල්දු වූ බව අපගේ විශ්වාසය ය.

විවිධ දේශපාලනඥයන් ඉදිරියේදී ඇඹරෙන්නට යෑමෙන් පොලිසිය නිමක් නැතිව තම තත්ත්වය බාල්දු කරගෙන තිබේ. හැබැයි ඒ අතර සිංහල භාෂාවේ ගැමි ව්‍යවහාරයෙන් පොන්නම්බලම්ට ආමන්ත්‍රණය කළ පොලිස් නිලධාරියා කෙරෙහි අපේ හිත තුළ ගෞරවයක් ඇත. ඒ වෙලාවේදී ඒ මිනිහා කතා කළේ රස්සාවේ ඉදිරි අනාගතය ගැන කල්පනා කර නොවේ. ඔහු තමාගේත් පොලිස් සේවයේත් ගෞරවය බේරාගැනීම සඳහා පොන්නම්බලම්ගේ බඩ සුද්දවන පරිදි කතා කර ඇත. මේ ප්‍රශ්නය මේවන විටත් පොලිසිය භාර ඇමැති ටිරාන් අලස් අතට ගොස් තිබේ. ටිරාන් අලස් මේ සිද්ධිය ගැන පරීක්ෂණයක් පැවැත්වීමේදී තමා සමග එක පෙළට සිටින මන්ත්‍රී වංශය ආරක්ෂා කරනවාද, නොඑසේ නම් තමා යටතේ සිටින පොලිස් වංශය ආරක්ෂා කරනවාද යන්න නුදුරේදී අපට දැකබලා ගැනීමට හැකිවනවා ඇත.

ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් යනු මේ රටේ දෙමළ ප්‍රජාවට විශාල සේවයක් කළ ජී. ජී. පොන්නම්බලම්ගේ මුණුපුරාය. ගජේන්ද්‍රගේ පියා වන්නේ කීර්තිමත් නීතිඥ කුමාර් පොන්නම්බලම්ය. මේ දෙදෙනාම මේ රටේ දේශපාලනයේ පහන් කණු ලෙස සලකනු ලැබේ. ජී. ජී. පොන්නම්බලම් අධිරාජ්‍යය විරෝධී අරගලයේදී ප්‍රමුඛ භූමිකාවක් කළ බලගතු චරිතයකි. ඔහු කිසි කලෙකත් ප්‍රචණ්ඩ වී නැත. පොලිසියට ගහන්ඩ ගොස්ද නැත. කුමාර් පොන්නම්බලම් යනු මේ රටේ නීති ක්ෂේත්‍රය දෙවනත් කළ ශූර නීතිඥයෙකි. ඔහුද පොලිසියට පහර දී නැත. පසුව කොටි සංවිධානය විසින් කුමාර් පොන්නම්බලම් ඝාතනය කරන ලදී. මෙය සිංහල කොන්ත්‍රාත් අපරාධකරුවන් හරහා කොටි ත්‍රස්තවාදීන් විසින් කරන ලද බවටද පිළිගැනීමක් ඇත. ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඉගෙනගත්තේ කොළඹ පිහිටි සුප්‍රකට පිරිමි පාසලකය. ඔහුගේ වර්තමාන හැසිරීමෙන් එම පාසලට විය හැකි අගෞරවය සලකා එම පාසලේ නම සඳහන් කරනු නොලැබේ. කෙනකු මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණි පසු වෙනදාටත් වැඩි ඕනෑකමකින් රටේ නීතියට අවනත විය යුතුය. පොලිසිය යනු මේ රටේ තිබෙන විශාලතම සිවිල් ආයතනයයි. අසූ හාර දහසකට වැඩි පිරිසක් එහි සේවය කරති. පොලිසියේ ක්‍රියාකාරීත්වය සතුව විවිධ අඩුපාඩු ඇති බව අපිද පිළිගන්නෙමු. ඔවුන් විටෙක හැසිරෙන්නේ මෝඩ බූරුවන් මෙනි. එහෙත් දවස අවසානයේදී අප මැරීමට සාහසිකයෙක් එනවිට අප දිව යන්නේ පොලිසියටය. පොලිසිය මහ පාරේ අපා දුක් විඳි. මේ රටේ පෙනහළු පිළිකා වලින් වැඩිපුරම මියයන්නේ ට්‍රැෆික් රාළහාමිලා බව අප මතක තබාගත යුතුය. ඔවුහු නිතර දෙවේලේ කාබන් මොනොක්සයිඩ් විෂ වායුව ආඝ්‍රාණය කරති. පොලිසිය කන පරිප්පුවේ හැටියට ලබන වැටුප ඉතා අඩුය. ඒ නිසා අඩුම ගණනේ ඔවුන්ගේ වෘත්තීය ගරුත්වය හෝ රැකදිය හැකිය. පොන්නම්බලම් පොලිසියට පහරදීමට තැත්කිරීම ගැන දැඩි පියවර ගත යුතුව තිබේ. ඒ සඳහා තිබෙන වීඩියෝ සාක්ෂිය හොඳ නඩු නිමිත්තකට ප්‍රමාණවත්ය.

advertistmentadvertistment
advertistmentadvertistment