ඉඩමකට ඇතුළු වී පොල්ගෙඩි 10ක් කඩා සොරකම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවකු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය.
මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ 22 හැවිරිදි සැකකරුවෙකි.
වැකුණගොඩ ප්‍රදේශයේ නිවසක හිමිකාරිය පිටතට ගිය අවස්ථාවේ සැකකරු ඉඩමට ඇතුළු වී පොල් ගසකට නැග ගෙඩි 10ක් කඩා ගෙන ඇති අතර නිවෙස් හිමිකාරිය පැමිණීමත් සමග සැකකරු පොල්ගෙඩි 10 කැලෑවේ සඟවා පලා ගොස් ඇත.
පසුව නිවෙස් හිමි කාන්තාව විසින් පොලිසියට පැමිණිලි කර ඇත. ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ ගාල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ජී. ඩී. ජේ. වසන්ත මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක විදුර, සැරයන් සම්පත් (58838) යන මහත්වරුන් විසින් සැකකරු සමග කැලයේ සඟවා තිබූ පොල්ගෙඩි 10 ද සොයා ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
අහංගම – සුගතපාල දීයගහගේ