පොල්තෙල් ඒකාධිකාරිය තව ටික දවසයි…!ලබන මාසයේ සිට රු 500ට පොල්තෙල්..! පොල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු

702

සාකච්ඡා කළේ
 බුලිත ප‍්‍රදීප් කුමාර
 
මීට මාස ගණනාවකට පෙර ලංකාවේ පොල් තෙල් බෝතලයක් තිබුණේ රුපියල් 300 කට අඩු මිලකය. පොල්තෙල්වල ඇපලෝටොක්ෂීන් නම් විෂ රසායනිකයක් ඇතැයි කියා මහත් ආන්දෝලනයක් ඇතිවිය. ඒ පිළිබඳව විවිධ පරීක්ෂණ පැවැත්වෙන්නට විය. අවසානයේ වරදකරුවෙක් නො වී ය. ඒ වෙනුවට ජනතාව අද විපාක විඳිමින් සිටිති. ඒ එදා රුපියල් 300 ට ගත් පොල්තෙල් බෝතලය අද රුපියල් 700ක් බඳු මුදලකට මිලයට ගනිමිනි. පොල්තෙල් ප්‍රෝඩාව අවසන් විය. මිල දෙගුණයකටත් වැඩි විය. වගකිව යුත්තෝ කවුද..?
 
 ප‍්‍රශ්නය – අපේ රටේ පොල්තෙල් කර්මාන්තයට මොකද වුණේ..?
 
 පිළිතුර – පොල්තෙල් ගැන විතරක් නෙවෙයි. අපි අපේ රටේ පොල් කර්මාන්තය ගැනම කතා කරමුකෝ…
 
 ඇත්තම කියනවා නම් පොල් කියලා කියන්නේ අද අපේ රටට අතිවිශාල විදේශ විනිමයක් ගේන්න පුළුවන් භෝගයක්. ඒත් අද අපේ රටේ පොල් කර්මාන්තය තියෙන්නෙ ලොකු අභියෝගයක. ඒ මොකද අපට අද පරිභෝජනයටයි පොල්තෙල් නිෂ්පාදනයටයි පොල් ආශ‍්‍රිත කර්මාන්තවලටයි අපේ රටේ නිපදවන පොල් ඵලදාව හොඳටම මදි. ඔතනින් තමයි මේ අභියෝගය අර්බුදයක් ලෙස මතු වන්නේ…
 
 ප‍්‍රශ්නය – විදේශ විනිමය ගේන්න පුළුවන්ලූ… ඵලදාව මදිලූ. මෙහෙම කිව්වම තේරෙන්නේ නැහැ. තව ටිකක් විග‍්‍රහ කරනවා නම්…
 
 පිළිතුර – ඔව්… ඔබ දන්නවනේ අපේ රට පොල් පරිභෝජනය ඉහළ රටක්. වාර්ෂිකව පොල් ගෙඩි බිලියන 2.8 ක නිෂ්පාදනයක් අපට තිබුණට අපි එයින් බිලියන 1.8 ක් ම පොල් ගෙඩි වශයෙන් පරිභෝජනය කරනවා. පොල්තෙල් නිපදවන්නයි පොල් ආශ‍්‍රිත කර්මාන්ත කරන්නයි ඔක්කොටම ඉතිරි වෙන්නේ තව පොල් ගෙඩි බිලියනයක් විතරයි. ඉතින් එතන ලොකු හිඟයක් පවතිනවා.
 
 ඒ වගේම තමයි අපි රටක් හැටියට පොල් වලින් ලොකු ආදායමක් ලබන්නේ පොල් ආශ‍්‍රිත කර්මාන්ත වලින්. එක් අතකින් අපි ඩෙසිකේටඞ් කොකනට් රට යවනවා. පොල් වතුර යවනවා. ඔය රූපලාවණ්‍ය ක‍්‍රීම් වර්ග හදන්න පොල් ක‍්‍රීම් එකක් යවනවා. කිරි යවනවා. පිටි කරල යවනවා. ඒ වගේම පොල්කටු අඟුරු, කොහු බත් වගේ දේවලූත් මේ කර්මාන්තයේම කොටස්. මේවා යවලා අපි වාර්ෂිකව ඉහළ ආදායමක් ලබනවා. මේ සියලූ ප‍්‍රශ්න තිබිලත් ගිය අවුරුද්දේ විතරක් අපි මේ තුළින් ඇමරිකන් ඩොලර් මිලියන 600 ක ආදායමක් උපදවලා තියෙනවා.
 
 මෙතන තමයි ප‍්‍රශ්නෙ තියෙන්නේ. පොල් ගෙඩි පරිභෝජනය ඒ විදියටම තියාගෙන පොල් ආශ‍්‍රිත කර්මාන්ත වලටයි පොල්තෙල් නිෂ්පාදනයටයි අවශ්‍ය පොල් ප‍්‍රමාණයක් කොහොමද හොයන්නේ…
 
 ප‍්‍රශ්නය – ඒකට විසඳුමක් හැටියටද පොල්තෙල් පිටරටින් ගෙන්වන්න සමාගම් වලට ටැක්ස් එකක් අඩු කරල අවසර දීලා තියෙන්නේ..?
 
 පිළිතුර – මෙහෙමයි නේ… අපේ රටට පරිභෝජනයට හා විවිධ නිෂ්පාදන සඳහා පොල්තෙල් අවශ්‍ය වෙනවා මෙටි‍්‍රක් ටොන් 240000 වාර්ෂිකව. අපි කලින් මේ අවශ්‍යතාවය සපුරා ගත්තේ 60%ක් ෆාම් ඔයිල් වලින් සහ 40%ක් පොල්තෙල්වලින්. අපේ ජනාධිපතිතුමා දේශීය පොල්තෙල් කර්මාන්තය තවදුරටත් දියුණු කරන්න පියවර ගත්තා. ෆාම් ඔයිල් මත බද්ද වැඩි කළා. ඒ නිසා අවශ්‍ය වන පොල්තෙල් ප‍්‍රමාණය අඩුවක් නැතුව ගේන්න පොල්තෙල් මත බද්ද අඩු කළා.
 
 ප‍්‍රශ්නය – පොල්තෙල් රටින් ගේන ගමන් දේශීය පොල්තෙල් කර්මාන්තය නගාසිටුවන්නේ කොහොමද..?
 
 පිළිතුර – අපට මෙතෙන්දි එක පැත්තක් විතරක් බලලා බැහැ. මුලින්ම පාරිභෝගිකයාට අඩු මිලට පොල් ලැබෙන්න ඕන. දෙවනුව අපට විදේශ විනිමය ලැබෙන පොල් ආශ‍්‍රිත කර්මාන්ත දියුණු කරන්නත් ඕන. ඒ තුළින්නේ රටට ආදායමක් ලැබෙන්නේ. ඊළඟට රටට හිඟයකින් තොරව පොල්තෙල් සපයන්න අවශ්‍ය වුණා. ඒකයි බදු අඩු කරල පොල්තෙල් ගේන්න අවස්ථාව සලසා දුන්නේ…
 
 ප‍්‍රශ්නය – ඒකෙන් වුණේ ඇපලොටොක්ෂීන් වගේ විෂ කාරක අඩංගු තෙල් රටට ඇතුළු වුණ එක..?
 
 පිළිතුර – පහුගිය කාලේ අපේ රටට පොල්තෙල් ගෙන්නන ක‍්‍රම දෙකක් තිබුණා. එකක් තමයි පිරිපහදු පොල්තෙල් ආනයනය. දෙවැනි එක පිරිපහදු නොකරන පොල්තෙල් ගෙනැවිත් මෙහෙ පිරිපහදු කිරීම. දෙවෙනි එක තමයි වඩාත් ලාභදායි ක‍්‍රමය විදිහට අපේ ව්‍යාපාරිකයෝ තෝරා ගත්තේ. මේ ගේන පොල්තෙල් විෂ කාරක තියෙනවද නැද්ද කියල අද ප‍්‍රමිති ආයතනය හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ආහාර කමිටුව පරීක්ෂා කරල බලනවා. ඇපලොටොක්ෂීන් මට්ටම අංශුමාත‍්‍ර දහයේ අගයට වඩා වැඩි නම් ඒ පොල්තෙල් ලංකාව ඇතුළට ගන්න ඉඩ දෙන්නෙ නෑ.
 
 ප‍්‍රශ්නය – පිරිපහදු කරලා ගේන්න පොල්තෙල් පරික්ෂාවට ලක් වන්නේ නැද්ද… අනිත් අතට පිරිපහදු කරාට පසුව විෂකාරක තියෙනවද නැද්ද කියලාත් බලන්න ඕන නේද..?
 
 පිළිතුර – අනිවාර්යෙන්ම බලන්න ඕනා. ඇත්ත වශයෙන්ම මේ නීතිරීති ගොඩක් යල් පැනලා. පොල් සංවර්ධන පනත හැදුනේ ඇන්. ඇම්. පෙරේරා මහත්තයාගේ කාලේ 1970 – 77 යුගයට ගැලපෙන පරිදි. අද වෙන විට මේවා වෙනස් වෙන්න ඕන. මමත් බන්දුල ගුණවර්ධන මහත්තයාත් තවත් විශේෂඥ පිරිසකුත් එකතු වෙලා මේ දිනවල ඒ පනත හදනවා. නීති රීති ටික අදට ගැළපෙන පරිදි යාවත්කාලීන කරන්න ඕනා. පිටරටින් ගෙන්වන පොල්තෙල් පිළිබඳව අපි කොහොමද වැඩ කළ යුත්තේ කියන එක ඒ අනුව තීන්දු වේවි.
 
 ප‍්‍රශ්නය – පනත ගේන්න කොච්චර කලක් ගත වෙයි ද…?
 
 පිළිතුර – මාසයක් ඇතුළත වගේ අපි පනත ගේනවා. ඇත්තම කියනවා නම් මේක පනතක් නෙවෙයි. පනතට අවශ්‍ය රෙගුලාසි කිහිපයක් වෙනස් කරගන්න එකයි කරන්න ඕන. ඒක අපි ජූලි මාසේ අග වෙනකොට කරන්න බලාපොරොත්තු වෙනවා. එහිදී පොල්තෙල් ප‍්‍රමිතිකරණය පිළිබඳ විසඳුමක් ලැබේවි.
 
 ප‍්‍රශ්නය – ඒත් ඒකෙන් කොහොමද අපේ රටේ පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තයේ දියුණුවක් දකින්නේ..?
 
 පිළිතුර – අපි ඒ ගැන ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කළා. ඇත්ත වශයෙන්ම මේ රටේ පොල්තෙල් නිෂ්පාදකයන්ට අවශ්‍ය කොප්පරා ප‍්‍රමාණය හොඳටම මදි. ඒක නිසා අපි ‘‘කොප්පරා චිප්ස්‘‘ වශයෙන් ආනයනය කරන්න තීන්දුවක් ගත්තා. ජනාධිපතිතුමා උපදෙස් දුන්නා රාජ්‍ය ආයතනයක් මඟින්ම ඒක කරන්න. බී සී සී ආයතනය කියන්නේ කර්මාන්ත අමාත්‍යාංශයට අයත් දැනට අකර්මණ්‍ය වෙලා තියෙන රාජ්‍ය ආයතනයක්. පොල් සංවර්ධන ඇමැති හැටියට මමත් කර්මාන්ත ඇමැති හැටියට විමල් වීරවංශ මැතිතුමාත් වැවිලි කර්මාන්ත ඇමැති හැටියට රමේෂ් පතිරණ මැතිතුමාත් එකතුවෙලා බී බී සී අයි ආයතනය මගින් චිප්ස් ගෙන්නලා පොල්තෙල් නිෂ්පාදනය කරන ආයතන අතර සමසේ බෙදා හරින්න වැඩපිළිවෙළක් සකස් කරල තියෙනවා. කැබිනට් අනුමැතිය ලබාගෙන අපි ඒක ඉතා ඉක්මනින් ක‍්‍රියාත්මක කරන්නවා. ඒ තුළින් රටේ දේශීය පොල්තෙල් කර්මාන්තය නගාසිටුවන්න වගේම පොල්තෙල් වලට දැනට තිබෙන මිල සතුටුදායක මට්ටමකින් පහත හෙළන්න පුළුවන් වේවි.
 
 ප‍්‍රශ්නය – රටේ පොල් නිෂ්පාදනය නංවන්න ඔබට තියෙන වැඩපිළිවෙළ මොකක්ද..?
 
 පිළිතුර – ලබන ජූලි මාසයේ 10 වෙනි දා ‘‘ජාතික පොල් දිනය’’ ලෙස නම් කරලා තියනවා. එදාට අපි රට වටේම පොල් පැළ මිලියන හතරක් හිටවනවා. මෙහි නියමු වැඩසටහන මගේ ආසනයේ හලාවත වැවිලි සමාගමට අයත් වැලිකැටිය වත්තෙ දී ජනාධිපතිතුමාගෙ ප‍්‍රධානත්වයෙන් ලබන 10 වෙනිදා පවත්වන්න කටයුතු යොදලා තියෙනවා.
 
 ඒත් එක්කම පොල් වගාව සඳහා අපේ රටේ ගුණාත්මක පොල් පැළ හිඟයක් පවතිනවා. මොකද රජය තමයි මෙච්චර කාලයක් බීජ පොල් පැළ සැපයූවේ. ඒක මදි. ඉදිරියේදී අපි වැඩසටහනක් සංවිධානය කරනවා ඕනම කෙනෙකුට පුළුවන් තමන්ගේ ඉඩමෙන් කොටසක් වෙන් කරලා බීජ පොල් පැළ තවානක් පවත්වාගෙන යන්න. ඒ සඳහා උපදේශනය හා මග පෙන්වීම පොල් පර්යේෂණ ආයතනය විසින් කරනු ලබනවා. ඒ පැළ අපි ගන්නවා.
 
 ප‍්‍රශ්නය – මේ මෑතක් වන තුරුම පොල්තෙල් බෝතලේ රුපියල් 300ට පහළින් තිබුණා. විෂ පොල්තෙල් පිළිබඳව ප‍්‍රශ්නය ආවට පස්සෙ ගත්ත තීන්දු තීරණත් එක්ක දැන් පොල්තෙල් බෝතලයේ මිල දෙතුන් ගුණයකින් ඉහල නැගලා.. සමහර තැන්වල 700යි. මේ හැමතැනින්ම ජනතාව නේද පීඩා විඳින්නේ..?
 
 පිළිතුර – ඒක වුණේ පොල්තෙල් ආනයන කරුවන්ට ඇතිවුණු ප‍්‍රශ්න එක්ක ඔවුන් පොල්තෙල් ගෙන්වන එක සීමා කළා. එතන ප‍්‍රශ්නයක් තියෙනවා. හැබැයි මේකට තියෙන හොඳම විසඳුම තමයි දේශීය පොල්තෙල් කර්මාන්තය ඉහළ නංවන එක. මට මතකයි අපේ අම්මල ඉස්සර ගෙදරට උවමනා පොල්තෙල් ගෙදර හින්දා. ඒ ඇරුනම හැම ගමකම පොල්තෙල් මෝලක් තිබුණා. මේවා ගෘහ කර්මාන්ත හැටියට කෙරුණා. පසුකාලීනව ඒ ඔක්කොම යටපත් වුණා. ගෙවල්වල පොල්තෙල් හිඳින එක නෙවෙයි. කවුරු මොනව කිව්වත් මගේ හැඟීම ගම් මට්ටමෙන් තිබුණු පොල්තෙල් මෝල නැවත ශක්තිමත් කරන්න ඕන. ගමේ මිනිහාට පුළුවන් තමන්ට අවශ්‍ය පොල්තෙල් ටික පොල් ගෙඩි දෙකතුනක් වේලගෙන ගිහිල්ලා මෝලෙන් හිඳගෙන එන්න. සමහර පැතිවල මේක තවමත් කෙරෙනවා. මං හිතුව මේ කර්මාන්තයේ ඉහළ නැංවීමත් අපි වේගවත් කළ යුතු යි. ගමේ ප‍්‍රශ්න ගමෙන් ම විසඳාගත යුතුයි. නවීන තාක්ෂණය පාවිච්චි කරලා ගෘහ කර්මාන්තයක් විදිහට පොල්තෙල් නිෂ්පාදනය කරන ක‍්‍රම අපි ඉදිරියේදී ජනතාවට හඳුන්වලා දෙනවා.
 
 ප‍්‍රශ්නය – මහා පරිමාණයෙන් පොල්තෙල් ගෙන්වන ව්‍යාපාරිකයෝ ලංකාවේ කොච්චර ඉන්නවද…?
 
 පිළිතුර – පිරිපහදු නොකළ පොල්තෙල් ගෙනල්ලා ලංකාවේ පිරිපහදු කරන ව්‍යාපාරිකයෝ ඉන්නවා නමයක් විතර. පිරිපහදු කරපු පොල්තෙල් ගෙන්වන අය ඉන්නවා ඊට වැඩියෙන්…ඒ මොකද අද ඕනම කෙනෙකුට පිටරටින් පොල්තෙල් ගෙන්නන්න පුළුවන් අවශ්‍ය ප‍්‍රමිතියට අනුව… ඕන්නං ඔබටත් පුළුවන්.
 
 ප‍්‍රශ්නය – මහා පරිමාණයෙන් පොල්තෙල් ගෙන්වන මුදලාලිලා අද මහා පරිමාණ ලාභයක් ලබනවා. 300 ට තිබුණු පොල්තෙල් අද ජනතාව 700ට කනවා..?
 
 පිළිතුර – ඇත්ත මම පිළිගන්නවා… අද මේ රටේ පොල්තෙල් ගෙන්වන ව්‍යාපාරිකයෝ දෙතුන් දෙනෙක් එකතු වෙලා ඒකාධිකාරියක් හදාගෙන ලාභ ලබනවා. මේකට එකම විසඳුම ලංකාවේ දේශීය පොල්තෙල් කර්මාන්තය නගාසිටුවීමම තමයි.
 
 ප‍්‍රශ්නය – ඇයි බැරි රාජ්‍ය ආයතනයක් මගින් පොල්තෙල් ගෙන්වලා මේගොල්ලන්ගේ මේ තියන ඒකාධිකාරිය බිඳිමින් තරගකාරීව ජනතාවට අඩු මිලට පොල්තෙල් දෙන්න..?
 
 පිළිතුර – හරි හරි… අපි බී සී සී අයි ආයතනය හරහා බලාපොරොත්තු වෙන්නේ ඔය දේ තමයි. තරගකාරී ලෙස ඔවුන් පොල්තෙල් නිෂ්පාදනය සඳහා ඉහත කියපු ආකාරයට කොප්පරා චිප්ස් ගෙන්වමින් කරන මැදිහත්වීම තුළ දේශීය කර්මාන්ත කරුවා ශක්තිමත් වීමෙන් කොහොමටත් ඒකාධිකාරිය බිදෙනවා. ඉස්සර විවිධ සේවා සමුපකාර සමිතිවලට සම්බන්ධ පොල්තෙල් මෝල් තිබුණා. අපි ප‍්‍රාදේශීය මට්ටමින් මේවා පටන් ගන්න ඕන. එදා ඒ මට්ටමින් මෙම කර්මාන්තයේ හිටපු කර්මාන්තකරුවන්ට දිරි දෙන්න ඕන. අපි උතුරු
 
 නැගෙනහිරටත් මේ කර්මාන්තය හඳුන්වා දෙනවා. කොකනට් චිප්ස් ගේනවට අමතරව බී සී සී ආයතනයට අපි ඉදිරියේ දී පොල්තෙල් ආනයනය කරන්නත් අවස්ථාව ලබා දෙනවා. නුදුරු දිනකම ඔය කියන ඒකාධිකාරිය අපි බිඳ දමනවා.
 
 ප‍්‍රශ්නය – දැනට වුණත් පුළුවන් නේද පොල්තෙල් සඳහා පාලන මිලක් ඇති කරන්න..?
 
 පිළිතුර – ඒ ගැන අපි සලකා බලමින් ඉන්නවා. පාලන මිලක් ගේනවා. මේ වැඩපිළිවෙළ සාර්ථක වුණාට පස්සේ අපිට පුළුවන් රුපියල් 500ක් පමණ වූ පාලන මිලකින් පොල්තෙල් බෝතලය පවත්වාගෙන යන්න. මේ ජූලි මාසය අවසන් වන විට නිසැක වශයෙන් ම පොල්තෙල් බෝතලේ මිල 500ට අඩු වෙලා තියෙයි….

advertistmentadvertistment
advertistmentadvertistment