පොල් අඩුවන විට අපනයනය සීමාකර පරිභෝජනයට වැඩි අවස්ථාවක් දෙමු – සමස්ත ලංකා පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු

16

සෑම වසරකම ඔක්තෝබර් සිට මාර්තු දක්වා පොල් ඵලදාව අඩුයි

පොල් සංවර්ධන මණ්ඩලය විසින් පාරේ තියාගෙන පොල් අලෙවි කරනු ලබන්නේ රජය අපහසුතාවයට පත් කිරීමට යැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පැවසීය.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම ගැන තමන් ජනාධිපතිවරයාට ස්තුති වන බවත්, එහෙත් ඇතැම් රාජ්‍ය නිලධාරීන් පොල් අලෙවි කිරීම රජය අපහසුතාවයට පත්නොවන ආකාරයේ වැඩපිළිවෙළක් සකස් කිරීමට හැකියාව තිබියදී එසේ නොකළේ ඇයි ද යන්න වහාම රජය සොයා බැලිය යුතු බවත් ඒ මහතා කොළඹ මාධ්‍ය හමුවකදී පැවසීය.

පාරේ තබාගෙන පොල් අලෙවි කිරීම තුළින් රජය අපහසුතාවයට පත් කිරීම සඳහා එම මණ්ඩලයේ ඇතැම් නිලධාරීන් හිතාමතා කටයුතු කරන බවට තමාට පෙනී ගොස් ඇති බවත් ඒ මහතා පැවසීය.

රජයේ සතු පොල් ඉඩම්වල පොල් අලෙවි කිරීම සඳහා, සතොස, සමූපකාර ඇතුළු රාජ්‍ය ආයතන දෙදහසක් පමණ තිබියදී එම නිලධාරීන්ගේ මෙම ක්‍රියාකලාපය නිසා රජය අපහසුතාවයට පත්වීම වැළැක්වීමට රජය මැදිහත් වී ඉක්මන් පියවරක් ගත යුතු යැයි ද ඒ මහතා පැවසීය.

සෑම වසරකම ඔක්තෝබර් සිට ඊළඟ වසරේ මාර්තු දක්වා පොල් ඵලදාව අඩුවන බවත් මෙය පොල් සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හොඳාකාරවම දන්නා බවත් ඒ මහතා කීය. පොල් සංවර්ධන අධිකාරිය රටේ පොල් ඵලදාව අඩුවන විට පොල් අපනයනය සීමාකර රටේ ජනතාවට පාරිභෝජනය සඳහා වැඩි අවස්ථාවක් ලබාදිය යුතු නමුත් අධිකාරියේ ඇතැම් නිලධාරීන් කූට ජාවාරම්කරුවන් සමග එක්වී පොල් අපනයනය කිරීමට මුල්තැන දෙන නිසා රටේ පොල් හිඟයක් ඇතිවන බවද ඔහු කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment