පොල් රුප්පාවේ සුදුමැස්සා වනසන කෘමියෙක්…..!

381

එළවළු සුදුමැස්සාටත් සතුරෙක් සොයාගෙන
විද්‍යාගාරයේ බෝකර පරිසරයට මුදාහැරීම ඇරඹිලා
පරිසර හිතකාමී වැඩසටහන්වලට ලැබෙන සමාජ දිරිගැන්වීම මදි

පොල් රුප්පාවේ සුදුමැස්සා වනසන කෘමියෙක්…..!

දැනට බස්නාහිර පළාතේත්, මධ්‍යම පළාතේ ඇතැම් ස්ථානවලත් වාර්තා වී ඇති සුදුමැස්සාගේ හානිය නිසා පොල්ගසේ කිරුල කළුපාට වී අසාමාන්‍ය තත්ත්වයක් ගන්නා බව සඳහන්ය. කළු පැහැයට හේතුව පුස් වර්ගයක් පත්‍ර මත වැවීමයි. ඊට හේතුව පොල්කොළ මත සිටින සුදුමැස්සා විසින් ශ්‍රාවය කරන සීනි මිශ්‍ර තරලයයි. මෙම දිලීර වර්ධනය හේතුවෙන් සූර්යාලෝකය උරාගැනීමට පොල්කොළයට ඇති හැකියාවට බාධා පැමිණෙන අතර, ඒ මත ප්‍රභාසංස්ලේෂණය අඩාළ වී අස්වැන්නද අඩුවේ. සුදුමැස්සා පළමුවරට පොල්ගස මත වාර්තාවූයේ 2019 වසරේදීය. නමුත් කොරෝනා වසංගතය නිසා පැවති සංචරණ සීමා හේතුවෙන්, වගකිවයුත්තන්ට රෝගී ශාක පරීක්ෂා කරන්නට යන්නටවත් හැකියාවක් නොලැබිණි. රසායනික මර්දනයක් ස්ථානීයව හෝ ලබාදෙන්නට කෘෂිරසායනික ද්‍රව්‍ය වෙළෙඳපොළේ තිබුණේද නැත. ප්‍රතිකාර නිර්දේශ කෙරුණේද ඡායාරූප පරීක්ෂා කරමින්ය. ප්‍රතිප්‍රහාර දුර්වල මෙවැනි තත්ත්වයක් යටතේ සුදුමැස්සා වැඩි වැඩියෙන් බෝවී හානිදායක මට්ටමකට පැමිණ ඇති බව විද්‍යාඥයන්ගේ මතයයි.

පොල් රුප්පාවේ සුදුමැස්සා වනසන කෘමියෙක්…..!

පොල්ගස්වලට නැග ‘තෙල්බෙහෙත්’ ඉසීම හදිස්සියට කළ හැකි දෙයක් වුවත් ජනගහනය වැඩි බස්නාහිර පළාතේ එවැන්නක් සිදුකිරීමේ අවදානමක් ඇත්තේ පරිසරයට මුදාහැරෙන කෘමිනාශක නිසාය. ඒ නිසා බලධාරීන්ගේ ඒ සඳහා ඇත්තේ නොකැමැත්තකි. එසේ නැතිව පොල් වගාකිරීමේ මණ්ඩලයේ කාර්යාල සතුව උස ගස්වලට පවා ‘බෙහෙත්’ ගැසිය හැකි ඉසින යන්ත්‍ර නැතුවා නොවේ. පොල් සංවර්ධන නිලධාරීන් හරහා නොමිලේම ඒවා ලබාගෙන භාවිත කිරීමේ හැකියාවද මහජනතාවට ඇත. මීට අමතරව කහපාට පොලිතීන් කැබලිවල ග්‍රීස් වැනි ඇලෙන සුළු යමක් තවරා පොල් අතුවල එල්ලීමෙන් හෝ යම් තහඩුවක ඒවා ආලේපකර කඳෙහි සවිකිරීමෙන් හෝ මැසි ගහනය තරමකට අඩුකරගත හැකිය. මැස්සා කහපාට වෙතට වැඩියෙන් ඇදී එන බැවිනි. පොල්ගස් වලට සාපේක්ෂව තැඹිලි ගස් වැඩිපුර සුදු මැස්සාට ගොදුරුවෙන්නේද මේ හේතුවෙනි. කිසිවක් නොමැතිනම් අඩුතරමින් සබන් වතුර ඉස සෝදා දැමීමවුවත් වෙලාවේ හැටියට ප්‍රමාණවත් ප්‍රතිකාරයකි. සුදු මැස්සාගේ ස්වභාවික සතුරන් විද්‍යාගාරයන්හි බෝකර, ඔවුන් පරිසරයට නිදහස් කරමින් තිරසර පළිබෝධ පාලනයකට කෘමි විද්‍යාඥයින් මේ වනවිටත් පිවිස තිබීම ප්‍රශ්නය කළමනාකරණය කිරීම අතින් බලන කල හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකිය හැකිය.

“සුදුමැස්සා සම්බන්ධ පාලන කටයුතු ලුනුවිල පොල් පර්යේෂණායතනය මගිනුත් කෙරෙනවා. ගන්නොරුවේ උද්‍යාන බෝග පර්යේෂණායතනය සහ ශාක ආරක්ෂණ සේවය එකතුවෙලා කළ ගවේෂණයන්ගේ ප්‍රතිඵලයක් හැටියට අපි සුදුමැස්සාට සතුරු කෘමියෙක් සොයාගත්තා. එයා බොහොම පුංචි සතෙක්. සුදුමැස්සාගේ කීටයින්ගේ සිරුර විදලා මොහු බිත්තරයක් දමනවා. උපදින පැටවා වැඩෙන්නේ සුදුමැසි කීටයාගේ සිරුරේ තිබෙන සාරයෙන් පෝෂණය වෙමින්. මේක හොඳ මර්දන ක්‍රමයක්. ලොව පිළිගත් මූලධර්මයක්. ජෛව පළිබෝධ පාලනය කියලයි කියන්නේ. පළමුව අපි බස්නාහිර පළාතේ තිබෙන දිස්ත්‍රික්ක තුනේම ආසාදනය බහුලව තිබෙන පොල් වතුවලට ගිහිල්ලා සුදුමැස්සන් සිටින පොල්කොළ එකතුකරලා විද්‍යාගාරයට ගෙනාවා. කෑගල්ල වගේ තැන් වලිනුත් ගත්තා. ඒවා විද්‍යාගාරයේ තබාගෙන උපදින සතුරන්ව එකතුකළා. අනතුරුව ඔවුන්ව ඇතිදැඩි කරලා බෝකෙරුවා. දැන් හොඳ ගහනයක් ඉන්නවා.”

පොල් රුප්පාවේ සුදුමැස්සා වනසන කෘමියෙක්…..!

පසුගියදා ස්ථාන කීපයකදී සුදුමැස්සා මර්දනය සඳහා හදාවඩා ගත් ස්වභාවික සතුරන් කණ්ඩායමක් පරිසරයට මුදාහැරීම සිදුකරද්දී එයට මූලිකත්වය ගත් ප්‍රභාත් නිශාන්ත මහතා පැවසුවේ එවැන්නකි. හෙතෙම කෘමි විද්‍යාඥයෙක් වන අතර ගන්නොරුවේ පිහිටි ශාක ආරක්ෂණ සේවයේ ප්‍රධානියාද වේ. ලංකාවේ පොල් වගාව තුළ සිටින ප්‍රධාන සුදුමැසි වර්ගය වන්නේ ඇලියුරොඩිකස් (Aleurodicus) ය. එම මැස්සා අලුතින් පදිංචියට පැමිණියෙක් නොවේ. අනූව දශකයේ පවා මෙහි සිටි බවට වාර්තා වී ඇත. උගේ සතුරකු ලෙස නිශාන්ත මහතා සොයාගෙන ඇත්තේ එන්කාර්සියා ගවුඩලෝපි (Encarcis guadeloupae) නමැති කෘමියෙකි. මීට අමතරව එළවළු වගාවේ වෙසෙන සුදුමැස්සා මර්දනය සඳහා සුදුසු ඉරෙට්මොසෙරස් ඉරෙමිකස් (Eretmocerus eremicus) නමැති කෘමියෙක්ද ඔහු විසින් හඳුනාගෙන බෝකර තිබේ. පොල් වතු වෙතට යන ගමනේදී අවට ගෙවතුවලට මුදාහැරීම සඳහා ඒ සතුන්ද ඔහු විසින් රැගෙන යනු ලබයි.
සනත් එම්. බණ්ඩාර
sanathmalka1911@gmail.com

advertistmentadvertistment
advertistmentadvertistment