පොලිටනල් ඇතුලේ වැවෙන එළවළුවලට… – පරිපූර්ණ දියර පොහොරක්

583

* එළියේ වවනවාට වඩා හතර ගුණයක් පලදාව ලැබෙන නිසා උඩරට ගොවීන්ගේ වැඩි කැමැත්ත ආරක්ෂිත ගෘහවලට
 
 * වැඩි ගුණාත්මයෙන් යුත් අස්වැන්න ලැබෙන නිසා ඉහළ මිලකට අලෙවි වෙනවා
 
 * වවන්නේ නිර්පාංශු මාධ්‍යයක. පස හා ගනුදෙනුව අවම නිසා පරිසර හිතකාමීයි
 
 * දැනටත් හෙක්ටයාර් 55 කට වඩා එළවළු වවන පොලිටනල් කඳුකරයේ තිබෙනවා

පොලිටනල් ඇතුලේ වැවෙන එළවළුවලට... - පරිපූර්ණ දියර පොහොරක්

කාර්මීකරණය හා නාගරීකරණය ලොව පුරා දැවැන්ත ලෙස ක‍්‍රියාත්මක වෙමින් තිබේ. බොහොමයක් දෙනා රටක හෝ ජාතියක දියුණුව සේ සලකන්නේ මෙම තත්ත්වයයි. එහෙත් මේ හරහා ජනතාවට ආහාර වගාකිරීමට තිබෙන භූමි ප‍්‍රමාණය හායනයට හසුවෙන බව කාට කාටත් අමතකය. තවත් පැත්තකින් ඉහත ක‍්‍රියාකාරකම් හේතුවෙන් ස්වභාවික දේශගුණයට බලපෑම් ඇතිවී දේශගුණික විපර්යාසයන්ද ඇතිවී තිබෙන බව මිනිසා අවබෝධ කරගත්තේ සෑහෙන ප‍්‍රමාදයකින් පසුවයි. ප‍්‍රතිසංවිධානයක් කරා යා යුතු බවත් ඒ සඳහා යෝජනාවලීනුත් තැන තැන ඉදිරිපත් වුවද ඒවා අනුගමනය කරනු පෙනෙන්නේ ඇල්මැරුණු උනන්දුවකිනි. මේ අනුව දිගුකාලීන ඉඩෝර කාලයන් අප අත්විඳින්නෙමු. එසේ නැතහොත් මාසයක් තිස්සේ විහිදී පැතිරී ලැබියයුතු වර්ෂාපතනය දින දෙක තුනක් ඇතුළත ලැබෙන තත්ත්වයකට මුහුණ දෙන්නෙමු. මෙවැනි දේශගුණික විපර්යාස හමුවේ පීඩනයට හසුවී ඉතිරිව තිබෙන වගා භූමි ප‍්‍රමාණයෙන් හෝ අපට ලැබෙන්නේ භූමියට අයත් විභව අස්වැන්න නොවේ. අස්වැන්නට ඇති නිරන්තර ඉහළ ඉල්ලූම සැලකිල්ලට ගත්කල මේ තත්ත්වයන් යටතේ වගාකරු නිතරම උත්සාහ දරන්නේ ඒකක ක්ෂේත‍්‍රපලයකින්, අඩුම කාලයක් තුළදී උපරිම පලදාවක් නෙළා ගැනීමටයි. කෘතිම පෝෂක සැපයීමක් බෝගයට අවශ්‍යවන්නේ මෙම අරමුණට යන ගමනේ එක පියවරක් වශයෙනි. ලැබෙන පෝෂකවල සම්භවය කාබකිකද, අකාබනික ද යන්න බෝගය විමසා බැලීමක් නොකරන අතර ඒවා පෝෂක උරාගනු ලබන්නේ ජලයේ දියවූ අකාබනික අයන වශයෙනි.

පොලිටනල් ඇතුලේ වැවෙන එළවළුවලට... - පරිපූර්ණ දියර පොහොරක්

 කාලගුණය මගින් විටින් විට ඇතිකරන බාධාකිරීම් මගහැර යන්නටත්, පාංශු රෝගකාරකයන්ගෙන් ආරක්ෂාවීමටත් වැනි කරුණු මුල්කරගෙන උඩරට කලාපයේ ඇතැම් ගොවීන් ආරක්ෂිත ගෘහයන් තුළ එළවළු වැවීම කලක පටන් පුරුද්දක් කරගෙන සිටී. මෙම තාක්ෂණය එළවළු වගාව සඳහා මෙරට භාවිතයට පටන්ගත්තේ 90 දශකයේ මුල්භාගයේ පමණය. ඒ වනවිට ආරක්ෂිත ගෘහයන් කීපයක් මල් වගාව වෙනුවෙන් නම් උඩරට පළාතේ ඉදිකර තිබිණ. ආරක්ෂිත ගෘහ තුළ වගාවේ ආකර්ශනීය තත්ත්වය වන්නේ එළිමහනේ වවනවාට වඩා සිව් ගුණයක් පමණ වැඩි අස්වැන්නක් ලබාගැනීමත්, රෝග හා පළිබෝධකයන් සීමාවීමත්, පොහොර භාවිතයේ පිරිමැසුම්දායක බවත් වැනි කරුණුය. මේ අනුව වර්තමානය වනවිට හෙක්ටයාර් 55 ක පමණ භූමියක් ආවරණය වන පරිදි ආරක්ෂිත ගෘහයන් කඳුකරයේ ඉදිවී තිබේ. පසෙහි පැල සිටුවනවා වෙනුවට මේ බොහොමයක් ගෘහයන්හි එළවළු වගාකර ඇත්තේ කොහුබත් වැනි නිර්පාංශු මාධ්‍යයකය. බිංදු ජල සම්පාදනය වැනි නව තාක්ෂණික ක‍්‍රමවේදයන් හරහා වගාවේ ජලය සැපයීමත්, ඒ ඔස්සේම පෝෂක සැපයීමත් සිදුකරනු ලැබේ. පෝෂක අවශ්‍ය ප‍්‍රමාණය තුලිත මිශ‍්‍රණයක් වශයෙන් සැපයීමට ගොවීන් පුරුදුව සිටින්නේ ‘ඇල්බට් මිශ‍්‍රණය’ නමින් හඳුන්වන පොහොර මිශ‍්‍රණය භාවිතයෙනි. එසේ නමුත් මෙහි මිල අධිකවීමත්, ඇතැම් අවස්ථාවන්හි වෙළෙඳපොළෙහි පොහොර මිලදී ගැනීමට නොතිබීමත් වැනි කරුණු මත, වගාකරු අසීරුතාවයට පත්වන අවස්ථාද විරල නැත. මේ නිසා කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරීන්ගේ මෙන්ම ගොවි ජනතාවගේද ඉල්ලූම වූයේ මෙම වාණිජ පොහොර මිශ‍්‍රණයට අනුප‍්‍රාප්තිකයක් වශයෙන් විකල්ප පොහොර මිශ‍්‍රණය හඳුන්වා දෙන ලෙසයි.

 ‘‘මේ වෙනුවෙන් අපේ පර්යේෂණ ආරම්භ කෙරුවේ 2012 වසරේදී පමණ. පදනම වුණේ ඇල්බට් ද්‍රාවණයේ සංයුතිය තමයි. ඒ වුණත් ගොවීන් අපට දැන්වූවා ඇල්බට් මිශ‍්‍රණය වුණත් අංග සම්පූර්ණ එකක් නොවන බවත්, එහි යම් සංඝටකයන් වුවත් මදක් එහාමෙහා කළයුතු බවත්, විශේෂයෙන්ම කැල්සියම්, මැග්නීසියම් හා පොටෑසියම් වැනි පෝෂක ඇල්බට් මිශ‍්‍රණයත් සමග අමතරව ලබාදිය යුතු බවත්. ඒ ගැනත් සලකා බලන්න සිදු වුණා. දැනට ශාක වර්ධනයට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය 17 තිබෙන බව සැලකෙනවා. කාබන්, හයිඩ‍්‍රජන් හා ඔක්සිජන් අතහැරිය විට පාංශු පෝෂක වශයෙන් 14 ක් ඉතුරුයි. නිකල් අපි බාහිරයෙන් දෙන්න උත්සාහ කරන්නේ නෑ. ක්ලෝරීනුත් එහෙමයි. එතකොට 12 ක් ඉතුරුයි. ඒ සියල්ල බෝගයේ අවශ්‍යතාවයට ගැළපෙන්න මිශ‍්‍රකරලා ඇල්බට් ද්‍රාවණයට විකල්ප පොහොරක් නිර්මාණය කිරීම තමයි අභියෝගය වුණේ. අප විසින් මේ අනුව සංකලනය කළ මිශ‍්‍රණය භාවිතයේදී කිසිදු අමතර පෝෂකයක් යෙදීමට අවශ්‍ය නොවන බව තහවුරු වුණා.”

 එම අදහස සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය කේ. එම්. එස්. කොඩිකාර ගේය. පාංශු විද්‍යාඥයෙක් වශයෙන් හෙතෙම බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ සේවය කරයි. ලැබුන අභියෝගය එතරම් පහසු එකක් නොවන බව ඔහු තේරුම්ගත්තේ භාවිතාකරන අමුද්‍රව්‍යයන් මිශ‍්‍ර කිරීමේදී එකිනෙක ප‍්‍රතික‍්‍රියා කිරීමත්, කොටසක් අවක්ෂේප යනාදිය සාදමින් ප‍්‍රතික‍්‍රියා මිශ‍්‍රණයෙන් ඉවත්ව යෑමත් නිරීක්ෂණය වූ පසුවය. කෙසේ නමුත් විවිධ සීරුමාරු සිදුකරමින් වසර අටක් පමණ තිස්සේ කළ උත්සාහය මේ වනවිට සාර්ථක අවසානයක් කරා පැමිණ තිබේ.

 ‘‘පසුගිය වසර දෙක පමණ තිස්සේ අපි ගොවි ක්ෂේත‍්‍ර ආදර්ශනයන් පවා සිදුකෙරුවා. ගොවීන් අප හඳුන්වාදුන් මිශ‍්‍රණයට හුඟක් කැමතියි. ඔවුන් පවසනවා රෝග හා පළිබෝධකයන්ට ඔරොත්තු දීමේ ශක්තියක් පවා බෝගයට ලැබෙන බව. ඒ ගැන විද්‍යාත්මක අධ්‍යයනයන් තවම කරලා නැති වුණත් ශාකවලට විධිමත් පෝෂණයක් ලැබිලා ශාක නිරෝගී වනවිට රෝගවලට ඔරොත්තු දීමේ ශක්තිය එයට ලැබෙන බව සරල මූලධර්මයක්.”

 ආචාර්ය කොඩිකාර තම නිෂ්පාදනය ගැන තවදුරටත් එසේ පවසා සිටියේය. දැනට ගොවීන් ආරක්ෂිත ගෘහ තුළ බහුලවම වගාකරනුයේ බෙල්පෙපර්, මාළුමිරිස්, තක්කාලි, අමුමිරිස් සහ සලාද පිපිඤ්ඤා වැනි බෝග දර්ශයන්ය. නිෂ්පාදිත පොහොර මිශ‍්‍රණය මේ සියලූ බෝගයන් යොදාගෙන ඔහු විසින් පරීක්ෂාකර තිබේ. තවමත් වැඩසටහන ක‍්‍රියාත්මක වන්නේ ගොවි ක්ෂේත‍්‍ර ආදර්ශන මට්ටමේය. තාක්ෂණික යෙදවුම් පැකේජයක් වශයෙන් විධිමත් නිර්දේශයක් ලබා වාණිජ මට්ටමෙන් නිෂ්පාදකයෙක් වෙත යොමුකිරීමට ඉදිරියේදී හැකියාව ලැබෙනු ඇති බවට හෙතෙම සුභවාදී බලාපොරොත්තු තබාගෙන සිටී.

 රසායනික පොහොර භාවිතයේ සිදුවෙන අකටයුත්තක් ලෙස දැනට හඳුනාගෙන ඇති අනවශ්‍ය ලෙස අධික ප‍්‍රමාණයන් පරිසරයට මුදාහැරීම මේ ක‍්‍රමයේදී සිදුවන්නේ නැත. මිල අධික නිසාත්, ජල සැපයුම හරහා අවශ්‍ය තරමට පෝෂක බෙදාහරින නිසාත් සම්පත් භාවිතය පැත්තෙන් ගත් කළ ඇත්තේ උපරිම පිරිමැස්මකි. පෝෂක ස්වභාවික පසට හෙළන්නේද නැත. වගාව ඇත්තේ බොහෝවිට කොහුබත් වැනි නිර්පාංශු කෘතිම මාධ්‍යයකය. මේ අනුව බලන කළ ආචාර්ය කොඩිකාරගේ නව අනාවරණය හරිත කෘෂිකර්මාන්තය වෙතට යන ගමනේ එක මං සලකුණක් නිවැරදිව ස්පර්ශකර ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

 සනත් එම්. බණ්ඩාර
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment