පොලිස්පතිගේ අත්සන නැතුව ලියුම් නන්නත්තාරයි

164

සති දෙකක් තිස්සේ නව පොලිස්පතිවරයකු පත් කිරීමට රජය කටයුතු නොකිරීම නිසා පොලිස්පතිවරයාගේ අත්සන ලබාගත යුතු ලිපිගොනුවලින් පොලිස්පති කාර්යාලය පිරීගොස් ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම පොලිස්පතිවරයාගේ නියෝග ලබාගැනීමට නොහැකි වීම නිසා පොලිස් දෙපාර්තමේන්තුව තුළ දැඩි පරිපාලනමය ගැටලුවක් උද්ගත වී ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

පොලිස්පතිවරයකු නොමැතිව පොලිස් දෙපාර්තමේන්තුව මෙවැනි තත්ත්වයකට පත්වූ ඉතිහාසයේ මුල්ම අවස්ථාව මෙය බවද පොලිස් මූලස්ථානය පවසයි.

පොලිස්පතිවරයකු පත් නොකිරීම නිසා පොලිස් දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක කරන පරිපාලනමය කටයුතු, පොලිස් මාරු කිරීම්, ටෙන්ඩර් ලබා ගැනීම් මෙන්ම නියෝග ලබාදීම් කිරීමට නොහැකි වීම නිසා එම දෙපාර්තමේන්තුව මේ වන විට දැඩි අර්බුදයකට මුහුණදී ඇත. පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඉකුත් 25 වැනිදා විශ්‍රාම ගිය අතර 36 වැනි පොලිස්පතිවරයා ලෙස පත්වීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙක් සුදුසුකම් ලබා සිටිති. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරු ඒ සඳහා සුදුසුකම් ලබා සිටිති.

එහෙත් එම නිලධාරීන් තිදෙනා අතරින් එක් අයකු පත් කිරීම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියෙන් සිදුකළ යුතුව ඇතත් එම සභාව මීළඟට රැස්වන්නේ ලබන 18 වැනිදාය.

පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කියා සිටියේ, එසේ අලුතින් නව පොලිස්පතිවරයකු පත්කරන තුරු වැඩ ආවරණය කිරීම සඳහා පොලිස්පතිවරයකු පත් කිරීම ජනාධිපතිවරයාට සිදුකළ හැකි බවයි.

හේමන්ත රන්දුණු


advertistmentadvertistment