පොලිස් පැමිණිල්ලට උරණ වී කාන්තාවකට පොල්ලකින් ගහලා

241

පොලිසියට කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් උරණවී කාන්තාවකට පොල්ලකින් පහරදී තුවාල සිදු කළ සැකකරුවකු රිමාන්ඞ්භාරයේ තබන ලෙසට ගම්පහ මහෙස්ත‍්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියම කළේය.

කොටුගොඩ, ලෝතිලංගමුව ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන ගලගමුගේ උදේෂ් මධුසංක නමැති සැකකරුව මෙසේ රිමාන්ඞ්භාරයට පත් කෙරුණි.

සැකකරු පැමිණිලිකාරියගේ නිවස අසල පදිංචිකරුවෙකි. සැකකරු විසින් නිතර නිතර කරන හිරිහැර සම්බන්ධයෙන් පැමිණිලිකාරිය ගම්පහ පොලිසියට පැමිණිලි කර තිබේ.

එම පැමිණිල්ල විභාග කිරීම සඳහා පොලිස් නිලධාරීන් සැකකරුගේ නිවසට යෑම සම්බන්ධයෙන් උරණ වී ඇති සැකකරු පැමිණිලිකාරිය නිවස අසල ඇති වෙළෙඳසලකට ගොස් ආපසු නිවස වෙත යමින් සිටියදී තෝව අල්ලගන්න තමයි හිටියේ උඹ අපේ ගෙදරට බොරුවට පොලිසිය එවනවා යැයි පවසමින් වැටක තිබූ පොල්ලක් කඩාගෙන පහරදී ඇති බවට පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇතැයි පැමිණිල්ල මෙහෙයවමින් ගම්පහ පොලිසියේ කා. පො. ප. ප‍්‍රියදර්ශනී සේනාරත්න මහත්මිය අධිකරණය හමුවේ පවසා සිටියාය.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment