පොලිස් බැරියර්වලට මේ සමාජ පිපිරීම නතර කරන්න බෑ! – පාඨලී චම්පික රණවක

40

රාජ්‍ය සේවය රටට බරක් කළේ ඔය කියන අයම තමයි

රට අනුක‍්‍රමයෙන් සාගතයකට යනවා

අයවැයෙන් ජනතා ප‍්‍රශ්නවලට උත්තර දීලා නෑ

76 වැනි අයවැයත්, සමගි ජන බලවේගය සංවිධානය කළ ජනතා උද්ඝෝෂණයත් පසුගිය සතිය මෙරට ජන සමාජය උණුසුම් කළේය. අයවැයෙන් සැබෑ ජනතා ගැටලූ ආමන්ත‍්‍රණය කිරීමට රජය අසමත්වී ඇති බව විපක්ෂය චෝදනා කරන අතරතුර, ආණ්ඩුව පවසන්නේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ඉදිරිපත් කළ හැකි හොඳම අයවැය යෝජනා තමන් ඉදිරිපත් කර ඇති බවකි. විපක්ෂය මේ මොහොතේ ජනතාව නැවතත් කොරෝනා වසංගතයට බිලිදීම උදෙසා උද්ඝෝෂණ සංවිධානය කරමින් සිටින බවට ආණ්ඩුව චෝදනා කරද්දි, විපක්ෂය පවසනුයේ වසංගතය මුවාවෙන් ආණ්ඩුව මර්දනයකට සූදානම් වන බවකි. අයවැය සහ උද්ඝෝෂණ පිළිබඳ විමසීම සඳහා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා මුණගැසුණෙමු. මේ, ඒ මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවයි.

ප‍්‍රශ්නය:- විපක්ෂය මේ මොහොතේ රට පුරාම විවිධ උද්ඝෝෂණයන් සංවිධානය කරමින් ඉන්නව. ආණ්ඩුව විපක්ෂයට චෝදනා කරන්නෙ වසංගතය පැතිරවීමට කටයුතු කරනවා කියල. ඇත්තටම මොකක්ද මේ විපක්ෂය කරන්නේ…?

පිළිතුර:- 2006-2015 අතර යුද්ධය තිබුණු හා නොතිබුණු කාලයේ ගෝඨාභය රාජපක්ෂ යුද්ධය සහ ජාතික ආරක්ෂාව පාවිච්චි කළා දේශපාලන විරුද්ධවාදීන් පාලනයටයි, මාධ්‍ය මර්දනයටයි. අද ජනාධිපති වෙලා ඔහු අද වසංගතය ඒ වෙනුවෙන් පාවිච්චි කරනව. අද වසංගතය කියන එක දේශපාලන අවියක් කරගෙන තියෙන්නෙ. මේ දේශපාලන අවිකරණය නැත්නම් වසංගතය දේශපාලනය කිරීම තුළින් පොලිසියයි, රහස් පොලිසියයි දාගෙන දේශපාලන ක‍්‍රියාකාරීන් මැඬලනව. වෘත්තීය සමිති මැඬලනව. ඊළඟට මාධ්‍ය දඩයම් කරනව. ඒකෙ උච්චතම අවස්ථාව තමයි සමගි ජන බලවේගයේ උද්ඝෝෂණය නවත්වන්න ගත්ත ක‍්‍රියාමාර්ගය. ඒකට මිනිස්සු මුහුණ දුන්න. ඒකත් එක්ක කොළඹට විශාල ජනතාවක් ආව. ඒ නිසා ආණ්ඩුව පරාජයට පත්වුණා. දැන් ආණ්ඩුව හදනව උද්ඝෝෂණය සංවිධානය කරපු අයට නිරෝධායන නීතිය යටතේ දඬුවම් කරන්න. නිරෝධායන නීතිය ජනාධිපතිවරයාගෙ, අගමැතිවරයාගෙ රැස්වීම්වලට බලපාන්නෙ නෑ. විපක්ෂයේ හමුවීම්වලට විතරයි ඒක බලපාන්නෙ. බොහොම පැහැදිලිව පොලිස් නිලධාරීන්ට, රජයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ටත් කියනව ඒකපාර්ශ්වයීය විදිහට මේ නිරෝධායන නීතිය පාවිච්චි කිරීම ගැන අනාගතයෙදි වගකියන්න ලෑස්ති වෙන්න කියල.

ප‍්‍රශ්නය:- නමුත් තවමත් වසංගතය සම්පූර්ණයෙන් පහව ගිය පසුබිමක නෙමෙයි අප ඉන්නෙ. වසංගතයේ පාලනය හිතකර ආකාරයෙන් පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නෙ ජනතාව සෞඛ්‍ය නීති රීති හරියට පිළිපැදීමෙන් බව තමයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. එහෙම තැනකදී මෙවැනි උද්ඝෝෂණවලදී ජනතාව හැසිරෙන ආකාරය වසංගතය නැවත රට පුරා පැතිර යන්න හේතුවක් වෙන්නෙ නැද්ද?

පිළිතුර:- වසංගතය පැතිරීම සිදු කළේ අපි නෙමේ. ඇත්තටම සංචාරක අමාත්‍යාංශය තමයි ඒකෙ වගකීම ගන්න ඕන. ඩෙල්ටා ප‍්‍රභේදය රටට ආවෙ අපෙන් නෙමෙයි, සංචරකයන්ගෙන්. ඒ වගේම මේ රටට සංචාරකයො ගෙන්වද්දි ඔවුන්ට හරියට නිරෝධායන නීතිය ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කළේ නෑ. ඒ කාලයේ එන්නත දෙන්නෙ නැතිව 14000ක් මරල දැන් කියනව ගෑස් නැතිව පෝලිම්වල ඉන්න මිනිස්සුන්, කිරිපිටි නැතිව පෝලිම්වල ඉන්න මිනිස්සු රෝගය පතුරුවනව කියල. ඒ පෝලිම් ඇති කළේ කවුද? රට දැන් කොරෝනා වසංගතයට නෙමෙයි, රාජපක්ෂ වසංගතයටයි අහුවෙලා ඉන්නෙ. ඒකයි ප‍්‍රශ්නය.

ප‍්‍රශ්නය:- ඔබ කියන්නෙ මේ සජබයෙ ජන උද්ඝෝෂණය සාර්ථකයි කියලද?

පිළිතුර:- අනිවාර්යයෙන්ම, අපි රජයේ මර්දනය පරාජය කළා. ඒක රජයත් දන්නවා.

ප‍්‍රශ්නය:- එම උද්ඝෝෂණයෙන් අනතුරුව ඊළඟ පියවර මොකක්ද?

පිළිතුර:- අපි කියන්නෙ ජනතාවට නැගිටින්න කියල.

ප‍්‍රශ්නය:- ඒ කියන්නෙ ආණ්ඩුව පෙරළන්න අරගලයක් කරන්න කියලද?

පිළිතුර:- ජනතාවට තවත් බඩගින්නෙ ඉන්න බෑ. අනෙක් එක මේ පිරිස හොරකම් කරනව. පෝර ගේන්න ගියත්, එන්නත් ගේන්න ගියත්, සිමෙන්ති ගේන්න ගියත් හැම තැනින්ම ගසාකනව. ඒ නිසා ජනතාව මේ මොහාතෙ නැගිට්ටෙ නැත්නම් ඒ අය මළ ජනතාවක් වෙනව.

ප‍්‍රශ්නය:- ජනතාව ක‍්‍රියාකාරී බවට පත්කරන්න සජබයෙ සටන් පාඨ උත්තේජකයක්ද?

පිළිතුර:- රටේ ජනතාව තවම මැරිල නෑ. ජනතාව මරන්න පුළුවන් කියල තමයි මේ පාලකයො හිතන් ඉන්නෙ. එහෙම වෙන්නෙ නෑ. ජනතාව නැගිටිනව. ගුරු – විදුහල්පති අරගල, පොහොර උද්ඝෝෂණ ආදිය ඒකට උදාහරණ.

ප‍්‍රශ්නය:- අද ජීවන වියදම ඉහළ ගිහින්. ජනතාව කන්න බොන්නෙත් හරිම අමාරුවෙන්. ඒ අතරේ රට විශාල ණය කන්දක හිරවෙලා.

පිළිතුර:- අද වෙද්දි රට අනුක‍්‍රමයෙන් සාගතයක් කරා ගමන් කරමින් තියෙනව. පසුගියදා මම කැප්පෙටිපොළ, වැලිමඩ ආර්ථික මධ්‍යස්ථානයට ගියා. බෝංචි කිලෝව එතනම රුපියල් 400ක්. මේක ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ මිල ඉහළ ගිය නිසා ඇතිවුණු තත්ත්වයක් නෙමෙයි. අපේ පොලිසිය භාර ඇමැතිතුමා නම් කියන්නෙ ඒ ගංවතුර නිසා කියල. හැබැයි වැලිමඩ නම් ගංවතුර නෑ. ඒක හොයල බලන්න කියල මම එතුමට කියනව.

මම බොහොම පැහැදිලිව කියනව ඉදිරි 2022 මුල් මාස කිහිපය අතිශය තීරණාත්මකයි. බරපතළ ණය කීපයක් ගෙවන්න තියෙනව. ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් රජය ඉදිරිපත් කළ යුතුයි. නැත්නම් රට විශාල සමාජ අර්බුදයකට ගමන් කරනව. ඒක පුපුරා ගියොත් වීරසේකර මහත්තයගෙ පොලිස් බැරියර්වලට ඒ සමාජ පිපිරීම නතර කරන්න බැරිවෙයි.

ප‍්‍රශ්නය:- මෙවර අයවැයෙන් ජනතා ගැටලූ සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇති බව පේනවද?

පිළිතුර:- මේ අයවැයෙන් ජනතාව මේ මොහොතෙ මුහුණ දෙන එක මූලික ප‍්‍රශ්නයකටවත් පිළිතුරු ලබාදීල නෑ. අද තෙල් පිරිපහදුව නවත්වල. වාසනාවකට වර්ෂාව නිසා විදුලි අවශ්‍යතාවෙන් 80%ක් ජල විදුලියෙන් දෙන්න පුළුවන් වෙලා තියෙනව. මේ වෙද්දි ගල් අඟුරු සඳහා වන ක්ෂණික ටෙන්ඩරයට කවුරුවත් ඉදිරිපත් වෙලා නෑ. මේ තෙල් පිරිපහදුවෙ දාපු ටෙන්ඩර් 14කින් ප‍්‍රතිචාර තියෙන්නෙ එක ටෙන්ඩරයකට විතරයි. ඒ නිසා ඉදිරි කෙටි කාලයෙදි පිරිපහදුව නැවත ක‍්‍රියාත්මක වෙයි කියල හිතන්න බෑ. පිරිපහදුවත් එක්කම අනිවාර්යයෙන්ම තවත් මෙගාවොට් 320ක් බලාගාර වැඩ කරනව. මේ වැස්ස සති හයක් නතර වුණොත් ඊළඟ අර්බුදය තමයි තෙල් අර්බුදයත් එක්කම එන විදුලි අර්බුදය. 2022 අයවැයෙන් මේ කිසිම දේකට විසඳුමක් නෑ. ‘ඩොලර් නෑ… ඩොලර් නෑ…’ කිව්වට ඩොලර් උපයන වැඩපිළිවෙළක් ලබාදීල නෑ.

ප‍්‍රශ්නය:- මේ අයවැය සූර සරදියෙල් පන්නයේ අයවැයක් විදිහට තමයි ආණ්ඩු පක්ෂයේ ඇතැමුන් හඳුන්වන්නේ…

පිළිතුර:- මේක සූර සරදියෙල් අයවැයක් නෙමෙයි. මේක ‘හූර සරදියෙල් අයවැයක්’. ඒ කියන්නෙ ජනතාව හූරන් කාලා, ජනතාවගේ බඩගින්න, දුක්ගින්න ජනතාවගේ කෝපගින්න වැඩිකරන යොදාගත්ත අයවැයක්.

ප‍්‍රශ්නය:- එදා පාර්ලිමේන්තුවෙදි පැවැසූ කාරණයක් තමයි මේ ආණ්ඩුවට යහපාලන ආණ්ඩුව ගත් ණය ගෙවන්නත් වෙලා තියෙන බව…

පිළිතුර:- යහපාලන ආණ්ඩුව එදා ඩොලර් බිලියන 7.2ක් ඉතුරු කරල ගියා. ඒක නොවෙන්න මේ රට මෙලහකට බංකොලොත් වෙලා ඉවරයි. ඒ වගේම මේ රජය ආවට පස්සෙ මාස 18ට අරන් තියෙන ණය කන්දරාවෙ තරම තමයි රුපියල් බිලියන 3740ක්. ඒ මුදල්වලින් කළේ මොනවද? ඒවායින් කළ සංවර්ධන ව්‍යාපෘති මොනවද කියල දැනගන්න අපි කැමැතියි.

ප‍්‍රශ්නය:- මෙරට ආණ්ඩු මුහුණදෙන විශාල ගැටලූවක් තමයි රාජ්‍ය ආදායම් අඩුවීම. ඒ ගැන අවධානය යොමුකරමින් නව බදු හඳුන්වාදීමට කටයුතු කර තියෙන බව මුදල් ඇමැතිවරයා අයවැය කතාවෙදි කිව්ව. මේ නව බදු හඳුන්වාදීම් ගැන මොන වගේ අදහසක් තියෙන්නේ…

පිළිතුර:- මීට පෙර තිබුණු උපයන විට අයකරන බදු වෙනුවට බොහොම වාද විවාද මැද්දෙ තමයි එදා වැට් බද්ද ගෙනාවෙ. දැන් නැවතත් මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට මේ උපයන විට අය කරන බද්ද හඳුන්වාදීල තියෙනව. ඉහළ ගනයේ ව්‍යාපාරිකයන්ට හඳුන්වා දී තියෙනව. අපි ඕක වෙන බව කිව්ව. 2019 දෙසැම්බර් 1දා රටේ ඉහළම ධන කුවේරයන්ට ඉහළම බදු සහනයක් ලබාදීල, ආණ්ඩුවේ ආදායමෙන් 40%ක් අඩුකර ගනිද්දි ඒකෙ ප‍්‍රතිඵලය අනිවාර්යයෙන්ම රට බංකොලොත්භාවයට පත්වීමයි කියල.

ගිය පාර අයවැය කියවද්දි කිව්ව රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2000කට ආසන්න ප‍්‍රමාණයක් තියෙන බව. හැබැයි මේ පාර අයවැයෙන් කියනව ඒ ආදායම රුපියල් බිලියන 1500යි කියල. අද කියනව ටි‍්‍රලියන 2.1ක ආදායමක් අනාගතයෙදි එනව කියල. නමුත් මම කියනව ලබන වසරේ දෙසැම්බර් වෙද්දි ආණ්ඩුව තිබුණොත් අපට දැනගන්න පුළුවන්වෙයි ඒක කිසිදා යථාර්ථවාදීව ළංවෙන්න පුළුවන් ඉලක්කයක් නෙමෙයි කියල. මොකද 45%ක ආදායම් වර්ධනයක් අපට ලබාගන්න බෑ. මේ ඉදිරිපත් කරල තියෙන බදුවලින් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 333යි. නමුත් බිලියන 800ක් හොයන්න ඕන ඔය කියන ආදායම ලබාගන්න නම්.

මේ ජනාධිපතිවරයා ආවෙ වැඩ කරන විරුව කියල. හැබැයි 2020යි 2021යි ප‍්‍රාග්ධන වියදම් එකතු කළත් 2019 යහපාලන ආණ්ඩුවෙ වෙච්ච බිලියන 900කට කිට්ටු කරල නෑ. මේ අවුරුද්දෙ ටි‍්‍රලියනයකට කිට්ටු වියදමක් දාල තියෙනව. ඒකත් කිසිම යථාර්ථවාදී ඉලක්කමක් නොවන බව කියන්න ඕන.

මේ රජය යටතෙ ඉතාම භයානක තත්ත්වයකට මේ රටේ බැංකු පද්ධතිය පත්කර තියෙනව. ලංකා බැංකු, මහජන බැංකු ඩොලර් සංචිතවලින් ඒ අයගෙ විදේශ වත්කම් ප‍්‍රමාණය සෘණ ඩොලර් බිලියන 3 දක්වා පහළ වැටිල තියෙනව. ඒ වගේම ආණ්ඩුවට ණය දීල, ආණ්ඩුව විවිධ රාජ්‍ය ආයතන හරහා ණය අරගෙන අද ඒ ගිණුම්කරුවන්ගෙන් රුපියල් බිලියන 2000කට වඩා රාජ්‍ය බැංකු බර කරල තියෙනව. ඒ අතරට අලූත් වැට් බද්දකුත් ගෙනල්ල බැංකු පද්ධතිය අමාරුවෙ දාල තියෙනව. ඒ නිසා බැංකු පද්ධතියේ අනාගත කඩාවැටීමට මේ ආණ්ඩුව වගකිව යුතුයි.

ප‍්‍රශ්නය:- රාජ්‍ය සේවය රටට බරක් බව මුදල් ඇමැතිවරයා පසුගිය දවසක සඳහන් කළා. ඔබ මොකක්ද මේ රාජ්‍ය සේවය ගැන හිතන්නේ…?

පිළිතුර:- 2006 මෙරට රාජ්‍ය සේවයේ හිටියෙ 750,284යි. අද රාජ්‍ය සේවයේ ඉන්න සංඛ්‍යාව 11,95,803ක්. ඔය කාලය ඇතුළෙ ලක්ෂ තුනට ආසන්න ප‍්‍රමාණයන් විශ‍්‍රාම ගිහින් තියෙනව. ඒ අනුව ලක්ෂ හතකට ආසන්න ප‍්‍රමාණයකින් මේ කාලය ඇතුළත අලූතෙන් රාජ්‍ය බඳවා ගැනීම් කරල තියෙනව. ඒ රාජ්‍ය බඳවා ගැනීම්වලින් 86%ක්ම මේ මුදල් ඇමැතිවරයත් හිටපු ආණ්ඩුවකින් තමයි කරල තියෙන්නෙ. 2020 විතරක් 55000ක් රාජ්‍ය සේවයට ඇතුල් කළා. දැන් කියනව රාජ්‍ය සේවය බරක්, රාජ්‍ය සේවය අකාර්යක්ෂමයි කියල. ඇත්තටම අද මේ රටට තියෙන ලොකුම බර රාජ්‍ය සේවය නෙමෙයි, රාජපක්ෂ පවුල් පාලනය.

ප‍්‍රශ්නය:- මේ අයවැයෙන් ග‍්‍රාමීය ආර්ථිකය නංවන්න, සෑම ග‍්‍රාමසේවා වසමකට රුපියල් ලක්ෂ 30 බැගින් වෙන්කරල තියෙනව. එමගින් ග‍්‍රාමීය ආර්ථිකය නංවාලිය හැකි බව ඔබ සිතනවද?

පිළිතුර:- රටේ ඇතිවී තියෙන මූල්‍ය අර්බුදය ආර්ථික අර්බුදයක් බවට පත්වෙමින් අනුක‍්‍රමයෙන් රට බංකොලොත්භාවයේ ඉමකරා යන මොහොතක තමයි අපි ඉන්නෙ. මේකට විසඳුමක් හොයාගන්න මේ පාර්ලිමේන්තුවත් සමත් විය යුතුයි. මුදල් ඇමැතිවරයා හෝ ආණ්ඩුවට මේ රට බංකොලොත්භාවයට ගමන්කිරීම වැළැක්වීමට වැඩපිළිවෙළක් නෑ. විශේෂයෙන් තමන්ගේ පක්ෂයේ පහළ මට්ටමේ ඉන්න ක‍්‍රියාකාරීන්, ජාවාරම්කාරයන් සනසවන්න, ග‍්‍රාමසේවක වසමකට ලක්ෂ 30ක් දුන්න කියල ප‍්‍රාදේශීය කොට්ඨාසවලට ලක්ෂ 40ක් දුන්න කියල රටේ තියෙන මේ දැවැන්ත මහා පරිමාණ ආර්ථික අර්බුදය හරි මූල්‍ය අර්බුදය හරි විසඳෙන්නෙ නෑ. මේක සුසිල් පේ‍්‍රමජයන්ත මහත්තයත් කිව්ව. මේ වගේ චූටි චූටි වැඩවලින් සාර්ව ප‍්‍රශ්නය විසඳෙන්නෙ නෑ.

ප‍්‍රශ්නය:- පසුගිය සමයෙ මේ රටේ ඇතිවුණු සංවර්ධන ව්‍යාපෘති මෙරට ආර්ථික වෘද්ධියට මේ මොහොතේ කිනම් දායකත්වයක්ද ලබාදෙන්නේ…

පිළිතුර:- බැසිල් මුදල් ඇමැතිවරය නැවත වතාවක් පංච බල කේන්ද්‍රය ඉදිරිපත් කළා. මම තමයි 2010දි ඔය අදහස මහින්ද රාජපක්ෂ මහත්තයගෙ මැතිවරණ ප‍්‍රකාශනයට ඉදිරිපත් කළේ. ලංකාවෙ පිහිටීමත්, ලංකාවෙ ජනතාවගේ දැනුමත් පදනම් කරගෙන ලංකාවෙ ඊළඟ ආර්ථික පිම්ම ගැනීමට පංචබල කේන්ද්‍රයක් එදා මහින්ද රාජපක්ෂ මහත්තයගෙ මැතිවරණ ප‍්‍රකාශනයේ ඇතුළත් කළා. දැන් අවුරුදු 11කට පස්සෙ ආයෙත් ඒ ටික එහෙම්ම මුදල් ඇමැතිතුමා ප‍්‍රකාශ කරනව.

කොහොම වුණත් මේ රාජ්‍ය ණය වැඩිවෙන්න ප‍්‍රධාන වශයෙන්ම වගකිවයුත්තේ 2000 ඉඳන් 2015ට වාණිජ ණය අරන් ඒ වාණිජ ණයවලින් ආදායම් ඉපදවෙන්නෙ නැති දැවැන්ත ව්‍යාපෘතිවල දාල, ඒ දැවැන්ත ව්‍යාපෘතිවලින් සැබෑ ඉංජිනේරු ඇස්තමේන්තුව වගේ 400%ක් 2000%ක් වගේ ඒවාට තබපු අධික බර. මට මතකයි එදා ඒ9 මාර්ගය හදද්දි සැබෑ ඇස්තමේන්තුව වගේ 4 ගුණයකට වැඩියෙන් තමයි චීනයේ කැටික් සමාගමට ලබාදුන්නෙ. ඒ වගේම යාල්දේවි දුම්රිය මාර්ගය හදන්න සැබෑ ඇස්තමේන්තුව වගේ 400ක ගුණයකට තමයි ඉර්කෝන් කියන ඉන්දියානු සමාගමට ලබාදෙන්නෙ. ඒ වගේම අධිවේගී මාර්ගවලින් විශේෂයෙන්ම කඩවත -කෙරවලපිටිය පාරට ඇත්තටම වැය විය යුතුව වගේ විසි ගුණයක් වැඩියෙන් වැයකළා. දැනුත් කරන්නෙ ඒක තමයි. අපි විසින් සියයට 0.1% පොලියට ගෙනාපු සැහැල්ලූ දුම්රිය සේවය නතර කරල, අලූතෙන් වැඩපිළිවෙළක් ගෙනාව පාරක් දානව කියල දෙමටගොඩ ඉඳල අතුරුගිරියට. ඒක ඇත්ත ගාණ ඩොලර් මිලියන 475යි. හැබැයි අපිට අවුරුදු 15කින් ගෙවන්න වෙනව ඩොලර් මිලියන 1620ක්. මෙවැනි ගසාකෑම් නිසා තමයි රට ආර්ථික වශයෙන් අර්බුදයකට යන්නෙ. අපි ගෙනාපු ඩොලර් මිලියන 2.2 ව්‍යාපෘතිය තිබුණ නම් ඩොලර් මිලියන 600 ගාණෙ මේ වෙද්දි රට ඇතුළට ඇතුල්වෙනව. ඒත් ඒක නවත්වල මේ ජාවාරම්කාර ව්‍යාපෘතියට ගිහින් තියෙනව. හැබැයි තාමත් එක කළු ගලක්වත් තියාගන්න බැරිවෙලා තියෙනව.

අද හදල තියෙන ඇතැම් අධිවේගී මාර්ගවලින් ආර්ථිකයක් ක‍්‍රියාත්මක වෙන්නෙ නෑ, ගුවන්තොටුපළවලින් ආර්ථිකයක් ක‍්‍රියාත්මක වෙන්නෙ නෑ.

ක‍්‍රීඩාංගනවලින්, ඇවිදින මංතීරුවලින්, වරායවලින් ආදායමක් ඉපදවෙන්නෙ නෑ. එදා දක්ෂිණ අධිවේගී මාර්ගය හදපු වෙලාවෙ කිව්ව දැන් අපිට කිරිපැණි ගේන්න පුළුවන්, ඇඹුල් තියල් ගේන්න පුළුවන්, දොදොල් ගේන්න පුළුවන් කියල බොහොම උජාරුවෙන්. ඒ අධිවේගී මාර්ගවලට යටකරපු අධික මුදල් කන්දරාව නිසා තමයි කිරි පැණි කන්න මාතර යන්න හිතපු අය අද කිරිපිටි පෝලිම්වල ලැගල ඉන්නෙ. ඒ වගේම ඇඹුල්තියල් කන්න ගිය අපට අද භූමිතෙල්, ගෑස් පෝලිම්වල ළගින්න වෙලා. මේ අර්බුදයෙන් රට ගොඩගන්න වැඩපිළිවෙළක් අපට අවශ්‍යයි. ඒකට උගත් බුද්ධිමත් රටට ආදරය කරන පිරිසකගෙ මැදිහත්වීමක් අවශ්‍යයි.

සාකච්ඡා කළේ-
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment