පොලිස් වෙඩි පහරින් මියගිය පාතාල දෙදෙනාගේ මළසිරුරු ඥාතීහු භාර ගනිති

399

මිනුවන්ගොඩ ,පොල්වත්ත, ජාපාල රබර් වත්ත ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ගේ වෙඩි පහරින් මිය ගිය පාතාල සාමාජිකයන් දෙදෙනාගේ මළ සිරුරු දෙක භූමදානය කිරීම සඳහා ඥාතීන් විසින් භාර ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

එම මරණ සම්බන්ධයෙන් මිනුවන්ගොඩ දිසාවිනිසුරු හේශාන්ත ද මෙල් මහතා මහෙස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස ගම්පහ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත නියෝග කර තිබුණි.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ළඟම ඥාතීන් වෙත මළසිරුරු භාරදෙන ලෙසට ද අධිකරණයෙන් ගම්පහ රෝහල වෙත නියෝගයක් නිකුත් කර තිබුණි. අධිකරණ නියෝග මත ගම්පහ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ .එම් .ටී .බී. ගුණතිලක මහතා 20 වැනිදා එම මළ සිරුරු දෙක සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ බව පොලිසිය කීය. වෙඩි වැදීම හේතුවෙන් සිදු වූ බරපතළ තුවාල එම මරණ වලට හේතු වී ඇතැයි කෙටි වෛද්‍ය වාර්තාවේ සඳහන් වේ. වෙඩි වැදීමෙන් මිය ගිය ගාල්ල, පෝද්දල, වල්පිට උතුර පදිංචි 37 හැවිරිදි හේවාවසම් ගමගේ දිලුක හෙවත් මුලා යන මරණකරුගේ මළසිරුර එම මරණකරුගේ බිරිඳ විසින් ගම්පහ මහ රෝහලේ දී භාරගෙන තිබුණි. එම මරණකරු දෙදරු පියෙක් බවට ද සඳහන් විය.

ගාල්ල ,පෝද්දල, මුලන පදිංචි 34 හැවිරිදි පැටිකිරිය ආරච්චිගේ මිලාන් කෝසල හෙවත් ජුන්ඩා යන මරණකරුගේ මළසිරුර එම මරණකරුගේ පියා වන පැටිකිරිය ආරච්චිගේ කරුණාරත්න යන අය භාරගෙන තිබුණි. එම සැකකරු අවිවාහක පුද්ගලයකු බවට ද සඳහන් විය. ගාල්ල, යක්කලමුල්ල ප්‍රදේශයේ දී කුරුඳු වාඩියක සිටි පියකු සහ ඔහුගේ කුඩා පුතුව වෙඩි තබා ඝාතනය කිරීම , ගාල්ල , ඌරගහ ප්‍රදේශයේ දී සැලුන් එකක සිටි පුද්ගලයකු ඝාතනය කිරීම , කොල්ලකෑම සහ හෙරොයින් ජාවාරම් කිරීම යන චෝදනාවන් මරණකරුවන් දෙදෙනාට ගොනු වී ඇති බව පොලිසිය පවසයි.

යම් අපරාධයක් සිදු කිරීම සඳහා මිනුවන්ගොඩ ,ජාපාලවත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසක කාමරයක් තුළ සිටිය දී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමග ඇතිවූ වෙඩි හුවමාරුවකදී පාතාල සාමාජික මරණකරුවන් දෙදෙනා ඉකුත් 18 වැනිදා වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගොස් තිබුණි. එම මරණ දෙක සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය ලබන 30වැනිදාට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment