පොලිසියට පැමිණ යද්දී යතුරුපැදියකින් ලුහුබැඳ – අම්බලන්ගොඩදී අඹු-සැමි යුවළ ඝාතනය කරති

508

මත්කුඩු චෝදනාවකට කූඩුවේ සිටි දෙදෙනෙක්
ඝාතනය පසුපස සමන් කොල්ලා?

අම්බලන්ගොඩ පොලිසියට පැමිණ යතුරු පැදියකින් නැවත යමින් සිටි අඹු – සැමි යුවළක් පසුපස තවත් යතුරුපැදියකින් ලුහුබැඳ පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් ඊයේ (10දා) මහ දවල් ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඔවුන් දෙදෙනා ඝාතනය කර පලාගොස් ඇත.

මෙසේ මරුමුවට පත්ව ඇත්තේ අම්බලන්ගොඩ කුලීගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි හේවාවසම් රංජන් (46) සහ මල්ලිකා ශාන්ති (46) නමැති අඹු – සැමි යුවළකි.

මියගිය යුවළ පොලිසියට පැමිණ නැවත යමින් සිටියදී අම්බලන්ගොඩ ඌරවත්ත ප්‍රදේශයේදී වෙඩි තැබීම සිදුකර ඇති අතර මෙම ඝාතනය අම්බලන්ගොඩ ‘සමන් කොල්ලා’ නමැති පාතාල සාමාජිකයාගේ මෙහෙයවීමෙන් සිදුවී ඇතැයි පොලිසිය සැකකරයි. ඒ මියගිය පුද්ගලයා සහ සමන් කොල්ලා අතර ආරාවුලක් තිබී ඇති බවට පොලිසියට තොරතුරු ලැබීම නිසාය.

මියගිය දෙදෙනා මත්ද්‍රව්‍ය චෝදනා එල්ලවී බන්ධනාගාරගතව සිට ඇප මත පැමිණි අය වෙති. වෙඩි තැබීමට හේතුව සහ වෙඩි තැබීම සිදුකළේ කවුරුන් ද යන්න සොයා ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

වෙඩි තැබූ සැකකරුවන් පලා යන ආකාරය සහ සැකකරුවන් පැමිණෙන ආකාරය සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන ද උපයෝගි කරගෙන පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. අම්බලන්ගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ගීගනගේ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පතිරණ මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරති.

හේමන්ත රන්දුණු, චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment