පොලිසියට හිතෙන හිතෙන විදිහට ගහන්න පුළුවන්ද?

94

● හමුදාවත් – පොලිසියත් තත්ත්වයේ නීත්‍යානුකූල බව සහ නියෝග ගැන අවබෝධයෙන් සිටිය යුතුයි.

● නියෝග දුන් අය පැත්තක නෑ! ක්‍රියාත්මක කළ අය අවුරුදු ගණන් උසාවි ගානේ රස්තියාදු වේ.

මේ දිනවල මුළු රටම එකම ගිනි ජාලාවක් බවට පත්වෙමින් තිබෙනවා. දැනට මාස කිහිපයකට පෙර ආරම්භ වූ විදුලි අර්බුදය ගෑස් සහ ඉන්ධන සැපයීම අඩාල වීම, එදිනෙදා අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වල හිඟකම සහ අධික ලෙස මිල වැඩිවීම වැනි කරුණු මෙම ගිනි ජාලාව වඩාත් තීව්‍ර කිරීමට එක් කරන ලද ඉන්ධන බවට පත් වී තිබෙනවා. මෙම සිදුවීම් මාලාවට සමගාමීව මහජන විරෝධතා තැන්තැන්වල ආරම්භ වූ අතර විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙන්ම සිවිල් සංවිධාන ද මෙම උද්ඝෝෂණ වලට නායකත්වය දීමට මුල් වී සිටියත් ක්‍රමයෙන් එම තත්ත්වය වෙනස් වෙමින් අද වන විට පක්ෂ පාට ජාති ආගම් භේදයකින් තොරව බහුතරයක් වූ සිවිල් පුරවැසියන් පවතින රජයට එරෙහිව එළිපිටම විරෝධතාවය ප්‍රදර්ශනය කිරීමේ තත්ත්වයක් නිරීක්ෂණය වන අතර බහුතරයක් ජනතාව අද වනවිට වීදි සටන්වලට පවා අවතීර්ණ වී සිටිනවා. මෙම විරෝධතාවල කූටප්‍රාප්තිය ලෙස පසුගිය 31 වන දින නුගේගොඩ ජුබිලි කණුව ප්‍රදේශය ආසන්නයේ මහජනතාව විසින් ආරම්භ කරන ලද සාමාන්‍ය විරෝධතාවයක් ඉතා සුළු වේලාවක් ඇතුළත මහා ජන සමූහයක් බවට පත්ව ජුබිලි කණුව ප්‍රදේශය ආසන්නයේම පිහිටා තිබෙන වර්තමා ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස වට කිරීම දක්වා ව්‍යාප්ත වූ අතර මෙම සිද්ධීන් අවසන් වූයේ එම තත්ත්වය මැඩපැවැත්වීම සඳහා පැමිණි හමුදා භටයන් ප්‍රවාහනය කරන ලද බස් රථයකට සහ පොලිස් ජීප් රථයක් ඇතුළු ත්‍රිරෝද රථ කීපයකට ගිනි තැබීමෙන් සහ සිවිල් පුරවැසියන් මෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයන් ද සියයකට වැඩි පිරිසක් තුවාල ලැබීමෙනුයි.

මෙම සිද්ධීන්වලට සම්බන්ධ බවට සැක කෙරුණු සිවිල් පුද්ගලයන් 58 දෙනෙකු මුල් අවස්ථාවේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඉන් 28 දෙනෙකු නීති විරෝධී ජන රාශියකට ඇතුළත්ව පොදු දේපළ විනාශ කිරීමේ චෝදනාව මත අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා. එම පිරිස අතරින් හයදෙනකු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසට පොලිසිය කළ ඉල්ලීම් අනුව එම පුද්ගලයන් හය දෙනා උගත් මහෙස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර ඉතිරි සැකකරුවන් විසි දෙදෙනා ඇප මත මුදාහැරීමට උගත් මහෙස්ත්‍රාත්තුමා තීරණය කරනු ලැබුවා. මහෙස්ත්‍රාත්තුමා මෙම ඇප දීමේ තීරණය ගනු ලැබුවේ අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ සැකකරුවන් සියලුම දෙනා දින දාහතරක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පැමිණිල්ල වෙනුවෙන් රජය වෙනුවෙන් පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් මෙන්ම පොලිස් නිලධාරීන්ද විසින් කරන ලද ඉල්ලීම ඉවත දමමිනුයි. මෙම සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥයන් 6 දෙනෙකු ඇතුළු නීතිඥයන් තුන්සියයකට ආසන්න සංඛ්‍යාවක් අධිකරණය හමුවේ ස්වෙච්ඡාවෙන්ම පෙනී සිටි අතර ඉතිහාසයේ ප්‍රථම වතාවට නීතිඥයන්ගේ අත්පොළසන් මැද අධිකරණ ශාලාවට පිවිසීමේ අවස්ථාව ලද එකම සැකකරුවන් කණ්ඩායමක් ලෙස මෙම පිරිස හඳුන්වා දීම නිවැරදි බවයි මගේ අදහස. අයුතු ජනරාශියකට ඇතුළත්ව පොදු දේපළ විනාශ කිරීමේ චෝදනා යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද සැකකරුවන්ට ඇප ලබා දීම සාමාන්‍ය වශයෙන් සිදුවන්නක් නොවේ. එහෙත් විශේෂ අවස්ථාවක් ලෙස සලකා මෙම සැකකරුවන්ට ඇප ලබා දීමට මහෙස්ත්‍රාත්තුමා විසින් ගනු ලැබූ තීරණය ඉතා නිවැරදි බවයි නීති ක්ෂේත්‍රයට සම්බන්ධ බහුතරයකගේ මතය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් මෙම සිද්ධියට අදාළව අධිකරණය වෙත ඉදිරිපත් කළ මූලික තර්ක දෙකක් තිබුණා. ඉන් ප්‍රධානම තර්කය වුණේ සැකකරුවන් සම්බන්ධව පොලිසිය අධිකරණයට ඉදිරිපත් කරන ලද මුල් බී වාර්තාව නීතියට අනුව අසම්පූර්ණ එකක් බැවින් එම කරුණු පදනම් කරගෙන සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගතකිරීම ඔවුනට සිදු කෙරෙන බලවත් අසාධාරණයක් බවයි. 1966 වර්ෂයේ නව නීති වාර්තාවක් ලෙස නෛතික පද්ධතියට එක්ව ඇති “ජයසිංහට එරෙහිව රජය” නව නීති වාර්තාවේ මෙම තත්ත්වය ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා. එනම් යම් සැකකරුවකු හෝ සැකකරුවන් අපරාධ චෝදනාවන් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන විට එම සිද්ධියට අදාළව සැකකරුවන්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධව පොලිස් විමර්ශනයට ලක් වූ සියලුම සාක්ෂිවල සම්පිණ්ඩනයක් එම බී වාර්තාවට ඇතුළත් විය යුතු බව සහ එම කරුණු නීතිමය විශ්ලේෂණයකට භාජනය කර සැකකරුවන් සම්බන්ධව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ගය අධිකරණය විසින් තීරණය කළ යුතු බවයි. මෙම බී වාර්තාව අපරාධයට සම්බන්ධව සැකකරුවන්ගේ දායකත්වය වෙන් වෙන් වශයෙන් පිළිබිඹු කරන කැඩපතක් විය යුතු අතර එසේ නොවන අසම්පූර්ණ අවස්ථාවල සැකකරුවන්ට ඇප ලබාදීම හෝ ඔවුන් නිදහස් කිරීමේ තීරණයට එළඹීමේ අයිතිය අධිකරණය සතු වන බවයි.

මෙවැනි අවස්ථාවක මහෙස්ත්‍රාත්වරයෙකුගේ කාර්යභාරය කෙසේ විය යුතුද යන්න මැක්සිමස් ඩැනීට එරෙහිව පොලිස් පරීක්ෂක සිරිනිමල ද සිල්වා නඩුවේදී හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මැතිනිය විසින් ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා. එම නඩු තීන්දුවේ දක්වා ඇත්තේ සැකකරුවන් සම්බන්ධව පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලබන වාර්තා ඒ ආකාරයෙන්ම සැලකිල්ලට ගෙන සැකකරුවන්ට එරෙහිව ක්‍රියා කිරීමේ තත්ත්වයට මහෙස්ත්‍රාත්වරුන් පත් නොවිය යුතු බවත් මහෙස්ත්‍රාත්වරයා යනු හුදෙක් රබර් මුද්‍රාවක් නොවිය යුතු බවත් එම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා. එබැවින් මෙම සැකකරුවන් විසි දෙදෙනා සම්බන්ධව උගත් මහෙස්ත්‍රාත්තුමා ක්‍රියා කර ඇති ආකාරය ඉතා නිවැරදි වන අතර විධායකය මෙන්ම ව්‍යවස්ථාදායකය ද පිස්සු නටන විට අවම වශයෙන් රාජ්‍ය පාලනය ඉතිරි ප්‍රධාන පාලකයා වන අධිකරණය මෙසේ විචාරශීලීව බුද්ධිමත්ව කටයුතු කිරීම මෙරට සිවිල් පුරවැසියන් ලද විශාල ජයග්‍රහණයක් ලෙස සැලකිය යුතුයි.

මෙවැනි මහජන කැළඹීම් සිදුවන වකවානුවල පොලිස් නිලධාරින් වෙත පැවරෙන වගකීමද අසීමිතයි. ප්‍රථමයෙන්ම පොලිස් නිලධාරීන් ලෙස අප රටේ ජනතාව ආරක්ෂා කිරීමට බැඳී සිටින බව අමතක කළ යුතු නැහැ. ඒ වගේම පොලිස් නිලධාරීන් ලෙස අප ක්‍රියාත්මක කරන සියලු විධානයන් නෛතික විය යුතු බවත් අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට පොලිස් හෝ හමුදා නිලධාරීන් කිසිවකු නීතියෙන් බැඳී නොසිටින බව දේශීය මෙන්ම ජාත්‍යන්තර නඩු තීන්දු වලින් මනාව ඔප්පු කර තිබෙනවා.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව එම යුද්ධයට මුල් වූ ජර්මානු හමුදා නිලධාරීන්ට එරෙහිව ජර්මනියේ නියුරන්බර්ග් නුවර ආරම්භ වූ ඓතිහාසික අධිකරණ ක්‍රියාවලිය තුළ ලබා දෙන ලද නඩු තීන්දුව ඉතා සුවිශේෂ තීන්දුවක් ලෙස සැලකිය යුතුයි. මෙම අධිකරණ ක්‍රියාවලියේදී යුද අපරාධයන්ට සම්බන්ධ බවට චෝදනා ලද බහුතරයක් ජර්මානු හමුදා නිලධාරින් සිය විත්තිවාචික ලෙස දන්වා සිටියේය. තම රටේ නායකයා ලෙස කටයුතු කළ ඇඩෝල්ෆ් හිට්ලර් විසින් ජර්මානු පාර්ලිමේන්තුව තුළින් සම්මත කරගත් නීති අණපනත් වලට අනුව තමන් කටයුතු කළ බවත් බොහෝ අවස්ථාවලදී තමන් සිදු කළ ක්‍රියාකාරකම් ඇඩොල්ෆ් හිට්ලර් හෝ ඔහුට සම්බන්ධ ඉහළ විධානයන් විසින් ලබාදෙන ලද ඒවා බැවින් හමුදා නීතියට අනුව එම නියෝග ක්‍රියාත්මක කිරීමට තමන් බැඳී සිටි බවත්, එබැවින් තමන් විසින් සිදුකරන ලද බවට චෝදනා නැගෙන යුද අපරාධ තමන්ගේ හෘද සාක්ෂියට එකඟව සිදුකරන ලද ඒවා නොවන බැවින් තමන් නිදහස් කරන ලෙසයි. එසේම එම නියෝග පාලනය කිරීමේ හැකියාව තමන් සතුව නොතිබූ බවත් ඔවුන් අධිකරණය වෙත දන්වා සිටියා. එහෙත් මෙම විත්තිවාචිකය නියුරන්බර්ග් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලද අතර එම විනිශ්චකාරවරුන් සිය තීන්දුවේ සඳහන් කළේ නායකත්වය කුමන නියෝග නිකුත් කළ ද ඒවා නිවැරදි සහ නීතියට එකඟව ක්‍රියා කළ යුතු ඒවා බැවින් වැරදි සහ අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට කිසිවෙකු නීතියෙන් බැඳී නොමැති බවයි.

1971 කැරැල්ල සමයේදී කතරගම පුදබිමේ දී යුද හමුදාව විසින් වෙඩි තබා ඝාතනය කරන ලද ප්‍රේමවතී මනම්පේරි තරුණිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව පසුව පැවති මහාධිකරණ නඩු විභාගයේ දී ද මෙම තත්ත්වය වැඩිදුරටත් හෙළිදරව් වුණා. මෙම සිද්ධියේදී ප්‍රේමවතී මනම්පේරිට වෙඩි තබන ලද මගේ මතකය හැටියට ලාන්ස් කෝප්‍රල් තිලකරත්න විත්තිකරුවකු ලෙස සිය විත්තිවාචකය ලෙස දන්වා සිටියේ යුද හමුදාවෙ ඉතා කනිෂ්ඨ නිලධාරියකු වූ තමා උසස් නිලධාරියා වූ ලෙප්ටිනන්ට් විජේසූරිය විසින් දෙනු ලැබූ නියෝගය ප්‍රකාරව ඔහු ප්‍රේමවතී මනම්පේරි තරුණියට වෙඩි තබා ඝාතනය කළ බවයි. එහෙත් නියුරංබර්ග් නඩු තීන්දුව සිහිපත් කරමින් උගත් මහාධිකරණ විනිසුරුතුමා සිය තීන්දුවේ දක්වා සිටියේ අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට කිසිදු රජයේ නිලධාරියෙකු නීතියෙන් බැඳී නොසිටින බවයි.

එබැවින් මහජන උද්ඝෝෂණ වීදි විරෝධතා මුළු රටපුරා ක්‍රියාත්මක වන මෙවැනි වකවානුවක පොලිස් හා හමුදා නිලධාරීන් ලෙස තමන් වෙත ලැබෙන නියෝගවල නීත්‍යානුකූලභාවය ගැන මනා අවබෝධයකින් යුතුව ඒවා ක්‍රියාත්මක කළ යුතුව පවතිනවා. එයට ප්‍රධානම හේතුව වන්නේ එම නියෝගවල අනීතිකභාවය පරීක්ෂාවට ලක් කෙරෙන වකවානුවල බොහෝ විට එම නියෝග ලබා දුන් පිරිස මේ රටේවත් නොසිටින තත්ත්වයක් උද්ගත විය හැකි බැවින් සහ එම පරීක්ෂණයන්ට තනිව මුහුණ දීමට ඒවා ක්‍රියාත්මක කළ පොලිස් සහ හමුදා නිලධාරීන්ට සිදුවන බැවිනුයි. මෙම තත්ත්වය 1971 කැරැල්ල අවසානයේදී මෙන්ම 1988 – 89 භීෂණ සමය අවසානයේදී ද උතුරේ යුද කලාපය තුළ සිදු වූ යම් යම් සිද්ධීන් සම්බන්ධව ද සිදුවනවා සහ ඒවාට මුල් වූ පොලිස් සහ හමුදා නිලධාරීන් එම අවස්ථාවල මුහුණ දී සිටි අසරණභාවය වසර හතළිහකට ආසන්න සක්‍රීය සේවා කාලයක් හිමිව සිටි මා විසින් පැහැදිලිව දැක ඇති බැවිනි. මෙම තත්ත්වය ගැන වර්තමානයේ සේවයේ නියුතු පොලිස් හා හමුදා නිලධාරීන් දැනුවත් කිරීම මගේ යුතුකමක් ලෙස සලකා මෙම සටහන මුහුණු පොතට එක් කරනවා.

ප්‍රියන්ත ජයකොඩි
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික)

advertistmentadvertistment
advertistmentadvertistment