පොලිසිය පෙරළිකාර ජයක් ලබද්දී – මහනුවර අපරාජිත ගමනේ

78

මෙරට ප්‍රමුඛතම ක්‍රීඩා සමාජ 08 ක සහභාගිත්වයෙන් දැන් ක්‍රියාත්මක “නිපෝන් පේන්ට් අභියෝග කුසලාන” ලීග් ශූරතා රග්බි තරගාවලියේ එකම අපරාජිත පිල බවට පත්වෙමින් තම 06 වැනි ජයග්‍රහණය සටහන් කර ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය නියෝජනය කළ ක්‍රීඩකයෝ ඉකුත් සෙනසුරාදා (21දා) සමත් වූහ.

ප්‍රතිවාදී සී. එච්. ඇන්ඩ් එෆ්.සී. සමාජයෙන් එල්ල වූ පීඩනකාරී අභියෝගයට අසීරුවෙන් මුහුණ දෙමින් අදාළ ජයග්‍රහණය සටහන් කර ගැනීමට මහනුවර සමත්වීම කැපී පෙනුණි.

තරගය සඳහා නියමිත කාලය නිමා වන විට ලකුණු 27 – 25 ක් ලෙස ලකුණු පුවරුවේ සටහන් විණි.

මහනුවර ජයග්‍රහණය වෙනුවෙන් කවිඳු පෙරේරා 01, තරින්ද රත්වත්තේ 01, උචිත ජයසූරිය 01 සහ චතුර සොයිසා 01 බැගින් උත්සාහක දිනුම් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනයක් සහ දඬුවම් පහරක් සාර්ථක කර

ගැනීමට තරින්ද රත්වත්තේට හැකි වූයේය. නයිජල් රත්වත්තේ අවසන් ප්‍රවර්තනය ප්‍රතිවාදී ගෝල් කණු අතරින් යන පරිදි නිවැරදිව එල්ල කළේය. සී. එච්. පිල වෙනුවෙන් කැපී පෙනුණු යෝෂිත රාජපක්ෂ 02 සහ ඔවින් හෙට්ටිආරච්චි 01 බැගින් උත්සාහක දිනුම් සටහන් කළ අතර එහි ප්‍රවර්තන 02 ක් සහ දඬුවම් පහර 02 ක් නිවැරදිව එල්ල කිරීමට හිරූෂ සම්පත් සමත් විය.

පොලිසියට පෙරළිකාර ජයක් මේ අතර වාරයේ දී පෙරළිකාර ක්‍රීඩා රටාවක නිරත වෙමින් ප්‍රබල හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ලකුණු 02 කින් පරාජය කරන්නට පොලිසියට හැකි වීම ද කැපී පෙනුණි.

ප්‍රථම භාගය නිමා වන විට ලකුණු 14 – 12 ක් ලෙස පෙරමුණ ගෙන සිටි පොලිසිය තරගය සඳහා නියමිත කාලය නිමා වන විට ලකුණු 21 -19 ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වීම විශේෂත්වයකි. මෙවර තරගාවලියට අවතීර්ණ වෙමින් සහභාගිවූ මුල් තරග 04 තුළ පරාජයේ අමිහිර අත්විඳි පොලිසිය මෙම තරගයේ දී ප්‍රදර්ශනය කළ ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව හමුවේ ලීග් ශූරතා කුසලාන දිනා ගැනීමේ අපේක්ෂාව හැව්ලොක්ස් පිල වෙතින් ඈත්ව ගිය ආකාරයක් ඒ අතරේ කැපී පෙනුණි.

උත්සාහක දිනුමක් සමගින් ප්‍රවර්තන 03 ක් නිවැරදිව එල්ල කරන්නට යොහාන් පීරිස් සමත් වූ අතර ශානක හරිස්චන්ද්‍ර 01 සහ නිමල් සමාධි 01 බැගින් උත්සාහක දිනුම් වාර්තා කරමින් පොලිස් ජයග්‍රහණය සනාථ කළේය. රන්දික වර්ණපුර 01, චානක චන්දිමාල් 01 සහ විමුක්ති රාහුල 01 බැගින් උත්සාහක දිනුම් සටහන් කළ අතර එහි ප්‍රවර්තන 02 ක් නිවැරදිව යොමු කිරීමට සංදේශ් ජයවික්‍රම ට හැකි විය.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment