පැනගිය රියැදුරු සොයා විමර්ශන
ගවයින් 26 දෙනකු ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් ඊයේ (10 දා) අලුයම යක්ගස්මුල්ල ප්‍රදේශයේදී පසුපස ලුහුබැඳ ගොස් අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් ගවයින් හත්දෙනකු ලොරි රථය තුළම මියගොස් සිටි බව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගත් ගවයින් 26 දෙනා අතර එළගවයින් 20 දෙනකු සහ මීගවයින් 06 දෙනකු සිට ඇති අතර, ඉන් ගවයින් 7 දෙනකු මියගොස් සිටි බව පොලිසිය පැවසීය. හම්බන්තොට දෙස සිට තංගල්ල දෙසට ධාවනය වෙමින් තිබූ මෙම ලොරි රථය අම්බලන්තොට ඔරලෝසු කණුව අසලදී නතර කරන ලෙස පොලිසිය අණ කර ඇතත් ලොරි රථයේ රියැදුරු පොලිස් අණ නොතකා ලොරි රථය ඉදිරියට ධාවනය කර තිබේ. පොලිසිය එම ලොරි රථය පසුපස ලුහුබැඳ ගොස් ඇති අතර ලොරි රථය නොනවත්වාම අධික වේගයෙන් හුංගම, රන්න, උඩයාල, පසුකර යක්ගස්මුල්ල දක්වා කිලෝ මීටර් 100 ක පමණ ගොස් ලොරිය මහමග අතහැර දමා රියැදුරු පලා ගොස් තිබේ. පසුව එම ලොරි රථය ගවයින් සමග පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ හා රථවාහන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ නියෝග පරිදි පසුගිය 09 වැනිදා රාත්‍රී සිට ක්‍රියාත්මක වූ රථවාහන හා වරෙන්තු සම්බන්ධ විශේෂ මෙහෙයුමකදී මෙම ලොරි රථය අත්අඩංගුවට ගෙන තිබේ.
තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් සෙනෙවිරත්න මහතාගේ උපදෙස් මත අම්බන්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එච්. එම්. අජන්ත ලාල් මහතාගේ මෙහෙයවීමෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක මිද්දෙනිය ආරච්චිගේ මහතාගේ මූලිකත්වයෙන් වැටලීම සිදු කෙරිණි. මෙම වැටලීම සඳහා අම්බලන්තොට පොලිසියේ පො.සැ. (1438) උදාසිරි, පො.සැ. (60859) කුමාර, පො.කො. (72961) සුදර්ශන පො.කො. (86430) මධුසංක සහ වීරකැටිය පොලිසියේ පො.කො. (5221) සිරිවර්ධන, පො.කො. (82061) ලක්ෂාන් යන නිලධාරීහු සහභාගි වූහ. ලොරි රථයේ රියැදුරු ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
දෙබරවැව – ඒ. ඒ. පේමසිරි