පොලී අඩු නොකරන බැංකුවලට නියාමනයක් – චක්‍රලේඛය අද එයි

391

උකස් උපරිම 18%යි

බැංකු අයිරාවලට 23%යි

ක්‍රෙඩිට් කාඩ්වලට 28%යි

මහ බැංකුවේ පොලී අනුපාත අඩුකිරීමට සාපේක්‍ෂව ප්‍රමාණවත් ලෙස බැංකු විසින් සිය පොලී අනුපාත අඩු නොකිරීමට එරෙහිව අද (25දා) සිට නියාමන ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

මෙම නියාමන ක්‍රියාමාර්ග ගැනීමට අදාළ නියෝග ඇතුළත් චක්‍රලේඛය අද (25දා) දින නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

මේ අනුව උකස් පහසුකම් මත බැංකු අයකරන වාර්ෂික පොලිය උපරිම ලෙස 18% ක්ද, තාවකාලික බැංකු අයිරා මත අයකරන වාර්ෂික පොලිය උපරිම ලෙස සියයට 23 ක්ද සහ ක්‍රෙඩිට් කාඩ් මත අයකරන උපරිම වාර්ෂික පොලිය සියයට 28 ක් ලෙසද වශයෙන් උපරිම පොලී අනුපාතික සීමා පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කළ බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

එසේම දඩ පොලී අනුපාතික, අදාළ ණය පහසුකම සඳහා අයකරන සාමාන්‍ය පොලී අනුපාතයට වඩා උපරිම ලෙස සියයට 2ක ප්‍රතිශයක් විය යුතු බවටද මුදල් මණ්ඩලය තීරණය කර ඇත.

මේ උපරිම පොලී අනුපාතික ක්‍රියාත්මකවීමට අදාළ චක්‍රලේඛය අද (25දා) දින සිට නිකුත්වීමත් සමග මෙම නියෝග අද සිටම ක්‍රියාත්මක වනු ඇති බවත් ඒ අනුව බැංකු ණය පොලී අනුපාතික තවදුරටත් අඩුවනු ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (24දා) මහ බැංකු මූලස්ථානයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කීවේය.

මෙම නියාමන ක්‍රියාමාර්ග ඉදිරියේදී තවදුරටත් සමාලෝචනය කරනු ලබන බවත් ඒ අනුව වෙළෙඳපොළ තත්ත්වයන් සලකා බලා මෙම නියාමන ක්‍රියාමාර්ග වෙනස් කිරීමට අපේක්‍ෂා කරන බවත් මහ බැංකු අධිපතිවරයා තවදුරටත් පැවසීය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment