* අරලිය කිලෝ 380000 ක්
* නිපුණ 100000 ක්
* ලත්පඳුර 50000 ක්
* නිව්රත්න 200000ක්
පොලොන්නරුව කේන්ද්‍ර කරගෙන මහ පරිමාණයෙන් සහල් තොග එක්රැස් කරගෙන සිටි සහල් මෝල් හතරක් ඊයේ (08 දා) වටලා සහල් කිලෝ ලක්ෂ 12 ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ‍්‍රාමික) එන්. ඞී. එස්. පී. නිවුන්හැල්ල මහතා ‘දිවයින’ට ඊයේ (08 දා) පැවසීය.
මෙහිදී අරලිය සහල් කිලෝ 380,000 ක්, නිපුන සහල් 100,000 ක් රත්න සහල් ලක්ෂ 200,000 ක් සහ ලත්පඳුර සහල් කිලෝ 50,000 ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් භාරයට ගත් බව ද ඒ මහතා කීය. මෙවැනි වැටලීම් කරනු ලැබුවේ ප‍්‍රථම වතාවට බව ද ඒ මහතා කීය.
පොළොන්නරුවේ මහා පරිමාණ මෝල් හිමියන්ගේ සහල් තොග සතොස මිලට ගෙන රජයෙන් ප‍්‍රකාශ කර ඇති පාලන මිල ගණන්වලට පාරිභෝගිකයන් වෙත දීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ නියෝගයට අනුව පාරිභෝගික සේවා අධිකාරියේ සහ අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල් කාර්යාලයේ නිලධාරීහු පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව මෙම මහා පරිමාණ සහල් මෝල් වැටලූහ.
රජය විසින් රතු සහල් කිලෝවක් රුපියල් 95 කට, නාඩු සහල් රුපියල් 98 කට, සම්බා සහල් රුපියල් 103 කට සහ කිරි සම්බා සහල් රුපියල් 125 කට අලෙවි කරන ලෙස ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශ කර තිබියදී වෙළඳපොළ තුළ කෘතී‍්‍රම සහල් හිඟයක් මවාපා අධික මිල ගණන් යටතේ සහල් අලෙවි කිරීම ආරම්භ කර තිබිණි.
දිගින් දිගටම සහල් මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයා මහජන ආරක්ෂක ආඥා පනතේ 02 වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප‍්‍රකාරව අත්‍යවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි පැනවීමට කටයුතු කළේය.
ඒ අනුව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කර සාමාන්‍ය ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය වන්නා වූ වී, සහල්, සීනි ඇතුළු අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධයෙන් බලතල ඔහුට ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබිණි.
සඟවා තිබූ සීනි මෙටි‍්‍රක් ටොන් 29,900 ක් සිය භාරයට ගෙන වැටලීම් ආරම්භ කළ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ඊළඟ මෙහෙයුම ලෙස සහල් වැටලීම ආරම්භ කළේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ප‍්‍රථම වතාවට පොළොන්නරුව කේන්ද්‍ර කරගෙන මහා පරිමාණයෙන් සහල් තොග වෙළඳපොළට නිකුත් නොකර ගබඩා පවත්වා ගෙන යන සහල් මෝල් හතරක් වටලා එහි ගබඩා කර තිබූ සහල් තොග සිය භාරයට ගෙන සතොස හරහා බෙදාහැරීමට ඊයේ (08 දා) නිලධාරීහු කටයුතු කළහ.
මීට පෙරද පාරිභෝගික අධිකාරි නිලධාරීන් විසින් මෙම මහා පරිමාණ හාල් මෝල් වැටලීමට ගිය අවස්ථාවල එම නිලධාරීන් අසීරුතාවට පත්ව තිබූ බවත් මෙවර අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට පැවරී ඇති බලතල අනුව එසේ කිරීමේ හැකියාවක් නැතැයි ද නිවුල්හැල්ල මහතා අවධාරණය කර සිටියේය.
පාරිභෝගිකයා අපහසුතාවට පත් කරමින් මෙවැනි ආකාරයෙන් සහල් හෝ අත්‍යවශ්‍ය ආහාර සඟවා තිබෙන ඕනෑම ස්ථානයක් වැටලීමටත්, එහිදී අත්අඩංගුවට ගනු ලබන භාණ්ඩ සතොස හරහා පාලන මිලට අලෙවි කිරීමට කටයුතු කරන බවත් නිවුල්හැල්ල මහතා වැඩිදුරටත් පැවසීය.
සහල් මෝල් හිමියන් නිකුත් කරන සහල් තොග සහ තොග මිල ගණන් පිළිබඳ වාර්තාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලබාදීමටත් පසුව එම මිල ගණන් ප‍්‍රසිද්ධ කිරීමටත් සහල් මෝල් හිමියෝ පාරිභෝගික අධිකාරියට එකඟතාවය පළ කළහ.
එමෙන්ම තමන් සතු වී තොග කඩිනමින් සහල් බවට පත් කර, රජය මගින් නියම කර ඇති පාලන මිල යටතේ වෙළෙඳපොළට අඛණ්ඩව සැපයීමට පියවර ගන්නා බව ද සහල් මෝල් හිමියෝ සඳහන් කළහ.
චමින්ද සිල්වා, අනුර බාලසූරිය, අරලගංවිල- රොෂාන් තුෂාර තෙන්නකෝන්