පොලොන්නරු යුගයට වඩා ඈත යුගයක සාක්‍ෂි හමුවෙලා – පුරාවිද්‍යා මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන

502

පොලොන්නරුවේ ඒකාබද්ධ පුරාවිද්‍යා පරීක්‍ෂාවකදී පැරැණි නගරයට මීටර් 3ක් යටින්

පොලොන්නරුව පැරණි නගරයේ සිදුකළ පුරාවිද්‍යා පරීක්‍ෂාවකදී පොලොන්නරු යුගයට වඩා එහා ගිය ඈත යුගයක සාක්‍ෂි හමුවූ බව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පවසයි.

මහාචාර්යවරයා මේ බව අනාවරණය කරනුයේ කැලණිය විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය, ඔස්ටේ්‍රලියාවේ ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ඒකාබද්ධව මෑතකදී සිදුකළ පර්යේෂණයකින් පසුවය.

පොලොන්නරු යුගයට වඩා ඈත යුගයක සාක්‍ෂි හමුවෙලා - පුරාවිද්‍යා මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන

පොළොව අභ්‍යන්තරයේ විනිවිද පරීක්‍ෂා කරන රේඩාර් යන්ත්‍රයක් මගින් සිදුකළ පුරාවිද්‍යා පරීක්‍ෂාවකදී මෙම කරුණු අනාවරණය වූ බව මහාචාර්ය ගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා,

“පොලොන්නරුව නාගරිකකරණය පිළිබඳව සොයා බැලීමේ පුරාවිද්‍යාත්මක කැණීම් ව්‍යාපෘතියක් ලෙස පසුගිය 04වෙනිදා සිට මෙය ආරම්භ කළා. නවීන තාක්‍ෂණ ක්‍රමවේදයකට අනුව පොලොන්නරුව ඉපැරණි පරාක්‍රමබාහු රාජ මාළිගය පරිශ්‍රය තුළ අප කණ්ඩායම ඒකාබද්ධ පරීක්‍ෂණයක් සිදුකළා. ඒ සඳහා කැලණිය විශ්වවිද්‍යාලය සහ ඔස්ටේ්‍රලියාවේ ලා ට්‍රොප් විශ්වවිද්‍යාලය එක්ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ යාපනය විශ්වවිද්‍යාලය එකතුවයි මේ පර්යේණ සිදුකරන්නේ. ලබන 26 වැනිදා වනවිට මේ ව්‍යාපෘතියේ මූලික කටයුතු අවසන් කරනවා. මෙහි මූලික අරමුණ තමයි පොලොන්නරුව නාගරිකකරණය තුළ ඉපැරණි පුරාවස්තු තවදුරටත් තිබේදැයි සොයා බැලීම.

මෙහිදී අපි නවීන තාක්‍ෂණික ක්‍රමයක් භාවිතා කරනවා. පොළොව විනිවිද පෙනෙන රේඩාර් යන්ත්‍රයක් මගින් පරීක්‍ෂණ කටයුතු සිදුකිරීම. ඒ අනුව පොලොන්නරුව ඇතුලු නගරය සියයට අසූවක් විතර අපට සොයාගැනීමට හැකිවුණා. මෙතැන වැදගත්ම කාරණය තමයි පොලොන්නරුව ඇතුලු නගරයේ අප දකින්නේ පරාක්‍රමබාහු රාජ මාලිගය, රැස්වීම් ශාලාව සහ තවත් පොකුණු කිහිපයක් පමණයි. නවීන තාක්‍ෂණ ක්‍රමවේදය අනුව පොළොව යට මීටර් තුනක් පමණ ගැඹුරින් තවත් ගොඩනැඟිලි පාදම්, පොකුණු ඒ වගේම උදුන් ආදී වශයෙන් ගොඩක් දේවල් අපට දැකගැනීමට ලැබුණා. මේ හමුවූ තොරතුරු සමග පොලොන්නරු යුගයට වඩා ඈත යුගයක සාක්‍ෂි දැනට අපිට තාවකාලිකව අනාවරණය වී තිබෙනවා. මේ සොයාගත් තොරතුරු මත මෙම ස්ථාන පුරාවිද්‍යා කැණීමකට භාජනය කිරීම තුළින් අනාගතයේ මේ පොලොන්නරු නගරයේ ඈත අතීතය පිළිබඳව සංචාරකයන්ට විධිමත් ආකාරයට දැක බලා ගැනීමට අපි කටයුතු සලස්වනවා.”
කරුණාරත්න ගමගේ සහ රොෂාන් තුෂාර තෙන්නකෝන් – අරලගංවිල

advertistmentadvertistment
advertistmentadvertistment