පොසොන් උත්සවයට අනුරාධපුර සූදානම්

144

ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 4500ක්
ජීවිත ආරක්ෂක නිලධාරීන් 350ක්
නම්කර ඇති තැන්වලින් පමණක් දිය නාන්න
සංවිධානාත්මක සොරුන් ගැන පරීක්‍ෂාකාරී වන්න

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති කුඩා සහ විශාල ප්‍රමාණයේ වැව්, කළු දිය පොකුණ නාග පොකුණ යන සියල්ල මේ වන විට ජලයෙන් පිරී ගොස් ඇති බැවින් අනුරාධපුර වන්දනාවේ පැමිණෙන ජනතාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බව අනුරාධපුර කොට්ඨාස පොලිස් ජීවිත ආරක්ෂක ඒකකය පවසයි.

උසස් නිලධාරියකු මේ බව සඳහන් කළේ එම ජීවිත ආරක්ෂක කණ්ඩායම් සඳහා ප්‍රථමාධාර කට්ටල ලබා දීමේ අවස්ථාවකට එක්වෙමින්ය.

පොසොන් පොහොයට අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා අනුරාධපුර පූජා නගරය, මිහින්තලය සහ තන්තිරිමලය ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව් ආශ්‍රිතව අනුරාධපුර පොලිස් ජීවිත ආරක්ෂකයේ මැදිහත් වීමෙන් ජීවිත ආරක්ෂක නිලධාරීන් 350ක් පමණ යොදවා ඇතැයි අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතා පවසයි.

අනුරාධපුර පොලිස් ජීවිත ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන්, නාවික හා සිවිල් ආරක්ෂක නිලධාරීන් ඇතුළුව පාසල් ජීවිතාරක්ෂක සංගම්වල දරුවන් මේ සඳහා යොදවා තිබේ.

පොලිස් ජීවිත ආරක්ෂක ඒකකය මගින් නම් කර ඇති ස්ථානවලින් පමණක් දිය නෑම සිදු කරන ලෙසත්, ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඉල්ලීමක් කරයි.

ජීවිත ආරක්ෂක කණ්ඩායම් සඳහා හදිසි අවස්ථාවකදී භාවිතා කිරීම සඳහා ප්‍රථමාධාර කට්ටල එම කණ්ඩායම් වෙනුවෙන් ලබා දීම අනුරාධපුර කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, තිළිණ හේවාපතිරණ, කොට්ඨාස ජීවිත ආරක්ෂක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් කුමාර මහතා අතින් සිදු කෙරිණි.

අනුරාධපුර නගරයේ රථ වාහන තද බදය අවම කර ගැනීම සඳහා, රථ වාහන ගමන් කිරීමේ විශේෂ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් පිටතින් පැමිණෙන රියැදුරන්ට දැන ගැනීම සඳහා අනුරාධපුර නගරයේ සහ පූජා නගරයේ මාර්ග සහ රථ වාහන නවතා තැබිය හැකි ස්ථාන සඳහන් සිතියම් පත්‍රිකාවක් ලබා දෙන බව පොලිස් රථ වාහන අංශය පවසයි.

මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් පොසොන් සතිය පුරාවට දන්සල් විශාල ප්‍රමාණයක් පැවැත්වෙන බැවින් , මාර්ගවල රථ වාහන ධාවනයට බාධාවක් නොවන අයුරින් එම දන්සල් වල වැඩ කටයුතු සිදු කරන මෙන් එම දන්සල්

සංවිධායකයන්ගෙන් ඉල්ලීමක් කරන බව පොලිසිය කියයි. සංවිධානාත්මක සොර කල්ලි , ගැට කපන්නන් පොසොන් උත්සවය මූලික කර ගෙන අනුරාධපුරයට පැමිණෙන බැවින් බැතිමතුන් තමන් රැගෙන එන මුදල්, රථ වාහන , රන්භාණ්ඩ ඇතුළු දේපල සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින ලෙසට ද පොලිසිය ඉල්ලීම් කරයි.

ජනතාව වැඩි වශයෙන් තෙරපෙන බස් රථ , මිහින්තලා දුම්රිය, දන්සැල්, පූජනීය සිද්ධස්ථාන තුළ කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන්ගෙන් සමන්විත මෙම සොරුන් සිටිය හැකි බව පොලිසිය කියයි.

අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා මෙවර පොසොන් උත්සවයට පොලිස් නිලධාරීන් 4500ක් යොදවා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මිහින්තලේ රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment