පොසොන් පොහෝදා දිවයිනට උරුම වුණු ධර්මාලෝකය

100

බුදු දහම ලැබීමත් සමගම ලාංකික සමාජයේ සංවර්ධන රැසක්ම සිදු විය. ආධ්‍යාත්මික වශයෙන් හා සදාචාරමය වශයෙන් සිංහලයන් තුළ ඇතිවූ වෙනස බොහෝය. පන්සිල් රකිමින් තම ජීවිත හැඩගසා ගත් ලාංකික ජනතාව, විශේෂයෙන් අවිහිංසාව ගරු කරන්නන් බවට පත් වූහ. ඉන් පසු ක්‍රීඩාව සඳහාවත් ඔවූහු දඩ කෙළියෙහි නොගියහ. පසුකාලීන බෞද්ධ රජවරුන් තිරිසන් සතුන්ට පවා රෝහල් සාදා බෙහෙත් කිරීමෙන් පෙනී යන්නේ, ඔවුන් තුළ සත්ත්ව කරුණාව වර්ධනය වී තිබූ අයුරුය. පරාර්ථය සැලසීම ද බෞද්ධයන්ගේ විශේෂ ලක්ෂණයක් විය. මේ නිසා පොදු ජනතාවගේ සුබසිද්ධිය සඳහා කෙරෙන කටයුතු කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විණි. ලිවීමේ ශිල්පය හා බෞද්ධ සාහිත්‍යයක් ද හෙළ ජනයාට ලැබුණේ බුදු දහම නිසාමය. අනුරාධපුරයේ මහා විහාරය, අභයගිරිය හා ජේතවනාරාමය යන විහාර ආශ්‍රිතව විශ්වවිද්‍යාල මට්ටමේ අධ්‍යාපන ආයතන බිහි විය. ශ්‍රී ලාංකිකයන්ට ජාතියක් වශයෙන් දියුණු වීමට හැකි වූයේ බුදු දහමින් ඔවුන්ට ලැබුණු දායාද නිසාය. ශ්‍රී මහා බෝධීන් වහන්සේ, ශ්‍රී දළදා වහන්සේ හා බුදු දහම ඇතුළත් පාලි ත්‍රිපිටක සාහිත්‍යය, දෙදාස් පන්සිය වසරකට වැඩි කලක් රැකගෙන ආවේ සිංහල බෞද්ධයන් විසිනි. එබැවින් බුදු දහම ශ්‍රී ලාංකිකයන් වන අපගේ උරුමයකි.

පැවිදි වීමට පුන පුනා බලා සිටි අනුලා දේවි ඇතුළු පන්සියයක් කාන්තාවෝ, සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේගෙන් පැවිද්ද ලැබුවෝය. මහා අරිට්ඨ කුමාරයා ද මිහිඳු මාහිමියන් වෙතින් පැවිදි උපසම්පදාව ලබා රහත් බව ලැබීය. දේශීය භික්ෂු පරම්පරාවේ නායකත්වය හිමිවනුයේ අරිට්ඨ මහ රහතන් වහන්සේටය. සිංහල අපේ රටේ උපන් භික්ෂූන් වහන්සේ නමක් පැවිදි උපසම්පදා ලබා දේශීය භාෂාවෙන්ම දහම් දෙසීමෙන් පෙනෙන්නේ බුදු දහම ශ්‍රී ලංකාවේ මුල්බැසගත් බවය. ඉන් පසු ලක්දිව පුරාම බුදු දහම ව්‍යාප්ත විය.

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ විසින් බුදු සමය ස්ථිරව පිහිටුවීමට කටයුතු යෙදීමත් සමගම ශ්‍රී ලංකාවේ ද ගමයි – පන්සලයි අතර සම්බන්ධය ගොඩනැඟීමට අවශ්‍ය පසුබිම සැකසිණි. ලක්වැසි ජනයාගේ ආගමික, අධ්‍යාපනික හා සංස්කෘතික මධ්‍යස්ථානය වූයේ පන්සලයි. ගැමියාගේ පටන් රජකුමරු තෙක් සියල්ලන්ම අධ්‍යාපනය ලැබුවේ පන්සලෙනි. ඒ සඳහා ඇප කැප වන භික්ෂූන් වහන්සේ රැක ගැනීම හා පෝෂණය කිරීම රජුගෙත්, රටවැසියාගෙත් යුතුකමක් ලෙස සැලකිණි. ධාර්මික දිවිපෙවතක් වශයෙන් වැඩිදෙනෙක් කෘෂිකර්මය තෝරා ගන්නා ලදී. අස්වනු පැසෙන තුරු විවේක කාලයක් ද නියම කර ගත්තේය. විවේකය, ආගමික හා සංස්කෘතික කටයුතු සඳහා යොදා ගත්හ. වෙහෙර – විහාර ගොඩනැඟී කලා ශිල්පාදිය දියුණු වූයේ මේ නිසාය. කලා ශිල්ප තුළින් ශ්‍රී ලාංකික ජනතාව ලැබුවා වූ නිරාමිස ආස්වාදය අතිශයින්ම උත්කෘෂ්ටය. බුදු සිරිත තේමා කරගෙන නිර්මාණය වූ විවිධ කලා කෘති හෙළයේ අතීත උරුමයන් ලෙස විරාජමාන වේ. මෙම උරුමයන් අපේක්ෂා කර ගැනීම තුළින් වර්තමානයට ලැබෙන්නේ දේශාභිමානී හැඟීම් විකසිත වන අරුත්බර චින්තනයකි. දාගැබ්, පෙති පිළිම, විහාරාරංග මෙන්ම සඳකඩ පහණ, මුරගල වැනි කැටයම් නිර්මාණයන් ද, චිත්‍ර නිර්මාණයන් ද ලක්වැසි ජනතාවගේ කලාත්මක අතීත උරුමයන්ය. ඉතා දියුණු තාක්ෂණයක් ඔස්සේ නිමවන ලද මෙම කලා කෘති ඇසුරින් ජන විඤ්ඤාණය බෞද්ධ සංකේත මගින් පුබුදු වන බව නොරහසකි. විශේෂයෙන්ම චිත්‍ර කලාව පිළිබඳ කතා කරන විට සීගිරි බිතු සිතුවම් මගින් ශ්‍රී ලංකාවේ අභිමානය ඉහළ නැංවේ. ඒ අනුව මේ සියලු කලා නිර්මාණ ලාංකික ජනතාවගේ ශ්‍රේෂ්ඨතම උරුමයන්ය.

මාලබේ සුසිලාරාම විහාරාධිකාරී,
තර්ස්ටන් විද්‍යාලයේ ආචාර්ය,
ශාස්ත්‍රපති පූජ්‍ය බෝදාගම සීලවිමල හිමි.

advertistmentadvertistment
advertistmentadvertistment