2024 ජනාධිපතිවරණය සම්බන්ධ අදාළ නිල නිවේදන ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එහි ප්‍රමුඛ අපේක්ෂකයන් දෙදෙනකු වන රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස ඇතුළු තවත් කීපදෙනෙකු විසින් ම ඇප මුදල් ද තැන්පත් කර තිබේ. ජනාධිපති රනිල් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඇප තැන්පත් කිරීම මෙන්ම ඔහුගේ ජනාධිපතිවරණ මෙහෙයුම් පිළිබඳව ද ඇතිව තිබෙන්නේ ආන්දෝලනයකි. එපමණක් නොව ඔහුට සහාය දක්වන කණ්ඩායම් පිළිබඳ ලැබෙන උණුසුම් පුවත් ද සමාජ ගත වෙමින් තිබේ. ඒ බොහෝ පුවත් අද පවතින දේශපාලන ව්‍යාකූලත්වය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ද විවිධ ඇඟවීම් කරයි. සාමාන්‍යයෙන් රටක ඇතිවන සමාජ දේශපාලන අවුල්, වියවුල් යනු බොහෝ විට පවතින ආණ්ඩුවල දේශපාලන උපක්‍රම ලෙස ද සිදුවිය හැකිය. ඒවා දේශපාලන අවශ්‍යතා අනුව හෝ වෙනත් ගුප්ත අරමුණු අනුව වුවද යොදා ගැනීමේ ඉඩකඩක් ද තිබිය හැකිය. ජනාධිපතිවරණය මග හැර තවත් කාලයක් වත්මන් ජනාධිපති රනිල්ට දිය යුතුය යන අදහස එජාපයට මෙන්ම පොදුජන පෙරමුණේ ප්‍රබලයන්ටද තිබුණි. එයට පදනම් වූයේ ජනාධිපති රනිල්ගේ මැදිහත්වීම් නිසා ආර්ථිකය හා රටේ ආරක්ෂාව යළි ගොඩනගා ගත හැකි වූ බවට ගෙන ගිය ප්‍රචාරයයි. මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල්ට හිමිවූ කීර්ති ප්‍රශංසා අපට ප්‍රශ්නයක් නොවේ. එය සාධාරණ හා යුක්ති සහගත ප්‍රතිචාරයකි. එහෙත් ඒ සම්බන්ධයෙන් වෙනත් විශ්ලේෂණ හා විවේචන ද තිබෙන බව පමණක් කිව යුතුය.

මේ වනවිට ආණ්ඩුවේම ඇතැම් ඇමැතිවරයෙක් (රමේෂ් පතිරණ විය යුතුය) පවසන්නේ මහින්ද සිවිල් යුද්ධයත්, ගෝඨාභය කොරෝනා යුද්ධයත්, රනිල් ආර්ථික යුද්ධයත් ජයගත් බවකි. එහෙත් රටේ ආර්ථිකය කඩා වැටීම පිළිබඳව රාජපක්ෂ පාලනය වගකිව යුතු බවට දී තිබෙන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හෝ මේ වනවිට මේ පාලකයන් විසින් වැඩ කරන පන්තිය ප්‍රමුඛ පොදු ජනතාව මත පටවන ලද ආර්ථික පීඩනය බදු බර ආදිය ගැන මේ අලංකාර වර්ණනා කරන ඇමැතිවරයා ඇතුළු සියල්ලන්ටම අප සිහිපත් කළ යුතුය. දසක කීපයක් මුළුල්ලේ වැඩුණු සමාජ දරිද්‍රතාව, දේශපාලන බලකාමය, පවුල්වාදය, අල්ලස, වංචාව, නීතියේ බිඳ වැටීම ආදී විවිධ දුෂ්චර්යා කිසිවකට මේ ආණ්ඩුව සංවේදී නැති බවද අපගේ විවේචනයයි. එපමණක් නොව ගජමිතුරු දේශපාලනය විසින් රටට ලබාදෙන ලද ණය බර පවා නොතකා හැරීම ද මේ පාලකයන්ට එරෙහිව නැගෙන චෝදනාවකි.

අපි මොහොතකට ඒ සියල්ල අමතක කරමු. මේ වන විට උද්ගතව තිබෙන සමාජ – දේශපාලන කැළඹීම් හා ප්‍රජාතන්ත්‍රවාදයේ යහ පැවැත්මට එල්ල වී තිබෙන අතුරු අන්තරා කෙබඳු දැයි විමසා බැලීම වටී. අද බොහෝ දෙනෙකුගේ අවධානය මෙන්ම සමාජ හා ජනමාධ්‍යවල ප්‍රමුඛ ප්‍රවෘත්තිය බවට පත්ව තිබෙන්නේ පොදුජන පෙරමුණ මැදිවී සිටින අර්බුදයයි. පොදුජන පෙරමුණේ නායකයන්ගේ අභිමතය පරිදි මෙරටේ ජනාධිපති ධුරය පැවරුණු රනිල්ට අද එම පක්ෂයේ සහාය, අනුග්‍රහය නොලැබීම නොතකා හැරිය නොහැකි ප්‍රධාන පුවතකි. මේ පිළිබඳව තිබෙන බොහෝ කියවීම් හුදු එක් සාධකයක් මත රඳා පවතින බව අපට පෙනී යයි. ඒ අර ඉහත සඳහන් කළ ආර්ථික යුද්ධය දිනා දුන් නායකයා සමග තවත් වසර පහක්වත් යා යුතුය යන තර්කයයි.

පොහොට්ටුවෙ නඩේ දෙල් කර ගෙනද වැඩේ!

2022 රාජපක්ෂවරුන් පළවා හැරීමට තරම් ප්‍රබලවූ ජනතා විරෝධය සමනය කිරීමට මේ ජනාධිපති රනිල් සමත් විය. ඒ එම අර්බුදයේ හේතු සාධක හෝ මූලික කරුණු විසඳීමකින් නොව දැඩි මර්දන මෙහෙයුමකින් බව කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යයකි. ප්‍රබුද්ධ දේශපාලන නායකත්වයකින් තොරවූ අරගලයක ඛේදවාචක මතක සටහන් හා විහිළුකාර හැසිරීම් පමණක් අද ඉතිරිව තිබේ. ජනාධිපති නිල නිවස ආක්‍රමණය කර එහි නාන තටාකවල දිය කෙළිමින් ද රාජකීය පන්නයේ යහන් ගබඩාවල පිනුම් ගසමින්ද වෙනත් විසූක දස්සන රට හමුවේ තබමින්ද එම ඓතිහාසික විරෝධතාව විගඩමක් බවට පත් කළෝ කවරහු දැයි අපි නොදනිමු. එහෙත් ඒ විරෝධතාව සමාජ – දේශපාලන හා ආර්ථික පුනරුදයකට යොමු කර ගැනීමේ අවශ්‍යතාව යටපත් කිරීම බලවත් වරදක් බව අප කිව යුතුය.

අද පොහොට්ටුව හා ජනාධිපති රනිල් අතර විරසකයේ සැබෑ හේතුව කුමක්ද? ජනාධිපති රනිල්ගේ දේශපාලන ශෛලිය රාජපක්ෂවරුන් අපේක්ෂා කළ දෙයක් නොවේ. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස ඔහු ක්‍රියා කළේ ඔහුගේම සැලසුමකට අනුවය. ජනාධිපති රනිල් කිසිවිටෙක රාජපක්ෂ පාලනය හෙළා දුටුවේ නැත. එදා පසමිතුරු දේශපාලනය තුළ එල්ල කරගත් නරුමාලාප, විවේචන කිසිවක් මේ දෙවසරක රනිල් පාලන සමය තුළ සිදුවූයේ ද නැත. එහෙත් ඔවුන් අතර නොපෑහීම් තිබුණි. පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් පවසන ආකාරයටම රනිල් නිසා ඔවුන්ටත් එම පාක්ෂිකයන්ටත් නිදහසේ එළිපහළියට ඒමට හැකි විය. එහෙත් ඔහු සඳහන් කළේ ජනාධිපති රනිල්ට ණයත් නැති බයත් නැති කථාවකි. කිසිදු ජනවරමක් නොලද රනිල් විධායක පුටුවේ හිඳවමින් රාජපක්ෂවරුන් විසින් ඒ ණය අධික පොලියකුත් සමග ගෙවනු ලැබ ඇත. දැන් පෙර පරිදිම දේශපාලන බලය තම පවුලට ලබා ගත යුතුව ඇතැයි යන්න ඔවුන්ගේ සහාය යළිත් රනිල්ට ලබා නොදීමට හේතු විය නොහැකිද?

රාජපක්ෂවරුන් සමග සිටි බහුතරයක් මේ වනවිට එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දරණ දේශපාලන ස්ථාවරය වෙනත් එකකි. එනිසාම පොහොට්ටුව දෙකඩ වී ඇත. මහින්ද තම ආධ්‍යාත්මික නායකයා බව පවසන පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයෝ දැනටමත් රනිල් සමග එක්ව සිටිති. පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතුය යන දැඩි ස්ථාවරයේ රාජපක්ෂවරු සිටිති. ඒ දේශපාලන විරසකය මෙන්ම රාජපක්ෂවරුන් සමග දේශපාලන පසමිතුරන්ව සිටින පිරිස් විසින් වෙන වෙනම සන්ධානගත වීමද අද ප්‍රකට සිදුවීමකි. සර්වජනබලය හා ස.ජ.බ. සමගද ඒ සමහරු එක්ව සිටිති. ශ්‍රී.ල.නි.පය කඩා ගත් නිමල් සිරිපාල කණ්ඩායමත් එහි සිටි දයාසිරි, මෛත්‍රි ආදීහුත් වෙන වෙනම සිටිති. අගමැති දිනේෂ්ගේ ම.එ.පෙ ද රනිල්ට සහාය දෙයි.

පාර්ලිමේන්තුවේ බහුතර කණ්ඩායම වූ පොදුජන පෙරමුණේ ප්‍රබල චරිත හා සැළකිය යුතු මන්ත්‍රිවරුන් පිරිසක් ජනාධිපති රනිල්ට එක්ව සිටිති. ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතු බවට එහි විධායක සභාව විසින් අනුමත කරන ලද යෝජනාව අද මෙම පක්ෂය බෙදා තිබේද? ඒ සම්බන්ධයෙන් රනිල් පාර්ශ්වය දක්වන තොරතුරු අතිශයෝක්තියෙන් යුතු බව පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල්, මහලේකම් සාගර පමණක් නොව හිටපු ඇමැති ජොන්ස්ටන් ද කියති. තවත් විවේචනයකට අනුව පොහොට්ටුවෙන් ගිය අය පිළිබඳ ගණන් හිලව් පවා වැරදි බව ඔවුහු කියති. එපමණක් නොව ඒ සම්බන්ධයෙන් කැඳ වූ බව කියන රැස්වීමට ඇතැමුන් සහභාගි වී ඇත්තේ ද එය ආණ්ඩු පක්ෂයේ රැස්වීමක්ය යන අදහසින් බවද කියති. කුමක් වුවත් ඒ දේශපාලන උප්පරවැට්ටි ජනතාවද වටහා ගනිති. එපමණක් නොව මේ අවස්ථාවේ පොහොට්ටුව හැර ගිය සමහරුන් ගැන තිබෙන දේශපාලන විවේචන ද ජනතාව දනිති.

ජනාධිපති රනිල් සමග සිටි ඇමැතිවරුන් රාජ්‍ය ඇමැතිවරුන් බහුතරය වේලාසනින්ම පවසා තිබුණේ ද තවදුරටත් රනිල් සමග දේශපාලන ගමන සිදුවිය යුතු බවය. ඇත්තටම පොදුජන පෙරමුණට ඔවුන්ගේම දේශපාලන අනන්‍යතාව සමග පෑහුණු චරිතයක්ද නැත. රාජපක්ෂ පවුලේ කිසිවෙකුට මෙහිදී ජනප්‍රසාදය ලබාගත නොහැකි බවද ඔවුහු දනිති. “කොපමණ වරදැ’නත් – පරණ පුරුදු වූ ලියම යහපත්’ යනුවෙන් කාව්‍යශේඛරය ලියූ ශ්‍රී රාහුල හිමියෝ පැවසූහ. පොහොට්ටුවෙන් ගිය අය සුභාෂිතයක් ලෙස ගත්තේ ද මොන වැරදි තිබුණත් ‘පුරුදු යකා හොඳයි’ යන්න විය යුතුය. එය සිංහල ජන වහරේද එන කියමනකි. රනිල්ගෙන් තොර පැවැත්මක් තමන්ට නැතැයි ඒ බොහෝ දෙනෙක් තීරණය කරත් නම් එයට ප්‍රධාන හේතුව ‘තම පැවැත්ම’ ද විය හැකිය.

අද එ.ජා.පය පමණක් නොව ශ්‍රීලනිපය ද දේශපාලනිකව මියගිය හෝ මිය යමින් තිබෙන සාම්ප්‍රදායික පක්ෂ වේ. ශ්‍රීලනිපයේ බහුතරය මේ ආණ්ඩුවේ ඇමැති – රාජ්‍ය ඇමැති ධුර හොබවන්නේ ය. එපක්ෂය නිමල් සිරිපාල පිල ලෙස අටවා ගත් කණ්ඩායමක් අතට පත්ව තිබේ. මහලේකම් බවට අධිකරණයෙන් තීන්දු වූ දයාසිරි ජයසේකරට හෝ හිටපු ජනාධිපතිවරයකු මෙන්ම ශ්‍රීලනිප සභාපතිවරයකු ද වූ මෛත්‍රිට ඩාලි පාරේ කාර්යාලයට හෝ පිවිසිය නොහැකිය. ඒ යතුර ද දුමින්ද ළඟය. මෛත්‍රිට පක්ෂයෙන් දොර වැහුණේ සිරිපාල – අමරවීර හා අලගියවන්නලා පක්ෂයේ නිල අනුමැතියකින් තොරව මේ ආණඩුවේ ඇමැති ධුර ලබා ගැනීම නිසා ඇතිවූ අර්බුදයක් හේතුවෙන් බව කියනු ඇසෙයි. කොහොමටත් ශ්‍රී.ල.නි.පයේ සිරිපාල පිල ජනාධිපතිවරණයේ රනිල්ට සහාය දැක්වීම විශේෂ ප්‍රවෘත්තියක් ද නොවේ. එය ඇතැම් විට හොරගොල්ලේද දේශපාලන වුවමනාව විය හැකිය.

ශ්‍රීලනිපය හොරගොල්ලේ උරුමය බව දන්නා මහින්ද ඉන් ඉවත්වී රාජපක්ෂලා වෙනුවෙන් පොදුජන පෙරමුණ ගොඩනැගුවේ ඒ දේශපාලන බලය මැදමුලනට ලබා ගැනීමටය. ඔහුට ඒ අපේක්ෂාව ජයගත හැකි විය. එහි කූටප්‍රාප්තිය ගෝඨාභය ජනාධිපති පුටුවේ වාඩි කරවීමය. ජනාධිපති, අගමැති, මුදල් ඇමැති හා තවත් ඇමැති ධුර කීපයක් සහිතව රට පාලනය කළ රාජපක්ෂ වාර්තාව මෙරටේ පවුල් බලයේ හිණිපෙත විදහා දැක්වූවකි. රාජපක්ෂ නාමය සහිත ගුවන්තොටවල්, වරායවල් පමණක් නොව නෙලුම් පොකුණ වැනි ජාත්‍යන්තර තලයේ රංගශාලා ද මෙරටේ ගොඩනැඟුණේ ඒ බල මහිමය නිසාය. හොරගොල්ල හා බැඳුණු බණ්ඩාරනායක සැමරුම් මෙන්ම රාජපක්ෂවරුන්ගේ යශෝරාවය වෙනුවෙන් ම සුවිශේෂ මෙහෙයුම් මෙරටේ සිදු වූ ආකාරය ජනතාව ද දනිති. ලාංකික දේශපාලනයේ රාජපක්ෂවරුන්ගේ යුගය අළලා ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් “රාජපක්ෂවාදය යනු කුමක්ද?” නමින් කෘතියක් ද පළ කරනු ලැබ ඇත. ඔහු අවධාරණය කරන එක් දහසක් වන්නේ “රාජපක්ෂවාදය යනු මෙරටේ සිංහල බෞද්ධ දේශපාලන මනසේ අවසාන ප්‍රකාශනය” බවයි.

(මෙම කෘතිය ඒ දේශපාලන ගමන් මග ද හෙළි කරන්නකි.)

පොහොට්ටුවෙ නඩේ දෙල් කර ගෙනද වැඩේ!

කෙසේ වුවද 2022 මතු වූ රාජපක්ෂ විරෝධය හුදු ඔවුන්ගේ දේශපාලනයට නොව මෙරටේ මෙතෙක් බිහිවූ සාම්ප්‍රදායික ප්‍රභූ තන්ත්‍රවාදී දේශපාලනයට එරෙහි වූවකි. ඒ විරෝධය තුළින් රනිල් විධායකයට පත්වීම අරගලකරුවන්ගේ අපේක්ෂාවක් ද නොවීය. එහෙත් එය සිදුවිය. ඒ පසුපස තවමත් රාජපක්ෂවරුන්ගේ බලය තිබේ. ජනාධිපති රනිල් මෙතෙක් පැමිණියේ ඒ බලයත් අනුග්‍රහයත් සමගය. පොහොට්ටුවේ නාමල් කීවේ ඔවුන්ගේ අනුමැතියෙන් රනිල් ජනාධිපති වූ බවත් ඔහු මෙම ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කළ අවස්ථාව දක්වාත් තම පක්ෂය ඔහුට සහාය වූ බවය. එසේම ඔහුගේ අවධාරණය වූයේ පොදුජන පෙරමුණේ අනන්‍යතාව පිළිගන්නා අපේක්ෂකයෙක් තමන් ඉදිරිපත් කරන බවය. මහලේකම් සාගරට අනුව පක්ෂයේ සෑහෙන පිරිසක් තවමත් ඔවුන් සමගය. තම තීරණයට එරෙහිව වෙනත් අපේක්ෂකයකුට සහාය දක්වන අයට එරෙහිව විනය පියවර ගන්නා බවද ඔහු නිරන්තරව පවසයි.

පොදුජන පෙරමුණේ ප්‍රබලයකු මෙන්ම හිටපු ඇමැතිවරයකු වන ජොන්ස්ටන් පවසන්නේ මහින්දගේ පින්තූරය අලවා ගෙන ගමට ගොස් බලය ලබාගෙන අද පක්ෂයට පිටුපෑම ද්‍රෝහී ක්‍රියාවක් බවය. පාක්ෂිකයන් මේ පාවාදුන් අයට එරෙහිව තීන්දුවක් ගන්නා බවද ඔහු පවසයි. එසේම ජනාධිපති රනිල් සමග සිටින අය අතර නඩු හබ තිබෙන හා වෙනත් ප්‍රතිලාභ ලබාගත් අයද සිටිතියි කෙරෙන විවේචනයක් ද ඇත. ‘දේශපාලන ඩීල්’ යනු අද මේ ජරපත් දේශපාලන සංස්කෘතියෙහි ව්‍යාධියක් බවට පත්ව තිබෙන්නකි. ජා.ජ.බ. වේදිකාවේ නම් ගම් ඇතිව කෙරෙන හොර හා වංචා චෝදනා ද මේ සමහරුන්ට එල්ල වෙයි. ඔවුන් ජනතාවට පවසන්නේ හොරුන්ගෙන් තොර පිරිසිදු කණ්ඩායමක් එළඹෙන මහ මැතිවරණයේදී තෝරා ගැනීම ජනතාවගේ වගකීම බවය. ඇත්ත වසයෙන්ම හොරුන්, ජාවාරම්කරුවන්, දූෂණ අල්ලස් ආදියට චෝදනාවලට ලක්වූවන් මෙන්ම නීතියෙන් වැරදිකරුවන් වූ අයත් අද මෙරටේ උත්තතරීතර පාර්ලිමේන්තුව තුළ සිටිතියි බොහෝ අවස්ථාවල කියනු ඇසෙයි. එහෙත් ඇල්ලූ හොරෙක් දඬුවම් ලැබූ වැරදිකරුවෙක් සිටිත්ද?

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 134 කගේ ඡන්දයෙන් අනුප්‍රාප්තික ජනාධිපති ධුරයට පත්වූ ඔහුට පක්ෂව මන්ත්‍රීවරුන් 92ක් සිටින කථාව සත්‍යයක් නම් තව 42ක් අද ඔහු සමග නොවෙති. එසේම පක්ෂයේ නායක මහින්ද ඇතුළු ජ්‍යෙෂ්ඨයන් කීපදෙනෙක් ද ඔහුට සහාය නොදෙති. මේ ගණන් හිලව් පසෙක තබමු. ඔහුට අනුග්‍රහය දක්වන කණ්ඩායමට තිබෙන ජන ප්‍රසාදය කොබඳුද? ඔවුන්ට මනාප දුන් අය එදා මෙන්ම ඔවුන් සමග සිටින බවට තිබෙන තහවුරුව කුමක්ද? ඒ අනුව ද මේ සහාය දැක්වීමට ජනතාව දක්වන ප්‍රතිචාරය කුමක්දැයි කාට කිව හැකිද? බොහෝ විට අවිධිමත්ව කෙරෙන සමීක්ෂණ මෙන්ම තමන් වටේ සිටින එහෙයියන් විසින් කරනු ලබන පිම්බීම් වලින් මුළාවන දේශපාලන චරිත ද හිඟ නැත. ඔවුන්ට තමන් සිටි මුළාව සිහිවන්නේ ඡන්ද ප්‍රතිඵල නිකුත් වූ පසුවය. එනිසා දේශපාලන වාචාල කථාවලට, චණ්ඩිපාට්වලට බොරු ප්‍රචාරවලට මෙන්ම මාධ්‍ය සංදර්ශනවලට ද අද ජනතා ප්‍රසාදය ලබාගත නොහැකි බව අප සිහිපත් කළ යුතුය.

ජනාධිපති රනිල්ට තව වරක් බලය දිය යුතු බව පවසන අයගේ එකම හේතුව ඔහු රටේ ආර්ථික අර්බුදයට විසඳුම් දුන් බවය. එහෙත් ඒ ආර්ථික ව්‍යසනයට වගකිව යුතු අය ගැන කථාවක් නැත. රටේ ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් අධිකරණයේ ස්වාධීනත්වය බිඳ වැටීම ආදිය පමණක් නොව සිය සේසතම උකසට තැබූ අන්ත පීඩිත 22%ක ජනතාව ගැන කථාවක් නැත. පාසල් අහිමිවූ ස්වයං ආර්ථිකයකින්
ගොඩනැගුණු අය හිඟමනට වැටීම ගැන කථාවක් නැත. ගොවි ප්‍රශ්න, ජීවන වියදම පමණක් නොව ඖෂධ ජාවාරමුන් හා ජාතික සම්පත් කොල්ල කෑම් පිළිබඳවද ලැබෙන වාර්තා කෙළවරක් නැත. රනිල් දිනවීමට “එක්ව ජයගමු” යැයි රට වටේ යන දේශපාලන පිනුම් අප්පුලා ගැන ද ජනතාව දනිති. පුංචි ඡන්දය අහෝසි කර ජනාධිපතිවරණය කල් දමා ගැනීමට ආණ්ඩුව අවසන් මොහොත දක්වා ක්‍රියා කළ බවද රටම දනී. මේ වන විටත් ඇදෙන පොලිස්පති අවුල මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ හීලෑ කරගැනීමේ ක්‍රියාකාරකම් ගැන ප්‍රබුද්ධ ජනතාව මෙන්ම සාමාන්‍ය ජනයා අතර ද විවේචන තිබේ.

2022 දී මෙරටේ සිදුවූ ජනතා නැගිටීමට (එහි අඩුපාඩු බොහෝ ය.) තුඩුදුන් හේතු සාධක මෙන්ම එහි හරයද එහෙම පිටින්ම වළලා දමා ගර්හිත හා දූෂිත පැරණි ක්‍රමයම එලෙස පවත්වාගෙන යෑමට ඉදිරිපත් වන්නෝ කවරහුද? එයට එරෙහිව ජනතා අභිලාෂයන් වටහා ගන්නා පිරිස් කවරහු ද යන්න නිවැරදිව වටහා ගත හැකි දේශපාලන සාක්ෂරතාවක් සහිත බහුතර ජනතාවක් යළිත් ඇන්දවීමට, මුළා කිරීමට පහසු නොවන බවද අපගේ අදහසය.

එසේම මෙතෙක් මෙරටේ බලය අත්පත් කරගත් දේශපාලන ප්‍රභූ තන්ත්‍රය මොනම හේතුවක් නිසා හෝ ඒ බලය නව දේශපාලන ධාරාවකට භාර කිරීමට එකඟ නොවෙති. රාජපක්ෂ කඳවුර සමග රනිල් එකතු කිරීමේ උපාය අද ඒ ප්‍රභූ පැලැන්තියේ සිහිනය විය නොහැකිද? ජනතා විශ්වාසය බිඳ වැටුණු මන්ත්‍රීවරුන් ඇතැම් ප්‍රාදේශීය දේශපාලනඥයන් ඇතුළු පිරිස් ද ඒ අපේක්ෂාව වෙනුවෙන් කැඳවා පෙළ ගන්වන ආකාරයද පෙනේ.

advertistmentadvertistment
advertistmentadvertistment