ඉදිරි ජනාධිපතිවරණයේ දී තම සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව වාරිමාර්ග සහ වනජීවී හා වනසම්පත් සංරක්ෂණ ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ සම්බන්ධව ඇය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් කර ඇත.
2022 වර්ෂයේ අපගේ මාතෘ භූමිය ආර්ථීක, දේශපාලන සහ සාමාජීය වශයෙන් බරපතල අස්ථාවරත්වයකට පත් වූ බව අප සියලු දෙනා දන්නා කරුණකි.
එවකට පැවැති අස්ථාවරත්වයෙන් රට මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කොටගත් දේශපාලන කණ්ඩායම් බොහොමයක් රනිල් වික්‍රමසිංහ මහතාව මෙරට ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට කටයුතු කළහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එකී වෙනත් දේශපාලන බලවේග රනිල් වික්‍රමසිංහ මහතා වෙත තැබූ විශ්වාසය අනුව අප මාතෘ භූමිය සැලකිය යුතු ස්ථාවරත්වයකට මේ වන විට පත්ව ඇත.
එම හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි රත්නපුර දිස්ත්‍රික්කයේ අති බහුතර පාක්ෂිකයන් සංඛ්‍යාවක් මා වෙත දන්වා සිටිනුයේ ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දෙන ලෙසය.
එබැවින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි තවදුරටත් සිටිමින්, ඉදිරි ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී ඇති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීමට මම තීරණය කළෙමි.