පොහොට්ටුවේ මැරයන් වැනසූ ගෝඨාගෝගම යළි ඉදිවෙයි

161

කොටුව ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන ‘ගෝඨාගෝගම‘ අරගල භූමියට පෙරේදා (9 දා) එල්ල වූ පොහොට්ටු ආධාරකරුවන්ගේ ප්‍රහාරයෙන් පසු යළිත් ‘ගෝඨාගෝගම’ ස්ථාපිත කිරීමට අරගලයේ යෙදුණු නිර්පාක්‍ෂික විරෝධතාකරුවෝ ඊයේ සවස සමත් වූහ.

ඒ අනුව ගාලුමුවදොර අරගලය අද (11 දා) 33 වැනි දිනයටත් ක්‍රියාත්මක කෙරේ.

පෙරේදා පස්වරුවේ ගාලුමුවදොර ගෝඨාගෝගම තිබූ අට්ටාල වෛi මධ්‍යස්ථාන, පුස්තකාලය හා වෙනත් වටිනා ස්ථාන, ආහාරපාන මෙන්ම ඔවුන් නවාතැන්ගෙන සිටි කූඩාරම් පවා මෙම ම්ලේච්ඡ පිරිස විසින් සිත්පිත් නැති අයුරින් විනාශකර දමා තිබිණි.

ඉන්පසු සමස්ත රටපුරාම දැඩි උණුසුම් තත්ත්වයක් උද්ගත වූ අතර මෙම අශිෂ්ට ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස පොහොට්ටු ආධාරකරුවන්ට පහරදීම් මෙන්ම දේපළ විනාශ කිරීම්ද සිදුවිය.

ඊය් (10 දා) උදෑසන ඇඳිරිනීතිය මධ්‍යයේද ගෝඨාගෝගමට ජනතාව විශාල පිරිසක් රැස්ව සිටියහ. එහිදී ඔවුහු ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැඳී සිටිමින් ‘ගෝඨා ගෝ හෝම්… ගෝඨා ගෝ හෝම්’ යනුවෙන් පවසමින් විරෝධය දක්වන්නට වූහ.

ඊයේ දිනයේදී වැඩවර්ජනයේ නිරත වෘත්තීය සමිති සාමාජිකයෝද එම අරගල භූමියට පැමිණ පොහොට්ටු ප්‍රහාරයට එරෙහිව විරෝධය දැක්වූහ.

අන්තර් විශ්වවිiාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුහුද අරගල භූමියේ සිට විරෝධය පාන්නට වූහ.

ගාලුමුවදොර සාමකාමී විරෝධතාව ආරම්භ වූයේ පසුගිය අප්‍රේල් 9 දා වන අතර ඊයේ දහවල් වන විට පොහොට්ටුවේ ආධාරකරුවන් පහරදී විනාශ කළ කූඩාරම්, වේදිකා අට්ටාල, සියල්ල විරෝධතාකරුවන් විසින් සකස් කර තිබේ.

මේ අතර ගාලුමුවදොර ගෝඨාගෝගම අරගල භූමියේ ස්ථිර ස්මාරකයක් නිර්මාණය කිරීමට අරගලකරුවන් තීරණය කර තිබේ.

මේ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීම මේ දිනවල ඉතා අපහසු බැවින් එය ඉදිකිරීම සඳහා අවශ්‍ය යකඩ කම්බි, යකඩ බම්බු හා යකඩ තහඩු ආදිය සපයා දෙන මෙන් ඔවුහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

ඊයේ සන්ධ්‍යා භාගයේදී අරගල භූමියට පැමිණි විශාල පිරිසක් ජාතික ධජය ලෙළ දෙවමින් සිය විරෝධය දක්වන්නට වූහ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment