පිරිසක් කොටඋඩ – පිරිසක් වැටඋඩ පුදුමයි වෙන වැඩ
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පොදුවේ ජනතාව තුළ තිබුණු අවිනිශ්චිත බවත් ව්‍යාකූලත්වයත් යම් ප්‍රමාණයකට දුරුවෙමින් තිබුණත් සමාජ – දේශපාලන මෙන්ම ජනමාධ්‍ය හා සිවිල් සංවිධාන මැදිවී සිටින කැලඹීම් හා උභතෝකෝටික තත්ත්වයන් විවිධ අයුරින් මතුවන ප්‍රවණතාවක් අද දැකගත හැකිය. ඒ පිළිබඳව ආණ්ඩුවටත් එහි නායකයන්ටත් විවේචන පමණක් නොව අධිචෝදනා පත්‍ර ද ඉදිරිපත් වෙමින් තිබේ. ඒ සියලු විවේචනවල හා චෝදනාවල හරය වන්නේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා පරමාධිපත්‍ය සුරැකීමට කැපවන බවට බරපතළ ප්‍රකාශ සිදු කළත් ඒවාට අභියෝගයක් වන ක්‍රියාකාරකම්වල ද නිරතව සිටින බවය. ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ඇතුළු අදාළ පාර්ශ්ව දැඩි අවධානයකින් හා අධිෂ්ඨානයකින් ක්‍රියාකරද්දී තවමත් කුමක් හෝ අවුලක් සමාජගත කෙරෙන බවද රහසක් නොවේ. මෙම ජනාධිපතිවරණය පැවැත්වීම දක්වා වූ ක්‍රියාදාමයට ආණ්ඩුවේ ඍජු මැදිහත්වීම් නොමැති වුවද එහි ආරම්භයේ සිටම ජනාධිපතිවරණය නොපැවැත්වීමේ අපේක්ෂාවක් ජනාධිපති රනිල්ගේ පාර්ශ්වයට තිබුණි. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම උපාය කෙරෙහි එජාප මහ ලේකම් රංගෙ බණ්ඩාරත් පාර්ලිමේන්තුවේ සිටින එකම එජාප මන්ත්‍රි (ජාතික ලැයිස්තුවෙන් පත්වූ) වජිරත් දරන ලද ප්‍රයත්නයත් ඉතා පැහැදිලි විය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිදුරු මෙන්ම එහි තිබෙන නීතිමය ප්‍රතිපාදන කෙරෙහි මේ එජාප නිලබල විසින් දක්වන ලද අවධානය කෙතරම් හාස්‍යජනක මෙන්ම අසාර්ථක ද යන්න රටම දන්නා කරුණකි. නව වසරකට නොඅඩු කාලයක් මෙරටේ ක්‍රියාත්මක වූ ව්‍යවස්ථාව අනුව විධායක ජනාධිපතිවරයෙක් තෝරාගත් ආකාරය පිළිබඳව හෝ නිශ්චිත දැනුමක් නොවූ පෙත්සම්කාරයන් දෙදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණය අබියස හෑල්ලුවට ලක්වූයේ කා වෙනුවෙන්දැයි අපැහැදිලිය. එහෙත් ඉනික්බිතිව 22 වැනි සංශෝධනයක් සඳහා පෙනී සිටි ජනාධිපති රනිල්ගේ මැදිහත්වීම බොහෝ දෙනකුගේ විස්මයට පමණක් නොව භීතියට ද හේතු විය. ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා විසින්ම කරන ලද පැහැදිලි කිරීම් ද ප්‍රශ්නකාරි වී තිබේ. 22 වැනි සංශෝධනයේ අතපසුවීම ජනාධිපතිවරයා විසින් ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්නට පැවරීම ගැන ඔහු සිය කනස්සල්ල ද පළකර තිබුණි.
ජනාධිපති රනිල්ගේ මෙම ප්‍රතිචාර මෙන්ම අද මෙරටේ උද්ගතව තිබෙන දේශපාලන ව්‍යාකූලත්වය පිළිබඳව ප්‍රාමණික විද්වත්හු මෙන්ම සිවිල් ක්‍රියාකාරීන්, වෘත්තිකයන් හා ජනතාව ද විවිධ අදහස් දක්වති. අද වනවිට මෙරටේ ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ යන ප්‍රධාන මෙන්ම උත්තරීතර ආයතන තුනම මැදිහත් වී සිටින විශාල අර්බුදයක් නිර්මාණය වී ඇත. එයට හේතුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් ලබාදෙන ලද තීන්දුවකි. මෙම අර්බුදය කථානායක හා අගවිනිසුරු යන දෙදෙනා විසින් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු බව ජනාධිපති රනිල්ගේ ස්ථාවරය බව පෙනේ. අපට මේ මහා බලවතුන්ගේ ප්‍රශ්නවලට මැදිහත් වී උපදෙස් දිය නොහැක. එහෙත් නීති ක්ෂේත්‍රවල ප්‍රාමණිකයෝ කිසිවෙක් ජනාධිපතිවරයාගේ යෝජනාව පිළිනොගනිතියි ඔවුන්ගේ ප්‍රකාශවලින් පැහැදිලි වේ.
අප මේ දක්වන්නේ ඔවුන් විසින් මාධ්‍යවලට දක්වන ලද අදහස්වල සම්පිණ්ඩනයකි. නීතිඥ සංගමය මේ සම්බන්ධයෙන් කළ අවධාරණය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ අවලංගු කිරීමට අගමැතිට, කථානායකට හෝ වෙනත් කිසිදු බලධාරියකුට බලයක් නොමැති බවය. මෙය අධිකරණය හෑල්ලුවට ලක්කිරීමක් බවද නීතිඥ සංගමය ප්‍රකාශ කර තිබේ. නීතිය සම්බන්ධ මහාචාර්යවරයකු වූ ජී.එල්. පීරිස් මන්ත්‍රිවරයා මාධ්‍ය හමුවක් කැඳවා මේ ක්‍රියාව දැඩිව විවේචනයට ලක්කර තිබේ. ඔහුට අනුව අනාගතයේදී මේ හා සම්බන්ධ සියලු දෙනාටම අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වගකීමට ද සිදුවන බව ඔහු පවසා ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු සලකා බැලීමට කැබිනට් මණ්ඩලයට බලයක් නැති බවද ඔහු පෙන්වා දෙයි.
මේ සම්බන්ධ ආණ්ඩුවේ ප්‍රතිචාරය ජනාධිපති රනිල්ගේ මැදිහත්වීමකින් ආරම්භ වූ බවද පැහැදිලිය. පොලිස්පතිට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් නවය විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීම ආණ්ඩුවේ ප්‍රශ්නයක් බවට පත්වූයේ ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලය සාකච්ඡා කිරීම නිසාය. කැබිනට් මණ්ඩලය එම තීන්දුව ගැන ප්‍රකාශයක් කිරීමේ අරමුණ කුමක්ද? ජනාධිපති රනිල්ට ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධයෙන් කිසියම් නොරුස්නා බවක් ඇතැයි අනුමාන කළ හැකි සිදුවීම් කීපයක් ද ඇත. විධායකයට අතපෙවීමට අධිකරණයට නොහැකි බව ජනාධිපති රනිල් පාර්ලිමේන්තුවේදිත් ඉන් පිටතදිත් ප්‍රකාශ කර ඇත. ස්ත්‍රී-පුරුෂ සමානාත්මතා කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තින්දුව පිළිබඳව සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවට ද ඔහු ප්‍රකාශ කර තිබුණි. ඔහුට හිතවත් මන්ත්‍රීවරයෙක් විසින් ද ඊට පෙර විනිසුරුවරුන් තේරීම් කාරක සභාවකට කැඳවීමේ යෝජනාවක් කළ බවද අපට මතකය. ජනාධිපති රනිල් මෙන්ම ඒ මන්ත්‍රීවරයා ද නීතිය දන්නා අය වීම ද විශේෂයෙන් සඳහන් කළ යුතුය.
ජනාධිපතිවරයාට අද ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධ නොසතුටක් තිබුණත් එදා ඔහුව අගමැතිවරයා ලෙස යළි පත් කිරීමට අදාළ ඓතිහාසික තීන්දුවක් ලබාදුන්නේ ද ඒ ශ්‍රේෂ්ඨාධිකරණයම බව ඔහුට අමතකදැයි අපි නොදනිමු. කුමක් වුවත් දේශපාලන අභිලාසයන් සසල වන තීණ්දු ලැබීම නිසා මෙරටේ විධායක ජනාධිපතිවරුන් කුපිත වූ බව නම් ජනතාවම දනිති. ජයවර්ධන යුගයේ විනිසුරුවරුන්ගේ නිවාසවලට ගල් ගැසීම මෙන්ම අධිකරණයෙන් වැරදිකරුවන් වූ පොලිස් නිලධාරීන්ගේ දඩ මුදල් ගෙවා උසස්වීම් ලබාදීමට ගත් අපකීර්තිමත් පියවර අපට මතකය. මහින්ද රාජපක්ෂ හිටපු අගවිනිසුරුවරියක වූ ශිරාණි බණ්ඩාරනායක විශ්‍රාම වැටුපක් නැතිව ගෙදර යැවූ බවද මතක තිබෙන අය අදත් සිටිති. ශ්‍රේෂ්ඨාධිකරණය බලයේ සිටින දේශපාලන පක්ෂවල හා නායකයන්ගේ අභිමතයට ගරු කරන තැනට ඇදගෙන යෑමට විධායකයට ඉඩ දිය යුතු නැත. ව්‍යවස්ථාදායකය ද ඒ ගෞරවය අධිකරණයට ලබාදිය යුතු අතර මේ ආයතන ත්‍රිත්වයම වෙන වෙනම රටේ ජාතික ආරක්ෂාව, නීතියේ ආධිපත්‍යය සුරැකීම ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කළ යුතු බව අමුතුවෙන් කිව යුතු නැත.
පොලිස්පතිවරයාට ලබාදුන් වාරණය නීතියට එකඟ බව නීති ක්ෂේත්‍ර පවසන අතරම විපක්ෂ නායක ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම් විසින් ද එම තීන්දුව අනුමත කරති. පොලිස්පතිවරයාගේ පත්කිරීම අභියෝගයට ලක්කළ පෙත්සම් නවයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ගැන අගමැති දිනේෂ් ගුණවර්ධන කළ ප්‍රකාශය විපක්ෂවල ද දැඩි විවේචනයට ලක්වී තිබේ. විපක්ෂ නායක සජිත් මෙන්ම ජාජබයේ අනුර කුමාර ද ඒ ප්‍රකාශ හැකි නම් පාර්ලිමේන්තුවෙන් පිටතට ඇවිත් කරන ලෙස විවෘත අභියෝගයක් ද කරති. විපක්ෂ නායක සජිත් ජනහමුවකදී දැඩිව ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ලබා දීමට පෙර හෝ පසුව ගරු විනිසුරුතුමන්ලා බාහිර පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමේ ක්‍රමයක්, එකඟතාවක් නැති බවය. ජනාධිපති රනිල් අද ඔහු විසින් ඇති කරන ලද අර්බුදය අගමැති හා කථානායක වෙතට යොමු කිරීම ද අපට වටහා ගත නොහැක.
පොලිස්පති පත්කිරීම නීත්‍යනුකූලව සිදුනොවූ බවට තිබෙන විවේචන හා චෝදනා ශ්‍රේෂ්ඨාධිකරණයට විභාග කළ නොහැකිද? ව්‍යවස්ථා සභාව වරක් නීතිපතිගේ සේවා දිගුව සම්බන්ධයෙන් දැක්වූ ප්‍රතිචාරය ද ජනාධිපති රනිල් නොරිසි වූවකි. ව්‍යවස්ථා සභාව පිහිටුවීමේ මූලික අරමුණ වූයේ නීතිය, සාධාරණත්වය වැනි මූලධර්ම සුරැකීමටය. අද මේ ආයතනයත් විධායකයේ මෙන්ම ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුවේ ද උදහසට ලක්වී තිබේද? ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රාජපක්ෂ තුන් බෑයන් එකල රටේ ආර්ථිකය කඩාවැටීමට වගකිව යුතු බවට දෙන ලද තීන්දුවක් ද ඇත. එහෙත් රාජපක්ෂවරු එයට ප්‍රතිචාර දැක්වීමට උනන්දු නොවූහ. එසේ නම්,
ඔවුන්ගේ ආශීර්වාදයෙන් මේ රටේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වූ රනිල් මෙබඳු ආන්දෝලනාත්මක දේශපාලන ගැටුම් නිර්මාණය කර ගැනීම බරපතළ ප්‍රශ්නයකි. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මෙම පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටීම දේශපාලන වුවමනාවක් ද නැතහොත් එය බරපතළ අගතිගාමී හා පදනම් විරහිත තීරණයකට එරෙහිව යුක්තිය හා සාධාරණය වෙනුවෙන් නැඟීසිටීමක් ද යන්නත් නිවැරදිව දැනගැනීමට මේ රටේ ජනතාවට ද අවශ්‍යය. එක් අතකින් මෙරටේ ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රමුඛ අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ තිබෙන අචල විශ්වාසයට මෙන්ම අදීනත්වයට ද කවර හෝ දේශපාලන මැදිහත්වීමක් සිදුවීම කිසිදු ප්‍රබුද්ධ පුරවැසියෙක් අනුමත නොකරන බවද සඳූහන් කළ යුතුය. අධිකරණ බලය ගමට ගෙන යන බවට ජා.ජ.බ. ලාල්කාන්ත විසින් කරන ලද ප්‍රකාශයක එල්ලුන ඇතැම් අය මේ සම්බන්ධයෙන් මුනිවත රැකීම ද ප්‍රශ්නයකි. ඇත්තටම මේ වන විට අපේ දේශපාලන ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨත්වයෙන් හා අත්දැකීම්වලින් ද වඩාත් පිරිපුන් චරිත වන ජනාධිපති රනිල්, අගමැති දිනේෂ් පමණක් නොව පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපතිවරයකු ද වන මහින්ද ද අද ඇතිවී තිබෙන මෙම දේශපාලන කඩාවැටීම ගැන සංවේදී නොවීම කෙබඳු අභාග්‍යයක් ද?
මේ දේශපාලන කැලඹීම් හා අවුල් ජාලා නිසා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කිසියම් සැක සංකාවක් ද යළි ඇතිවී තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ආපසු හැරවීමට ආණ්ඩුව යෝජනා කරන වාතාවරණය තුළ වැඩබලන පොලිස්පතිවරයකු පත් කිරීමට ජනාධිපතිවරයා ක්‍රියාකළහොත් කුමක් සිදුවිය හැකිද? එසේ වුවද පොලිස්පතිවරයකු නැතිව වුවද මැතිවරණ ක්‍රියාදාමය සිදුකළ හැකි බව මැතිවරණ කොමිසමත් අදාළ නිලධාරීනුත් පවසති. නීති ක්ෂේත්‍රවල අදහස වී ඇත්තේ ද වැඩබලන පොලිස්පතිවරයකු යටතේ 2019දී මැතිවරණයක් පවත්වා ඇති බවය. ප්‍රජාතන්ත්‍රවාදය, ඡන්ද පැවැත්වීම ආදිය සම්බන්ධයෙන් මේ ආණ්ඩුවටත් එහි නායකයා වන ජනාධිපති රනිල්ටත් තිබෙන විවේචන චෝදනා ගැන ද රටම දනී. එහෙව් පාලනයක් සමග ප්‍රජාතන්ත්‍රවාදය ගැන හෝ නීතියේ සමානාත්මතාව ගැන හෝ වාද කිරීම ද නිෂ්ඵලය. ඇත්ත වසයෙන්ම ජනාධිපති රනිල් ප්‍රමුඛ ආණ්ඩුවට වුවද මෙතෙක් සිදුවූ සියල්ල සමග කිසියම් පීඩනයක් තිබෙන්ට ද බැරි නැත. දේශපාලනයේදී පියවරක් පසුපසට ගැනීම රිසි නොවන නායකයෝ මෙරටේ එදත් සිටියහ. අදත් සිටිති. ඒ පුහුදුන් දුබලකම් දුරලා රටේ ජාතික වගකීම් ඉටු කිරීම පරාජයක් නොවන බව මේ ආණ්ඩුවට අපි සිහිපත් කරමු. එපමණක් නොව ජනාධිපති රනිල් ප්‍රමුඛ ආණ්ඩුවට යළිත් මේ ප්‍රජාතන්ත්‍රවාදී හිමිකමට පිටු පෑ නොහැකි බව අපගේ අදහසය. අපි එය එසේම වේවායි සුබවාදීව ප්‍රාර්ථනා කරන්නෙමු.
මේ දේශපාලන කැලඹීම් මැද ජනාධිපති රනිල් හා ඔහුට අනුග්‍රහය දැක්වූ පොදුජන පෙරමුණ එළැඹෙන ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ගත් තීරණය ද ජනමාධ්‍ය විශේෂ පුවතක් ලෙස වාර්තා කර තිබුණි. ජනාධිපති රනිල්ට යළිත් වරක් රට භාර කළ යුතුය යන අදහස වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් පොහොට්ටුවේ ද වූහ. ජනාධිපති රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බවට පොදුජන පෙරමුණේ ප්‍රබලයකු වන ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා මහජන රැලියකදී (ගම්පහ – කඩවත) යෝජනාවක් ද සම්මත කර තිබුණි. ඒ හැර ඒ අදහස තහවුරු කළ ඇමැතිවරු, රාජ්‍ය ඇමතිවරු හා මුල් පෙළ නායකයන් කීපදෙනෙක් ද වූහ. ගාල්ල ජනහමුවකදී ජනාධිපති රනිල් සිය අපේක්ෂකත්වය ප්‍රකාශයට ද පත් කර තිබුණි. එපමණක් නොව තම පක්ෂය රනිල් හැර වෙනත් අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට නම් කළහොත් ඔවුන් ඍජුවම ජනාධිපති රනිල් සමග සිටින බවද ප්‍රකාශයට පත් කර තිබුණි.
මෙසේ ඔන්චිල්ලාවක් මෙන් දෙපසට ගිය තීරණය සම්බන්ධයෙන් පොහොට්ටුව ඇතුළතම විවාදයක් ඇරඹී තිබුණි. එහි ජාතික සංවිධායක නාමල් හා තවත් අයගෙන් ජනාධිපති රනිල්ට යම් යම් විවේචන ද එල්ල වෙමින් තිබුණි. අවසානයේදී පක්ෂ නායක මහින්ද පැවසුවේ ඉකුත් සඳුදා (29දා) විධායක සභාව රැස්කර ඒ සම්බන්ධයෙන් තම පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශ කරන බවය.
ඉහත දැක්වූ පරිදිම පොදුජන පෙරමුණ රැස්වී තීන්දු කර තිබුණේ පොහොට්ටුව ලකුණින් තරග කිරීම සඳහා පක්ෂය නියෝජනය කරමින් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ය. එහිදී තවත් කැපීපෙනුණු සිදුවීමක් වූයේ ජනාධිපති රනිල් විසින් තමන්ට සහාය දක්වන ලෙසට ලිඛිතව කරන ලද ඉල්ලීමක් ද විධායක සභාව විසින් ප්‍රතික්ෂේප කිරීමය. එසේම ඉදිරි දින කීපය ඇතුළත පොහොට්ටුවේ අපේක්ෂකයා කවරෙක්දැයි ප්‍රකාශයට පත් කෙරෙන බව පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මාධ්‍යවලට පවසා තිබුණි. ජාතික සංවිධායක නාමල් ද එය තහවුරු කළේය. විධායක සභාවේ බහුතරයකින් එම යෝජනා සම්මත වෙද්දී රනිල්ට සහාය පළ කෙරුණු යෝජනාව සමග සිටියේ ඉතා සුළුතරයක් බවද මහලේකම් සාගර සඳහන් කර තිබුණි. එය සත්‍යයක් නම් පොහොට්ටුවේ රනිල් බලය දෙදරා යෑමකි. දැනටමත් ඒ දෙදරායෑමේ අනතුරු ඇඟවීම් දැක ගත හැකිය. එනම් පොදුජන පෙරමුණු විධායක මණ්ඩලය ගත් තීරණයට තමන් එකඟ නොවන බව පැවසීමට ජනාධිපති රනිල්ට අනුග්‍රහය දක්වන පිරිස තීරණය කර තිබීමයි. කංචන, බන්දුල ඇතුළු ඇමැතිවරු මෙන්ම රාජ්‍ය ඇමැතිවරුන් හා වෙනත් මන්ත්‍රිවරු ද වෙනම රැස්වී රනිල්ට සහාය දිය යුතු බවට එකඟතාවකට පැමිණීම එහි ප්‍රතිඵලයයි. ඔවුන්ගේ එක් තර්කයක් වූයේ ස්වාධීනව තරග කරන ජනාධිපති රනිල්ට තව අවස්ථාවක් ලබාදී ඔහු කළ මෙහෙවර ඇගයීම තම පක්ෂයේ යුතුකම බවය. මේ පිරිසට හැත්තෑපහක් පමණ මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් අයත් බවද ඉදිරියේදී එය තවත් වර්ධනය වන බවද ඔවුහු පවසති. කුමක් වුවත් ගිනිකන්ද පුපුරා යෑම නොවැළැක්විය හැකිය. දේශපාලනයේ මෙතෙක් කතාව ඔවුන්ට අලුතින් ලිවිය හැකි වේ දැයි දැන්ම අපට කිව නොහැක. එහෙත් පොහොට්ටුව දෙපළු වනු කිසිවකුට වැළැක්විය හැකි ද යන්නත් අපි නොදනිමු.
පොදුජන පෙරමුණේ මෙම තීරණය සම්බන්ධයෙන් ලැබෙන දේශපාලන ප්‍රතිචාරය කෙබඳුදැයි නුදුරු අනාගතයේදීම ජනතාවට දැක ගත හැකිවනු ඇත. ජනාධිපති රනිල් සමග සිටි සංඛ්‍යාව සුළුතරයක් නොවූ බව අපට පෙනුණු දෙයයි. කැබිනට් මණ්ඩලය තුළ ඔහු වෙනුවෙන් පෙනී සිටි බහුතරය පොහොට්ටුවේ තීරණය සමග එකඟ නොවෙති. මේ නිසා පොහොට්ටුව දෙදරා කොටස් කීපයකට කැඩී යෑමේ අනතුර ඉතා පැහැදිලිය. රාජපක්ෂවරුන් සමග එක වේදිකාවකට නැඟීමට පවා අකැමැතිවූ පොහොට්ටු මන්ත්‍රීවරු ද වූහ. මේ තීරණය සමග පොහොට්ටුව තුළ ඇතිවිය හැකි පිපිරීම සුළුපටු නොවන්නා සේම එයින් එජාපය තුළ ද දැඩි තිගැස්මක් ඇති විය නොහැකිද?
ජනාධිපති රනිල් ස්වාධීනව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ තම පක්ෂයේ ශක්තිය ගැන යථාවබෝධයකිනි. ඇත්තටම පසුගිය මහ මැතිවරණයේදී එජාපයට ලැබුණේ සියයට තුනකටත් අඩු ඡන්ද ප්‍රතිශතයකි. ජාතික ලැයිස්තුවට හිමිවූ ආසනයෙන් පාර්ලිමේන්තුවට පැමිණි රනිල් අගමැති වී ජනාධිපතිවීම නීතියට එකඟවූව ද ඒ සඳහා ඔහුට ජනවරමක් නොවීය. පොහොට්ටුවේ ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත්වූ ඔහුට ඒ ධුරය හිමි වූයේ 2022 මහජන විරෝධයට පින්සිදු වන්නටය.
1978 එජාපය ලත් ඓහිතිහාසික ජනවරමක් ජේ.ආර්. ජයවර්ධනගේ දේශපාලන ගමනත් සමග සසඳා බලන විට රනිල් ඒ පක්ෂයට ලබාදුන් ජයග්‍රහණයක් නැත. ස.ජ.බ. ලෙස වෙන්වූ සජිත්ලා විපක්ෂයේ ප්‍රබල පක්ෂය බවට ද පත්විය. අද ජනාධිපතිවරණ සටනේ ප්‍රමුඛ සටන්කරුවන් බවට පත්ව සිටින්නේ ද සජිත් හා සියයට තුනක් වැනි අඩු ප්‍රතිශතයක් ලබාගත් ජ.වි.පෙ. අනුර කුමාර දිසානායක ය. ඔහුගේ පක්ෂය ජා.ජ.බ.ය ලෙසත් ලකුණ මාලිමාව බවත් රටම දනී. වසර දෙකක් ජනාධිපති ලෙස සිටි රනිල්ට ජනතා විශ්වාසය දිනාගත නොහැකි විය. පළාත් පාලන මැතිවරණය අතුරුදන් කිරීමේ හේතුව ද ඒ මහජන ප්‍රසාදය අහිමිවීමට බලපෑ බව නිසැකවම කිව හැකිය. අද තිබෙන දේශපාලන ප්‍රවණතාව වන්නේ නිර්ප්‍රභූ දේශපාලන නායකත්වයක් දෙස ජනතාව බලා සිටීමය. රනිල් මෙන්ම මහින්ද ඇතුළු දේශපාලන කඳවුරම ඒ අලුත් දේශපාලන සන්ධානවලට බිය වීම තේරුම් ගත හැකිය. සම්ප්‍රදායි දේශපාලනයේ බහුතරය රනිල් කෙරෙහි විශ්වාසය තබන්නේ ද ඒ පසුබිම තුළය. සාම්ප්‍රදායික ප්‍රභූ දේශපාලන නායකත්වය බහුතර ජනතාවකගේ කෝපයට ද ලක්ව තිබෙන්නකි. එජාපය, ශ්‍රීලනිපය මෙන් බරපතළ කඩාවැටීමකට ලක්නොවුවත් පොහොට්ටුව ද ජන ප්‍රසාදය අහිමිකර ගෙන සිටියි. එළැඹෙන ජනාධිපතිවරණය අද මෙරටේ පවතින දේශපාලන ව්‍යාකූලත්වය හා අස්ථාවරත්වය ජය ගැනීමේ අභියෝගයට දෙන පිළිතුර කුමක්ද?
ගාමිණි සුමනසේකර