පොහොට්ටුව සහ වියත්මග මෙරට අන්තවාදී දේශපාලනය අන්තයටම ගෙන ගියා – එජාප නායක රනිල් වික‍්‍රමසිංහ

284

පොහොට්ටුව සහ වියත්මග මෙරට අන්තවාදී දේශපාලනය අන්තයටම ගෙන  ගියා යැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.

ඒ මහතා මේ අදහස් පළ කළේ ශ‍්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ ඒෆ‍්‍රියල් තරුණ ජාලය එක්ව පසුගිය 23 වැනිදා පැවැති මාධ්‍ය හමුවේදී ය.

හිටපු අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද කීය.

අද රට ආර්ථික වශයෙන් කඩා වැටෙන තත්ත්වයකට පැමිණෙමින් තිබෙනවා. පරිපාලනය ක‍්‍රියාත්මක වන්නේ නැහැ. හරි දේශපාලන තීන්දු ගන්නට නොහැකි වී තිබෙනවා. පාර්ලිමේන්තුව පැත්තකට දමලා. ජාත්‍යන්තර වශයෙන් අපේ විදේශ සබඳතා ඉතා දුර්වල වී තිබෙනවා.

අප ප‍්‍රශ්නවලට විසඳුම් හොයන්න නම් අලූත් යුගයක සිටින බව දැන ගත යුතුයි. අපට පරණ දේශපාලනයෙන් ඉදිරියට යන්න බැහැ. පොහොට්ටුව සහ වියත්මග මෙරට අන්තවාදී දේශපාලනය අන්තයකටම ගෙන ගියා. දැන් ජාතිවාදී අන්තවාදී දේශපාලනය හැම පැත්තකම ජනතාවට එපා වී තිබෙනවා. මේ අය පොරොන්දු ලබා දුන්නේ ප‍්‍රතිපත්තියක් නැතිවයි.

කිසිදු විශ්වාසයක් නැති කණ්ඩායමකට බලය ගොස් තිබෙනවා. අපට වැඩසටහනක් තිබෙනවා. අප අනාගතය ගැන කතා කළ යුතුයි. නැවත පරණ ක‍්‍රමයට යන්න බැහැ. පෙරමුණ හැදුවා කියා දිනන්නේ නැහැ. අද අප වැටී සිටින වළෙන් ගොඩ එන්නේ කෙසේද? යන කාරණය ගැන ජනතාව දැනගත යුතුයි. එලෙස ගොඩ යන්න මඟක් තිබේද? ඊට දිගුකාලීන සැලසුම් මොනවාද? යන්න සලකා බැලිය යුතුව තිබෙනවා.

අප ඉපදෙන කාලයේ ලංකාව සිටියේ ජපානය සමග සම මට්ටමකයි. අද අප ඉන්නේ ඇෆ්ගනිස්තානය මට්ටමේ. එසේ නම් ඔබේ අනාගතය කුමක්ද? ඉදිරි වසර 10 /15 ඇතුළත අනාගතය කුමක්ද? රටේ අනාගතය උතුරේ දකුණේ අනාගතය ගැන සිතා බැලිය යුතුව තිබෙනවා.

පළමුවෙන්ම තිබෙන්නේ කෙටිකාලීන සහන දීමයි. කොරෝනා වසංගතය මෙන්ම එක්ස්ප‍්‍රස් පර්ල් නැව ගිනි ගැනීමෙන් විශාල හානියක් සිදුව තිබෙනවා. එමෙන්ම කොරෝනා පාලන වැඩසටහන් විධිමත් කළ යුතුයි. සෞඛ්‍යය ආරක්ෂාවට මුල්තැන දිය යුතුයි. අනෙක් රටවල් කරන අයුරින් වෛද්‍ය උපදේශක කමිටුවකුත් ඒවා ක‍්‍රියාත්මක කරන පරිපාලන කමිටුවකුත් අවශ්‍යයි. මේ සම්බන්ධ තීරණ ගත යුත්තේ කැබිනට් මණ්ඩලයයි. ඇමැති මණ්ඩලය පැත්තකට දමා වැඩ කටයුතු කරන්න බැහැ. ඇමැති මණ්ඩලය පාර්ලිමේන්තුවට වගකියනවා. පාර්ලිමේන්තුවේ ඉන්න අය සියලූ දෙනාත් අප එකතු කරගත යුතුයි. අපට ඉදිරියට යෑමට ඇති මාර්ගය එයයි.

එන්නත ලබා ගැනීම සඳහා අද අපට විදේශ විනිමය නැහැ. අවුරුදු 12 ට වැඩි සෑම දෙනාටම එන්නට දෙන්න අද ශක්තියක් නැහැ. අප ඒ කටයුතුවලින් පටන් ගෙන ආර්ථික ආරක්ෂණය ගැන සිතා බැලිය යුතුව තිබෙනවා.

මේ මාසයේ බැඳුම්කර ණය ගෙවූ පසු අපට තිබෙන්නේ ඩොලර් කෝටි තුන්දාහකට වඩා අඩු මුදලක්. තෙල් සංස්ථාවේ කෝටි 130 ක ණයක් තිබෙනවා. වාණිජ බැංකු තවත් කෝටි 300ක් විදේශ වලට අය වී තිබෙනවා. දැනට මේ තත්ත්වය බේරා ගෙන යන්නේ ණය ගෙවන්නේ නැතිවයි. මේ වසර අවසානය වන විට තවත් කෝටි එකසිය පනහකට ආසන්න මුදලක් බැඳුම්කර ණය වෙනුවෙන් ගෙවන්නට සිදුවේවි.

විදේශ විනිමය හිඟය නිසා අපට පොහොර බෙහෙත් හිඟ වී තිබෙනවා. ආනයන නතර වී තිබෙනවා. අප පළමුවෙන්ම විදේශ විනිමය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යායුතුයි. මූල්‍ය අරමුදලට ගිය පසු ඔවුන් දෙන සහතිකය මත අනෙක් රටවල් වලිනුත් අපට ණය ගන්න පුළුවන්. නැවත බැඳුම්කර වෙළෙඳපොළෙනුත් ණය ගන්න පුළුවන්.

පළමුවෙන්ම තිබෙන්නේ එම ණය ගෙන අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගෙන නැවත ජීවිතය ආරම්භ කිරීමයි. ධීවර අංශයට දියයුතු සහනය කුමක්දැයි කල්පනා කර බැලිය යුතුව තිබෙනවා. එමෙන්ම සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් ද සහන දිය යුතුව තිබෙනවා. නැති වූ රැුකියා හඳුනාගෙන ඒවා නැවත ඇරඹිය යුතුව තිබෙනවා. අප විදේශ අංශයෙන් මෙන්ම ආදායමෙන් ද බංකොළොත් වී සිටිනවා.

ජපානය ඇමරිකාව යුරෝපයේ රටවල් සමඟත් අප මිතුරු විය යුතුයි. අපගේ ලොකුම වෙළෙඳපොළ තිබෙන්නේ ඉන්දියාවේ. ලොව හැම රටකටම ආධාර කරන්න චීනයට බැහැ. අපේ ආර්ථිකය හදාගන්නේ නැතිනම් චීනයෙනුත් ආධාර ලැබෙන්නේ නැහැ.

ප‍්‍රධාන ප‍්‍රතිපත්තිය දිගුකාලීන ආර්ථික රාමුවක් ඇති කිරීමයි. කිසිවෙකුටත් කඩන්න බැරි ශක්තිමත් රාමුවක් හදන්න අවශ්‍යයි.

චීනය 1978 වසරේ සිට එවැනි දිගු කාලීන වැඩසටහනක් ක‍්‍රියාත්මක කළා. ජපානයට සම්පූර්ණ ප‍්‍රතිපත්ති රාමුවක් තිබෙනවා. වසර දෙකෙන් දෙකට ආණ්ඩු මාරු වුණත් ප‍්‍රතිපත්ති මාරු වන්නේ නැහැ. යුරෝපා රටවලත් එහෙමයි. ඒ අයගේ දේශපාලන තරගකාරීත්වය ගෙන යන්නේ ඒ ප‍්‍රතිපත්ති රාමුව ඇතුළෙයි. නමුත් අප ආණ්ඩු මාරු වූ ගමන් හැම දෙයක්ම මාරු කරනවා.

අප ප‍්‍රාථමික අයවැයේ අතිරික්තයක් ඇති කළා. එහි අරමුණ වූයේ රුපියල් ශක්තිමත් කිරීමයි. දෙවැනි වාරයක් තිබුණා නම් 175 දක්වා රුපියල ගෙන ඒමට හැකියාව තිබුණා. අප පළමුවෙන්ම උත්සාහ කළ යුත්තේ මූලික ප‍්‍රතිපත්ති රාමුව ඇතිකිරීමයි. එය ව්‍යවස්ථාවෙන්ම ඇතුළත් කළ යුතු ආකාරයට සාකච්ඡුා කළ යුතුව තිබෙනවා. සෑම දේශපාලන පක්ෂයක්ම එය පිළිගෙන වැඩ කටයුතු කළ යුතුව තිබෙනවා.

විසිවන සංශෝධනය ඉවත් කර නව ව්‍යවස්ථාවක් ගැන සිතිය යුතුයි. අවශ්‍ය නම් දහනව වන සංශෝධනය නැවත බලාත්මක කර එතැන් සිට නව ව්‍යවස්ථාවක් හදන්න පුළුවන්. නැතිනම් එක්වරම නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ හැකියි. කෙසේ හෝ විසි වන ව්‍යවස්ථා සංශෝධනයෙන් වහා ඉවත් විය යුතුව තිබෙනවා.

අපේ ප‍්‍රතිපත්තිය විය යුත්තේ ලෝකය සමඟ තරග කිරීම සහ ලෝක වෙළෙඳපොළට පිවිසීමයි. අද ලෝකයේ ඉතා පුළුල් වෙළෙඳ ගිවිසුම් තිබෙනවා. ජපානය, චීනය, දකුණු කොරියාව, ඔස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, ආසියා රටවල් ඇතුළත් විශාල ගිවිසුම් තිබෙනවා. ඒ අනුව අඩු තීරු බදු යටතේ වෙළෙඳාම් කරන්න අවස්ථාව ලැබෙනවා.

මේ කණ්ඩායම් සමග අප වැඩ කළ යුතුව තිබෙනවා. අපට දේශීය ආර්ථිකයෙන් පමණක් ඉදිරියට යන්න පුළුවන්ද? අප 77 වසරේ ඇති කළ ආර්ථික පදනමෙන් ද යන්න බැහැ. ඇඟලූම්, සංචාරක කර්මාන්තය, විදේශ රැුකියා, තේ කර්මාන්තයෙන් පමණක් එය කරන්නට බැහැ. දැන් අපට අලූත් ආර්ථිකයක් අවශ්‍යයි.

අපට දැනුම පදනම් කරගත් ආර්ථිකයක් අවශ්‍යව තිබෙනවා. අප ඩිජිටල් ක‍්‍රමවේදයකට යා යුතුයි. එමෙන්ම හරිත ආර්ථිකයක් ගැන සිතිය යුතුයි. එමෙන්ම ඉන්දියන් සාගරයේ ප‍්‍රවාහන මධ්‍යස්ථානයක් ද ඇති කළ යුතුයි. අක්වෙරළ ආර්ථිකයක් ඇති කළ යුතුයි. අපට ක‍්‍රියාත්මක කරන්නට මෙවැනි කාරණා ගණනාවක් තිබෙනවා. කෘෂිකර්මාන්තය නවීකරණය කර ගමේ ආර්ථිකයට නව පණක් ලබා දිය යුතුව තිබෙනවා. ලෝක වෙළෙඳ පොළ ඉලක්ක කරගෙන අපේ කර්මාන්ත දියුණු කළ යුතුව තිබෙනවා.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment