පොහොට්ටු දෙකඩ කරන අනෙක් පක්ෂ කඹ අදින මොකක්ද මේ 21

194

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් වූ කලී රටක උත්තරීතර නීතියයි. එහිදී රටක ඕනෑම නීතියක් අභිබවා මෙම උත්තරීතර නීතිය ක්‍රියාවට නැංවේ. එනම් රාජ්‍යයක පුරවැසියන් පාලනය කරන දිශානතිය එමගින් පෙන්නුම් කෙරේ. අප රටේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1978 දී පනවා ගනු ලැබූවකි. ඕනෑම රටක යාවත්කාලීන වන සමාජ, ආර්ථික සහ දේශපාලන සංදර්භයන් හමුවේ ව්‍යවස්ථාව සංශෝධනයන්ට ලක්වෙයි. එය නිතැතින්ම සිදුවන ක්‍රියාවලියකි. ඒ ආකාරයෙන් අපේ රටේ ව්‍යවස්ථාව ද එතැන් පටන් මේ තාක් විසි වතාවක් සංශෝධනයට ලක්ව ඇත. ඉතා කෙටි කාලයක් තුළ බොහෝ වාර ගණනක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයන්ට යටත් වුවද තවමත් අප රටේ පවතින ගැටලු නිරාකරණය කර ගැනීමට අප සමත් වී නැත. එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැවතත් 21 වන වතාවටත් සංශෝධනය කිරීම සඳහා මේ වනවිට සමාජය තුළ පුළුල් කතිකාවතක් නිර්මාණය වී ඇත.

ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් ගෙන එනු ලැබූ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරියට ආවේ ඇයි?

ආචාර්ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ දැනටමත් 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කොට ඇත. තවද සමගි ජනබලවේගය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබිණි. ඔවුන් ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පත පිළිබඳව නීතිපතිවරයාගේ මතය වූයේ එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් 2/3ක යෝජනා සම්මතයකින් පමණක් සම්මත කර ගැනීමට නොහැකි බවත් ඒ සඳහා ජනමත විචාරණයක් ද පැවැත්වීමට සිදුවන බවය. අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙයාකාරයකට සංශෝධනය කළ හැකිය. ඉන් පළමුවැන්න නම් පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් 2/3ක බහුතර ඡන්දයකින් සම්මත කර ගැනීමය. නමුත් සෑම වගන්තියක් මෙයාකාරයෙන් සම්මත කරගැනීමට නොහැකිය. එනම් ඇතැම් වගන්ති සංශෝධනය කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර ඡන්දයට අමතරව ජනමත විචාරණයක දී ජනතාවගේ අනුමැතිය ද ලබා ගැනීම අනිවාර්ය වේ. මෙහිදී රටේ පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ මේ මොහොතේදී ජනමත විචාරණයක් පැවැත්වීමට අවකාශයක් නැත. එය ඕනෑම පොඩි දරුවකුට වුවද තේරෙන තත්ත්වයකි. එබැවින් සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරන්නට යෙදුණු පනත් කෙටුම්පත යම් පසුගාමී තත්ත්වයකට පත්විය. එබැවින් ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන්නට යෙදුණු 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය තුළ සාකච්ඡා කොට තීරණයකට එළැඹීමට තීරණය කෙරුණි.

● වැරිදි පූර්වාදර්ශ…

මෙම 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, පූජ්‍ය පක්ෂය සහ පුරවැසියන් වෙතින්ද විවිධ කරුණු ඉදිරිපත් වෙමින් පවතී. එකී ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ඇතැම් විට එකම පක්ෂය තුළ වුවද මතවාද කිහිපයක් ඉදිරිපත් වෙමින් පැවැතිම සුවිශේෂි තත්ත්වයකි. එය කොතරම් දුරට දේශපාලන පක්ෂ වෙත බලපා ඇත්ද යන්න පිළිබඳව සලකා බැලීමේදී අද වන විට එම දේශපාලන පක්ෂ දෙකඩ වීම සඳහා පවා තීරණාත්මක සාධකයක් බවට මෙම කරුණ බලපා ඇත. එය හුදු දේශපාලන බල පොරයේ බෙදුම් රේඛාව බවට පත්ව ඇත. එයට මූලිකම හේතුව මේ තාක් කල් අප රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉතිහාසය දෙස බැලීමේදී අවබෝධ කර ගත හැකිය. එනම් සරලව කිවහොත් අප රටේ බෝහෝ අවස්ථාවලදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් සිදු කරන්නේ රටේ අවශ්‍යතාව සඳහා නොවේ. දේශපාලනඥයන්ගේ හුදු පටු බලලෝභී දේශපාලන අරමුණු වෙනුවෙනි. ඔවුන්ගේ හැසිරීම ද මෙවරද ඒ ආකාරයෙන්ම පෙන්නුම් කෙරේ.

● 19න් අපට ලැබුණ දේ…

අපගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ගෙන එනු ලැබූ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කවර අඩුපාඩු පැවතියද මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා යම් පිටුබලයක් ලැබුණි. එමගින් විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ යන බල ව්‍යුහයන් අතර යම් සංවරණ සහ තුලන (Check & Balances) ක්‍රියාදාමයක් නිර්මාණය කෙරුණි. එනම් විධායක ජනාධිපති ධුරයේ නිල කාලය වසර 5කට සීමා කෙරිණි. එමෙන්ම යම් තැනැත්තෙකුට ජනාධිපති ධුරය දැරිය හැකි වාර ගණන දෙවතාවක් දක්වා පමණක් බවට සීමා පැනවිය. මෙම තත්ත්වය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර පැවති තත්ත්වයයි. එනම් මහින්ද රාජපක්ෂ 18 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ජනාධිපතිවරයකුට ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් වීමට හැකි වාර ගණන වෙනස් කෙරිණි. එනම් 19 වන ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනය මගින් නැවතත් එය යථාවත් කෙරිණි. එනම් ප්‍රජාතන්ත්‍රීකරණයේ අතින් ඉතා දියුණු රාජ්‍යයක් වශයෙන් සම්මත ඇමරිකා එක්සත් ජනපදය තුළ පවා යම් තැනැත්තෙකුට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය හැකි වාර ගණන උපරිමයෙන් වාර 2කට සීමා කොට ඇත. එමෙන්ම 19 න් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කෙරිණි. ඒ අනුව එකී කොමිෂන් සභාවල නිලධාරීන්ගේ පත්කිරීම්, උසස් කිරීම්, මාරු කිරීම් සහ විනය සම්බන්ධයෙන් කරුණු ස්වාධීන විය. එමෙන්ම ජනාධිපතිවරයාට අමාත්‍ය ධුර දැරිය නොහැකි බවට වන විධිවිධානයක් සැලැස්විය. එනම් එවකට ජනාධිපති ධුරය දැරූ මෛත්‍රිපාල සිරිසේනට පමණක් පරිසරය සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධුරයන් දැරීම සීමා කොට ඉන් ඉනික්බිතිව පත්වෙන ඕනෑම ජනාධිපතිවරයෙකුට එලෙස අමාත්‍යධුර දැරීමේ අවකාශ එමගින් අහිමි කොට තිබිණි. එමෙන්ම ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරු පත් කිරීමේදී අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත එකී පත්කිරීම් සිදු කළ යුතු බවට කොන්දේසියක් පැනවිණි. එමෙන්ම පොලිස්පතිවරයා, විගණකාධිපතිවරයා, උපරිමාධිකරණ විනිසුරුවන්, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු රජයේ ඇතැම් ඉහළ නිලධාරීන් පත් කරනු ලැබුවේ ව්‍යවස්ථාදායක සභාව විසිනි.

යහපාලන ආණ්ඩු කාලසීමාව තුළදී සම්මත කර ගන්නට යෙදුණ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බොහෝ ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පරිච්චින්න කෙරිණි. සැබැවින්ම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වූ කලී බලලෝභී දේශපාලන බල පෙරලියේ තවත් එක් දේශපාලන ප්‍රෝඩාවකි. එහි ප්‍රතිවිපාක අදට ද අප මුහුණ දෙමින් සිටී. එනම් වර්තමානයේදී පවා වඩාත් ආන්දෝලනාත්මක ලෙස කතාබහට ලක් වන ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ කරුණ වඩාත් කැපී පෙනේ. එමගින් ද්විත්ව පුරවැසිභාවයක් සහිත පුද්ගලයෙකුට පවා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දොර විවර වුණි. එහි පල නෙළා ගත්තේ බැසිල් රාජපක්ෂය. පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිට අනුව නම් බැසිල් මොළ හතේ ආර්ථික න්‍යායචාර්යවරයෙකි. අවසානයේදි ආර්ථික වශයෙන් පමණක් නොව දේශපාලන වශයෙන්ද රට අස්ථාවරත්වයට පත් විය. මෙලෙස රට ආගාධයට පැමිණවීමේ වගකීම බැසිල් රාජපක්ෂට පමණක් ලඝු කොට සැලකිය නොහැක. ඒ සඳහා බොහෝ වගඋත්තරකරුවන් ඇත. නමුදු ඒ අතරින් බැසිල් රාජපක්ෂ සුවිශේෂ වන්නේ ඒ වගඋත්තරකරුවන්ට නායකත්වය දෙන්නේ අදටත් බැසිල් රාජපක්ෂ වීම නිසාවෙන්මය.

● කවුරු කවුරුත් ගොඩයන්න හදන 21

රට ආර්ථික සහ දේශපාලන වශයෙන් අස්ථාවර නොවන්නට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 21 වන වතාවට සංශෝධනය කළ යුතුය යන කරුණ කරලියට පැමිණෙන්නේ ද නැත. මන්දයත් ඒ වන විටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ උපරිම බල අධිකාරියක් පැවැතුණි. එවැනි විටකදී අපේ රට දේශපාලන පක්ෂයක් ජනතාවට හිතකර ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට කටයුතු කරන්නේ නම් නැත. එනම් “බලය තිබෙන විට මොළේ නැත. මොළේ තිබෙන විට බලය නැත යන සුප්‍රකට කියමනක් වේ. අපේ රටේ දේශපාලනඥයන් සම්බන්ධයෙන් නම් එකී කියමන සියයට සියයක්ම පාහේ නිවැරදිය. එබැවින් මෙම බල අස්ථාවරත්වය හමුවේ රටට යහපත් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට ජනතාව පාලකයන්ව පෙළඹ විය යුතුය. ඒ සඳහා ජනතාව උපායශීලී විය යුතුය. ලෝක දේශපාලන ඉතිහාසයේ පළමුවරට තනි මන්ත්‍රී ආසන ධුරයත් පවතින පක්ෂයක මන්ත්‍රීවරයෙක් අග්‍රාමාත්‍ය ධුරය දරන්නේ ය. ඔහුගේ සහයට සිටිනුයේ පැවති රජයේ මන්ත්‍රීවරුන් ය. එනම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ය. එනම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැනටමත් ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් ගෙන එනු ලැබූ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරවා ගැනීම සඳහා එකඟ වී ඇත. නමුදු ගැටලුව වී ඇත්තේ එය නොවේ. එනම් අග්‍රාමාත්‍යවරයාට ඔහුගේ සහයට සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ සහාය 21 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ලබාගත හැකිද යන වගයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට පෞද්ගලිකව බැලුවද 21 වන ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම අවාසි සහගත තත්ත්වයක් උද්ගත නොවේ. මන්දයත් පාර්ලිමේන්තු බලය ශක්තිමත් වීම ඔහුට හිතකරය. එනම් ඔහු නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය මේ වනවිට දේශපාලන වශයෙන් දියාරු වී ඇත. එබැවින් ඔහුට ඉදිරි 2025 දී පැවැත්වෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අපේක්ෂා සහගතව සිටිය නොහැක. එමෙන්ම ඔහු දේශපාලන වශයෙන් ගත කරනුයේ ද සැඳෑ සමයේ ය. එබැවින් ඔහුට ඇති වන්නට හෝ නැති වන්නට කියා දෙයක් නැත. නමුදු යම් හෙයකින් 21 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට ලැබුණහොත් එමගින් අත්වන ලකුණු මුළුමනින්ම ඔහු සන්තක කර ගැනීමට ඔහුට හැකියාව ඇත. එමගින් ඇතිවන උද්දීපනය යම්තාක් දුරකට හෝ සතර ඝාතයෙන් ඇද වැටී ඇති එක්සත් ජාතික පක්ෂයට ඉදිරි මැතිවරණයකදී මීට වඩා වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට හැකියාව නිතැතින් උදාවේ. එබැවින් රනිල් වික්‍රමසිංහට 21 වන ව්‍යවස්ථා සංශෝධනයට අකැමැති වීමට දෙයක් නැත. යම් හෙයකින් වික්‍රමසිංහ විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඔහුට සහාය වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන නේ මන්ත්‍රීවරු ඊට එරෙහිව වුවහොත් එහි අවාසි සහගත බැරපැන යන්නේද එකී විරුද්ධ වූ පිරිස් වෙත ය. එබැවින් මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවද සම්මත නොවුවද රනිල් වික්‍රමසිංහ දැනටමත් ජයග්‍රහණය කර ඇත.

● පොහොට්ටුවට බැරි ඇයි?

මෙම 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා සහාය දක්වනවා ද නැද්ද යන්න පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ මේ වන විට පවතින්නේ බෙදුණු මතවාදයකි. එම පෙරමුණේ බැසිල් හිතවාදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනටමත් ඊට සිය විරෝධය දක්වා ඇත. ඊට මූලිකතම හේතු වී ඇත්තේ මෙම ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනය මඟින් දක්වා ඇති ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ කාරණාවයි. යම් හෙයකින් මෙම පනත සම්මත වුවහොත් බැසිල්ට සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වේ. එය එසේ සිදුවුවහොත් ඔහු වටා වසා ඇති දේශපාලන කිනිතුල්ලන් ගැලවී විසි වී යනු ඇත. එබැවින් බැසිලියානු කණ්ඩායමට අවශ්‍යව ඇත්තේ මෙම ව්‍යවස්ථා සංශෝධනය පරාජයට පත් කිරීමය. එම කණ්ඩායමේ දේශපාලන පැවැත්ම සඳහා එය එසේ විය යුතුමය. තවද එම කණ්ඩායමේ ඉදිරි ජනාධිපතිවරණ දේශපාලන අපේක්ෂක සිහින කුමරා වන්නේද බැසිල් රාජපක්ෂය. නමුදු බැසිල් රාජපක්ෂ පමණක් නොව සියලු රාජපක්ෂවරු දේශපාලනයෙන් සමු ගැනීමට කාලය එළඹ ඇති බව විශ්වාස කරන පිරිස් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ දැන් දැන් දක්නට ඇත. එය රාජපක්ෂවරු සිටීම දේශපාලන වශයෙන් සුබ අනාගතයකට පෙර නිමිති දකින බොහෝ පිරිස් වෙත එකී අපේක්ෂාවන් ඉච්ඡාභංගත්වයට පමුණුවාලයි. එනම් කොතරම් දක්ෂයකු වුවද අමාත්‍ය ධුරයෙන් ඔබ්බට ගමන් කළ නොහැකිය. තවද අමාත්‍යධූරයට පත් වුවද ඔවුනට ලැබෙනුයේ තෙවන පන්තියේ අමාත්‍යධුරයන්ය. එනම් අමාත්‍යධුර කෙසේ වෙතත් මේ යන විදියට රාජපක්ෂවරු ඉදිරියේදීත් රට පාලනය කළේ නම් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී සිය පාර්ලිමේන්තු අසුන පවා අහිමි වන බව ඔවුහු හොඳාකාරව තේරුම් ගෙන සිටිති. එමෙන්ම පසුගිය දින කීහිපය තුළ ඇතිවූ ආසන්නතම සිද්ධි සමුදාය ද ඔවුන්ව මෙම තීරණයට තල්ලු කිරීමට ප්‍රබල හේතුවක් වනු නොඅනුමානය. එනම් රට තුළ පවතින ආර්ථික, දේශපාලන අස්ථාවරත්වය හමුවේ ජනතාව නීතිය අතට ගත්තේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනිබත් කළේය. පහර දුන්නේ ය. බැන අඬ ගැසුවේය. තර්ජන ගර්ජන කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මහමග අමු අමුවේ මරා දැමුවේය. මේ සියලු සිදුවීම් ඔවුන්ගේ අනාගත දේශපාලන ඉරණම සිදු කෙරෙන ආකාරය පිළිබඳව පූර්ව දැනුම් දීමක් බඳුය. එනම් මෙම සියලු සිදුවීම් ජනතාව දේශපාලනඥයන් කෙරෙහි තබා ඇති අවිශ්වාසනීයභාවයේ කැඩපතක් වේ.

සමගි ජන ජනබලවේගයේ මතය වන්නේ විධායක ජනාධිපති ධුරය මුළුමනින්ම අහෝසි විය යුතුය යන්නය. නමුදු විධායක ජනාධිපති ධුරය අහෝසි වන්නේ නම් දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඊට බද්ධව හඳුන්වා දී ඇති පළාත් සභා සහ සමානුපාතික ඡන්ද ක්‍රමය යනාදිය පිළිබඳව ද පුළුල් සංවාදයක් ඇති විය යුතුය. එවන් වූ ආකාරයෙන් සංශෝධන සඳහා පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් 2/3ක බහුතර ඡන්දයකට අමතරව ජනමත විචාරණයකටද යා යුතුය. නමුදු අප රටේ පවතින සමාජ, දේශපාලන සහ ආර්ථික අර්බුද හමුවේ ජනමත විචාරණයකට යෑමේ වටපිටාවක් මේ මොහොතේ දී කිසිසේත්ම නොමැත. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම අපේ රටේ පවතින ආරක්ෂාව සම්බන්ධයෙන්ද යම් කිසි ආකාරයක ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය විය හැකිය. මන්දයත් යම් හෙයකින් පාර්ලිමේන්තුව තුළ බහුතර ආසන සංඛ්‍යාවක් හිමි ආණ්ඩුවක් තේරී පත් නොවුණහොත් එනම් විශේෂයෙන්ම ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණ ගැනීමේ කටයුතුවලදී මුළුමනින්ම එකී ක්‍රියාවලිය අඩාල වීමේ අවදානමක් පවතී. එවැනි විටකදී මුළු රාජ්‍ය යාන්ත්‍රණයම බිඳ වැටේ. මේ පිළිබඳව ජෙනරල් සරත් ෆොන්සේකා දක්වන්නේ වෙනස්ම මතයකි. ඔහු කියා සිටින්නේ අප රටට විධායක ජනාධිපති ධුරය අත්‍යවශ්‍ය අංගයක් බවයි. සමගි ජන බලවේගයේ හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර දැනටමත් 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා සිය සහාය ලබාදෙන බවට දැනටමත් ප්‍රකාශයට පත් කොට ඇත. එමෙන්ම විධායක ජනාධිපති ධුරය අහෝසි වුවහොත් අප රටෙහි සම්පත් කෙරෙහි අවධානයෙන් සිටින ජාත්‍යන්තර බලවේගවලට අප විසින්ම ප්‍රවේශයන් සලසා දෙයි. විශේෂයෙන්ම රටක ආර්ථිකය බිඳ වැටුණු විට ඕනෑම රාජ්‍යයකට අප රටට අත පෙවිය හැකිය

● වමේ පක්ෂ කර හරිති

රට තුළ පවතින දේශපාලන වාතාවරණය හමුවේ ජනතා විමුක්ති පෙරමුණෙන් බිඳී වෙනම සංවිධානයක් ලෙස කඳවුරු ගත වුණ පෙරටුගාමී සමාජවාදී පක්ෂය නැවත වතාවක් ජනතා විමුක්ති පෙරමුණ සමග එක්ව ක්‍රියා කිරීමට යම් යම් එකඟතාවන්ට පැමිණීම සුවිශේෂී ලක්ෂණයකි. එනම් 21 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සම්මත කර ගැනීම සම්බන්ධයෙන්ද මෙම කණ්ඩායම් වෙතින් එතරම් සුබවාදී ප්‍රතිචාරයක් දක්නට ලැබෙන්නේ නැත. ඔවුන් ද ඊට යම් යම් කොන්දේසි එකතු කරමින් පවතී. ඔවුන් විසින් ගෙන එනු ලබන කොන්දේසි එකතු කරගැනීම ව්‍යවස්ථා සංශෝධනයේදී වඩා වැදගත් වනු ඇත. ඔවුන් දක්වා සිටින්නේ විවිධ අවස්ථාවල කෑලි කඩා අමුණා තිබෙන මෙම ව්‍යවස්ථාව මුලින්ම වෙනස් කොට පූර්ණ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බවය. මෙම පාලකයන්ගෙන් මෙම අවශ්‍යතාව සම්පූර්ණ නොවන බවත් එබැවින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන දිසාවට සහයෝගය දෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට පක්ෂව ඡන්දය ලබා දෙන බවත් ඔවුහු වැඩිදුරටත් දක්වා සිටිති. ඒ සඳහා ඔවුන් ඉදිරිපත් කරනු ලබන ප්‍රමුඛතම කොන්දේසි අතර ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍ය ධුරයක් දැරීමට නොහැකි වීම, මන්ත්‍රීවරුන්ට විවිධ වරදාන, වරප්‍රසාද හමුවේ පක්ෂ මාරු කිරීමට පවතින ඉඩ ප්‍රස්ථාව සඳහා වැට බැඳීම, එමෙන්ම ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබූවන්ට, මරණීය දණ්ඩනය නියම වූ අයට ජනාධිපතිවරයා වෙත පවතින ජනාධිපති සමාව දීමේ බලය සීමා කිරීම, තවද ද්විත්ව පුරවැසිභාවය කියන කාරණාව ජනාධිපතිවරයාට මැති ඇමැතිවරුන්ට පමණක් නොව රටේ වැදගත් ආයතනවලට පත් කිරීමේදී ද අදාළ විය යුතු බව, අමාත්‍යාංශ ලේකම්වරු පත්කිරීම ව්‍යවස්ථාදායක මණ්ඩලය මගින් සිදුකිරීම යනාදී වූ කරුණු ඇතුළත් කොට ඇත. එමෙන්ම 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තුවට සහ අග්‍රාමාත්‍යවරයාට ලැබෙන අමතර බලය දැරීමට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට කිසිදු අයිතිවාසිකමක් නොමැති බවට ඔවුහු තවදුරටත් දක්වා සිටිති. ඔවුන් තර්ක කර සිටිනුයේ ඔහු පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රී ධුරයක් දරණ තැනැත්තෙක් පමණක් වන බවත් පාර්ලිමේන්තුවේ බහුතර ජන පදනමක් ඔහුට නොමැති බවත්ය. ජනාධිපතිවරයා විසින් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාව පත්කළේ ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු උදෙසා බවය. ඔවුන්ගේ දේශපාලන ආරක්ෂාව සඳහා වන බවය. එබැවින් මෙම ආණ්ඩුක්‍රම සංශෝධනයේදී අන්තර්කාලීන විධිවිධානයක් ලෙස වර්තමාන පාර්ලිමේන්තුවේ කාලය සම්බන්ධයෙන් සීමාවක් ඇතුළත් කළ යුතු බවට ඔවුහු යෝජනා කරති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සිදු කළ යුත්තේ පොදු මහජන යහපත උදෙසාය. රටක අභිවෘද්ධිය සඳහා ය. 17 වන සහ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හැරුණු විට අනිකුත් බොහෝ සංශෝධනයන් සම්මත කරගෙන ඇත්තේ හුදු පෞද්ගලික පරමාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම උදෙසා ය. ඒ අනුව බලන කල නම් රටක් වළපල්ලට යෑම අරුමයක් නොවේ. ඒවායෙහි අනිසි ප්‍රතිවිපාක අද අප අත් විඳිමින් පවතී. ආර්ථික වශයෙන් බංකොලොත් රාජ්‍යයක් බවට අද ලෝකයා ඉදිරියේ අවමානයට පාත්‍ර වී ඇත. තවද අල්ල සහ දූෂණය පිරුණු රටක් බවට අද බොහෝ විදේශ මාධ්‍ය පවා ප්‍රචාරයට පත් කරමින් සිටී. මේ තත්ත්වයට මුළුමනින්ම වගකිව යුත්තේ නිදහසින් පසු අප පාලනය කළ පාලකයෝය. එමෙන්ම පාලන තන්ත්‍රයට පාලකයන් පත්කළ පුරවැසියන් ද ඊට වගකිව යුතු වේ. එබැවින් රටේ යහපත උදෙසා ගෙන එනු ලබන කුමන සංශෝධනයක් වුවද මග හැරීමට අපට කාලයක් නැත. දැන්වත් පාලකයෝ දේශපාලන ගේම් නවතාලිය යුතුය. රටේ ප්‍රගමනය සඳහා අත්වැල් බැඳගත යුතුය. එමෙන්ම පුරවැසියන්ටද පාලකයන් එම දිශානතියට තල්ලු කරවීමේ ප්‍රබල සමාජගත වගකීමක් පවතී. එබැවින් 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පවතින අඩුලුහුඬුකම් මඟහරවා ගනිමින් ඊට වඩාත් සාධනීය ඉදිරි පියවර එකතු කරමින් ඒ සඳහා සක්‍රීයව දායක වීමට සියලු පාලකයෝ මෙන්ම පුරවැසියෝ ද වගබලා ගත යුතු වේ.

advertistmentadvertistment
advertistmentadvertistment