පොහොය දිනය: නිධාන කතාව

170

වෙසක් පොහොය ජාත්‍යන්තර නිවාඩු දිනයක් කරන්නට කැපවූ ලක්ෂ්මන් කදිර්ගාමර්,

පොහොය දිනය: නිධාන කතාව
වෙසෙක් පොහොය ජාත්‍යන්තර නිවාඩු දිනයක් කිරීමට කැපවූ එවක විදේශ අමැතිවරයාව සිටි අපගේ ගෞරවාදරයට පාත්‍රවන දේශමාමකයකු වූ දිවංගත ලක්ෂ්මන් කදිර්ගාමර් මහතාය. මෙම ලිපිය පළ කිරීමේදී එය ද අපට අමතක කළ නොහැක්කකි.
ලක්වැසි ජනතාව පොහොය දිනය සිය ආගමික දිනය වශයෙන් යොදාගත්තේ බුදුදහම ලෝක ව්‍යාප්ත කළ ධර්මාශෝක මහා අධිරාජයාගේ පුත් මිහිඳු මහාරහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීමෙන් පසුවයැ. සම්බුද්ධ පරිනිර්වාණයෙන් 236 වැන්නෙහි හෙවත් කිස්තු පූර්ව 307දී මිහිඳු මහා රහතන් වහන්සේ අපේ මේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කිරීමෙන් මේ රටේ ඇති වූ සාමකාමී සංස්කෘතික හා සමාජයීය පෙරළිය සිංහලයාගේ ආගමික වූද, ජාතික වූද, දේශීය වූද, සෑම අංශයකම ක්‍රමානුකූල වූත්, ශීඝ්‍ර වූත් දියුණුවක් ඇති කිරීමට සමත් විය. සිංහලයන් තුළ පැවැති බුද්ධිය හා දූරදර්ශි බව නිසි අයුරින් මෙහෙයවා ඔවුන් තුළ ආගමික ගුණ වගාවේ බිජුවට වපුරා ඒ අනුසාරයෙන් ජන ජීවිතය හා රටේ සංවර්ධනය ඇති කිරීමෙන් අපේ රට උදාර ආර්ථික හා සංස්කෘතික තත්ත්වයකින් යුත් ජයභූමියක් බවට එතුමා පත් කළේයැ. ගුණ දහමින් පිරුණු ජනතාවකට අතවරයක් නැතුව ජීවනෝපාය ගෙනයෑමට සකස් වුණු තෝතැන්නක් බවට අපේ රට පත් විය.

එබඳු උත්තරීතර තත්ත්වයකට අප පත් කළ මිහිඳු මහරහතන් වහන්සේ ක්‍රිස්තු පූර්ව 267-257 රාජ්‍ය කළ උත්තිය රජුගේ රාජ්‍ය පාලනයෙන් අටවැනි අවුරුද්දේ වස්සාන ඍතුවේ වප් මස පුර පක්ෂයෙහි අටවත් දින මිහින්තලේදී අපවත් වී වදාළහ. අටවක් පොහෝ දිනය සිංහල රජයේ නිවාඩු දිනයක් හැටියට නීතියෙන් සම්මත කරන ලද්දේ එතැන් සිටය.

දැනට බදුල්ලේ කච්චේරිය ඉදිරිපිට සවිකර තිබෙන තුන්වෙනි උදය රජු (ක්‍රි.ව. 942-50) විසින් හෝපිටිගම නමැති ගම පාලනය සම්බන්ධයෙන් පිහිටු වූ සෙල්ලිපියෙන් පොහොය දින වෙළෙඳාමෙහි නියුක්තවූවනට එකල පැනවූ දඬුවම විස්තර කැරෙයි.

“පොහොය දින වෙළෙඳාමෙහි නියුක්තවූවෙක් වුවහොත් දඬුවමක් වශයෙන් තෙල් පද්දක් දඩගැසිය යුතු අතර එය මහියංගන විහාරයේදී පහන් පූජාවට ගත යුතුය”

මහා පරාක්‍රමබාහු රජතුමා මසක් පාසා සිව් පොහෝ දිනයන්හි සියලු රාජාභරණයෙන් තොරවැ පිරිසිදු සුදුවත් උත්තර සාටක වශයෙන් පෙරවගෙන මනාකොට සමාදන් වූ පෙහෙවසින් යුක්ත වූ අමාත්‍යයන්ද පිරිවරාගෙන රෝහල්වලට ගොස් ලෙඩුන්ගේ සුව දුක් විචාරා, කරන ප්‍රතිකාර වෛද්‍යවරුන්ගෙන් විමසා ආබාධයෙන් මිදුනවුනට වස්ත්‍ර දී පුණ්‍ය කර්මවල නියැළෙමින් සිව් පොහොය දිනයන් ගත කළ බව අපේ ඉතිහාසය දක්වයි. මසුන් මැරීමත්, වෙනත් සතුන් මැරීමත් තහනම් කිරීමෙන් සතුනට අභයදානය සැලසූ බවද පෙනී යයි. රාජ්‍ය පාලකයා සාමාන්‍ය පුරවැසියකුගේ තත්ත්වයෙන් යුතුව සිත ප්‍රබෝධමත් කරන සුදු ඇඳුමින් සැරසී රෝගීන් හමුවට පැමිණ ඔවුන් හා කතාකරමින් සුවදුක් විචාරීම ඒ රෝගියාට මානසික සුවයක් ලබාදීමටත්, එමඟින් ශාරීරික සැපත ළඟා කැරැදීමටත් ඉවහල් වූවාට සැක නැත.

දුටුගැමුණු රජතුමා සිව් පොහෝ දිනයන්හි ලක්දිව අට මහා විහාරයන්හි පහන් දල්වනු පිණිස පහන් තෙල් සැපයීමට විධාන කළේ යැ.

නීතියෙන් මෙන්ම සංස්කෘතියෙන්ද පොහොය දින නිවාඩු දිනයක් බවට පත් වැ තුබූ හැටිත් එයට රාජ්‍ය අනුග්‍රහය ලැබුන හැටිත් මෙයින් පැහැදිලිය.

පොහොය නිවාඩුව අහෝසි කිරීම

ලක්වැසි ජනතාව මිහිඳු මහා රහතන් වහන්සේගේ කාලයේ සිට සංස්කෘතියෙන් මෙන්ම නීතියෙන්ද රාජ්‍ය අනුග්‍රහයෙන්ද භුක්තිවිඳින ලද සතර පොහොය නිවාඩුව අහෝසි කිරීමේ මුල් පියවර ගන්නා ලද්දේ ක්‍රි.ව. 1770 නොවැම්බර් 1 වෙනි දින ෆෝල්ක් නම් ඕලන්ද ආණ්ඩුකාර තැන විසිනි. අවුරුදු දෙදහසකට වැඩි කාලයක් මේ රටේ වාසය කළ ජනතාවගේ විවේක දිනය මෙන්ම ආගමික දිනය වශයෙන්ද පැවැති එම සිව් පොහොය නිවාඩුව අහෝසි කොට දැනට අවුරුදු 196කි.

පොහොය දිනය: නිධාන කතාව

සබත් දිනය පැවැත්වීම සම්බන්ධයෙන් 1770 නොවැම්බර් මස 1වැනි දින නිකුත්කරන ලද ඕලන්ද ආණ්ඩුවේ ප්‍රකාශයේ සාමාන්‍ය සිංහල අනුවාදය

“ඕලන්ද ඉන්දියා සමාගමේ සුවිශේෂ මන්ත්‍රි පදවිප්‍රාප්ත වූද ස්වාධීන ප්‍රදේශ සහිත ලංකාද්වීපයෙහි ආණ්ඩුකාර සහ අධ්‍යක්ෂ ධුරන්දර වූද ඉමාම් විල්හෙල්ම් ෆෝල්ක් සහ මන්ත්‍රි මණ්ඩලය.

බැලිය හැකි, ඇසිය හැකි, කියවිය හැකි සෑම දෙනටම ආශංසන පූර්වකව මෙසේ දැනුම් දෙති.

ඉරු දිනයන්හි විශේෂයෙන් දේවමෙහෙය පවත්නා කාලය තුළ අලෙවියට බඩු ගැනීම, රා මැදීම හා ආපන ශාලාවන් පැවැත්වීම වැනි දෑ නොකළ යුතු යැයි තහනම් කෙරෙමින් මීට පෙර විශේෂයෙන් 1704දී කරන ලද නියෝගයන් නොතකා ක්‍රියාකරන බව පෙනී යන හෙයින්ද සමාජයේ සදාචාරය පවත්වා ගැනීම පිණිස එබඳු තහනම් පැනවිය යුතු යැයි අපට වැටහී යන හෙයින්ද ඉරු දිනයන්හි දිත් වෙනත් ශුඬ දිනයන්හි දීත් වෙළෙඳසල් විවෘතකිරීමත්, කිසිම භාණ්ඩයක් කඩපළේ විකිණීමට තැබීමත් කවරකු විසින් තනි තනිව හෝ සාමුහිකව හෝ නොකළ යුතු යැයි අපි මෙයින් තහනම් කරමු. එසේම විශේෂයෙන්ම දේව මෙහෙය පවත්නා අවස්ථාවෙහිදී රා මැදීම හෝ ආපන ශාලා ඇර තැබීම ඩොලර් හයක දඩයකට යටත්විය යුතු බවද යුක්ති යුක්ත ලෙස ප්‍රකාශ කරමු.

මේ නියමයනට පටහැනිව ක්‍රියාකරන අයකුගෙන් ගන්නා දඩයෙන් අඩක් දුප්පතුන් අතරේ බෙදා දෙනු ලබන අතර ඉතිරි දඩ එම වරදකරු සොයාගන්නා නිලධාරියාට ලැබේ. මේ නියමය නොදනිමැයි කිසිවකුට කිය නොහැකි වන පරිදි එම නියමය සහ එය ක්‍රියාවේ යෙදීම සෑම අයකුටම දැනගත හැකි වන පරිදි අවශ්‍ය සෑම පෙදෙසකම එය ප්‍රසිද්ධියට පත් කළ යුතුය.

අපගේ මෙම ආඥාව ක්‍රියාත්මක කොට, එය කඩකරන්නා වූ කවරකු හෝ වෙතොත් නොසැලකිල්ලෙන් හෝ පක්ෂ ග්‍රාහිත්වයෙන් තොරව ක්‍රියාකොට ඔවුනට දඬුවම් පැමිණවිය යුතු බව සියලුම දිසාවේ වරුනට සහ පිස්කල්වරුනට මෙයින් දන්වනු ලැබේ.”

ඕලන්ද පාලන යුගය හමාර වී බි්‍රතාන්‍ය පාලන යුගය එළඹීමත් සමඟ සිදුවූයේ ඕලන්දයන්ගේ බලපෑමෙන් ක්‍රිස්තියානි ආගම වැළඳගත් සිංහලයන් දහස් ගණනින් නැවතත් බුද්ධ ධර්මය වැළඳ ගැනීමය. මෙම තත්ත්වය යටතේ ඒ පිළිබඳව එංගලන්තයේ රජතුමා වෙත වගඋත්තර කියා සිටීමට එවකට සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්‍රවුන් රිග් මහතාට සිදු විය. ඒ අනුව ඕලන්දයන් 1770දී පනවන ලද නීතිය නැවත පනවමින් ඉරිදා දිනය මේ රටේ ප්‍රසිද්ධ නිවාඩුව හැටියට 1817 අංක 5 දරන ආඥා පනතින් ප්‍රකාශයට පත් කරන ලදී.

එපරිද්දෙන් පොහොය නිවාඩුව අහෝසි වූ තැන සිට මේ රටේ බෞද්ධයනට තමන්ගේ ශාස්තෘන් වහන්සේ පිළිබඳ තෙමඟුල සිදුවූ වෙසක් මස පුර පසළොස්වක දිනටවත් නිවාඩුවක් නොලැබිණ.

පොහොය දිනය: නිධාන කතාව
වෙසක් පොහොය නිවාඩු දිනයක් කරන්නට පුරෝගාමීවූ ශ්‍රීමත් හෙන්රි ස්ටිල් ඕල්කට් තුමා

වෙසක් නිවාඩුව ලබා ගැනීම

අධිරාජ්‍යවාදි පාලකයන් තුන් කොටසකගේ විවිධ ක්‍රියා මාර්ගයන් නිසා අධ්‍යාපනය, සමාජ සේවය, රැකීරක්ෂා, චාරිත්‍ර වාරිත්‍ර ආදි නානා අංශයන්ගෙන් අප රට වැසි බෞද්ධ ජනතාව පීඩාවිඳිමින් සිටියේය.

වාදිභසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමිපාණන් ක්‍රිස්තියානින් සමඟ පැවැත් වූ පානදුරා වාදයේ තොරතුරු අමෙරිකාවේ පුවත් පත්වල පළවී තිබී කියැවූ අමෙරිකන් ජාතික කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා 1880 මැයි (වෙසක්) මාසයේ 2වෙනි දින ගාලු වරායෙන් ලක්දිවට ගොඩබටුයේය. කිසිවෙකුගේ බලපෑමක් නැතිව, ගාල්ලේ විද්‍යානන්ද පිරිවෙනේදී තිසරණ පන්සිල් සමාදන්වැ බෞද්ධයෙකු වූ එතුමා 1884 නොවැම්බර් 10වෙනි දින එකල සිටි ආණ්ඩුකාර ආතර් ගෝඩන් මහතා හමුවී වෙසක් පුර පසළොස්වක දිනය නිවාඩු කැරැගත්තේය. ඒ පිළිබඳ ගැසට් නිවේදනයක් 1885 මාර්තු මස 22වෙනි දින වැඩබලන යටත් විජිත භාර මහා ලේකම් ජී. ටී. ඇම්. ඕ. බූසන් මහතා විසින් නිකුත්කරන ලදි. ඒ අනුව 1885 පටන් වෙසක් පුර පොහොය දිනය බෞද්ධයනට නිවාඩු දිනක් විය.

වෙසක් පසළොස්වක නිවාඩු දිනයක් හැටියට නීතිගත කිරීම සඳහා 1886 ජනවාරි 15වෙනි දින ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේදී විවාදයක් පවත්වන ලදී. එදා පැවැති විවාදයේදී බෞද්ධයන් වෙනුවෙන් කතා කළේ හින්දු ජන නායකයෙකු වූත් දේශප්‍රේමි ජාතික වීරවරයෙකු වූත් ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් තුමාය. එකල පැවැති ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවට එකද බෞද්ධයෙකුවත් පත්කැරැ සිටියේ නැත. සිංහලයන් වෙනුවෙන් පත් කැරැ සිටියේ ජේම්ස් ද අල්විස් මහතාය.

පසළොස්වක නිවාඩුව ලැබීම

1948 පෙබරවාරි මස 4වෙනි දින අප රටට ස්වාධීනත්වය ලැබිණ. 1958 වනතුරු පොහොය නිවාඩු සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් පැවතියේ නැත. රටට නිදහස ලැබීමෙන් පසු අධිරාජ්‍ය යුගයේ නැතිවී ගිය ජාතික, ආගමික අයිතිවාසිකම් නිදහස් නිවහල් හැඟීමෙන් යුත් ජාතික වශයෙන් ලබා ගැනීම පිණිස ක්‍රියා කිරීම සඳහා විවිධ සංවිධාන බිහිවන්නට විට. එසේ බිහි වූ සංවිධාන අතර 1954දී ආරම්භ කරන ලද රාජ්‍ය හා පළාත් පාලන සේවා බෞද්ධ සමිති සම්මේලනය ද එකකි. 1955 ජුනි 18 වෙනි දින කොළඹ නගර ශාලාවේදී පැවැත් වූ එම සම්මේලනයේ නියෝජිත සාකච්ඡාවකදී පහත සඳහන් යෝජනාව සම්මත කරගන්නා ලදී.

“රජයේ හා පළාත් පාලන සේවාවන්හි නියුක්ත සෑම බෞද්ධයකුටම පොහෝ දිනයන්හි ආගමානුකූල චාරිත්‍ර විධි පැවැත්වීම සඳහා පොහෝ දිනයන් රජයේ නිවාඩු දිනයන් කරන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් කුමන කරුණු ඉදිරිපත් කළ යුතු දැයි පරීක්ෂා කර බැලීම පිණිස කාරක සභාවක් පත් කළ යුතු යැයි මෙම සම්මේලනය අදහස් කරයි.”

එම යෝජනාව සම්මත වීමෙන් පසුව පත්කරන ලද සංගමයේ අනුකාරක සභාවක් මඟින් පිළියෙළ කරන ලද වාර්තාවෙන් පෝය නිවාඩුව සම්බන්ධයෙන් මෙසේ නිගමනය කෙරිණි.

“…මෙහි පළමු අවස්ථාව වශයෙන් දැනට වරුවක් සේවය කරන සෙනසුරාදා දින සම්පූර්ණ දවස සේවය කරන දින වශයෙන් සම්මතකොට ඒ වරු සතර එක්වීමෙන් ඇතිවන දෙදින වෙනුවට පුර පසළොස්වක හා මාසේ පෝය දින රජයේ නිවාඩු දින කරන මෙන් ඉල්ලමු.”

පරාධීන යුගයේ නැතිවී ගිය බෞද්ධ අයිතිවාසිකම් යළි ලබා ගැනීම සඳහා කුමන අන්දමේ ක්‍රියාමාර්ගයක් ගත යුතු ද යනු ජනතාවගෙන්ම දැන ගැනීම සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මඟින් පත්කරන ලද බෞද්ධ කොමිෂන් සභාව දිවයින පුරා ගොස් මහා සංඝයා වහන්සේගේත් බෞද්ධ ජනතාවගේත් බෞද්ධ සංවිධානවලත් අදහස් විමසා නිකුත්කරන ලද බෞද්ධ තොරතුරු පරීක්ෂක සභා වාර්තාවද නිකුත් විය.

එම වාර්තාව මඟින් පෝය දිනයන් නිවාඩු කිරීම පිළිබඳව තම නිගමනයන් ඉදිරිපත් කර තිබිණි.

1956 වර්ෂයේදී එළඹුන ශ්‍රී බුද්ධ වර්ෂ 2500 සම්බුද්ධ ජයන්ති උත්සවය උසස් ලෙස පැවැත්වීම සඳහා කටයුතු සංවිධානය කිරීම පිණිස අගමැති සර් ජෝන් කොතලාවල මහතා විසින් ස්වදේශ කටයුතු භාර ඇමති ගරු ඒ. රත්නායක මහතා යටතේ ‘ලංකා බෞද්ධ මණ්ඩලය’ නමින් කාර්යාංශයක් පිහිටුවන ලදී. එම මණ්ඩලයේ ලේකම්වරයා වූයේ ආචාර්ය ආනන්ද ඩබ්ලිව්.පී. ගුරුගේ මහතාය. ස්වදේශ කටයුතු භාර ඇමතිතුමා විසින් රජය වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවකින් 1956 වෙසක් පොහො දින සිට සියලුම පුර පසළොස්වක දිනයන් රජයේ නිවාඩු කළ යුතු යැයි යෝජනා කරන ලදී. ගරු ඒ. රත්නායක මහතාගේ එම යෝජනාව පිළිගත් රජය විසින් 1956 වෙසක් දින සිට සියලුම පුර පසළොස්වක පොහො දිනයන් රජයේ නිවාඩු දිනයන් ලෙස ප්‍රකාශයට පත් කැරිණි. එම කාරක සභාවේ අනෙකුත් සාමාජිකයන් වූයේ ගරු ජේ.ආර්. ජයවර්ධන මහතා, ගරු සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතා හා ගරු ඇම්.ඩී. බණ්ඩා මහතාත්ය.

ඒ අනුව 1957, 1958 වර්ෂවලදීද පුර පසළොස්වක දිනයන්හි නිවාඩු ලැබිණ.

1959දී පුර පසළොස්වක පොහොය නිවාඩුව අහෝසිකොට රජයේ සේවකයන්ට වර්ෂයක් තුළ හිමි නිවාඩු වලට අමතරව ආගමික කටයුතු සඳහා අමතර නිවාඩු දින 10ක් ලබාදෙන ලදී. 1959 ජනවාරි 1වෙනි දින ආරම්භ කළ එම පිළිවෙළ සාර්ථක ලෙස ක්‍රියාත්මක කළ නොහැකි වූයෙන් 1959 මාර්තු මාසයේ සිට අලුත් නිවාඩු පිළිවෙළක් ඇරඹින. ඒ අනුව ස්ථිර ලෙස පැවැති ජාතික නිවාඩු දින 13 හැරුණු විට රජයේ සේවකයන්ට නියමිත අනියම් නිවාඩු 14, දවස් 21 දක්වා වැඩි කරන ලදී.

1961 ජූලි 10වෙනි දින අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් පාසල් ප්‍රධානින් වෙත නිකුත්කරන ලද චක්‍රලේඛයක් අනුව ‘යම්කිසි ආගමකට අයත් ශිෂ්‍ය සංඛ්‍යාව සියයට 60කට වැඩි වන පාඨශාලා වන්හි නියමිත නිවාඩු දිනවලට අමතරව ආගමික නිවාඩු දින 5ක් දීමට තීරණය කරන ලදී.’ ඒ අනුව බෞද්ධ, හින්දු, කතෝලික, ක්‍රිස්තියානි, මහමද් භක්තිකයනට වර්ෂයකට හිමි නිවාඩුවලට අමතරව තවත් ආගමික දින පහ බැගින් නිවාඩු ලැබිණ.

මේ අතර පොහොය නිවාඩුව පිළිබඳව මහා සංඝයා වහන්සේ හා බෞද්ධ සංවිධාන උද්ඝෝෂණ නංවන්නට විය. විශේෂයෙන් දිනපතා ජාතික සිංහල පුවත්පත් ඒ පිළිබඳව පුරෝගාමිත්වය සැලසූ අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ මහා නායක අතිගරු පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ ස්වාමිපාදනයන් වහන්සේ විසින් ලියන ලද සාරගර්භ කරුණු අඩංගු විශේෂ ලිපි පළ කිරීමෙන් හා ඒ පිළිබඳ දේශනා හා කතා වාර්තා පළ කිරීමෙන් සතර පොහොය නිවාඩුව පිළිබඳ වැදගත්කම එක් අතකින් පෙන්වන අතර ඒ පිළිබඳ ජනතාව තුළ පවත්නා උනන්දුව හා උද්ඝෝෂණය මේ යැයි මැනැවින් විදහා දැක්විය.

සතර පොහොය දිනයන්ම නිවාඩු ලබාදිය යුතුය යන උද්ඝෝෂණය නොකඩවා පවතිද්දි 1963 ජූලි 5 වැනි දින මහා බැංකුවේ අධිපති ඩී.ඩබ්ලිව්. රාජපතිරණ මහතාගේ සභාපතිත්වයෙන් යුතුව රජය මඟින් පත්කරන ලද කාරක සභාවක් මඟින් ‘ඉරිදා නිවාඩුව එසේම තිබියදී පොහොය දෙකක් පමණක් නිවාඩු කිරීම ගැන කරුණු සොයා බැලීම’ සඳහා මහජනතාවගේ අදහස් විමසන ලදී.

ඒ කාරක සභාවට ඩී.ඩබ්ලිව්. රාජපතිරණ මහතා (සභාපති); ජී.වී.පී. සමරසිංශ මහතා; ආනන්ද ඩබ්ලිව්.පී. ගුරුගේ මහතා; ලින්කන් අබේවීර මහතා; සී. ගමගේ මහතා (ලේකම්) යන අයගෙන් සමන්විත විය.

පෝය දෙකක් පමණක් නිවාඩු කිරීම පිණිස කරුණු සෙවීමට පත් කළ මෙ කාරක සභාව මහා සංඝයා වහන්සේගෙන් හා බෞද්ධ සංවිධානවලින්ද වෘත්තීය සමිතිවලින්ද කරුණු විමසීමේදී වැඩිදෙනා ප්‍රකාශ කර සිටියේ පොහොය සතරම නිවාඩු කළ යුතු බවය. ඊට පසු එම කාරක සභාවට කුමක් වූයේ ද යනු හෙළිදරව් නොවිය.

1963 ජන ලේඛනය අනුව ආගම් වශයෙන් ජන සංඛ්‍යාව මෙසේය.

බෞද්ධ 70,20,780

හින්දු 19,45,210

ක්‍රිස්තියානු 8,83,900

මහමද් 7,30,840

මහාමද් භක්තිකයනට සෑම සිකුරාදා දිනයකම “ජුම්මා මෙහෙය” පැවැත්වීම සඳහා දහවල් 12.45 සිට 1.45 දක්වා පැය 1 1/2ක නිවාඩුවක් ක්‍රි.ව. 1925දී යටත් විජිත භාර මහා ලේකම් විසින් අනුමත කර තිබිණ.

පොහොය දිනය: නිධාන කතාව
එවක අගමැති ඩඩ්ලි සේනානායක මහතා

ආගමික හා සංස්කෘතික කටයුතු වෙනුවෙන් කාර්යාල වේලාවල සහභාගිවීමි පිළිබඳ අවසර අහෝසිකරමින් 1962 සැප්තැම්බර් 11වෙනි දින භාණ්ඩාගාරයේ ලේකම් විසින් චක්‍රලේඛයක් නිකුත්කරන ලදී. එම චක්‍රලේඛය අනුව මහමද් භක්තිකයනගේ “ජුම්මා මෙහෙයට” තුබූ අවසරය එසේම පැවැතින.

එම චක්‍රලේඛය සම්බන්ධයෙන් මහා නායක ස්වාමින්වහන්සේ ඇතුළු බෞද්ධ සංවිධානවලින් උද්ඝෝෂණ නැඟුනි. මේ අතර රජයේ දෙපාර්තමේන්තුවල බෞද්ධ සමිති භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කරමින් ධර්ම දේශනා සඳහා පැය 1 1/2ක විශේෂ කෙටි නිවාඩුවක් ඉල්ලා සිටියහ. එම චක්‍රලේඛයක් ක්‍රියාවේ යෙදවීම අත්හිටුවමින්

භාණ්ඩාගාරයේ ලේකම් විසින් 1963 ජූලි 25වෙනි දින තවත් චක්‍රලේඛයක් නිකුත්කරන ලදී. 1963 සැප්තැම්බර් 7වෙනි දින භාණ්ඩාගාරය මඟින් නිකුත්කරන ලද චක්‍රලේඛයකින් මසකට වරක් පමණක් සවස 3.30ට සිට පැයක කෙටි නිවාඩුවක් ආගමික හා සංස්කෘතික කටයුතුවල යෙදීම පිණිස රජයේ සේවකයින්ට ලබාදෙන ලදී.

මේ අතර, දින පහේ සතියක් ඇති කිරීම පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා 1964 ඔක්තෝබර් 5 වෙනි දින ඩබ්ලිව්.ජේ.ඒ. වැන්ලැන්ගත්බර්ග් මහතාගේ සභාපතිත්වයෙන් කාරක සභාවක් පත් කරන ලදී. එම කාරක සභාවේ අනෙකුත් සාමාජිකයන් වූයේ වි.සී. ද සිල්වා, ඩී. සමරකෝන්, කේ.ඇම්. කරුණාරත්න, විල්ප්‍රඩ් පෙරේරා සහ පී.සී. රාජපක්ෂ යන මහතුන්ය. එහි ලේකම් වූයේ ඇල්.එච්. පීරිස් මහතාය.

පොහොය නිවාඩුව පිළිබඳ අවශ්‍යතාවය වැඩිදුරටත් පෙන්වා දෙනු පිණිස 1964 අගෝස්තු මස 22වෙනි දිනට යෙදුණ. නිකිණි පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ආගමික වතාවත්වල යෙදීම පිණිස තමන්ට අයිති අනියම් නිවාඩුවලින් එක් දිනක නිවාඩුවක් රජයේ බෞද්ධ සේවකයන් විසින් ලබා ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් විශේෂයෙන් කොළඹ පිහිට සමහර රජයේ දෙපාර්තමේන්තු හා කාර්යාවල වැඩ කටයුතු මුළුමනින්ම අත්හිටුවන ලෙසටත්, තවත් තැනෙක වැඩ කටයුතු අවසන වන ලෙසටත් කටයුතු සැලසිණ.

නිකිණි පුර පසළොස්වක පොහො දින (අගෝස්තු 22 වෙනි සෙනසුරාදා) ඇතිවූ මෙම තත්ත්වය ගැන ඊට පසුව එළඹුන සතියේ එනම් 1964 අගෝස්තු 27වෙනි දින මහජන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී ඉතා උණුසුම් සාකච්ඡාවක් ඇති විය. මේ සිද්ධීන්ට පසුව එළඹි පුර පසළොස්වක පොහො දින සිට එනම් 1964 සැප්තැම්බර් (බිනර) පොහො දින සිට නැවතත් පුර පසළොස්වක දිනයන් ප්‍රසිද්ධ නිවාඩු දිනයන් බවට ප්‍රකාශයට පත්කරන ලදී.

සතර පොහොය නිවාඩුව ලැබීම

1965 මාර්තු 22වෙනි දින පැවැත් වූ මහා මැතිවරණයෙන් පක්ෂයක් වශයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගන්නා ලද්දේ එක්සත් ජාතික පක්ෂය විසිනි. නව රජයක් පිහිටුවීමේ දී ඒ පක්ෂය සමග ශ්‍රී ලංකා නිදහස් සමාජවාදි පක්ෂයක්, මහජන එක්සත් පෙරමුණත්, ජාතික විමුක්ති පෙරමුණත්, පෙඩරල් පක්ෂයත් එකතුවීමෙන් ගරු ඩඩ්ලි. සේනානායක මහතාණන් ගේ නායකත්වයෙන් 1965 මාර්තු 27වෙනි දින ජාතික රජයක් පිහිටුවන ලදී.

පොහොය දිනය: නිධාන කතාව
1965 පෝය නිවාඩුව නිමිත්තෙන් අනුරාධපුර සමාධි ප්‍රතිමාව අබියසදී පැවැති සීල ව්‍යාපාරයේ අවස්ථාවක්.

නව රජය පිහිටුවීමෙන් පසු 1965 අප්‍රේල් මස 9 වෙනි දින විවෘතකරන ලද හය වැනි පාර්ලිමේන්තුවේ 1වෙනි සැසිවාරය අමතා රාජාසන කථාව පැවැත්වූ ගරුතර විලියම් ගොපල්ලව අග්‍රාණ්ඩුකාර උතුමණන් වහන්සේ සතර පොහොය නිවාඩුව සම්බන්ධයෙන් ජාතික රජයේ ප්‍රතිපත්තිය මෙසේ අනාවරණය කළේය.

“ලංකාවේ නිදහස්ව සිටි අවිධියේ දී තිබූ තත්ත්වයට බෞද්ධාගම නැවත නඟාසිටුවන අතර, මාගේ ආණ්ඩුව අනිකුත් ලබ්ධිකයන්ගේ අයිතිවාසිකම්වලට ගරුකරමින් ඔවුන්ට තමතමන්ගේ ආගම් ඇදහීමේ නිදහස සලසා දෙනු ඇත. රජයේ අංශයට ද පෞද්ගලික අංශයට ද බලපාන පරිදි පෝය දින හතර නිවාඩු දිනයන් කරනු සඳහා සුදුසු පියවර ගනු ඇත.”

රජාසන කථාවෙන් සඳහන් කරුණු ජාතික රජයේ ප්‍රතිපත්ති තීරණයට අනුකූලව වැන්ලැන්ගන්බර්ග් කමිටුවට අමතර බලතල ලබාදෙමින් භාණ්ඩාගාරයේ ලේකම් හෙ. ජිනදාස සමරක්කොඩි මහතා විසින් 1965 මැයි මස 12 වෙනි දින එම කාරක සභාව වෙත ලිපියක් යවන ලදී.

ඒ අනුව රාජාසන කථාවේ තීරණය ඉක්මණින් ක්‍රියාත්මක කිරීම සඳහා කරුණු සොයා බලා විස්තරාත්මක වැඩපිළිවෙළක් ඒ මාසය අවසාන වන්නට පෙර ලැබෙන්නට සලස්වන ලෙස දන්වා සිටියේය.

1965 මැයි මස 31 වෙනි දින නිකුත්කරන ලද එම කාරක සභාවේ වාර්තාවේ අඩංගු ප්‍රධාන නිගමන අතුරින් (1) වෙනි නිගමනය මෙසේය:-

“ දැනට ස්ථීරව තිබෙන සතියේ විවේක දිනයන් ලෙස ගැනෙන ඉරිදා වෙනුවට පෝය දිනයන්, සෙනසුරාදා කෙටි දිනය වෙනුවට පෝය දිනට පෙර දින වරුවත් නිවාඩු කළ යුතුය.”

ජාතික රජයේ මුදල් ඇමති ගරු යූ.බී. වන්නිනායක මහතාගේ නියෝගය පරිදි සති තුනක් ඇතුළත නිකුත් වූ වැන්ලැන්ගන්බර්ග් කමිටුවේ වාර්තාවෙන් පොහොය දිනය හා ඊට පෙර දින වරුවද නිවාඩු කළ යුතු බවට නිර්දේශ කිරීමත් සමගම සතර පොහොය නිවාඩුව සම්බන්ධයෙන් අගමැති ගරු ඩඩ්ලි, සේනානායක මහතා ප්‍රමුඛ ඇමති මණ්ඩලය දැඩි උනන්දුවකින් එහි සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස කටයුතු කරන ලදී. 1965 ජූලි මස 5වෙනි දින පැවැත් වූ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදී “සතර පොහොය හා ඉරිදාවත් නිවාඩු කළ යුතු යයි” යන යෝජනාවක් සම්මත විය. 1965 අගෝස්තු 13 වෙනි දින ස්වදේශ කටයුතු භාර ඇමති ආචාර්ය ගරු විජයානන්ද දහනායක මහතා හමු වූ අතිගරු පූජ්‍ය මඬිහේ පඤ්ඤාසිහ මහා නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ඇතුළු බෞද්ධ සංවිධාන තුනක නියෝජිත පිරිසක් “පොහොය සතර හා ඊට පෙර දින වරුවද” නිවාඩු කළ යුතු බවට කරුණු පෙන්වා දුන්හ. 1965 අගෝස්තු 23වෙනි දින ගරු අගමැතිතුමා හමු වූ පූජ්‍ය මැදගොඩ ධම්මජෝති නා හිමිපාණන් ප්‍රමුඛ මහා සඟ පෙරමුණේ නියෝජිත මහා සංඝයා වහන්සේලා පොහොය නිවාඩුව ක්‍රියාත්මක කිරීමේදී පොහොය දින හා ඊට පෙර දින වරුවද නිවාඩු කළ යුතු බව සඳහන් කළහ. සිව් පොහොය නිවාඩුව පිළිබඳ ප්‍රශ්නය රටවැසි බහුතර ජනතාවගේ අපේක්ෂාවන් මුදුන් පැමිණෙන අයුරින් විසඳන බව ගරු අගමැතිතුමා ප්‍රමුඛ ඇමතිවරුන්ගෙන් පැවසීය.

සතර පොහොය නිවාඩුව සම්බන්ධයෙන් ලංකාවේ කිසිදු ආගමික කොට්ඨාසයකින් විරුද්ධත්වයක් පළ නොවී ය. ජනගහනයෙන් සියයට 64.3ක් වන බෞද්ධයන් සමග ජනගහනයෙන් සියයට 19.9ක් වන හින්දුන් ද මෙම ප්‍රශ්නයේදී සිය අනුකූලතාවය දැක්වීය. හින්දු ජන නායකයකුව සිටි අභාවප්‍රාප්ත ශ්‍රිමත් කන්දයියා වෛi නාදන් මහතා 1965 ජුනි 29වෙනි දින කොළඹ ආනන්ද මහා විද්‍යාලයේදී පැවැත් වූ බෞද්ධ ජාතික බලවේගයේ ප්‍රසිද්ධ මහා සභා රැස්වීමේදී කතාකරමින්, “සතර පොහොය නිවාඩුවට හින්දු ජනතාවගේ සම්පූර්ණ සහයෝගය” ලැබෙන බව ප්‍රකාශ කළේය.

රෝමානු කතෝලික සභාව වෙනුවෙන් නිවේදනයක් නිකුත්කළ බැසිල් වීරතුංග පියතුමා මෙසේ සඳහන් කළේය.

“ඉරිදා සහ පෝය දින පිළිබඳ ප්‍රශ්නය නිතර නිතර මෙරට පුවත් පත්වල සඳහන් වී ඇත. පළමුවෙන් පැහැදිලි ලෙස තේරුම් ගත යුතුව ඇත්තේ බහුතර ජනතාව වන බෞද්ධයන් වෙනුවෙන් පෝය දින ගැන සැලකිල්ලට දැක්වීම ගැන කතෝලික සභාව පක්ෂ වන බවය. ඒ අතරම ඉරිදා පිළිබඳව අපේ අදහස් ප්‍රකාශ කිරීමට ද ඉඩ දෙන ලෙස ඉල්ලමි.

“කතෝලික සභාව දරන අදහස් නිතරම නිසි බලධරයකුගේ අත්සනින් යුතුව පළවන බව අවසාන වශයෙන් සැලකිය යුතුය.”

සෑම ජන කොට්ඨාශයකගේම අදහස් මෙසේ හෙළිදරව් වීමත් සමඟම පොහොය නිවාඩු සම්බන්ධයෙන් 1964 සිට පැවැති අවුරුදු 11ක උද්ඝෝෂණය හමාරකරමිනුත්, අවුරුදු 195ක් තිස්සේ බෞද්ධයාගේ “ආගමික නිදහස” බැඳ තුබූ යදම් බිඳ දමමිනුත්, මේ රටේ වාසය කරන සියලුම ආගමිකයන්ගේත්, සියලුම ජාතිකයන්ගේත්, සියලුම දේශපාලන පක්ෂවලත්, සියලුම වෘත්තීය සමිතිවලත් සහයෝගයෙන් සතර පොහොය හා ඊට පෙර දින වරුවද නිවාඩු කොට යළි මේ රටේ සිව් පොහො දිනයන් ආගමික සමාජයීය කටයුතු සඳහා චිරස්ථායි කිරීමට ජාතික රජයේ අග්‍රාමාත්‍ය ගරු ඩඩ්ලි සේනායක මහතා ප්‍රමුඛ ඇමති මණ්ඩලය 1965 අගෝස්තු 24වෙනි දින ඒකමතිකව තීරණය කරන ලදී.

ඉරිදා නිවාඩුව වෙනුවට සතර පොහොය දිනයන් නිවාඩු කිරීමේ තීරණය නීතිගත කිරීම සඳහා අවශ්‍ය ජනතා මහජන නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙත ස්වදේශ කටයුතු භාර ඇමති ගරු ආචාර්ය විජයානන්ද දහනායක මහතා විසින් 1965 නොවැම්බර් 5වෙනි දින ඉදිරිපත් කරන ලදී. එම පනත පිළිබඳ දෙවැනි වර කියැවීම 1965 නොවැම්බර් 18වෙනි දින පැවැති අතර ඒ පිළිබඳ කාරක සභා අවස්ථාව 1965 නොවැම්බර් 30වෙනි දින සිට 1965 දෙසැම්බර් 2වෙනි දින දක්වා පැවැතියේය. ඒ සෑම අවස්ථාවකම මහජන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ එකඟත්වයෙන් ඡන්ද විමසීමක් නොමැතිවීම පොහොය නිවාඩු පනත සම්මත විය.

පොහොය දිනය: නිධාන කතාව
පෝයනිවාඩුව ඇරඹීම නිමිත්තෙන් 1995 මහනුවර පැවැති රාජ්‍ය උත්සවය.

1965 දෙසැම්බර් 9වෙනි දින සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය වෙත පොහොය නිවාඩු පනත ඉදිරිපත් කරන ලද්දේ පළාත් පාලන ඇමති ගරු රාජනීතිඥ ඇම්. තිරුචෙල්වම් මහතා විසිනි. පනත පිළිබඳ දෙවැනිවර සාකච්ඡාව අවසානයේදී සෙනෙට් මන්ත්‍රීවරුන් 17දෙනෙක් පක්ෂවත් එක් සෙනෙට් මන්ත්‍රීවරයෙක් විපක්ෂවත් ඡන්දය දීමෙන් පනත සම්මත විය. එහිදී තුන්වැනි වරට ඡන්ද විමසීමක් නොමැතිව පනත සම්මත විය.

සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයෙන් සම්මත වූ පොහොය නිවාඩු පනත ගරුතර විලියම් ගොපල්ලව, අග්‍රාණ්ඩුකාර උතුමාණණ් වහන්සේ වෙත ඉදිරිපත් කරන ලදුව එතුමාගේ ද සම්මතය ලැබීමෙන් නීතිගත විය. ඒ පිළිබඳව ගැසට් නිවේදනයක් 1965 දෙසැම්බර් 22 දින ප්‍රකාශයට පත් කැරිණ.

තිස්ස කුරුකුලනාථ

පසු සටහන: පසු කාලවල වරින්වර පොහොය දින පිළිබඳ සංශෝධනද ඇති විය.

advertistmentadvertistment
advertistmentadvertistment