පොහොර ගැන ඇත්ත කියන්නේ ආණ්ඩුවද? ගොවියෝද?

179

පොහොර නැත්නම් වතුරත් එපා ගොවියෝ කියති

මහ කන්නයට පොහොර ගෙනාවා ආණ්ඩුව කියති

නියඟයෙන් – වැස්සෙන් හානි වුණත් තවමත් වන්දි නෑ

අප රටේ බත නිපදන දිස්ත‍්‍රික්ක බොහොමයක මෙවර මාස් කන්නයේ වී වගාව ආරම්භ කිරීම මේ වනවිට දින නියමයක් නැතිව ඈතට තල්ලූ වෙමින් තිබේ. එයට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ රජයෙන් ලබාදෙන පොහොර කිසිවක් ගොවි ජනතාවට මෙතෙක් නොලැබීමය.‘‘පොහොර නැත්නම් වතුරත් එපා..යැයි කියමින් රටේ සිව්දෙස වෙසෙන ගොවි ජනයා මහ මඟට බැස කෙරෙනා උද්ඝෝෂණ” වීදි සටන් මේ දිනවල දිනපතාම පාහේ අඩුවක් නොමැතිව අසන්නට දකින්නට ලැබේ. කලට වේලාවට අවශ්‍ය පොහොර ලබානොදීම හේතුවෙන් වී වගාවත් වී ගොවියාත් අනතුරට ඇද දමා ඇතැයි ගොවීහු බොහෝ දෙනෙක් රජයට චෝදනා කරති.

මේ අනුව බලන කල අද” ඊයේ නොව කලක පටන්ම අපේ රටේ වී ගොවියා ගොවිතැනේ නිරතව සිටිනුයේ විවිධ ප‍්‍රශ්න ගැටලූ රාශියක් මැද බව නොරහසකි. එහි අලූත්ම අර්බුදය නිර්මාණය වන්නේ පොහොර ප‍්‍රශ්නය මුල්කරගෙනය. මේ රටේ ගොවි ජනතාව දශක කිහිපයක පටන් හුරුපුරුදුව සිටියේ රසායනික පොහොර භාවිත කර කෙරුණු වී වගාවටය. රසායනික පෙහොර සහ කෘෂි රසායන වර්ග ගොවිතැන සඳහා යොදා ගැනීම තුළ මහජනතාව වකුගඩු සහ පිළිකා වැනි රෝගවලට ගොදුරුවීමේ විශාල ප‍්‍රවනතාවක් ඇතිවී තිබෙන බවට සෞඛ්‍ය අංශ විසින් හඳුනාගෙන ඇති නිසා රසායනික පොහොර” කෘෂි රසායන ආදිය භාවිත නොකර ඒ වෙනුවට කාබනික පොහොර යොදා වී වගාව කරන්නැයි ගොවීන්ට මෑතකදී රජයෙන් උපදෙස් ලැබුණි. මේ අතර රසායනික පොහොර පිටරටවලින් ගෙන්වීම අත්හිටුවීමටද රජය තීරණය කර එය ක‍්‍රියාවට නැංවීය. වගාවට අවශ්‍ය කාබනික පොහොර අවශ්‍ය ප‍්‍රමාණයට රට තුළ නිෂ්පාදනය කරගැනීමේ වැඩපිළිවෙළක්ද ආරම්භ කෙරිණි. එහෙත් එහි ප‍්‍රතිඵල අපේක්‍ෂා කළ පමණට ඉටු නොවීම හා නිපදවීමේ ප‍්‍රමාදය හේතුවෙන් ඊළඟ පියවර ලෙස පිටරටින් කාබනික පොහොර ගෙන්වීමේ කටයුත්තට රජය අත ගැසුවේය. එහෙත් මේ වනතෙක් එම රසායනික පොහොර ගොවීන් අතට නොලැබීම මෙන්ම ගෙන්වා බෙදාහැරීමට නියමිත ඒ කාබනික පොහොර ගුණාත්මක තත්ත්වයෙන් නොමැති බවට කරුණු හෙළිදරව් වීමත් නිසා ගොවීහු කාබනික පොහොර ප‍්‍රතික්ෂේප කරන්නට වූහ. මෙතෙක් තමන් භාවිත කළ රසායනික පොහොරම නැවත දෙන්නැයි යන හඬක්ද ගොවීන් අතර ඉස්මතුවෙමින් පවතී. පොදුවේ ගත් කල මාස් කන්නයේ වී වගාව නොකෙරෙන තත්ත්වයට පොහොර ප‍්‍රශ්නය ඔඩුදුවා තිබේ.

වගාවට අවශ්‍ය පොහොර නොමැතිකම නිසා මේ රටේ ගොවි ජනතාව වී වගාවෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි පොලොන්නරුව පරාක‍්‍රම සමුද්‍රය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති පවසයි. ගොවීන් එසේ වී වගාවෙන් ඉවත් වුවහොත් මේ රට සාගතයකට ගොදුරුවනු අනිවාර්ය බවත් එහි වගකීම රජය බාරගත යුතු යැයිද හෙතෙම කියා සිටී.

‘‘වගාවට අවශ්‍ය ප‍්‍රමිතියෙන් යුත් පොහොර නිසි කලට නොලැබීම නිසයි මේ අර්බුදකාරී තත්ත්වය උත්ගතවී තිබෙන්නේ. අද ඇතිවී තිබෙන පොහොර ප‍්‍රශ්නය නිසා ගොවීන් වී වගාව අත්හැරීමට ඒකමතිකව තීරණය කර තිබෙනවා. පොලොන්නරුව පරාක‍්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ පමණක් ගොවීන් එක් කන්නයකට රුපියල් කෝටි 280ක් වටිනා වී නිෂ්පාදනය කරනවා. ඔවුන් එක් කන්නයක් වගාවෙන් ඉවත් වෙනවා කියන්නේ ඒ අස්වැන්න රටට නොලැබී යනවා. එමෙන්ම එසේ වී ගොවියා තම වගාව අත්හැරීම තුළ ඉදිරියේදී රට ඉබේම සාගතයකට තල්ලූ වෙනවා. එහි වගකීම රජය බාර ගත යුතුයි. එම නිසා අපි රජයට කියනවා මහ කන්නයේ වී වගාවට රසායනික පොහොර වහාම ලබාදෙන්න කියලා. මේ ප‍්‍රශ්නය නිරාකරණය කිරීම සඳහා වහාම මැදිහත් වෙන්න. ආණ්ඩුව කාබනික පොහොර කියලා රතු කුඩු වර්ගයක් ගෙන්නලා තියෙනවා. මේවා බණ්ඩි පොහොර වෙනුවට යොදන ඒවා කියලා අපිට ආරංචියි. මූලික පොහොර නැතිව ඒවා විතරක් වැඩක් නෑ. පොහොර නැතිව අපි වගා කරන්නේ කොහොමද? කියන එක තේරුම් ගන්න. අපිට දෙන පොහොර වර්ගය කියන්න. එය දෙන්නේ කවදාද කියන්න. අපිට අහිමිවන අස්වනු හානිය තක්සේරු කරලා වන්දි දෙනවා කියලා කියනවා. එය කරන්නේ කවුරුන්ද මොන ආකාරයටද කියන එක පැහැදිලි නෑ. එම නිසා ගොවි ජනතාවට ඒ සම්බන්‍ධයෙන් පැහැදිලි පිලිතුරක් අවශ්‍යයි…

දිවයින පුරා පිහිටි මහා වාරිමාර්ග යටතේ පිහිටුවා තිබෙන ගොවි සංවිධාන සියල්ලෙහි එකමුතුව ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානයයි. එහි ප‍්‍රධාන ලේකම් නිහාල් වන්නිආරච්චි පෙන්වා දෙන්නේ මේ වනවිට රට තුල ඇතිවී තිබෙන පොහොර අර්බුදය හේතුවෙන් රටේ ආහාර හිඟයක් ඇතිවීම නොවැළැක්විය හැකි බවයි. මෙරට වී වගාවේ අස්වනු අඩුවීම ගොවියාට පමණක් නොව රටකටම දැනෙන ප‍්‍රශ්නයක් හෙයින් රජය එය තේරුම් ගෙන කෙටි කාලයකට හෝ නැවත රසායනික පොහොර ගෙන්වා ගොවීන්ට ලබාදිය යුතු බවද ඔහු කියා සිටී.

පොහොර ගැන ඇත්ත කියන්නේ ආණ්ඩුවද? ගොවියෝද?

‘‘අපේ දෙමාපියන් මීට අවුරුදු තිහ හතළිහකට කලින් මේ රටේ වගා කලේ දේශීය බීජ. ඒ අය ඒවාට රසායනික පෙහොර යෙදුවේ නෑ. නමුත් දැන් අපි වගා කරන්නේ දෙමුහුන් බීජ වර්ග. ඒවට රසායනික පොහොර අනිවාර්යයි. කෘෂි රසායන යොදන්නම ඕන. දැන් අපිට රජයෙන් කියනවා කාබනික පොහොර භාවිත කරලා වගා කරන්න කියලා. නමුත් මේ බීජවලට කාබනික පොහොර හරියන්නේ නෑ. එහෙම කරන්න ගියොත් අස්වැන්න අඩුවෙනවා. රටේ බරපතළ ආහාර හිඟයක් ඇති වෙනවා අනිවාර්යයි. මේ පොහොර ප‍්‍රශ්නය නිසා රටේ හැම තැනම ගොවීන් කුපිත වෙලා ඉන්නේ. ඉදිරි කාලයේ රටපුරා විශාල කැරැල්ලක් බවට පත්වේවි. මේ ගොවිතැන ගැන” පොහොර ගැන උපදෙස් දෙන අය බිම් මට්ටමට ඇවිල්ලා අපිත් එක්කලා සාකච්ඡා කරලා මේ තීරණ ගන්නවා නම් මේවා මෙච්චර උග‍්‍ර වෙන්නේ නෑ. දැන් රටේ බොහෝ ප‍්‍රදේශවල ගොවීන් කියනවා පොහොර නැත්නම් අපිට වතුරත් එපා කියලා. සමහරු කියනවා වී වගාවෙන් ඉවත් වෙනවා කියලා. නමුත් මේ තීරණවලට සමස්ත ගොවි ජනතාවටම එකඟවෙලා එය ක‍්‍රියාත්මක කරන්න බෑ. ඒකට හේතුව මේ ප‍්‍රශ්නවලදී ගොවියා ඉතාම අසරණයි. අපිට ගොවිතැන අත්හැරලා ජීවත් වෙන්න වෙන මාර්ගයක් ඇත්තේ නෑ. මමත් ගොවියෙක් හැටියට ඒකයි ඇත්ත තත්ත්වය. අපි ජීවත්වෙන්නේ අනුරාධපුරය රාජාංගනයේ. රාජාංගනය වැව යටතේ කුඹුරු අක්කර 20”000ක් පමණ වගා කෙරෙනවා. මාස් කන්නයේ පමණයි වතුර ගැන බයක් නැතිව කුඹුරුවල වී වගා කරන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට එන්නේ යල් කන්නේ. රාජාංගනය වැවේ යල් කන්නෙට වතුර හිඟවෙනවා. ලබන යලේ වතුර නැති වුණොත් මොකද කරන්නේ. දැන් ඉස්සරහට සිංහල අවුරුද්දක් එනවා. කිරිබතක් උයන්න වී ඇටයක්” හාල් ඇටයක් ගන්න කුඹුර වගා නොකර කොහොමද කියලයි මෙහේ ගොවීන් අපෙන් අහන්නේ. අනෙක් කාරණය අවුරුද්දට තමුන්නේ අඹු දරුවන්ට ඇඳුමක් කැඩුමක් අරන් දෙන්නේ මේ වී ඇටේ වගා කරලා ලැබෙන ආදායමෙන්. එහෙම නැතුව කවුද අපිට සල්ලි දෙන්නේ. පසුගිය 16 වෙනිදා වැවේ වතුර නිකුත් කළා. මේ වැව යටතේ ගොවි සංවිධාන 64ක් තියෙනවා. අපි හැමෝම වගාවට යනවා. අපිට එහෙම නොකර බෑ. කන්නයට වගා නොකෙළොත් ලෙඩ රෝග කෘමිහානි වැඩියි. පසුගිය කන්නවල නියඟයෙන් හානි වුණා.

ගංවතුරෙන් මහා හානි වුණා. මෙතෙක් සත පහක වන්දියක් ගොවීන්ට ලැබුණේ නෑ. අස්වැන්න අඩුවුණත් කුඹුර වගා නොකර මේ ගොවින්ට ජීවත් වෙන්න වෙනත් මාර්ගයක් නෑ. පොහොර ප‍්‍රශ්නය නිසා මේ රටේ වී වගාවේ අස්වැන්න අඩුවුණොත් ඒක ගොවියාට විතරක් නෙවෙයි රටකට දැනෙන ප‍්‍රශ්නයක්. ඒක රජය තේරුම් ගතයුතුයි. එම නිසා අපි ඉල්ලා සිටිනවා ටික කාලයකට හරි රසායනික පොහොර ගොවීන්ට ලබලා දීලා ක‍්‍රමයෙන් මේ කාබනික පොහොරවලට යාම කළ යුතුයි කියලා. ඒ වගේ ලෝකයේ රටවල දැනට භාවිත කරන ගුණාත්මක තත්වයේ රසායනික පොහොර වර්ග තියෙනවා. ඒවා ගෙනැවිත් මුදලට හරි දෙන්න. මේ ලාබ පොහොර” වස විස නවත්වලා…

මාස් කන්නයේ වගාව සඳහා පරිසර හිතකාමී නයිට‍්‍රජන් දියර පොහොර ලීටර් ලක්‍ෂ 31ක් ගෙන ඒමට සැලසුම්කර ඇතැයිද එම දියර පොහොර තොගයෙන් ලීටර් ලක්‍ෂ 01ක් මේ වන විටත් මෙරටට ගෙන්වා අම්පාර” මඩකලපුව” ත‍්‍රිකුණාමලය ඇතුළු මාස් කන්නයේ වී වගාව දැනටමත් ආරම්භ කර ඇති දිස්ත‍්‍රික්කවලට යවා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය කියයි.

මෙම දියර පොහොර ලෝකයේ දියුණුම නැනෝ තාක්‍ෂණය භාවිතා කර ඇති බවත් පරිසර හිතකාමී ඉහළ සාර්ථකත්වයක් පෙන්වා ඇති පොහොරක් බවද කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ පැවැසීය.

මේ අතර රසායනික පොහොර භාවිතය තහනම් කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය වැරදි උපදෙස් මත සිදුවූවක් බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා පසුගියදා කියා සිටියේය. මේ සම්බන්‍ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හෝ විෂය භාර අමාත්‍යවරයා වගකිවයුතු නැති බවත් ඉහළ දේශපාලන අධිකාරීන්ට උපදෙස් ලබාදීමේදී එය නිවැරදි ආකාරයට කළ යුතුව ඇති බවත් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

ලේකම්වරයාගේ මෙම ප‍්‍රකාශය සම්බන්‍ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් දැක්වූ ගොවි අරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු ආර්. කේ. ඉන්ද්‍රානන්ද මෙසේ කියා සිටියේය.

පොහොර ගැන ඇත්ත කියන්නේ ආණ්ඩුවද? ගොවියෝද?

‘‘කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා කියන විදියට රසායනික පොහොර භාවිතය තහනම් කරලා ගහපු ගැසට් එකට ජනාධිපතිවරයා වගකියන්න ඕනත් නැත්නම් රජය වගකියන්න ඕනත් නැත්නම් විෂය භාර ඇමැතිවරයා වගකියන්න ඕනත් නැත්නම් කවුද වගකියන්න ඕන. එහෙනම් අපි අහනවා මේ රටේ ගොවි ජනතාව දහස් ගණනින් පාරට බැහැලා” රටේ ලොකු ප‍්‍රශ්නයක් වෙලා එළවළු බෝගවල අස්වැන්න අඩුවෙලා” තේ වගාවේ අස්වැන්න අඩුවෙලා මේ තරම් විනාශයක් වෙලා තියෙන එකට වගකියන්න කෙනෙක් නෑ. හතර බීරි කතාවක් මේක. අපි ගොවි අරගල ව්‍යාපාරය විදියට මුලදිම කිව්වා මේ කඩිකුලප්පු පොහොර ප‍්‍රතිපත්තියෙන් මේ රටත් ඉවරයි” මේ රටේ කෘෂිකර්මාන්තයත් ඉවරයි” මේ රටේ පාරිභෝගික ජනතාවට හාල් ගන්න නැතුව සාගතයක් එනඑක වළක්වන්න බෑ කියලා. මේ රටේ තේ වගාව විනාශයි. ගෙවතු වගාව විනාශයි. ගොවියා අනාථයි. ඒ අතරේ නැනෝ දියරය ලීටර් ලක්‍ෂයක් ගෙන්වලා තියෙනවා තව ලක්‍ෂ 30ක් ගේන්න තියෙනවා. ඒකට රුපියල් කෝටි 900ක් වියදම් කරනවා. මේ නැනෝ දියරය මේ රටේ කිසිම රාජ්‍ය ආයතනයක පරීක්‍ෂාවට ලක්වෙලා නෑ. එහි අඩංගු රසායනික සංඝටක ප‍්‍රමාණ කොපමණද කියලා කිසිම කෙනෙක් කියන්නේ නෑ. මේ නැනෝ දියරේ කොපමණ ප‍්‍රමාණයක් කැඞ්මියම් ආසනික් තියෙනවාද කියලා කවුද පරීක්‍ෂාවට ලක් කලේ. අපි කියනවා මේ නැනෝ දියරයෙන් මේ රටේ වගාවට ගොවියාට ඇතිවෙන ලොකු සෙතක් නෑ. එකෙන් කරන්න හදන්නේ වෙන සෙල්ලමක්. දැන් මේ කෑ ගහන උද්ඝෝෂණ කරන ගොවියා රවට්ටන්න නිහඬ කරන්න තමයි මේ නැනෝ දියරය ගෙනැල්ලා තියෙන්නේ. හරියට කොයි වගේද කියනවා නම් අඬන දරුවෙකුට උරන්න සූප්පුවක් කටට දෙනවා වගේ. ඒකෙන් දරුවාගේ බඩ පිරෙන්නේ නෑ. ඒ වගේ ගොවි ජනතාවටත් මේ සූප්පුවක් තමයි දෙන්න හදන්නේ. දැන් මේ නැනෝ දියරය ගෙනනැල්ලා තියෙන්නේ වෙන මොකකටවත් නෙවෙයි. උද්ඝෝෂණ කරන ගොවියන්ට දෙන්න උත්තරයක් නෑ. උද්ඝෝෂණ කරන ගොවියෝ අහන්නේ අස්වැන්න අඩු වුණාම දෙන වන්දිය කීයද? ඒක ගැසට් කරන්න ඕන කෘෂි රක්ෂණ මණ්ඩලය. දැන් ආණ්ඩුවෙ ඇමැතිවරු එක එක අපබ‍්‍රංශ කථා කියනවා. දැන් ආණ්ඩුව හදන්නේ ගොවියව අන්දන්න. ලේකම්වරයා කියන විදියට වැරදි ගැසට් එකක් නම් ගැහුවේ ඒ අවලංගු කරනවාද? නැද්ද? කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා කියන්නේ හරියට අර ගමරාලගේ කථාව වගේ එකක්. ගමරාල අහනවා කවුද මගේ අමුඩෙ කැත කලේ කියලා. ඒ වගේ ලේකම්වරයා අහනවා හත්වලාමේ කවුද මගේ අමුඬේ කැත කලේ කියලා. අපි කියනවා අමුඬේ කැත කරපු එවුන්ගෙන් අහගනිල්ලා කවුද කැත කලේ කියලා. දැන් ගන්දස්සාරේ මුළු රටම. ඒ හින්දා දැන් අනුන් අල්ලන්න එපා. ඒ ගත්තු තීරණයට ඔය හැමෝම වගකියන්න ඕන. මේ කෘෂිකර්මාන්තය විනාශ කරන්න මුල් වෙච්ච ජනාධිපතිත්” කෘෂිකර්ම ඇමැතිත් ආණ්ඩුවත් මේකට සහමුලින් වගකියන්න ඕන. එක එක්කෙනාට වගකීම් පවරලා කිසිවෙකුට නිදහස් වෙන්න බෑ. ඒ නිසා අපි කියනවා මේ නැනෝ දියර ගෙන්වනවා නම් ප‍්‍රමිතියෙන් යුත් රසායනික පොහොරත් ගෙනැල්ලා ගොවීන්ට දීපල්ලා. එතෙක් ගොවි ජනතාව කුඹුරට බහින්නේ නෑ.

ගොවීන්ගේ උස්ව නැෙඟන දුක් මැසිවිලි නොඅඩු වුවද ඒ කිසිවකින් මෙතෙක් ලද ජයග‍්‍රහණයක් නොමැති කල වාතලයට මුසුවෙමින් තිබෙනුයේ බලාපොරොත්තු බිඳුණු ගොවීන්ගේ දුක් සුසුම් පමණි. මේ වනවිට ඇතිවී තිබෙන පොහොර සහ ඒ හා බැඳුණු ප‍්‍රශ්නාවලියේ විසඳිය යුතු පැති ගණනාවක් තිබෙන බව ගොවීන්ගේ ඉල්ලීම්වලින් පැහැදිලිවේ. ඉන් පළමුවැන්න කලට වේලාවට පොහොර ලබා ගැනීමයි. ඊළඟට ප‍්‍රමිතියෙන් යුත් පොහොරය. දෙමුහුන් බීජ වලට රසායනික පොහොර මිස කාබනික පොහොර නොගැලපෙන බවටද ගොවීහු මතුකරන තවත් කාරණයෙකි. දැනට භාවිත කරන දෙමුහුන් බීජ වගාවේදී වල් මර්දනය සහ කෘමිහානි මැඩලීම සඳහා රසායනික වර්ගද අවශ්‍ය බව පෙන්වා දෙති.

මේ පිළිබඳව විද්වත් මතය කෙබඳුද යන්න විමසීමටද මෙහිදී අප අමතක නොකළෙමු. එහිදී අපගේ අවධානය යොමු වූයේ රුහුණු විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකු මෙන්ම පැලෑටි කායික විද්‍යාඥයෙකු වන රජරට බිමෙන් බිහිවු මහැදුරු සමන් සෙනෙවීරයන් වෙතය.

මහනුවර හන්තාන ජාතික අධ්‍යයන මූලික ආයතනයේ විධායක අධ්‍යක්‍ෂවරයා ලෙසද කලක් කටයුතු කර ඇති මහාචාර්ය සමන් සෙනෙවීර අමෙරිකාවේ ඉලිනෝයි” ජපානයේ තොහුකු” ඔස්ටේ‍්‍රලියාවේ දකුණු ක්වින්ස්ලන්ඞ් හා මෙල්බර්න් යන විශ්වවිද්‍යාලවල ශාක කායික විද්‍යාව සහ දේශගුණ විපර්යාස පිළිබඳ අධ්‍යයනය කළ මහාචාර්යවරයෙකි.

වර්තමානයේ රට තුළ ඇතිවී තිබෙන පොහොර අර්බුදය හේතුවෙන් වී වගාව අත්හරින්නට ඇතැම් ගොවීන් ගෙන ඇති තීරණය පිළිබඳ කාරණයේදී අප කළ විමසුමට පිළිතුරු දුන් මහාචාර්යවරයා කියා සිටියේ කාබනික වගාව වරදක් නොවෙයි එය අපේ රටේ ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ කරන ආකාරයේයි වැරැද්ද යනුවෙනි. ලෝකයේ කිසිම රටක් එක රැයින් කාබනික කෘෂිකර්මයට ගොස් නැති බව පෙන්වාදෙන මහාචාර්ය සමන් සෙනෙවීර මෙම ෙක්‍ෂත‍්‍රයේ විද්වතුන්” උගතුන්” බුද්ධිමතුන් සමඟ සාකච්ඡා කර එවැනි වැඩපිළිවෙළකට යොමුවිය යුතුව තිබූ බවද කීය. මේ වනවිට ඇතිවී තිබෙන පොහොර පිළිබඳ ප‍්‍රශ්නයේදී ගොවියා කබලෙන් ලිපට වැටෙන බවත් රටක ආහාර සුරක්‍ෂිතතාව යන කාරණය ඉතා වැදගත් හෙයින් සීයට සීයක් කාබනික පමණක් යොදා වී වගාව කළ නොහැකි බවද කීය. එමෙන්ම ගොවියා වී වගාවෙන් ඉවත් වුවහොත් ඔහුගේ ආර්ථිකය කඩාවැටෙන බවත් එය රටේම ආර්ථිකයට බලපාන බවද කීවේය. එම නිසා මේ කාරණයේදී කළ යුතුව ඇත්තේ පැලැස්තර දැමීමක් නොවන බවද පැවැසීය. වගාවට සහ පසට ඉතා වැදගත් පොහොර කුමක්ද යන්න තීරණය කිරීම කළ යුත්තේ විද්‍යාත්මක අධ්‍යනයකින් බවද මහාචාර්යවරයා මෙහිදී පෙන්වා දෙයි. එම නිසා අනිවාර්යයෙන්ම කළ යුත්තේ කාබනික වගාව කරන අයට රජය මගින් ඒ සඳහා සහනාධාර ලබාදීම බවද සඳහන් කළේය.

අර්බුදයට ලක්ව තිබෙන පොහොර ප‍්‍රශ්නයට පිළියමක් ලෙස නයිට‍්‍රජන් දියර පොහොර ගෙන්වා බෙදාහැරීමට රජය පියවර ගෙන තිබීම තුළින් සාර්ථක ප‍්‍රතිඵල අත්කරගත හැකිවේදැයි අප කළ විමසුමට පිළිතුරු දුන් මහාචාර්වරයා මෙසේ කීය.

‘‘පැලෑටියක වර්ධනය සඳහා නයිට‍්‍රජන්” පොස්පරස්” පොටෑසියම් යන මූලද්‍රව්‍ය ලොකු ප‍්‍රමාණ අවශ්‍ය වෙනවා. ඒ නිසයි ඒවා අඩංගු පොහොර අපි පසට යොදන්නේ. හෙක්ටයාරයක වගාවට යූරියා කිලෝ ග‍්‍රෑම් 250ක් පමණ යොදනවා.ඒ ප‍්‍රමාණය තුළ මහා මූලද්‍රව්‍යයක් වන නයිට‍්‍රජන් හරි අඩක් පමණ ඒ කියන්නේ කිලෝ ග‍්‍රෑම් 125ක් පමණ අඩංගු වෙනවා. එයින් කිලෝ ග‍්‍රෑම් 40ක් පමණ තමයි ශාකවලට උරා ගන්නේ. ඒ 40 අනිවාර්යයෙන්ම අවශ්‍යයයි. මේ ප‍්‍රමාණය අපිට කවදාවත් කාබනික වලින් දෙන්න බෑ. ගහට අවශ්‍ය ප‍්‍රමාණය හරි වෙලාවට දෙන්න විද්‍යාත්මක අවබෝධයක් තියෙන්න ඕන. කාබනික පොහොර වලින් අවශ්‍ය මූලද්‍රව්‍ය දෙන්න හෙක්ටයාර් එකකට ටොන් 10ක්වත් දාන්න ඕන. ආණ්ඩුව කියනවා ටොන් 05ක් ඇති කියලා. දැන් මේ ගෙන්වලා තියෙන නයිට‍්‍රජන් දියර පොහොර” ඒක රසායනික පොහොරක්. ඒවයේ ලීටර් එකක නයිට‍්‍රජන් ග‍්‍රෑම් 250 ක් වගේ ප‍්‍රමාණයක් තියෙන්නේ. කිලෝ ග‍්‍රෑම් 40ක අවශ්‍යතාවය නයිට‍්‍රජන් ග‍්‍රෑම් 250කින් කිරීම අපහසුයි. වාණිජ බෝගයක් විදියට වී වගා කිරීමේදී මේ දියර පොහොරවලින් පමණක් කිරීමත් ඉතාමත් අපහසුයි. මම අර කලින් කියපු කිලෝග‍්‍රෑම් 40 අනිවාර්යයෙන් තියෙන්න ඕන ශාකය ඇතුළත. අපි මතක තියාගන්න ඕන කාරණයක් නයිට‍්‍රජන් පැටව් ගහන්නේ නෑ කියන එක. නමුත් බලන්න මේ දියර පොහොර අක්කරයක් සඳහා නිර්දේශ කරලා තිබෙන ප‍්‍රමාණය අනුව නයිට‍්‍රජන් ලැබෙන්නේ මොන තරම් සුළු ප‍්‍රතිශතයක්ද කියලා. ඒ මොකද මේවා යොදන්නේ පත‍්‍රවලට. නමුත් ශාකයකට අවශ්‍ය පෝෂණය සියයට අනූවක් ලබා ගන්නේ මූල මණ්ඩලය මගිනුයි. විශේෂයෙන්ම දියර පොහොර අපි වගාවකට යොදන්නේ මල් හැදුණට පස්සේ” එහෙම නැතිනම් ගහ කහපාට වෙනවා වගේ අවස්ථාවලදී සහ පොඩි අඩුපාඩු සැකසීමට.

අපේ රටේ කාබනික වලින් පමණක් වී වගාව හරිම අමාරුයි කියලා මම කියන්නේ අවරුදු 70ක පමණ කාලයක් අපි කාබනික ගැන කථා කලේ නෑ. කාබනික ගොවිතැන රටේ ප‍්‍රචලිත වෙන්න නම් පසේ තිබෙන කාබන් ප‍්‍රතිශතය වැඩිකරන්න ඕන. එහි ප‍්‍රමාණයක් තියෙනවා. අවශ්‍ය ගානට පසේ වි්‍යුහය දියුණු කරලා පියවර වශයෙන් යන්න ඕන. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ හරියටම ක‍්‍රියාත්මක කරන්න ඕන. දැන් ගොවියෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියලා කියනකොටත් බයයි…යැයිද කීය.

මහාචාර්ය සෙනෙවීරයන්ගේ පැහැදිලි කිරීමට අනුව නයිට‍්‍රජන් දියර පොහොරය මේ රටේ වී වගාකරන ගොවි ජනතාවට එතරම් ලොකු බලාපොරොත්තු තැබිය හැකි පොහොරක් නොවන බව පෙනීයයි. ශාකයක පෝෂණය සඳහා අවශ්‍ය රසායනික සංඝටක අතර නයිට‍්‍රජන්” පොස්පරස්” පොටෑසියම් ප‍්‍රධාන තැනක් ගනුලබයි. ඒ අතර නයිට‍්‍රජන් මහා මූලද්‍රව්‍යයක් ලෙසද හැඳින්වේ. එමෙන්ම ශාකයකට එය ලොකු ප‍්‍රමාණයක් අවශ්‍ය බවද කියයි. තවදුරටත් මහාචාර්යවරයා කරනු ලබන හෙළිදරව්වට අනුව ශාකයකට අවශ්‍ය පෝෂණය සියයට අනූවක්ම ලබාගන්නේ මූල මණ්ඩලය මගින් නම් පොහොර පසට යෙදීම තුළින් වඩාත් සාර්ථක ප‍්‍රතිපල අත්කර ගතහැකි බව අමුතුවෙන් කිවයුතු නොවේ. එහෙත් නැනෝ නයිට‍්‍රජන් දියර පොහොර කුමන භෝගයකට වුවද යෙදිය හැකි වන්නේ ශාකපත‍්‍ර මතය. එහෙයින් එය වී වගාවට යොදා සාර්ථක වී අස්වැන්නක් ලැබිය හැකිද යන කාරණයට ගොවි ජනතාව තුළ ඇත්තේ ප‍්‍රශ්නාර්ථයකි.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment