පොහොර සමාගමේ අධ්‍යක්‍ෂවරයකුට ඥාතීත්වයක් ඇතත් ව්‍යාපාරවලදී කිසිම සම්බන්ධයක් නෑ – අගමැති ලේකම්ගෙන් කරුණු පැහැදිලි කිරීමක්

154

පොහොර ගැටලූව පිළිබඳව පළවූ ප‍්‍රවෘත්තියේ අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා පිළිබඳ වූ සඳහන සඳහා කරුණු පැහැදිලි කිරීමක් අග‍්‍රාමාත්‍ය කාර්යාලයෙන් එවා ඇත. එය මෙසේය.

 2021.10.28 දින දිවයින පුවත්පතේ ‘චීන පොහොර නැව ගැන නලින්දගේ හෙළිදරව්ව’ ශීර්ෂය යටතේ 1 සිට 07 දක්වා පිටුවල පළවූ ප‍්‍රවෘත්තියේ පොහොර ගැටලූවට අදාළව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස මහතාගේ ප‍්‍රකාශයක් පළ කර ඇත.

 එම ප‍්‍රකාශය තුළින් අග‍්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සේදර සෙනරත් මහතා දැඩි ලෙස විමතියටත් කනගාටුවටත් පත් වූ බව සඳහන් කරයි. මතභේදයට ලක්ව ඇති පොහොර ආනයනය කරන ලද සමාගමේ දේශීය නියෝජිත ආයතනයේ එක් අධ්‍යක්ෂවරයකුට තමාගේ ඥාතීත්වයක් ඇති නමුත් එම සමාගමේ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් තමාගේ කිසිදු සම්බන්ධයක් හෝ සමාගමට ව්‍යාපාර කටයුතු ලබාදීමේදී තමාගේ කිසිදු මැදිහත්වීමක් හෝ බලපෑමක් කිසිදු ලෙසකින් සිදු කර නොමැති බව අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා දැඩි ලෙස අවධාරණය කර සිටියි. එවැනි මැදිහත්වීමක් පිළිබඳව තොරතුරු තමා දැනගත්තේද මාධ්‍ය තුළින් බවද ඔහු වැඩි දුරටත් ප‍්‍රකාශ කරයි.

 තමා විසින් එවැනි කිසිදු මැදිහත්වීමක් හෝ බලපෑමක් සිදුකර ඇති බවට කවරකු හෝ සතුව සාක්ෂි හෝ කරුණු සතු වන්නේ නම් ඒ පිළිබඳව විධිමත් පැමිණිල්ලක් ඕනෑම විමර්ශන ආයතනයක් වෙත සිදු කරන ලෙසත් අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා වැඩිදුරටත් ඉල්ලා සිටී.

 එවැනි විමර්ශන ආයතනයක් මගින් කරනු ලබන ඕනෑම විමර්ශනයක් සඳහා තමා කැඳවුවහොත් ඊට ඉදිරිපත් වීමට තමා ඉතා කැමැත්තෙන් සිටින බවද ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියි.

 2015 ට පෙර කාලයේදී ඉහත ආයතනයට ව්‍යාපාර ලබාදීමේදී තමාගේ මැදිහත්වීමක් සිදුව ඇති බවට සැක කරන බව ද ප‍්‍රකාශයේ සඳහන් වෙයි. පසුගිය යහපාලන රජය සමයේදී මෙවැනි විවිධ අසත්‍ය චෝදනා කරමින් තමාට එරෙහිව විවිධ විමර්ශන ආයතන රාශියක් මගින් පරීක්ෂණ රාශියක් පැවැත්වූ බවත් එකී යහපාලන වසර 04 ක කාලයෙන් වැඩි ප‍්‍රමාණයක් තමා ගත කළේ ඉහත ආයතනවලට ප‍්‍රකාශ ලබාදීමට බවත් වැඩිදුරටත් ප‍්‍රකාශ කරන ඔහු අවසානයේදී එම චෝදනා සනාථ කිරීමට කිසිදු කරුණක් හෝ තහවුරු කර ගැනීමට නොහැකි වූ බව ද සඳහන් කරයි. එසේම කිසිදු සාධාරණ චෝදනාවක් නොමැතිව විශේෂ ත‍්‍රිපුද්ගල අධිකරණය ඉදිරියේ පැවරුණු නඩුවෙන්ද නිදොස් කොට නිදහස් කරන ලද බව අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment