ජයසිරි මහා ස්වර්ණමාලි සෑ පෝය හේවිසි පූජා මංගල්‍යය ලබන 19 වැනිදා (නිකිණි පෝදා) සහ 20 වැනිදා යන දෙදින ඓතිහාසික අනුරාධපුර පුදබිමේදී පැවැත්වෙන බවත්, එම උතුම් පිංකමට සුදුවතින් සැරසී විනය ගරුකව සහභාගි වන ලෙසත් ශ්‍රී ලංකා සකල කලා සංසදයේ සභාපතිනි කලා ශිල්පිණි ශ්‍රියානි දිසානායක මහත්මිය ඉල්ලා සිටී.
මෙම අවස්ථාවට හේවිසි වාදන ශිල්පීන් සියයකට අධික පිරිසක් සහභාගි වන බව ද මෙම උතුම් පිංකමට රජයේ අනුග්‍රහය ඉල්ලා සිටිය ද මෙතෙක් ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයි ද ඇය පැවසුවාය. නුගේගොඩ, දෙල්කඳ එච්.ඩී. ජයමාන්න උත්සව ශාලාවේ පැවැති මාධ්‍ය හමුවක දී ඇය එසේ කියා සිටියාය.
අගෝස්තු 19 වැනිදා මහාචාර්යවරුන් සහ විද්වතුන් විසින් සම්පාදනය කරන ලද ‘පෝය හේවිසි’ නමැති ග්‍රන්ථය ද එළිදක්වන බවත් ඇය කියා සිටියාය.
19 වැනිදා සවස 4.00 සිට රැය පහන් වනතුරු ඓතිහාසික අනුරාධපුර පුද බිමේදී පෝය හේවිසි පූජාව පැවැත්වෙන බවත්, 20 වැනිදා සවස 3.00 සිට රාත්‍රී 10.00 දක්වා හේවිසි බුද්ධමය ශබ්ද පූජාව ථූපාරාමය, අභයගිරිය, මිරිසවැටිය, ජේතවනාරාමය, ලංකාරාමය, සමාධි පිළිමය අබියසදී පැවැත්වෙන බවත් ඇය කීවාය.
මෙහිදී ජාතික ශිල්ප සභාවේ සභාපති ආචාර්ය සම්පත් ඇරැහැපොල මහතා සිය සුබසාධක සංගමයේ සාමාජිකයන්ගෙන් එකතු වූ මුදල් මෙම පිංකම සඳහා පරිත්‍යාග කළේය.
මෙම අවස්ථාවට මහාචාර්ය කමල් වලේබොඩ, කරුණාරත්න බණ්ඩාර සහ ගංගොඩවිල බොදු පදනමේ සභාපති දේශමාන්‍ය ජයන්ත ජයමාන්න යන මහත්වරු ද සහභාගි වූහ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ උදේනි චන්ද්‍රසිරි – මහරගම