පෝලන්තයේ රැකියා සඳහා යවන බව කියමින් උපපොලිස් පරීක්ෂකවරයකු තමන්ගෙන් රුපියල් 1,888,220 ක මුදලක් ලබාගෙන විශ්වාසය කඩ කළ බව කියමින් කළුතර පොලිස් විද්‍යාලයේ පුහුණු උපදේශකවරුන් ලෙස කටයුතු කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු දකුණු කළුතර පොලිසියට පැමිණිලි කර ඇත.
එක් පොලිස් කොස්තාපල්වරයකුගෙන් රුපියල් 1,116,220 ක්ද, අනෙක් පොලිස් කොස්තාපල්වරයාගෙන් රුපියල් 772,000 ක්ද වශයෙන් වරින් වර මෙම මුදල් ලබාගෙන ඇතැයි පොලිසිය කියයි. මෙම මුදල් බැංකු ගිණුම් කීපයකට යොමු කරවාගෙන ඇති අතර ඉන් එක් ගිණුමක් සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා සමග සේවය කරන පොලිස් කොස්තාපල් රියදුරෙකුගේ බවට අනාවරණය වී තිබේ.
පෝලන්තයේ රැකියා අවස්ථා 3ක් ඇති බව කියමින් මෙම මුදල් ලබාගෙන ඇති අතර තමන්ට නිවාඩු අනුමත කර ගත යුතු බැවින් පිටත්ව යන වකවානුව පවසන ලෙස ඉල්ලූ විට සැකකරු තමන් මගහරිමින් සිටින බව පැමිණිලිකරුවන් පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන් වේ.
එක් පොලිස් කොස්තාපල්වරයකු සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා හඳුනාගෙන ඇත්තේ කළුතර පොලිස් විද්‍යාලයේදී වන අතර අනෙක් කොස්තාපල්වරයා ඔහු හඳුනාගෙන ඇත්තේ මුහුණු පොතෙනි.
මොහු විදේශ රැකියා සඳහා යවන බව පවසමින් පුද්ගලයින් රවටා මුදල් ලබාගෙන ඇති බව පසුව අනාවරණය විණැයිද පැමිණිලිකරුවන් පොලිසියට ප්‍රකාශ කොට තිබේ. දකුණු කළුතර පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කළුතර විශේෂ – එස්. ආරච්චිගේ