පෝලිමත් එක්ක පෝලිමේ එන මොළේ ලෙඩ

122

මේ ගෙවී යන්නේ පශ්චාත් කොරෝනා සමයයි…

අපේ රටේ මිනිස්සු ආර්ථික, සමාජයීය සහ සදාචාරාත්මක වශයෙන් දැඩි පීඩනයකට පත්ව සිටිනවා…

මානසික පීඩනය කුසගින්නට වඩා ප‍්‍රබලයි…

යම් පාලනයක් තුළ යුක්තිය, සාධාරණත්වය නැති නම් ජනතාව අසහනයට පත් වෙනවා…

ආර්ථික අර්බුදය දිනෙන් දින උත්සන්න වෙමින් තිබේ. ගෑස්, භූමිතෙල්, කිරි පිටි පෝලිම් දවසින් දවස දිග්ගැස්සේ. සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාරවල මිල අසාමාන්‍ය ලෙස වැඩිවෙමින් තිබේ. වෙළෙඳපොළේ තිබෙන සියලූම සහල් වර්ගවල කිලෝවක මිල රුපියල් එකසිය විස්සට වැඩිය. ඉදිරියේදී සහල් මිල තව තවත් වැඩි වන බවට අනතුරු ඇඟවීම් පළවෙමින් තිබේ. එමෙන්ම ජනතාවට අත්‍යවශ්‍යම ඖෂධවල මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. සෙසු භාණ්ඩ සහ සේවාවල මිල ද දවසින්, දවස වැඩිවෙමින් තිබේ. ඒ අල්ලපනල්ලේ පොහොර ඉල්ලා ගොවීන් කරන උද්ඝෝෂණ, දුම්රිය වර්ජන, හිටි හැටියේ විදුලිය කැපීම්, ගෑස් ටැංකි පිපිරීම් අතෝරක් නැති ගැටලූය.

එමෙන්ම පවතින ඩොලර් අර්බුදය නිසා ආනයනික වෙළෙඳපොළ කඩා වැටීමත් සමඟ දේශීය කර්මාන්තශාලාවලට අමුද්‍රව්‍ය සහ නිමි භාණ්ඩ ආනයනය කිරීමේදී බරපතළ ගැටලූවලට මුහුණදීමට සිදුව ඇත. වාහන ඇතුළු ආනයනික භාණ්ඩ මිලට ගැනීමට වෙළෙඳපොළක් නොමැතිව ඇතැම් මිනිස්සු දැඩි සේ සිත් තැවුලට පත්ව සිටිති. සිහින බොඳ වී ගොස් කබලෙන් ලිපට වැටුණු තත්ත්වයට පත් මිනිසුන් ජීවත්වන ජන සමාජයක අනාගතය ගැන කියැවෙන මේ කතාව අතිශය ඛේදජනකය. භීතිය දනවන ඒ කතාව අපට කීවේ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඥානදාස පෙරේරා මහතාය. ආර්ථික පීඩනයෙන් අසරණ වී සිටින ජනතාවගේ දැන ගැනීම පිණිස ඒ කතාව මහාචාර්යවරයාගේ වචනයෙන්ම අපි මෙසේ සටහන් කර තබන්නෙමු.

‘‘මේ වෙනකොට අපේ රටේ මිනිස්සු ආර්ථික, සමාජීය සහ සදාචාරත්මක වශයෙන් දැඩි පීඩනයකට පත්ව සිටිනවා. සරල ජීවන රටාව පවත්වාගෙන යෑමත් ජනතාවට ගැටලූවක් වෙලා තියෙනවා. සරල ජීවන රටාවක් කියන්නේ කෑම, බීම ඇතුළු අත්‍යවශ්‍ය දේවල් සහ මූලික අවශ්‍යතා සපුරාගැනීම පදනම් වූ ජීවිතයක්. ගෑස් ගැටලූව සහ පොහොර ගැටලූවත් සමඟ නිර්මාණය වෙච්ච ආහාර හිඟය නිසා කෑම, බීම සපයාගැනීම බරපතළ ගැටලූවක් වෙලා තියෙනවා. කිරි පිටි හිඟයත්, මස්, බිත්තර මිල ඉහළ යෑමත් සමඟ අත්‍යවශ්‍ය පෝෂණීය ආහාරවල ගැටලූවක් නිර්මාණය වෙලා තියෙනවා. මේ ගැටලූ කොතරම් බරපතළ තත්ත්වයට පත්වෙලා ද යන්න කිරි පිටි, ගෑස්, භූමි තෙල් පෝලිම්වලින් පැහැදිලි වෙනවා…’’

‘‘මට මතක ඇති කාලයක භූමිතෙල් මිලට ගැනීමට මිනිස්සු පෝලිම්වල ඉඳලා නෑ. භූමිතෙල් කියන්නේ සුඛෝපභෝගී දෙයක් නෙමෙයි. භූමිතෙල් ලබාගන්නේ දුප්පත් නිවාසවල කුප්පි ලාම්පු දැල්වීමට. ඒත් මේ කාලේ භූමිතෙල් ලබාගැනීමට මිනිස්සු ඉන්ධනහල් ඉදිරියේ පෝලිම් ගැහිලා ඉන්නවා. ඔරුගොඩවත්ත ඉන්ධනහල ඉදිරියේ දිගු පෝලිමක් තියෙනවා මම දකිනවා. කොලොන්නාව, දෙමටගොඩ ඉන්ධනහල් ඉදිරියෙත් දිගු පෝලිම් තියෙනවා මම දැකලා තියෙනවා. ඒ පෝලිම්වල ඉන්නේ කුරුඳුවත්තේ මන්දිරවල ජීවත්වන මිනිස්සු නෙමෙයි. එදා වේල සොයාගෙන, මහමෙරක් ආර්ථික ගැටලූ මැද ජීවත්වන දුප්පත් මිනිස්සු. ඒ ඔවුන්ගේ පැල්පත් පහන් කරන්න භූමිතෙල් ටිකක් ලබාගන්න. ඒත් මේ වෙනකොට රටේ පවතින ආර්ථික දුෂ්කරතාවයන් දුප්පත් මිනිස්සුන්ට විතරක් නෙමෙයි, මධ්‍යම පාන්තික, ධනවත් සියලූ පවුල්වලට එක සේ දැනෙමින් පවතිනවා. ඉස්සර තමන්ගේ මෝටර් රථයෙන් ගමන් බිමන් ගිය බොහෝ මිනිස්සු දැන් කුලී ත‍්‍රිරෝද රථ, පොදු ප‍්‍රවාහන සේවා පාවිච්චි කරන්න පටන්ගෙන තියෙනවා. තුන්වේල හොඳට කාපු මිනිසුන්ට දෙවේලක් කන්න ආර්ථික ශක්තියක් නැති තත්ත්වයට පත්වෙලා තියෙනවා. දුප්පත් මිනිහෙක්ට ලෙඩකට බෙහෙත් ටිකක් ගන්න බැරි තත්ත්වයට ඖෂධ මිල සහ වෛද්‍ය සේවා ගාස්තුවල මිල ඉහළ ගිහින් තියෙනවා…’’

පෝලිමත් එක්ක පෝලිමේ එන මොළේ ලෙඩ

‘‘1970 ගණන්වල නිර්මාණය වෙලා තිබුණු පෝලිම් සංස්කෘතියට ඔබ්බට ගිය පෝලිම් ක‍්‍රමයක් අද බිහි වෙලා තිබෙනවා. ඒ වගේම 1970 දී සමගි පෙරමුණු පාලනය තුළ බත් කෑම තහනම් කරපු දවස් තිබුණා. රජයේ ආපනශාලාවල අල, බතල කෑමට දින නියම කරලා තිබුණා. පාන්, පාන් පිටි, හාල් පෝලිම් තිබුණා. රට සංවර්ධනය කිරීම වෙනුවෙන් ගෙන ගිය වැඩපිළිවෙළක් නිසා එදා රටේ මිනිස්සු ඉවසුවා. ඒ වගේම එදා මිනිස්සු හුරුවෙලා හිටියේ සරල ජීවන රටාවකට. ඒත් 1977 බලයට පත් වෙච්ච එක්සත් ජාතික පක්‍ෂය ආණ්ඩුව විසින් මෙරටට විවෘත ආර්ථික ක‍්‍රමය හඳුන්වාදීමත් සමඟ මෙරට වෙළෙඳපොළේ බඩු භාණ්ඩ සුලබ වුණා. අපේ රටේ ඇතැම් මිනිසුන්ට ලෝකයේ දියුණු රටවල මිනිසුන් භුක්ති විඳින සැප සම්පත් භුක්තවිඳීමට අවස්ථාව උදා වුණා. ඒ වගේම අපේ රටේ ව්‍යාපාරිකයන් ලෝකය සමඟ ගනුදෙනු කරන්න පටන් ගත්තා. මෙරට තරුණ, තරුණියො පිටරට රැකියාවලට ගියා. සුපුරුදු ඒ ජීවන රටාව එක පාරට කඩා වැටිලා නැවත පෝලිම් යුගයකට යෑම ජනතාවට දරාගැනීමට බැරි වෙලා තිබෙනවා. ඒ වගේම රට සංවර්ධනය කිරීමේ ක‍්‍රියාදාමයක ප‍්‍රතිඵලයක් නිසා හටගත්ත ආර්ථික අර්බුදයක් නම් අනාගතය ගැන හිතලා ජනතාවට විඳ දරාගන්න තිබුණා. ඒත් අද රටේ ජනතාව අසහනයට පත්වෙලා ඉන්නේ පාලන තන්ත‍්‍රයේ තිබෙන ගැටලූ නිසයි. ඇතැම් බලධාරීන්, රාජ්‍ය නිලධාරීන්ගේ හොරකම, වංචා, දූෂණ ඉහ වහා යෑම නිසයි. ගෑස් වගේම විවිධ භාණ්ඩවල ගුණාත්මක තත්ත්වය පිළිබඳ ගැටලූ මතු වෙලා තියෙන්නෙත් වංචා, දූෂණ වැඩිවීමත් සමඟයි…’’

‘‘ ඕනෑම සමාජයක සාධාරණත්වය, යුක්තිය ක‍්‍රියාත්මක කරන්නේ පාලක පක්‍ෂයය. යම් පාලනයක් තුළ යුක්තිය, සාධාරණත්වය නැති නම් ජනතාව අසහනයට පත් වෙනවා. මේ වෙනකොට සමාජයක් විදිහට අපි අසහනයට පත් වෙලා ඉන්නවා. ඒ අසහනය තුළ දැවෙන ප‍්‍රශ්න සම්භාරයකට අපි මුහුණ දෙමින් සිටිනවා. අදාළ බලධාරීන් සහ නිලධාරීන් ඒ ප‍්‍රශ්නවලට විසඳුම් සොයන සේයාවක්වත් නෑ. ඒත් රට තුළ උද්ගතව තිබෙන මේ ගැටලූ කොරෝනා වසංගතය පිට පටවල ආණ්ඩුවට ගැලවෙන්න බෑ. තමන්ගේ වරදක් විවිධ හේතූන් පදනම් කරගෙන විශ්ලේෂණය කිරීම මනෝ විද්‍යාවේ හඳුන්වන්නේ සංරක්‍ෂණ ප‍්‍රයෝග හැටියටයි. ඩොලර් අර්බුද, කොරෝනා වසංගතය ආණ්ඩුවේ සංරක්‍ෂණ ප‍්‍රයෝග හැටියට තමයි මම දකින්නේ. ඒ කතා දැන් සමාජයට විහිළුවක් වෙලා. යම් නායකත්වයක්, පුංචි දරුවාගේ සිට මහල්ලා දක්වා සරදමට, විහිළුවට ලක් වෙනවා නම් ඒකෙ බලපෑම තියෙන්නේ පුද්ගල චරිතයට නෙමෙයි, රටේ නායකත්වයට. මේ වන විට උත්තරීතර තනතුරු බාල්දුවීමේ ගැටලූව බොහෝ ක්‍ෂේත‍්‍රවල උද්ගතව තිබෙනවා. විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන්ව විහිළුකාරයන් බවට පත් කරලා තියෙනවා. මුහුණු පොත පුරා ඇඳිලා තියෙන්නේ උත්තරීතර තනතුරු බාල්දු කිරීම්. ඒවා දකිනකොට අපිට හරි වේදනාවක් දැනෙනවා. ඒ වගේම බලධාරීන්ගේ, නිලධාරීන්ගේ හොර වංචා විතරක් නෙමෙයි, මේ වන විට සාමාන්‍ය ජන සමාජය තුළත් හොරකම වැඩිවෙලා. ගෙවල් බිදීම්, මහ දවල් මාල කඩාගැනීම්, අනුන්ගේ වතුවලට පැන කෙසෙල් කැන් කැපීම්, පොල් කැඞීම් දිනෙන් දින වැඩි වෙනවා. ඇඟිල්ලෙ තියෙන මුද්ද ගන්න අත කපාගෙන යන මංකොල්ලකාරයන් බිහිවන දවස වැඩි ඈතක නෑ. මේ සෑම දේකින්ම රටේ ජනතාව අසහනයට පත් වෙනවා. ඒ අසහනය තුළ ජනතාවගේ මානසික සහ කායික සෞඛ්‍යය දැඩි ලෙස පිරිහෙනවා. ඒ මානසික පීඩනය කුසගින්නට වඩා ප‍්‍රබලයි…’’

‘කොරෝනා හැදිලා මළා නම් මීට හොඳයි…’ කියලා කියන කී දෙනෙක් නම් අද සමාජයේ ඉන්නවද?

‘‘ඒ වචන විදිහට පිට වෙන්නේ තුන්වේල කන්න ආර්ථික ශක්තියක් නැති මිනිසුන්ගේ හදවත්වල තෙරපෙන පීඩනය. හෙට දවස අදට වඩා නපුරුයි. මේ ගෙවී යන්නේ පශ්චාත් කොරෝනා සමය. ඒත් පශ්චාත් කොරෝනා සමයට මුහුණ දෙන්න අපේ රට තවම සූදානම් නෑ. ඒ නිසා ඉදිරි අවුරුදු පහ රටේ ජනතාවට මීට වඩා දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න වෙනවා. මේ පශ්චාත් කොරෝනා සමය ගැන අදාළ ආයතනවල ඉහළ නිලධාරීන් සමඟ මම සාකච්ඡා කළා. මා යටතේ උපදේශකවරු හාර පන්සීයක් සිටින බවත්, රටේ ජනතාවට මානසික සහනයක් ලබාදීමට අය කිරීමකින් තොරව උපදේශන සේවා ලබාදීමට කැමති බවත් මම ඔවුන්ට දැනුම් දුන්නා. ඒත් තවම ඔවුන්ගෙන් සාර්ථක ප‍්‍රතිචාරයක් ලැබුණේ නෑ…’’

පෝලිමත් එක්ක පෝලිමේ එන මොළේ ලෙඩ

‘‘මානසික අසහනයෙන් පෙළෙන ජනතාවට යම් උපදේශන සේවාවක් ලබා නොදීම ගිනි ගන්න ජීවිත තව, තවත් ගින්නට තල්ලූ කිරීමක්. ජනතාවගේ මානසික අසහනය වර්ධනයවීමට ඉඩ හැරීමක්. ඒ තුළ සියදිවි නසාගැනීම් වැඩි වෙන්න පුළුවන්. පවතින අධ්‍යාපන ක‍්‍රමය තුළ පරිගණක, ජංගම දුරකථන භාවිතයට ඇබ්බැහිවීමත් සමඟ දරුවන් මානසික රෝගීන් බවට පත් වෙන්න පුළුවන්. අවසානයේ හිතක්, පපුවක් නැති මිනිසුන්ගෙන් පිරුණු සමාජයක් රටට ඉතිරි වෙන්න පුළුවන්. ඒ සමාජය තුළ පවුල් ආරවුල් වැඩි වෙලා දික්කසාද වැඩි වෙයි. මනුෂ්‍ය ඝාතන, අපරාධ වැඩි වෙන්න පුළුවන්…’’

‘‘අධ්‍යාපනය ලබාදුන් පමණින් මිනිසෙක් මනුස්සයෙක් බවට පත් කරන්න බෑ. අධ්‍යාපනය සමඟ ජීවිතය, ආචාර ධර්ම, කුසලතා වර්ධනය ඇති කරන්න ඕනෑ. කඩිමුඩියේ විභාග තියලා යන්ත‍්‍ර, භාණ්ඩ ටිකක් විශ්වවිද්‍යාලවලට යවලා තේරුමක් නෑ. අධ්‍යාපනය තුළින් ගුණාත්මක නිෂ්පාදනයක් එළියට ගන්න ඕනෑ. සහයෝගීතාවය, නිර්මාණ චින්තනය, විචාරශීලීත්වය, එක්ව වැඩ කිරීම, නවෝත්පාදනය දියුණු නොකරන්න අපේ රටේ අනාගතය අඳුරුයි. තව තවත් අපි පිටරටවල වහලූන් බවට පත් වෙනවා. ණය උගුල්වල පැටලෙනවා. එවැනි සමාජයක හොරකම, මැරකම තව තවත් වැඩි වෙනවා. ඒ නිසා කුමක් කළ යුතුද? තීන්දු තීරණ ගැනීම කෙසේ කළ යුතුද? සැලසුම් කෙසේ සකස් විය යුතුද? රටේ ජනාධිපතිවරයා අප‍්‍රමාදව සිතා බැලිය යුතුය. ඒ වගේම පුරවැසියන් විදිහට රට, ජාතියට කුමක් කළ යුතුද? යන්න රටේ ජනතාව එකා මෙන්ම සිතා බැලිය යුතුයි…’’

‘හාල් නෑ. ගෑස් නෑ… තෙල් නෑ… ජීවන වියදම දරාගන්න බෑ…’ කියලා රටේ ජනතාවට මැරෙන්න බෑ. අපි ජීවත් වෙන්න ඕනෑ.

‘සිසිපියස්ගේ මිත්‍යා ප‍්‍රබන්ධය’ කියලා මනෝ විද්‍යාවේ හරි ලස්සන කතාවක් තියෙනවා. ඒ කතාවේ කියැවෙන විදිහට සිසිපියස් කියන පුද්ගලයෙක්ට දෙවියන් දඬුවමක් දීලා තියෙනවා. ඒ දඬුවමට අනුව විශාල ගල් පර්වතයක් කන්දක් මුදුනට ගෙනිහින් පහළට තල්ලූ කරන්න ඕනෑ. එවැනි විශාල ගල් පර්වතයක් කන්දක් මුදුනට තල්ලූ කරගෙන යන්න බෑ කියලා සිසිපියස් තේරුම් ගෙන හිටියා. ඒත් ඔහු මුළු ජීවිත කාලයේම ඒ ගල් පර්වතය තල්ලූ කළා විනා කන්දෙන් පැනලා දිවි නසා ගත්තේ නෑ. අපේ රටේ ජනතාවට කියන්න තියෙන්නෙත් සිසිපියස් කෙනෙක් වෙන්න. ජීවිතය කියන්නේ ප‍්‍රශ්න නෙමෙයි. කන්දක් නඟිනවා කියා සිතාගෙන මේ දුෂ්කර කාලය කෙසේ හෝ ගෙවා දැමිය යුතුයි. ඉදිරියට එන්නේ පල්ලම. ඒ පල්ලම හමුවන ස්ථානය නිශ්චිතවම අපිට කියන්න බෑ. ඒත් අපිට හොඳ කාලයක් උදා වෙනවා…’’ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඥානදාස පෙරේරා සමාජයට ලබාදෙන කෙටි උපදේශනය අවසානය.

හාර පන්සීයක් සහිත උපදේශන මඩුල්ලක් සමඟ නොමිලේ රටේ ජනතාවට උපදේශන සේවා ලබාදීමට යෝජනා ඉදිරිපත් කළ මහාචාර්ය ඥානදාස පෙරේරාට තවම අදාළ නිලධාරීන්ගෙන් ප‍්‍රතිචාරයක් ලැබී නැත. එවැනි කාලකණ්ණි නිලධාරීන් සහිත රටක සුනාමිය, යුද්ධය, කොරෝනා වසංගතය වැනි විවිධ ව්‍යසනවලට මෙන්ම දේශගුණික, කාලගුණික කැළඹීම් හමුවේ ඇති වූ ව්‍යසනවලට මුහුණදී සිටින අපට කොරෝනා පශ්චාත් සමයත් පරිස්සමට ගෙවා දමනවා හැර වෙන විකල්පයක් නැත. මේ රටේ ජනතාවට සිදු වෙන්නේ ද සිසිපියස්ට වෙච්ච දේම බව කනගාටුවෙන් වුවද කිව යුතුය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment