පෝලිම …………………………………………………………………………………

1594

ඉදිරි දින දෙකේදී ඉන්ධන නොමැති බැවින් පෝලිම්වල සිටින අය ගෙදර යන්නැයි පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් භාර ඇමැති කංචන විජේසේකර මහජනතාවට දන්වා තිබේ. දින කිහිපයක් තුළ පොදු ප්‍රවාහනය කඩාකප්පල් වන බවත් ඒ නිසා රටේ දෛනික පැවැත්ම නන්නත්තාර වන බවත් මේ දැන්වීම මගින් පුරෝකථනය කරනු ලැබේ. කාලගුණය හොඳ නැති බැවින් ගෑස් ගොඩබෑමට නොහැකි වූ බවත් පෝලිම්වල නොසිට ගෙවල්වලට යන ලෙසත් ලිට්‍රෝ ගෑස් ලොක්කා වන විජිත හේරත් ජනතාවට දන්වා තිබේ. මෙයින් හැඟී යන්නේ ගෑස්වලින් පමණක් ආහාර පිසීමේ පහසුකම් ඇති ජනයාට තවදුරටත් කඩෙන් කෑම කෑමට සිදුවන බවය. කඩවල ද ගෑස් නැති බැවින් ඔවුනට නිරාහාරව සිටීමට සිදුවන බවය. එක් අතකින් මේ ලොක්කන් දෙදෙනා මේ ආකාරයට ඇත්ත කීම ඉතාම යහපති. රාජපක්ෂ ආණ්ඩුවේ සිටි ප්‍රමුඛ ඇමැතිවරයකු වූ ගාමිණී ලොකුගේ අධික තෙල් හිඟයක් පවතින අවස්ථාවලදී පවා කීවේ තෙල් ඕනෑ තරම් තිබෙන බවකි. එකම ප්‍රශ්නය එම තෙල් රට පුරා බෙදා හැරීමට පහසුකම් නොතිබීම බවද ඔහු කියා තිබේ. ගාමිණී ලොකුගේ මේ කියන්නේ අරාබියේ තෙල් ළිංවල තිබෙන තෙල් ගැනය. ඒවා ලංකාවට ගෙනවිත් නැත. එබැවින් ඒවා බෙදා හැරීමට ද නොහැක. තර්කයක් වශයෙන් ගත්කල ගාමිණි ලොකුගේ එදා කියන ලද්දේ ඇත්තකි. ඕනෑ තරම් තෙල් තිබෙන බව කීවාට එම තෙල් තොග ලංකාවේ තිබෙන බවක් ඔහු කියා නැත. ඒ නිසා අවසන් විග්‍රහයේදී ඔහු බොරු කියා නැත.

මේ වෙලාවේදී මේ රටේ ප්‍රමුඛ ප්‍රශ්න හතරක් හෝ පහක් තිබේ. ඉන් පළමුවැන්න තෙල් ය. දෙවැන්න විදුලිය ය. තෙවැන්න බෙහෙත් ය. සිව්වැන්න හෙවත්, හරි නම් පළවැනි තැනට පැමිණිය යුතු ප්‍රශ්නය ජීවන වියදම ය. අද මේ රටේ මිනිස්සු ජීවන වියදම හතර වැනි තැනට දමා ඇති බව පෙනේ. වැඩි මිලට හෝ ඉන්ධන ලබා ගැනීමත් වැඩි මිලට හෝ ගෑස් ලබා ගැනීමත් ජනයාගේ ප්‍රමුඛත්වය බවට පත්ව ඇත. ලයිට් බිල එන විට ආණ්ඩුවට සාප කරන ජනයා ලයිට් කපන විටද ඒ ආකාරයෙන්ම ආණ්ඩුවට හෙණ ඉල්ලයි. අපේ රටේ සිදුවන දේවල්වලට හෙණ ඉල්ලන තරමට හෙණ සප්ලයි එකක් නැත. එය වැස්ස වලාහක දෙවියන් ෆේල් වීමකි. උන්වහන්සේ සතුව හරිආකාරව අකුණු සැර තොග තිබුණේ නම් විවිධ තැන්වලට තත්පරයට හැට ගණනේ හෙණ වදිනවා ඇත. මේ ආණ්ඩුවේ වත්කම සහ බැරකම රනිල් වික්‍රමසිංහ විසින් ජාතිය අමතා සිදු කළ කතාවේදී හෙළි කරන ලදි. එය ඇඟේ මවිල් කෙලින් කරවූ කතාවකි. මේ රටේ පවතින තත්ත්වය පාලකයන් විසින් ජනතාවට මෙතෙක් හෙළිකර තිබුණේ නැත. එයට හේතුව ඒ පාලකයන් බලයට පැමිණියේ විවිධ ඡන්ද පොරොන්දු හරහා වීමය. රනිල්ගේ අගමැතිකම කිසිදු වියදමක් නැති අගමැතිකමකි. එම තනතුර ලබා ගැනීම සඳහා ඔහු ඡන්දයකට වියදම් කර නැත. එම අගමැතිකම ලබා ගැනීම සඳහා ඔහු මැතිවරණ පොරොන්දු දීලාත් නැත. ඒ නිසා කාටවත් අලාභයක් නොකර රට පාලනය කිරීමට ඔහුට හැකිය. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙට්‍රල්, භූමිතෙල් සහ ඩීසල් පාඩු පිට විකුණන බව අගමැතිතුමා ජාතිය ඇමතූ අවස්ථාවේදී සඳහන් කළේය. එයින් හැඟෙන්නේ ඉතාම නුදුරේදී තෙල් නැවත වරක් ගණන් යන බවය. ලංකාව පිටරටවලට කොපමණ ණය වුණත් භාණ්ඩාගාරය තුළ ඩොලර් මිලියනයක්වත් නැති බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී හෙළි කළේය. අප කවර තැනක සිටින්නේදැයි අපි දැන් දනිමු. සිය දිවි නසා ගැනීම හෝ නොගැනීම අපේ වැඩකි.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය රට පාලනය කළ සමයේදී මේ රටේ තිබූ හාල් පෝලිම් සහ පාන් පෝලිම් ගැන මෙනෙහි කරන දේශපාලනඥයෝ අගමැති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව විසින් මේ රටේ ජනතාව නැවත වතාවක් එවැනි පෝලිම් යුගයකට ගෙන ගොස් ඇති බව කියති. එය පල් බොරුවකි. මැතිනියගේ කාලයේදී මේ තියෙන පෝලිම්වලින් සීයෙන් එකක්වත් තිබුණේ නැත. එකල මේ රටේ ජනගහනය අඩු ය. ඉන්ධනවලින් දිවෙන වාහන බෙහෙවින්ම අඩුය. ඔය කියන හාල් පෝලිම වූ කලී සමුපකාර පෝලිමයි. බණ්ඩාරනායක යුගයේදී ආනයන සම්බාධක හෙවත් Import Restrictions තිබූ බැවින් උම්බලකඩ, සීනි, වියළි මිරිස්, සහල් යනාදිය පිටරටින් ගෙන්වීම සීමා කරන ලදී. එය සද්භාවයෙන් කරන ලද සීමාවකි. බණ්ඩාරනායක ආණ්ඩුව එමගින් අපේක්ෂා කළේ ආනයන සීමාවට ලක්වූ පාරිභෝගික භාණ්ඩ රට තුළම නිෂ්පාදනය කිරීමට ය. එකල පාන් පෝලිමක් තිබිණ. එම පෝලිම අද තිබෙන ඉන්ධන පෝලිම හෝ ගෑස් පෝලිම මෙන් කිලෝමීටර් තුන හතරක් දිග නැති මිනිසුන් තිහ හතළිහක් පමණ එක පෙළට හිටගෙන ආණ්ඩුවට බැණ වදිමින් සිටි පෝලිමකි. පාන් සීමා කිරීම තුළින් ආණ්ඩුව බලාපොරොත්තු වුණේ මිනිසුන්ට තිරිඟු පිටි නොගිල්ලවා දේශීය නිෂ්පාදන වන මඤ්ඤොක්කා, බතල, කොස්, දෙල් යනාදිය කැවීම ය. එබැවින් එදා පෝලිම් සහ අද පෝලිම් කිසිසේත්ම සමකළ නොහැක. මේ පෝලිම් දෙවර්ගයේ හේතු සහ අරමුණු සම්පූර්ණයෙන්ම වෙනස් ය.

ශ්‍රී ලංකාවේ ඩොලර් ආදායම වැඩිකර ගැනීම සඳහා කළ හැකි එකම දෙය අපනයන ආදායම වැඩිකර ගැනීමය. එහෙත් කිසිදු අපනයනයක් හරියට කර ගැනීමට ඒ ආයතනවල සිටින පගා මරුවෝ ඉඩ නොදෙති. මේ වෙලාවේදී මේ රටින් පිටරටවලට විකිණිය හැක්කේ තේ, කුළුබඩු සහ මැණික් පමණි. තේ ප්‍රචාරක මණ්ඩලය හොඳ මෙහෙවරක් කරන නමුත් අපනයන සංවර්ධන මණ්ඩලය සහ මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය කරන මෙහෙවර බලු නොවටී. මෙහිදී බල්ලා නමැති වටිනා සතා නොවටිනා බවට පත්කෙරෙන උපමාව යෙදීම ගැන අපට සමාවන්න. මැණික් සංස්ථාව, කස්ටම් ඒජන්ට්ස් ලා යැයි කියන කාලකන්නි පිරිසක් විසින් අත්පත් කරගෙන ඇත. එතැනට වැඩක් කරගැනීමට යන කෙනකු අවම වශයෙන් නිලධාරීන් 13 දෙනකු ගාවටවත් යා යුතුය. ඒ දහතුන් වැනියා ද වැඩේ කරදෙනු නොලැබේ. මේ සියලු දෙනාම පගා මරුවන් ලෙස අපි යෝජනා කරමු. අපනයන සංවර්ධන මණ්ඩලයෙන් කුළුබඩු රට යැවීමට ආධාර ලබා ගැනීමට වඩා පිටරට ගොස් එම කුළුබඩු වැවීම ලෙහෙසි ය. මේ රට කරවන පාලකයන් මේ කරුණු ගැන සොයා බැලිය යුතුමය. අපනයනකරුවන් අධෛර්යවත් කරන කුණු ආයතන ගැන නුදුරේදීම තවදුරටත් හෙළි කිරීම අපගේ අපේක්ෂාව ය.

(ඉතිරි කොටස තව ටික දිනකින්…)

advertistmentadvertistment
advertistmentadvertistment