ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට සිහි බුද්ධිය පහළ වන්නේ කවදාද?

329

කඩා වැටෙන විදෙස් සංචිත හා දෝෂ සහගත ප‍්‍රතිපත්ති:

  • ශ‍්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන

ශ‍්‍රී ලංකාවේ විදේශ සංචිත මාස්පතා ඉතා දරුණු ලෙස කඩා වැටෙමින් පවතී. ශ‍්‍රී ලංකා මහා බැංකුව මගින් පසුගිය සතියේ නිකුත් කරන ලද දත්ත වාර්තා අනුව ඔක්තෝබර් අග ඇ.ඩො. බිලියන 2.3ක්ව පැවති විදේශ විනිමය සංචිතය නොවැම්බර් අවසානය වන විට ඇ.ඩො. බිලියන 1.6ක් දක්වා දියවී ගොස් ඇත.

අප සතු රත‍්‍රන් සංචිතය හා අන්තර්ජාතික මූල්‍ය අරමුදල ලබා දුන් විශේෂ පහසුකම (Special Drawing Rights) හැරුණු කොට ක්ෂණික ද්‍රවශීලතාවයක් සහිත සංචිත ඇත්තේ ඇ.ඩො. බිලියන 1.1ක් තරම් අඩු ප‍්‍රමාණයකි. එය යන්තම් සති දෙකකට වැඩි කාලයක් සඳහා අවශ්‍ය ආනයන සඳහා ගෙවීමට ප‍්‍රමාණවත් මුදලකි. මේත් සමගම ශ‍්‍රී ලංකා මහා බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ඉතිහාසයේ ඉහළම සෘණ අගය ලෙස ඇ.ඩො. බිලියන 1.9ක් වාර්තා කරන ලදී. පසුගිය මාසයේදී එම අගය වාර්තා වූයේ ඇ.ඩො. බිලියන 1.3ක් ලෙසයි. මේ අධි අවදානම් තත්ත්වය පිළිබඳ ස්වාධීන වාර්තාකරුවන් මහ බැංකුවේ පරිපාලනය වෙතට අනතුරු අඟවා තිබිණ. අපට මිත‍්‍රශීලී රටවල් වෙතින් ලැබීමට නියමිත සහන පැකේජයන් නිසා ඔවුන්ගේ ප‍්‍රතිචාරය මෙකී අනතුරු ඇඟවීම් ගණන් ගත් බවක් දිස් නොවීය. ක‍්‍රමයෙන් අඩුවී යන අගයයන්ගෙන් විද්‍යමාන වන්නේ එම පොරොන්දු තවමත් සැබෑ වී නොමැති බවයි.

ඉහළ ආනයන වියදමට අමතරව අප විදේශ ණය සඳහා ඉදිරි මාස 12 ක කාල සීමාව තුළ ඇ.ඩො. බිලියන 7.3ක් ගෙවිය යුතුය. ගෙවිය යුතු ණය සමග සංසන්දනය කිරීමේදී අප සතු සංචිත ප‍්‍රමාණය ඉතා සුළු කොටසකි. දෙසැම්බරයේදීවත් ශ‍්‍රී ලංකාවට විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමට නොහැකි වුවහොත් මෙම තත්ත්වයෙන් ගැලවීමට නොහැකි දුරකට අප රට තල්ලුවී යනු ඇත. ඉතිහාසයේ පළමු වතාවට නිදහසෙන් පසු ණය ගෙවීම පැහැර හැරීමේ අපවාදයට ලක්වීමටද අපට සිදුවනු ඇත.

සයමස් මාර්ගගත සැලැස්ම ඵලදායීවනු ඇති බව අපේක්ෂාව වුවත් දැවැන්ත අර්බුදයකට නුදුරු අනාගතයේදීම අප රට මුහුණ දෙන බව ස්වාධීන අර්ථ ශාස්ත‍්‍රඥයන් රජයේ ප‍්‍රතිපත්ති සම්පාදනයේ නිරත නායකයන්ට දන්වා තිබුණ ද ඔවුන් එම අනතුරු ඇඟවීම් ගණනකටවත් ගත්තේ නැත, ඔවුන් පවසන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල මෙම අර්බුදය ජයගැනීම සඳහා වන විකල්පය නොවන බවත් ඒ සඳහා වඩාත් ප‍්‍රතිපලදායී දේශීය වැඩසටහනක් ඔවුන් සතු බවත්ය.

මෙම දේශීය යාන්ත‍්‍රණය මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා විසින් සයමස් මාර්ග සැලැස්ම ලෙස 2021 ඔක්තෝබර් 1 වැනිදා ඉදිරිපත් කරන ලදී. ඔහු වෙළෙඳපළ බලවේගයන්ට සහතික කර ප‍්‍රකාශ කළේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ මැදිහත්වීමකින් තොරව මේ දැවැන්ත විදේශ විනිමය අර්බුදයට පිළියමක් නිර්මාණය කිරීමට මහ බැංකුවට ප‍්‍රවීණතාවය ඇති බවත් ඒ සඳහා වන විසඳුම් දැනටමත් ක‍්‍රියාවට නංවා ඇති බවත්ය. විසඳුමේ ප‍්‍රධාන කොටස නම් විදේශ විනිමය ශ‍්‍රී ලංකාවට ගලාඑන මාර්ගයන් ඉක්මනින් ආකර්ෂණය කර ගැනීමයි. 2021 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා අපේක්ෂිත විදේශ විනිමය ලැබීම් ඇ.ඩො. බිලියන 10.85ක් විය නමුත් මේ දළ ලැබීම් ඇ.ඩො. බිලියන 5ක් වන ආනයන හා ඇ.ඩො. බිලියන 1ක් වන අනෙක් විදෙස් ගෙවීම්වලට ගැලපීමේදී ශුද්ධ ලැබීම් ඇ.ඩො. බිලියන 4.9ක් තරම් ප‍්‍රමාණයකි. තත්ත්වය එසේ වී නම් අපගේ දළ විදේශ සංචිත අද වනවිට අවම තරමින් ඇ.ඩො. බිලියන 7ක් විය යුතුව තිබුණි. මාර්ගගත සැලැස්ම පුස්සක් කරමින් සැබෑ ලෙසම අපගේ විදෙස් සංචිත ඇ.ඩො. 1.6ක් තරම් පහළ ඇද වැටී ඇත. ඔවුන් පැවසූ දේශීය යාන්ත‍්‍රණය ක‍්‍රියාත්මක පසුබිමක මෙතරම් විශාල අගයකින් සිය ඉලක්කය වැරදීම පිළිබඳව ආර්ථිකය පිළිබඳ අති විශාල දැනුම් හා විශේෂඥතාවයක් සහිත ශ‍්‍රී ලංකා මහ බැංකුව අභ්‍යන්තර අධ්‍යයනයක් සිදු කළ යුතුය. සිය සැලැස්ම දියත් කිරීමේ දේශනයේදී කබ්රාල් මහතා අවසන් ලෙස පැවසුවේ මෙම වැඩසටහන ප‍්‍රතිපලදායී වන බවත් ඉදිරියට යෑමත් සමග මෙම වැඩසටහනෙහි ඇතැම් කොටස් වෙනස් කිරීම, තවත් සුසර කිරීම (fine tune) වැනි දේ සිදු කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

ඉන්දියාවේ ආධාර පැතීම

තත්ත්වය මෙසේ වන අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය තුළදී අසල්වාසීන්ගෙන් ලබා ගැනීමට උත්සාහ කරන සහනාධාර පැකේජය යම් තරමක හෝ අස්වැසිල්ලක් ගෙන ඒමට සමත් වී ඇත. මිත‍්‍රශීලී අසල්වැසියකු ලෙස ඉන්දියාව මීට පෙර ද ශ‍්‍රී ලංකාව අපහසුතාවයට ලක්වූ විට අප බේරා ගැනීමට මැදිහත් වී ඇත. එදා 2008 වසරේ එවකට ද මහ බැංකු අධිපති කබ්රාල් මහතාගේ සමයේදීම මෙවැනිම විදේශ විනිමය අර්බුදයකට අප රට ලක්වූ විට අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ඇ.ඩො. මිලියන 2,600ක ණය පහසුකමක් ඉල්ලා සිටි විට අන්තර්ජාතික මූල්‍ය අරමුදල අපගේ ඉල්ලීම ගැන කල්මරණ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන්නට විය. එවකට ඉන්දීය මුදල් ඇමති ප‍්‍රනාම් මුකර්ජි මහතා (පසුව ඔහු ඉන්දීය ජනපති බවට ද පත්විය.) සෘජුවම ප‍්‍රකාශ කළේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල මෙම ණය පහසුකම ශ‍්‍රී ලංකාවට ලබා දෙන්නේ නැත්නම් ඉන්දියාව එය ලබා දෙන බවයි.

ඒ උපක‍්‍රමය වැඩකළා, අන්තර්ජාතික මූල්‍ය අරමුදල අපගේ ඉල්ලීම කඩිනමින් අනුමත කළේය. එතනින් නොනැවතුනු ඉන්දියාව ඇ.ඩො. බිලියන 1.5ක් අදියර දෙකක් යටතේ මුදල් ඒකක හුවමාරු කිරීමේ පහසුකමක් (SWAP facility) ඔවුන්ගේ මහ බැංකුව මගින් ලබා දුන්නේය. මේ ගලවා ගැනීමේ පැකේජය ඉන්දියාව අපට ලබා දුන්නේ ඊළාම් ත‍්‍රස්තවාදී යුද්ධයේ අවසානතම හා දරුණුතම වකවානුවේදීයි, මෙම ණය මුදල නොවන්නට යුද්ධයේ ප‍්‍රතිඵලය වෙනස්වන්නට පවා ඉඩ තිබුණි.

ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ පුවත්පත් නිවේදනය

බැසිල් රාජපක්ෂ මහතාගේ දෙදින ඉන්දීය නිල සංචාරයෙන් අනතුරුව නවදිල්ලියේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, දෙපාර්ශ්වය එළඹි පුළුල් එකඟතාවයන් හා ඒවායේ සීමාවන් පුවත්පත් නිවේදනයක් නිකුත් කළේය. ප‍්‍රධාන කරුණු 4ක් හුවා දක්වමින් ශ‍්‍රී ලංකාවට සහය ලබා දෙන බව එහි සඳහන් වේ.

  1. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ සහ වෙනත් දෑ ආනයනයට ණය පහසුකම් සැපයීම
  2. පිරිපහදු කරන ලද ඉන්ධන ඉන්දියාවෙන් ආනයනයට ණය පහසුකම් සැපයීම මෙන්ම ත‍්‍රිකුණාමලයේ භාවිතයට නොගන්නා තෙල් ටැංකි නවීකරණය කිරීම
  3. ඉන්දීය සංචිත බැංකුව (Reserve Bank of India) ශ‍්‍රී ලංකාවේ මහ බැංකුව වෙත මුදල් ඒකක හුවමාරු (currency SWAP) පහසුකමක් සැපයීම
  4. ඉන්දීය සෘජු විදේශ ආයෝජන ශ‍්‍රී ලංකාව තුළට ගලා ඒමට පහසුකම් සැපයීම

පුවත්පත් නිවේදනය තවදුරටත් දක්වන්නේ ඉහත අරමුණු යථාර්ථයක් කර ගැනීමට අවශ්‍ය දෑ දෙපාර්ශවයේ අන්‍යොන්‍ය එකඟතාවය සහිත කාල රාමුවක් තුළ සකස් කර නිම කරන බවත්ය. පෙනෙන ආකාරයට මෙහිදී එකඟතාවයට පැමිණ ඇත්තේ පෘථුල රාමුවක් සහිත වැඩපිළිවෙළකට බවත් සහන පැකේජයේ ඉලක්කම් මේ වනතුරු ගණනය කර නොමැති බවයි. එමෙන්ම, ඉදිරි මාස 6 සිට 12 දක්වා කාල සීමාව තුළ ශ‍්‍රී ලංකාවට විදේශයන් වෙත ගෙවීමට නියමිත බැඳීම් සලකා බලන කල ඒ මෙම පැකේජය අපට ප‍්‍රමාණවත් දැයි කීමට තවමත් අප වේලාසන වැඩියි.

ශ‍්‍රී ලංකාව පැසවමින් පවතින තුවාලයකින් පීඩා විඳිමින් ඇත. එයට ප‍්‍රතිකාර නොකළහොත් තත්ත්වය ඔඩුදුවා මරණීය ප‍්‍රතිපල ගෙන ඒම වළකනු නොහැකිය. එනිසා මහ බැංකුව දෙගුණයක වේගයෙන් වැඩකර ඉන්දියාව පොරොන්දු වූ සහන පැකේජය ප‍්‍රමාණවත් ගණනින් ලබා ගත යුතුය. මුදල් ලැබීම සතියකින් හෝ ප‍්‍රමාද වුවහොත් එය රෝගී ශ‍්‍රී ලංකා ආර්ථිකය මරණීය බලපෑමක් ඇති කරනු ඇත.

සයමස් මාර්ගගත සැලැස්මේ යථාරූපී නොවූ ඉලක්ක

සයමස් මාර්ගගත සැලැස්ම මුලාවක් බවට පත්වූයේ කෙසේද? හේතු දෙකකි. පළමුවැන්න, මෙම සැලසුම පාදක කරගෙන තිබෙන්නේ දළ ලැබීම් පමණි. ශුද්ධ ලැබීම් නොවේ. දෙවැන්න, දළ ලැබීම් අධි තක්සේරු කර දැක්වීමයි. රජයේ අපේක්ෂාව වූයේ වෙනත් රජයන් මගින් හා රජයේ භාවිතයට නොගන්නා වත්කම් අලෙවි කිරීමෙන් ඇ.ඩො. බිලියන 2.85ක ලබා ගත හැකි බවයි. මෙම අගය ඉතා ඉහළ අධිතක්සේරුවක් වන අතර අපට ආ ලැබීම් මෙම තක්සේරුගත වටිනාකමින් කොටසකි. භාවිතයට නොගන්නා වත්කම් විකිණීමෙන් ඇ.ඩො. මිලියන 500ක් බලාපොරොත්තු වුවද මේ වන තුරු කිසිදු වත්කමක් විකුණා නොමැත.

රජයේ සුරැකුම්පත් සඳහා විදේශිකයන් විසින් සිදු කරන නව ආයෝජන ඇ.ඩො. මිලියන 250ක් වනු ඇතැයි ඇස්තමේන්තු කළ ද ඒවා ඇ.ඩො. මිලියන 9 සිට ඇ.ඩො. මිලියන 8 දක්වා පහත වැටී ඇත.

ඇ.ඩො. මිලියන 300ක අපේක්ෂිත සම්මිශ‍්‍රිත ණය පහසුකම ද (Syndicated Loan Facility) මේ දක්වා ලැබී නොමැත. ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර හිමි අක් වෙරළ බැංකු ඒකක සඳහා ගෙවීම් ඇ.ඩො. මිලියන 200ක් දක්වා ඉහළ ගොස් ඇත. නමුත් වෙළෙඳපළේ පවතින දරුණු විදේශ විනිමය හිඟය නිසා නැවත නිකුත් කළ හැක්කේ මෙයින් ඉතා කුඩා කොටසකි.

ශ‍්‍රී ලංකා මහ බැංකුව බලාපොරොත්තු වූයේ ඇ.ඩො. බිලියන 1ක නව හුවමාරු පහසුකම් (SWAP) ඇ.ඩො. මිලියන 500ක දේශීය හුවමාරු පහසුකම් (SWAP) සහ ඇ.ඩො. මිලියන 150ක විදේශ මුදල් මිලදී ගැනීමටයි (පේ‍්‍රෂණ ඔස්සේ වන ලැබීම හා අපනයන ලැබීම්). ශුද්ධ පදනමක සිට විග‍්‍රහ කරන විට පෙනී යන්නේ මහ බැංකුව ඔක්තෝබර් මාසයේදී විදේශ මුදල් විකිණීම පමණක් සිදු කර ඇති බවයි, කබ්රාල් මහතාගේ සයමස් සැලැස්ම පොරොන්දු වූ පරිදි මහපොළොවේ යථාර්ථය තේරුම් ගෙන ඔහුගේ සැලැස්මේ වෙනස්කම් සිදු කළ යුතු බව මින් පෙනී යයි.

මුගුරකින් තර්ජනය කිරීම හා ඇමක් දී නම්මා ගැනීම

ඔක්තෝබර් හා ඉදිරි මාස 3දී සිදු කරන අපනයන ලැබීම් ද මසකට ඇ.ඩො. මිලියන 100ක ප‍්‍රමාණයකින් අධි තක්සේරු කර ඇත. මෙනිසා ගතවූ මාස 3ට ඇ.ඩො. මිලියන 300ක පරතරයක් නිර්මාණය වී ඇත.

වඩාත්ම වැඩි අධි තක්සේරුවකින් දක්වා ඇත්තේ ශ‍්‍රී ලාංකික විදෙස්ගත ශ‍්‍රමික ප‍්‍රජාව රටට එවනු ලබන පේ‍්‍රෂණ මුදල් ලැබීම්ය. සයමස් සැලසුම ගතවූ කාල සීමාව තුළ මසකට ඇ.ඩො. මිලියන 600ක මුදලක් අපේක්ෂා කරනු ලබයි. නමුත් සත්‍ය ලැබීම් මෙයින් අඩකට පමණක් සීමා වී ඇත. ඉන්පසුව ඉතා දුෂ්ට නීතියක් ගෙනෙමින් මෙම විදේශ විනිමය ලැබීම් සේවා අංශයේ ඉපැයීම් ලෙස ලැයිස්තුගත කර එම ශ‍්‍රමිකයන්ට නියෝග කරනු ලැබුවේ ඔක්තෝබර් මාසයේදී එවන ලද විදේශ මුදල් ඊළඟ මාසයේ 17 වැනිදාට පෙර ශ‍්‍රී ලංකා රුපියල්වලට හුවමාරු කර ගත යුතු බවයි. මෙම නියෝගය, බැංකු හා පෞද්ගලික විදේශ මුදල් ගනුදෙනුකරුවන් අතර එළඹ ඇති එකඟතාවයන් උල්ලංඝනය කිරීමකි. මෙම ගනුදෙනුකරුවන් බැංකුව සමග පෞද්ගලික විදේශ මුදල් ඒකක ගිණුමක් අරඹන්නේ තමන්ට අවශ්‍ය හා කැමති විට එවන ලද විදේශ මුදල් එම මුදල් ඒකකවලින්ම ලබා ගැනීමටයි. ඔක්තෝබර් හා නොවැම්බර් මාසවලදී විදේශ විනිමය ලැබීම් පෙර වසරට සාපේක්ෂව 50% කින්ම අඩු වූ විට බලාපොරොත්තු සුන් වූ මහ බැංකුව දෙසැම්බර් මාසයේදී සිදුවන පේ‍්‍රෂණ සඳහා එක් ඇමරිකානු ඩොලරයකට දිරි දීමනාවක් ලෙස රු. 10ක මුදලක් ලබා දීමට කටයුතු කළේය.

මෙහි අරමුණ වූයේ අවිධිමත් ක‍්‍රමවලින් කළුකඩ හරහා ඇ.ඩො. එකකට රු. 240 – 250ක මුදලක් ලබා ගන්නවා වෙනුවට මහ බැංකුවේ නිල විදේශ විනිමය අනුපාතය වන ඇ.ඩො. එකකට රු. 199ක් ලබා දෙන බැංකු පද්ධතිය වෙතට පුද්ගලයන් ඈඳා ගැනීමයි. ඒක ඇමක්, එමෙන්ම මහ බැංකුව මෙම අවිධිමත් ක‍්‍රම ඔස්සේ මුදල් පේ‍්‍රෂණය කරන ආයතන හා ඔවුන්ට උදව් දෙන්නන් බිය වැද්දීමටත් කටයුතු කර තිබෙනවා. මෙම තර්ජනාන්විත රීතිය හරහා විදේශ මුදල් මාරු කරන ආයතන 4ක් මහ බැංකුවේ විදේශ විනිමය පනත යටතේ විමර්ශනයට ලක් කර තිබෙනවා. කළු කඩ මගින් මහ බැංකුව නිර්දේශ කරන විදේශ විනිමය අනුපාතය වන ඇ.ඩො. 1කට රු. 199ට වඩා ඉතා ඉහළ මිලක් ලබා දෙනවා මෙය පාලනයට ශ‍්‍රී ලංකා මහ බැංකුව ගෙන ඇති ‘ඇම’ සහ ‘දඬුවම්’ ක‍්‍රම දෙකම ප‍්‍රමාණයවත් නොවන බව සපථ වී හමාරයි. විදේශ විනිමය රුපියල්වලට හුවමාරු කිරීම සඳහා ගත් ක‍්‍රියාමාර්ග විදේශ විනිමය ලැබීම් ඉහළ දැමීමට සමත්ව නැත.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ තීරණය කුමක් වුවද විදේශ විනිමය හුවමාරු කිරීමේ අගයයන් බලෙන් තීන්දු කිරීම නිසා විදේශ විනිමය ලැබීම් වැඩිවී නැත.

ඒ වෙනුවට විදේශයන්හි සේවය කරන හා නියම ලෙසම ශ‍්‍රී ලංකාවේ ඇති පෞද්ගලික විදේශ මුදල් ගිණුම් (අනේවාසික හා නේවාසික විදේශ මුදල් ගිණුම් ලෙස කලින් හඳුන්වන ලදී.) වලට මුදල් පේ‍්‍රෂණය කරන සේවක ප‍්‍රජාවට තවත් ගැටලු රාශියකට මුහුණ දීමට සිදුව ඇත. සේවාවන් මගින් ජනනය වන ආදායම යන්න ‘එතෙරදී ඕනෑම සේවාවක් සපයන’ ලෙස වැරදි ලෙස අර්ථකථනය කර තිබීම මෙයට හේතු වී ඇත. සේවා යෝජකයන් යටතේ පවා වැඩකරන අය මෙයට අදාළ වේ.

විදෙස්ගත ශ‍්‍රමිකයන් බිය වැද්දීම

පළමු කරුණ කෙරෙහි අවධානය යොමු කරමු. ශ‍්‍රී ලංකාවේ බැංකු පද්ධතිය වෙත ලැබුණු විදේශ මුදල් පේ‍්‍රෂණ ලැබීම් ගැන සලකා බලනවිට පුද්ගලයකු ඇමරිකානු ඩොලරයක් පෞද්ගලික විදේශ මුදල් ගිණුමකට එවූ විට එම බැංකුව එම ඩොලරය පෞද්ගලික විදේශ මුදල් ගිණුමට බැර කරන මෙම බැංකුව ඒ වෙනුවෙන් බැඳීමකට යටත් වේ. එමෙන්ම බැංකුව විදේශ විනිමය වත්කමක් අත්පත් කර ගනී. මෙමවත්කම රටේ විදේශ විනිමය ලැබීම්වලට අයත් වේ. නමුත් දැන් මේ ඇ. ඩොලරය ශ‍්‍රී ලංකා රුපියල් බවට මහ බැංකුව බලෙන් නියම කරන ලද අනුපාතයට මාරු කිරීම සිදුවේ. මෙහිදී බැංකුව, විදේශ විනිමය සඳහා වන බැඳීමක් ශ‍්‍රී ලංකා රුපියල් සඳහා වන බැඳීමක් බවට පත්ව ඇත. මෙය ගනුදෙනුකරු හා බැංකුව අතර මූලිකව ඇති කර ගත් එකඟතාව උල්ලංඝනය කිරීමක් වන අතර ගිණුම් හිමියා වෙත පනවන ලද බද්දක් ලෙස ද හැඳින්විය හැක. බැංකු පිළිවෙත් මෙලෙස අත්තනෝමතික ලෙස වෙනස් කරන විට රටේ බැංකු පද්ධතියේ කීර්ති නාමය පරිහානියට පත්වේ. රටට ලැබීමට නියමිත අනාගත විදේශ විනිමය ලැබීම් කෙරෙහි ද අහිතකර බලපෑමක් මෙමගින් ඇති කරයි.

ආචාර්ය විජේවර්ධනයන් විසින් රචිත ‘Falling forex reserves and policy errors:
When will our policy leaders come to their senses’ ලිපියෙහි සිංහල අනුවාදයයි.

සැකසුම – මිලින්ද පීරිස්

advertistmentadvertistment
advertistmentadvertistment