ප‍්‍රහාරය එල්ල කළේ මුස්ලිම් අන්තවාදීන් දඬුවම් විඳින්නේ සිංහල පොලිස් නිලධාරීන්…. රට වෙනුවෙන් කැපවූ පොලිස් නිලධාරීන්ට විශ‍්‍රාම වැටුපවත් නැතිව හිරගෙදර තපින්න වෙලා…

513

පොලිස් නිලධාරීහු පිරිසක් අස්ගිරි මහා නාහිමියන්ට ලිපියක් භාරදෙති

යහපාලන සමයේ පත්කළ ජනපති කොමිසම මගින් ලබාදී තිබෙන තීන්දුව නිසා යුද සමයේ සිට දිවිහිමියෙන් රාජකාරී කළ පොලිස් නිලධාරීන් පිරිසකට රැුකියාව ද, විශ‍්‍රාම වැටුප ද අහිමිව මහඋළුගෙදර තපින්නට සිදුවන පසුබිමක් නිර්මාණය වී තිබෙන බව පවසමින් එම පිරිස රැුක ගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නන්දන මුණසිංහ, දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් ඊයේ (19 දා* අස්ගිරි මහා විහාරයට පැමිණ එම පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ‍්‍රී ඤාණරතන මහනාහිමියන්ට ලිපියක් භාර දුන්හ.

 මෙම පිරිස මහනාහිමියන් හමුවේ කරුණු සඳහන් කරමින් මේ ප‍්‍රහාරය එල්ල කළේ මුස්ලිම් අන්තවාදී පිරිසක් බවත් ප‍්‍රහාරයට ලක්වුණේ කතෝලික, බෞද්ධ, මුස්ලිම්, හින්දු උදවිය නමුත් මේ සියලූ දෙනා වෙනුවෙන් අද ද`ඩුවම් විඳින්නේ සිංහල බෞද්ධ පොලිස් නිලධාරීන් බවත් කියා සිටියහ.

 එය අසාධාරණ බැවින් මෙම නිලධාරීන්ට විරුද්ධව විනය පරීක්ෂණ හෝ අධිකරණයේ නඩු පවරමින් පොලිසිය අකර්මණ්‍ය කිරීමට ඉඩක් නොතබන ලෙස ඉල්ලා සිටින බව ද කියා සිටියහ.

 ජනාධිපති කොමිසම මගින් ලබාදී තිබෙන තීන්දුව අසාධාරණ බවත් ඒ මගින් දිවිහිමියෙන් රාජකාරි කළ පොලිස් නිලධාරීන් පිරිසකට බරපතළ අගතියක් සිදුව තිබෙන බවත් මෙය නිවරැුදි කිරීම සඳහා මහා සංඝරත්නයෙන් ඊට මැදිහත් වන ලෙස ඉල්ලා සිටින බවත් ඔවුහු කීහ.

ප‍්‍රහාරය එල්ල කළේ මුස්ලිම් අන්තවාදීන් දඬුවම් විඳින්නේ සිංහල පොලිස් නිලධාරීන්.... රට වෙනුවෙන් කැපවූ පොලිස් නිලධාරීන්ට විශ‍්‍රාම වැටුපවත් නැතිව හිරගෙදර තපින්න වෙලා...


එහිදී වැඩිරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙසේ පැවසුවේය.

 පාස්කු ප‍්‍රහාරය එල්ල වන අවස්ථාවේ බස්නාහිර පළාතත් නැගෙනහිර පළාතත් රාජ්‍ය බුද්ධි අංශයත් භාරව සිටි පොලිස් නිලධාරීන් විශාල පිරිසක් මෙතන සිටිනවා. ප‍්‍රහාරය සම්බන්ධ තොරතුරු සියල්ලම ප‍්‍රමාදයකින් තොරව කඩිනමින් පොලිස් නිලධාරීන්ට යවන්න පියවර ගෙන තිබුණා. ඒ බව ජනාධිපති කොමිෂන් සභාවේදී නිලධාරීන් ලබාදුන් ප‍්‍රකාශ මගින් සාක්ෂි සහිතව ඔප්පු වී තිබෙනවා. එසේ තිබිය දී ඒ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ගතයුතු නිශ්චිත ක‍්‍රියාමාර්ග පිළිබඳව එවකට පැවති රජය හෝ ආරක්ෂක අමාත්‍යාංශය හෝ පැහැදිලි උපදෙසක් පොලිස් නිලධාරීන්ට ලබාදී තිබුණේ නැහැ. ඒ අවස්ථාවේ යුද්ධය නිමවී රටේ සාමකාමී වාතාවරණයක් ගොඩනැගී තිබුණා. සංහිඳියාව කියන තේමාව යටතේ තමයි ඒ දවස්වල රජය ක‍්‍රියාත්මක වුණේ.

 විශේෂයෙන් මුස්ලිම් ප‍්‍රජාව සමග ඉතා සමීප සම්බන්ධතාවක් තිබීම නිසා අයි.එස්.අයි.එස් වගේ සංවිධාන ගැන ගැඹුරින් සොයා බැලීමක් සිදුවුණේ නැහැ. සම්පූර්ණ සාමකාමී වාතාවරණයක් රටේ පැවතුණා. ඒ වාතාවරණය තුළ සිදු වූ මේ අවාසනාවන්ත සිද්ධිය නිසා අහිංසක මිනිස් ජීවිත 300ක් පමණ රටට අහිමි වුණා. මේ ආකාරයේ ත‍්‍රස්තවාදී ප‍්‍රහාර ශ‍්‍රී මහා බෝධිය, මහ බැංකුව වගේ ස්ථානවලත් සිදුවුණා. ඇමරිකාවට පවා ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ල වුණා. ලෝකයේ කොහේවත් සිදු නොවන ආකාරයට ඒ අවස්ථාවේ රාජකාරී කිරීම පදනම් කරගනිමින් තමයි පොලිස් නිලධාරීන්ට එරෙහිව පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ කොමිෂන් සභාව ක‍්‍රියාත්මක වුණේ.

 තිස් අවුරුදු යුද්ධය නිමා කරන්න කැපකිරීම් කළ විශාල පිරිසකට මේ කොමිසම මගින් අසාධාරණයක් සිදුව තිබෙනවා. මේ අයගේ විශ‍්‍රාම දිවියට පවා ගැටලූවක් වෙලා. ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයට සෘජුව හෝ වක‍්‍රව සහය දුන් නිලධාරියකු විනා ඒ ප‍්‍රදේශයේ රාජකාරී කළ නිලධාරීන් පීඩනයකට ලක්කරනවා නම් එය සමස්ත පොලිස් නිලධාරීන්ගේ මානසිකත්වය පහත වැටීමට බලපාන කාරණයක් වෙනවා.

 මොනරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේ පැවසුවේය.

 අවුරුදු 30 ක් මේ රටේ යුද්ධයේදී රාජකාරී කරලා ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරලා ජීවිතය බේරගෙන අද දක්වා රාජකාරී කරන කණ්ඩායමක් අපි. අද මෙතන්ට ආවේ 2019 අපේ‍්‍රල් 21 පාස්කු ප‍්‍රහාරය දවසේ රාජකාරී කරලා ඒ රාජකාරී කරපු එක වරදක් බවට පත්ව එල්ලූම්ගහ හරි මහඋළුගෙදර හරි නැත්නම් රැුකියාව නැතිවෙලා ගෙදර යන්න හරි වෙන එක වළක්වා ගන්නයි. අපි මල්වතු අස්ගිරි මහනායක හිමිවරු බැහැදැකලා දළදා වහන්සේට කන්නලව් කරලා රස්සාවයි ජීවිතයි බේරා දෙන්න කියලා ඉල්ලනවා.

 පාස්කු ප‍්‍රහාරයේදී 300කට වඩා අහිංසක ජනතාව මියගියා. තවත් ඒ හා සමාන පිරිසක් තුවාල ලැබුවා. අද මේ පැමිණ සිටින අපි හැමෝම එදා ඒ ජීවිත පරිත්‍යාග කළ අයගේ මළ සිරුරු දෑතින් උස්සගෙන රෝහල් ගත කළ කණ්ඩායමක්. එදා ඒ විදිහට කැපවීමෙන් රාජකාරී කළ කණ්ඩායම අද අසරණ වෙලා. එවකට පැවැති යහපාලන රජය අයි. එස්. අයි. එස්. සංවිධානය ප‍්‍රහාරයක් එල්ල කරන බවට තොරතුරු දැනගෙන ඒ තොරතුර සම්බන්ධව ගතයුතු ක‍්‍රියාමාර්ග පිළිබඳව කිසිදු නියෝගයක් ලබා නොදී මේ පිළිබඳව තොරතුරු සොයන්න කියලා විතරක් අපට දැනුම් දී තිබුණු අවස්ථාවක අනපේක්ෂිතව මේ ප‍්‍රහාරය එල්ල වුණා. මේ සිද්ධිය වූ දවසේ අපි සියලූ දෙනා රාජකාරී කළා. මළ සිරුරුවල හා තුවාලකරුවන්ගේ රුධිරය අත්වල තවරගෙන ඒ අය රෝහල් ගත කරලා ජීවිත සිය ගාණක් බේරගන්න අපි ක‍්‍රියාත්මක වූණා.

 යහපාලන රජය පත්කළ කොමිෂන් සභාව දුන් අසාධාරණ තීන්දුව නිසා හෙට දවසේ අපිට එල්ලූම් ගහ, නැත්නම් හිර ගෙදර තපින්න වෙනවා. එහෙම නැත්නම් රැුකියාව අහිමිව වෙනත් රැුකියාවකට ද යන්න නොහැකිව ගෙදර යන්න වෙනවා. එවැනි තත්ත්වයකට අපි පත්වෙලා. මේ දුක කියන්න කෙනෙක් නැහැ. මේ වන විට කියන්න ඕනෑ හැමෝටම කිව්වා. ඒ යහපාලන රජය ගත් අසාධාරණ තීන්දුවේ ප‍්‍රතිපලය නිසා සමස්ත පොලිසියම කඩා වැටිලා. පවුල්, දරුවෝ, නෑදෑයෝ සියලූ දෙනා අඬා වැටෙනවා. හෙට දවසේ අපි එල්ලූම් ගස් යයි සිරගත වෙයි කියලා ඒ අය බයෙන් ඉන්නේ. දළදා වහන්සේට කියන්න පුළුවන්, කන් ඇහෙන ඇස් පේන මේ මහනායක හිමිවරුන්ට කියන්නේ අපිව බේරාලා යුක්තිය ඉෂ්ට කරලා දෙන්න කියලයි.

 කාදිනල් උන්නාන්සේට අපි කිසිම දෙයක් කියන්නේ නැහැ. උන්නාන්සේ දැක්කා අපි දෑත්වල ලේ තවරගෙන ජීවිත බේරගන්න කටයුතු කළ ආකාරය. කාදිනල්තුමා තමුන්ගේ කණ්ඩායම වෙනුවෙන් කතා කිරීම සාධාරණයි. හැබැයි අපි වෙනුවෙන් කතා කරන්න රජය හෝ වෙනත් කිසිම කෙනෙක් ඉදිරිපත් වෙලා නැහැ. අපිට මේක කියන්න වෙන කිසිම කෙනෙක් නැහැ. පොලිස් නිලධාරීන් 20-25 ක් මේකට ලක්වෙලා.

 දළදා වහන්සේට ප‍්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ ජීවිත නැතිවුණා. ජයසිරි මහ බෝ හාමුදුරුවන්ට ප‍්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ ජීවිත නැති වුණා. ලෝකයේ අනන්තවත් මේ වගේ ප‍්‍රහාරවලින් ජීවිත නැති වෙනවා. හැබැයි ලෝකයේ කිසිම තැනක එදා දවසේ රාජකාරී කළ නිලධාරීන්ට විරුද්ධව මේ වගේ තීන්දුවක් අරන් නැහැ. අසාධාරණයක් කරලා නැහැ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිට පොලිස් කොස්තාපල් දක්වා සියලූ නිලධාරීන් මේ අසාධාරණයට ලක්වෙලා. පාස්කු ප‍්‍රහාරයේ මොළකාරයා අල්ලන්න ගිහින් එක නිලධාරියෙක් මියගියා. නියෝජ්‍ය පොලිස්පති චන්දන අතුකෝරාළ මහතා එදා මීගමුව කොට්ඨාස භාර නිලධාරියා ලෙස කටයුුතු කළා. අද නියෝජ්‍ය පොලිස්පති නුවඑළිය. එතුමා දින තුනකින් විශ‍්‍රාම යනවා. දැන් තිබෙන ආරංචි අනුව අවුරුදු 39ක සේවයක් කරලා විශ‍්‍රාම වැටුපත් නැතුව එතුමාට ගෙදර යන්න වෙලා. ඇඬූ කඳුළින් ඉන්නේ. ඒකයි අපි එකතු වෙලා මේ ඉල්ලීම කරන්න හිතුවේ. මේ අසාධාරණ තීන්දුව වෙනස් කරලා නඩු පවරන එක නවත්වන්න කියලා අපි ඉල්ලන්නේ. සාධාරණ විනිශ්චයක් දෙන්න. අපිට මේ ගැන දැනුවත් බවක් තිබුණේ නැහැ. දැනගෙන හිටියා නම් කවමදාවත් වෙන්න දෙන්නේ නැහැ.

 යහපාලන ආණ්ඩුව දැනගෙන හිටියා අයි.එස්.අයි.එස් ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් එල්ල කරනවා කියලා. අපේ උසස් නිලධාරීන්ට දැනුම් දීලා තිබුණේ මේක සම්බන්ධව තොරතුරු සොයන්න කියලා විතරයි. එහෙම කියලා දින දෙකක් වගේ කාලයකදී අනපේක්ෂිත ලෙස ප‍්‍රහාරය එල්ල වුණා. වසර 30 ක් පැවැති යුද්ධය ඉවර කරලා රට සාමාකාමී වෙලා තිබුණ අවස්ථාවක මේක එල්ල වුණේ. ඒ වෙලාවේ බලයට ඇවිත් හිටිය යහපාලන රජය කරපු වරද කාගේ හරි පිටින් යවන්න ඕන නිසා අහිංසක පොලිස් නිලධාරීන් 25-30 කණ්ඩායමකගේ රස්සාව අහිමි කරලා සිරගත කරන්න සූදානම් කරනවා.

 අපිට විරුද්ධව විනය පරීක්ෂණ ආරම්භ කරන්න හදනවා. නඩු කටයුත්තකට කිසිදු බාධාවක් නැහැ. ඕනෑම අවස්ථාවක අපි වගකීමෙන් බැඳී ඉන්නවා සාක්කි ලබාදීමට. නඩුවෙන් ඉවත් කරන්න කියලා අපි කියන්නේ නැහැ. අපිට දුන්න අසාධාරණ තීන්දුව ඉවත් කරන්න කියලා ඉල්ලන්නේ. අධිකරණයට අපිව පමුණුවන්න හදනවා අසාධාරණ ලෙස. යහපාලන රජය ජනපති කොමිෂන් සභාවක් පත්කරලා වගකීමෙන් නිදහස් වෙන්න අපිව වැරදිකාරයෝ කරන්න හදනවා. මේ වෙලාවේ නඩු පැවරුවාට පස්සේ මේ ගැන කතා කරලා වැඩක් නැහැ. නඩු පැවරුවාට පස්සේ අපි හැමෝටම රස්සාව අහිමි වෙනවා. වැටුප් නැති වෙනවා. එදාට මහනායක හිමිවරු මුණ ගැහෙන්න එන්නවත් ලැබෙන්නේ නැහැ.

 අපි වරදක් කරලා නැහැ. අපි කළ එකම වරද එදා දවසේ රාජකාරී කළ එකයි. එදා රාජකාරි නොකළා නම් අපිට මෙහෙම දේවල් අත්විඳින්න වෙන්නේ නැහැ. විනය පරීක්ෂණ නැහැ. උසස් වීම් නැහැ. මම වසර 34 ක් සේවය කළා. වසර දෙකයි තුනයි විශ‍්‍රාම යන්න තිබෙන්නේ. චෝදනා පත‍්‍රයක් දුන්නොත් පෙන්ෂන් එකත් නැතුව යන්න වෙන්නේ. දැනගත්ත වෙලාවේ ක‍්‍රියාත්මක වූ නිසා ජීවිත රැුසක් බේරා ගන්න පුළුවන් වුණා. සමස්ත රටම මේ ගැන බලාගෙන ඉන්නවා. කතෝලික, බෞද්ධ, මුස්ලිම් හින්දු අයයි. නමුත් මේ සියලූ දෙනා වෙනුවෙන් අද දඬුවම් විඳින්නේ සිංහල බෞද්ධ පොලිස් නිලධාරීන්. ඒක අසාධාරණයි. අපිට විරුද්ධව විනය පරීක්ෂණ එපා. අධිකරණයේ නඩු පවරන්න එපා. පොලිසිය අකර්මණ්‍ය කරන්න එපා කියලයි ඉල්ලා සිටින්නේ.

සමන්තී වීරසේකර

advertistmentadvertistment