බංග්ලාදේශයේ නව අන්තර්වාර රජය පිහිටුවයි

322

නොබෙල් සාම ත්‍යාගලාභී බංග්ලාදේශ විද්වතෙකු වන මහාචාර්ය මුහමඩ් යුනුස්ගේ ප්‍රධානත්වයෙන් යුත් නව බංග්ලාදේශ අන්තර්වාර රජය ඊයේ (08දා) රාත්‍රි 8.00ට දිවුරුම් දීමට නියමිතව තිබ්ණි. ප්‍රංශයේ පැරිස් අගනුවර පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේ ආරාධිත අමුත්තෙකු වශයෙන් සහභාගි වී සිටි මහාචාර්ය යුනුස් බංග්ලාදේශයේ අන්තර්වාර රජයේ ප්‍රධානියා වශයෙන් දිවුරුම් දීම සඳහා ඊයේ සවස බංග්ලාදේශයට පැමිණ තිබිණි. හිටපු අගමැතිනි ෂික් හසීනා වජිඩ් මහජන විරෝධතා හමුවේ සිය ධුරයෙන් ඉවත් වී රටෙන් පලා යෑමෙන් පසු නව රජයක් පත්කර ගන්නා තෙක් පිහිටුවීමට යන අන්තර් වාර රජයේ ප්‍රධානියා වශයෙන් මහාචාර්ය යුනුස් පත් කර ඇත්තේ අගමැතිනි ෂික් හසිනා බලයෙන් නෙරපීම සඳහා දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් හා විරෝධතා පා ගමනක් මෙහෙයවූ බංග්ලාදේශ ශිෂ්‍ය ව්‍යාපාරය විසින් පුද්ගලිකව ඔහුගෙන් කළ ඉල්ලීමක ප්‍රතිපලයක් වශයෙනි.

බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ශහබුද්දින් ඉදිරියේ ඊයේ රාත්‍රී දිවුරුම් දීමට නියමිතව තිබූ අනතර්වාර රජයට සාමාජිකයන් 15 දෙනකු පමණ ඇතුළත් වීමට නියමිතව තිබූ බව එරට හමුදා ප්‍රධානි ජෙනරාල් වාකර් උස් සාමාන් විසින් මාධ්‍යයට පවසා තිබේ. කෙසේ වුවද ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර හමුදා ප්‍රධානියා විසින් හෙළිදරව් කර නොතිබිණි. මේ අතර හිටපු අගමැතිනි ෂික් හසීනා අගමැති ධුරයෙන් ඉවත් වී පලා යෑමෙන් පසුව බංග්ලාදේශයේ හින්දු ප්‍රජාව සංවිධානාත්මක කල්ලිවල හිංසනයට ලක්ව සිටින අතර මේ හේතුවෙන් හින්දු ජාතිකයන් සිය ගණනක් ඉන්දියාවට පලා යෑම සඳහා ඉන්දීය – බංග්ලාදේශ දේශසීමාව අසලට එක්රොක්ව සිටින බව වාර්තා වේ. හිටපු අගමැතිනිය බලයෙන් ඉවත් වීමෙන් පසු රට තුළ ආරක්ෂාව පිරිහී ගොස් ඇති අතර කොල්ලකෑම් හා දේපළවලට හානි කිරීම වැඩි වී ඇති බව බංග්ලාදේශ මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. බංග්ලාදේශයේ හින්දු කෝවිල් හා හින්දු ප්‍රජාව සිටින නිවෙස් අදාළ කල්ලිවල ප්‍රහාරයට ලක්ව තිබෙන බව වාර්තා වේ. මේ අතර හිටපු අගමැතිනි ෂික් හසීනා රටින් පලා යෑමෙන් පසු සංවිධානාත්මක කල්ලි විසින් ඝාතනය කර තිබූ ඇයගේ නායකත්වයෙන් යුත් අවාමි ලීග් පක්ෂයේ නායකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් 29 දෙනකුගේ මළ සිරුරු ඊයේ (08දා) වන විට සොයාගෙන තිබිණි. මේ අතර බංග්ලාදේශයේ සත්කිරා ප්‍රදේශයේ වැසියන් 10 දෙනකු කිසියම් පිරිසක් විසින් ඝාතනය කර ඇති බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment