බංග්ලාදේශයේ නව අන්තර්වාර රජයේ ඇමැතිවරුන් වෙනුවට උපදේශකයෝ 17 දෙනෙක්

596

හිංසන ක්‍රියාවන් ව්‍යාප්ත වී ඇති බංග්ලාදේශය එක්සේසත් කරන බවට පවසමින් බංග්ලාදේශයේ නව අගමැති මහාචාර්ය මුහමඩ් යුනුස් ප්‍රමුඛ උපදේශකයන් 17 දෙනෙකුගෙන් සමන්විත නව අන්තර් වාර ආණ්ඩුව පෙරේදා (08) රාත්‍රියේ එරට ජනාධිපති මොහොමඩ් ශහබුද්දින් ඉදිරියේ දිවුරුම් දී තිබේ. බංග්ලාදේශයේ ඩකා අගනුවර පිහිටි ජනාධිපති මැදුරේ පැවැති අදාළ දිවුරුම් උත්සවයේදී දිවුරුම්දී ඇති බංග්ලාදේශ නව අගමැති නොබෙල් සාම ත්‍යාගලාභී ආර්ථික විද්වතෙකු වන 84 හැවිරිදි මුහමඩ් යුනුස් තමා බංග්ලාදේශයේ ව්‍යවස්ථාව සුරකින, එයට සහය දෙන හා සංරක්ෂණය කරන බව අවධාරණය කර තිබේ.

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂික් හසිනා වජීඩ් අරගලකරුවන්ගේ විරෝධතා මධ්‍යයේ ඉකුත් සඳුදා සිය ධුරයෙන් ඉවත් වී රටින් පලා යෑමෙන් පසු අරගලයට සම්බන්ධ වූ එරට ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉල්ලීමක් මත මහාචාර්ය යුනුස් අන්තර්වාර ආණ්ඩුවේ අගමැති ධුරය භාරගැනීමට එකඟ විය. පෙරේදා දිවුරුම් දුන් බංග්ලාදේශ නව අන්තර්වාර ආණ්ඩුවේ සියලු දෙනා උපදේශකවරුන් වශයෙන් කටයුතු කරන අතර ඔවුන් කිසිවෙකු අමාත්‍ය යන නම භාවිත නොකරන බව විදෙස් මාධ්‍ය පවසයි. නව අන්තර්වාර ආණ්ඩුව දිවුරුම් දීමේ අවස්ථාවට බංග්ලාදේශයේ දේශපාලන නායකයන්, සිවිල් සමාජ නායකයන්, හමුදා ජෙනරාල්වරු හා තානාපති නිලධාරීන් සහභාගි වී ඇති අතර හිටපු අගමැතිනී ෂික් හසිනාගේ නායකත්වයෙන් යුත් අවාමි ලීග් පක්ෂයේ නායකයන් කිසිවකු එම අවස්ථාවට සහභාගි වී නොමැති බව වාර්තා වේ. දිවුරුම් දී ඇති බංග්ලාදේශයේ නව අන්තර් වාර රජයේ උපදේශකවරුන් වශයෙන් හිටපු අගමැතිනී ෂික් හසිනා බලයෙන් නෙරැපීමේ අරගලය මෙහෙයවූ අසාධාරණයට එරෙහි බංග්ලාදේශ ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයන් වන නහිඩ් ඉස්ලාම් හා අසිෆ් මෙහ්මුඩ් මෙන්ම සම්මානලාභි පාරිසරික නීතිවේදිනියක් වන සයිඩා රිස්වානා හසන් මෙන්ම හිටපු විදේශ ලේකම්වරයකු වන ටවුහිඩ් හුසේන් යන අයද සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. ප්‍රංශයේ පැරිස් අගනුවර පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේ ආරාධිත අමුත්තකු වශයෙන් සහභාගි වී නැවත බංග්ලාදේශය වෙත පැමිණි නව අන්තර් වාර රජයේ අගමැති මුහමඩ් යුනුස් ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී වාර්තාකරුවන් අමතා පවසා ඇත්තේ බංග්ලාදේශය පවුලක් බවත් එය එකමුතු කළ යුතු බවයි. බංග්ලාදේශ නව අන්තර් වාර රජයේ ප්‍රමුඛතම කාර්ය වී ඇත්තේ රට තුළ පැතිර ඇති හිංසන ක්‍රියා නවතා දමා කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම බව බංග්ලාදේශ මාධ්‍ය පවසයි.

සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment