ශ්‍රී ලංකා ‘ඒ’ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ ‘ඒ’ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පෙරේදා (15දා) කොළඹ, එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති තුන්වැනි තරගයෙන් ද ලකුණු 10ක ජයග්‍රහණයක් ලබාගැනීමට සංචාරක බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ සමත් වූහ.
ඒ අනුව තරග 5කින් යුත් විස්සයි විස්ස තරගාවලියේ තවත් තරග 2ක් ඉතිරිව තිබියදීම තරග 3-0ක් ලෙසින් පෙරමුණ ගැනීමට ඔවුන් හැකි විය.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ කඩුලු 9ක් දැවී ලකුණු 97ක් ලබාගැනීමට සමත්වූ අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලබාගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 87ක් පමණි.
කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ට සියලුම දෙනා දැවී ලබා ගතහැකි වූයේ ලකුණු 97ක් පමණි. එය මෙම තරගාවලියේ සංචාරක ක්‍රීඩිකාවන් සියලුම දෙනා දැවී ගිය පළමු අවස්ථාව ද විය.
මෙම ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ ආරම්භක පිතිකාරිනී ෂතී රාණි පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමගින් ලකුණු 26ක් ලබා ගැනීමට සමත් වූවාය. ඊට අමතරව රිතූ මොනී නොදැවී ලකුණු 25ක් ලබා ගත්තාය.
පන්දු යැවීමේදී මල්ෂා ෂෙහානි ලකුණු 12කට කඩුලු 4ක්, නිමේෂා මධුශානි කඩුලු 2ක්, තාරුකා ෂෙහානි සහ මල්කි මදාරා අතරේ කඩුල්ල බැගින් බෙදී ගියේය.
ජයග්‍රහණය සඳහා පහසු ඉලක්කයක් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඒ වෙනුවෙන් පිටියට පිවිසිය ද ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 87ක් පමණි.
එහි දී නිලක්ෂනා සඳමිනි පන්දු 37කට මුහුණ දෙමින් ලකුණු 22ක් සහ කෞෂිනි නුත්‍යාංගා පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබාගැනීමට සමත් වූවාය.
බංග්ලාදේශය වෙනුවෙන් පන්දු යැවීමේදී මරැෆා අක්තාර්, නහීඩා අක්තාර් සහ රබියා ඛාන් කඩුලු 2ක් බැගින් බිඳ හෙළීය.
ශ්‍රී ලංකා ‘ඒ ’ සහ බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ 4 වැනි තරගය මේ මස 17 වැනිදා කොළඹ, බෞද්ධාලෝක මාවත තර්ස්ටන් පිටියේ දී පැවැත්වීමට නියමිතව ඇත.
සිසිර ඉන්ද්‍රජිත්