බංග්ලාදේශ කාන්තාවන්ට ශ්‍රී ලංකාවේදී වසර 9කට පසුව ජයග්‍රහණයක්

299

තරගයේ අවසන් පන්දුවාර දෙකේදී ජයග්‍රහණය සඳහා ලකුණු 24 ක ඉලක්කයක් හිමිව තිබූ බංග්ලාදේශ කණ්ඩායම 19 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුගේ පන්දු හමුවේ ලකුණු 17 ක් ලබා තරගය නිම වීමට තවත් පන්දුවක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාවට එරෙහිව ඊයේ (09 වැනිදා) පැවති තරගයේ ජයග්‍රහණය හිමිකර ගත්තේය.

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ තරග තුනකින් යුත් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව එරෙහිව කඩුලු 6 ක තියුණු ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ එසේ සමත් වූහ.

කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ලද ජයත් සමඟ තරගාවලිය 1-0 ක් ලෙසින් පෙරමුණ ගැනීමට ද සංචාරක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ලකුණු 146 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් නායිකා නිගර් සුල්තානා නොදැවී ලකුණු 75 ක් සහ රිතූ මෝනි නොදැවී ලකුණු 33 ක් ලබා ගත්හ. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ සුල්තානා හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමඟින් පන්දු 51 කදී ලකුණු 75 ක් ලබා ගත්තාය.

පවර් ප්ලේ පන්දුවාර 6 අවසන් වීමට මත්තෙන් ආරම්භක පිතිකාරිණියන් වූ ශමිමා සුල්තානා සහ රූබි හයිදර් දැවී ගියද තෙවැනි කඩුල්ලට එක් වුණු නායිකා නිගර් සුල්තානා සහ ෂෝභනා මොස්ටරි ලකුණු 51 ක සම්බන්ධතාවක් ගොඩ නැංවූහ.

මෙම ජයග්‍රහණය බංග්ලාදේශ කාන්තා කණ්ඩායමක් ශ්‍රී ලංකා නිජබිමේදී ලද පළමු විස්සයි-20 ජයග්‍රහණය මෙන්ම 2014 වසරෙන් පසු ලද පළමු ජයග්‍රහණය විය. 2014 වසරේදී අවසන් වතාවට ශ්‍රී ලංකාව පරාජයට පත් කිරීමෙන් පසු ක්‍රීඩා කරන ලද විස්සයි-20 තරග 7 ම බංග්ලාදේශ පිල පරාජයට පත්ව තිබේ.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායිකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර විශ්මි ගුණරත්න ලකුණු 11 දී දැවී ගියද චමරිට එක්වූ හර්ෂිතා දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 48 ක් එක් කළහ. සුපුරුදු ආක්‍රමණශීලී පිතිහරඹ රටාවේ නියැළි නායිකා චමරි අතපත්තු සිත්සේ පන්දුවට පහර දෙද්දී නහිඩා අක්ටර් හමුවේ අනපේක්ෂිතව දැවී ගියාය. ඒ වන විටත් ඇය පන්දු 28 කට මුහුණ දෙමින් ඉන් තෙවතාවක් හතරේ සීමාවට ඉහළින්ද දෙවතාවක් හතරේ සීමාව පසු කරමින්ද පන්දුව යවමින් ලකුණු 38 ක් ලබා සිටියාය.

චමරිගේ දැවී යෑමෙන් පසු කණ්ඩායම රැගෙන යෑමේ වගකීම කරට ගත් හර්ෂිතා නැවතත් ලකුණු අතරට පිවිසෙමින් පන්දු 44 කදී ලකුණු 44 ක් රැස් කරගත්තේය. හතරේ පහර 5 කින් සමන්විත වුණු හර්ෂිතාගේ ඉනිමත් පන්දු 28 කදී වාර්තා වුණු නිලක්ෂිගේ ලකුණු 29 ක ඉනිමත් ශ්‍රී ලංකා ලකුණු සංඛ්‍යාව 150 සීමාවට රැගෙන යෑමට රුකුළක් විණ.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි විස්සයි-20 තරගය හෙට (11 වැනිදා) කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 20 කදී කඩුලු 6 ට ලකුණු 145 යි – (හර්ෂිතා සමරවික්‍රම 45, චමරි අතපත්තු 38, විශ්මි ගුණරත්න 11, නිලක්ෂි ද සිල්වා 29, හසිනි පෙරේරා 01, කවීෂා දිල්හාරි 00, අනුෂ්කා සංජීවනී 00, ඔෂධී රණසිංහ 08, ෆහිමා කටුන් 20/2, රබේයා කාන් 23/1, නහිඩා අක්ටර් 35/1, සුල්ටානා ඛටුන් 30/1, ෆරිහා ටි්‍රෂ්නා 35/1)

බංග්ලාදේශ කාන්තා පිල පන්දුවාර 19.5 කදී කඩුලු 4 ට ලකුණු 146 යි – (නිගර් සුල්ටානා 75, රිතූ මෝනි 33, ශමිමා සුල්ටාන් 05, රුබ්හා හයිදර් 09, ෂෝභනා මොස්ටරි 17, මුර්ෂිදා ඛටුන් 00, උදේශිකා ප්‍රබෝධනී 07/1, කාව්‍යා කාවීන්දි 14/1, ඔෂදී රණසිංහ 39/1)

advertistmentadvertistment
advertistmentadvertistment