බංග්ලාදේශ යෞවනීයෝ තරගාවලිය සම කරති

100

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශය වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති තරග 4කින් යුත් විස්සයි -20 ක්‍රිකට් තරගාවලිය 2-2ක් ලෙසින් සමව නිමා කිරීමට බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ (9දා) සමත් විය.

කොළඹ, හැව්ලොක් පෙදෙස බීආර්සී ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ ලකුණු 21ක ජයග්‍රහණයක් ලබා ගැනීමත් සමග මෙම තරගාවලිය සමව අවසන් කිරීමට ඔවුන්ට හැකිවිය.

බංග්ලාදේශ යෞවනීයෝ තරගාවලිය සම කරති

ඒ අනුව තරගාවලියේ පළමු තරගය සහ දෙවැනි තරගය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජයග්‍රහණය කළ අතර ඊට පසුව පැවැති තරග ද්විත්වය ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩිකාවෝ සමත්විය.

සිව්වන තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ වාරය බංග්ලාදේශයට පැවරූ අතර, ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 19.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 126ක් ලබාගැනීමට හැකියාව ලැබිණි.

ලකුණු 127ක ජයග්‍රාහී ඉලක්කයක් සොයා පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලබාගැනීමට හැකියාව ලැබුණේ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 105ක් වීම හේතුවෙන් බංග්ලාදේශයට ලකුණු 21ක ජයක් හිමිවිය.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී මොසාමාට් ඊවා ලකුණු 20, අප්‍රියා අෂීමා ලකුණු 21, ජනතුල් මාව්අ ලකුණු 24 ලබාගැනීමට සමත්විය.

පන්දු යැවීමේදී රශ්මිකා සෙව්වන්දි ලකුණු 28කට කඩුලු 3ක්, චමෝදි ප්‍රබෝධා ලකුණු 18කට කඩුලු 2ක් ලබාගැනීමට සමත්විය. ඊට අමතරව අසෙනි තලගුණේ, රශ්මි නේත්‍රාංජලී සහ හිරුණි හංසිකා 1ක කඩුල්ල බැගින් දවාලීය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී මනුදි නානායක්කාර ලකුණු 25ක් සහ හිරුණි හංසිකා නොදැවී ලකුණු 44ක් ලබාගැනීමට සමත්විය.

පන්දු යැවීමේදී ජනතුල් මාව්අ ලකුණු 23 කට කඩුලු 3ක් බිඳහෙලීය.

සිසිර ඉන්ද්‍රජිත්

සංස්කරණය – සුසිල් ජයකොඩි


advertistmentadvertistment