බක් මහ මතකය කවියක රැඳුණා

85

බක් මාසය ගැන අනාදිමත් කාලයක සිට කවි ලියවුණේ බක් මාසයේ අසිරිය මුල් කරගෙන. බක් මාසය ගහ කොළ මලින්ඵලින් බරවෙලා රතුපාට එරබදු මල් පොකුරු අතර හැංගිලා කොහෝ කොහෝ හඬ පැතිරෙන අසිරිමත් මාසයක් විදියට අපේ මතකයෙ තියෙන්නෙ. රටම එකම උත්සව සැණකෙළි විලාසයක් ගන්න මාසයක් විදියටයි බක් මාසය නැත්නම් සිංහල දෙමළ අවුරුද්ද සැමරෙන මේ මාසය හඳුන්වන්නෙ. 1984 දි බක් මාසය ගැන අරීසෙන් අහුබුදු කවියා ලියපු පද්‍ය පංතියක අවුරුද්ද වර්ණනා කර තිබුණෙ මෙහෙම.

බක් මහ මතකය කවියක රැඳුණා

සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීමෙන් සිංහල අවුරුද්ද ඇරැඹෙන කියන අහුබුදු කවියා බක් මාසයේ අසිරිය වර්ණනා කරන්නෙ මෙහෙම.

බක් මහ මතකය කවියක රැඳුණා

බක් මාසයේ අවුරුදු පඬුරු ලෙස සුබාසිරි ගෙනෙන බවයි අහුබුදු කවියා පවසන්නේ. වසන්ත රසයෙන් සැරසෙන බක් මාසය නව යෞවනියකගේ මුහුණුවරින් පැමිණෙන බව කියන්නේ අවුරුද්දේ සුන්දරත්වයත් අපේ මතකයට ගෙන එමින්. අවුරුද්ද එක්ක එකතුවුණු චාරිත්‍ර වාරිත්‍ර, නොනගතය, බුලත් හුරුළු, රතිඤඤා සද්ද, ගැමි සිරියාව, ගැමි කෙළි සෙල්ලම්, යෞවන යෞවනියන් අතර පමණක් නෙවි ගමේ වැඩිහිටියන් අතරත් සුහද බවක් වෙනදා නොතිබුණු මිත්‍රත්වයක් ප්‍රදර්ශනය කළ වගක් තමයි අපේ මතකය. ඒත් අවුරුද්දේ මේ සුපුරුදු අසිරිය හැංගිලා ගිහිං අඳුරු අලුත් අවුරුද්දක මතකය අපට මුලින් ම ගෙනාවෙ 1971 බක් මාසයෙ දි.

දවස හරියට ම 1971 අප්‍රියෙල් 5 වන සඳුදා. අදින් අවුරුදු පනස් එකකට ඉස්සර දවසක අපේ රටේ ඉතිහාසයෙ පළමු වතාවට ඒ වෙලාවෙ විසාල ජයග්‍රහණයකින් දිනපු ආණ්ඩුවකට විරුද්ධ ව තරුණයො කණ්ඩායමක් රට පුරා ආයුධ ගත්ත කැරැල්ලක් පටන් ගත්ත දවස විදියට 71 අප්‍රේල් 5 මතකයෙ තියෙනව. 71 කැරැල්ල – තරුණ පිබිදීම වගේ නම් වලින් හැඳින්වුණු මේ ඓතිහාසික සංසිද්ධිය අද මතක් කරන්න පුරුදුවෙලා තියෙන්නෙ 71 කැරැල්ල කියල. 71 කැරැල්ලෙන් පස්සෙ 88-89 කාලයෙත් අපේ රටේ තරුණයො මුල්වෙච්ච කැරැල්ලක තොරතුරු අපේ මතකයට එනවා. මේ කැරලි හැම එකකින් ම අපේ රටේ තරුණ කණ්ඩායම් විසාල පිරිසක් ඝාතනයට ලක්වුණා. 71 දි නම් ඒ දවස්වල ආණ්ඩුව කැරැල්ලට සම්බන්ධවුණු තරුණ තරුණියො පුනරුත්ථාපනය කරල සමාජයට වැඩදායී තරුණ පුරවැසියන් විදියට ගෙන ඒමේ වැඩපිළිවෙළට නායකත්වය දුන්නෙ ඒ දවස්වල අගමැතිනිය සිරිමාවෝ බණ්ඪාරනායක. තරුණ පිබිදීමට සම්බන්ධවෙලා හිටිය බහුතරය උගත් පිරිසක් වුණ නිසාත් ඔවුන්ගෙන් වැඩිදෙනා ගම්වල සාමාන්‍ය දරුවන් වීමත් කැපී පෙනුණ විශේෂත්වයක්. මේ තරුණ නැගිටීමේ ප්‍රතිඵලයක් විදියට එදා ආණ්ඩුව සමාජ ක්‍රමයේ වෙනස්කම් අපේක්ෂාවෙන් සංශෝධන රාශියක් ම කළ බව ඉතිහාසය කියනව. අද මේ මොහොතෙත් අපේ රට ඒ වගේ ම අත්දැකීමකට මුහුණ දී ඉන්නව කියල සිහිපත් වෙනව. එදා අපේ රටේ විශ්වවිද්‍යාල පුනරුත්ථාපන කඳවුරු බවට පත් කරල චූදිතයන් අධිකරණය හමුවට ගෙන ගිය බවත් අධිකරණ තීන්දු අනුව ඔවුන්ට දඬුවම් ලැබුණු බවත් මතක යි. 71 තරුණ පිබිදීම පස්සෙ කාලෙක මේ රටේ සාහිත්‍ය කලා ක්ෂේත්‍ර හැම එකක ම නිර්මාණකරණයේ වැදගත් ම සාධකයක් වුණු වග පශ්චාද් කැරලි සමයේ බිහි වූ නිර්මාණ සාක්ෂි දරනව. 70 දශකයේ නිර්මාණ විදියට මේ කාලයේ පළ වූ කවි හඳුන්වන්නත් විචාරකයන් උත්සුක වුණා. 71 න් පස්සෙ පළ වුණු කාව්‍ය සංග්‍රහ බොහොමයක ම තරුණ පිබිදීමේ ඡායාවන් පේන්න තිබුණා. කවියෙ පමණක් නොවෙයි” කෙටිකතාව” නවකථාව” නාට්‍යය” සිනමාව” ගුවන් විදුලිය” ජන මාධ්‍යය ආදී සාහිත්‍ය කලා ප්‍රවර්ග හැම එකක ම නිර්මාණකරුවන්ට 71 කැරැල්ලත් ඊට හේතු වුණු කරුණු කාරණාත් බලපෑමක් වුණු බව පැහැදිලිව ම දකින්න පුළුවන් 71 කැරැල්ලේ බලපෑම් අපූරුවට පෙන්වන පද්‍ය කාව්‍ය නිර්මාණ දෙකක් මේ විෂය වෙනවා. පළමුවන නිර්මාණය තමයි අපගේ මහා කවියා ලෙස හඳුන්වන ගුණදාස අමරසේකර 1975 දී රචනා කළ දින පොතේ ලියූ කවිය නම නිර්මාණය. ආවර්ජනා කාව්‍ය සංග්‍රහයෙ තමයි ඒ කවිය ඇතුළත් වෙන්නෙ. දෙවනි කවිය විමල් දිසානායකගෙ ඛේදවාචකයක් කවි තුනක් නිර්මාණය. 1972 අප්‍රියෙල් පළවුණු ඉන්ද්‍රචාපය කවි පොතේ එන්නෙ.

දින පොතේ ලියූ කවිය

(සිය පුතු එවා ඇති ඔහු සතු අන්තිම වස්තුව වූ මුද්ද” ඔර්ලෝසුව” පෑන සහ ඇඳුම් පොදිය තුරුලු කරගෙන” පොලිසියක් ඉදිරිපිට වැලපෙන මවකගේ රූපයක්” 1971 කැරැල්ල සමයේ දී ලන්ඩන් පුවත් පතක පළ විය. දින පොතේ ලියන ලද කවියට නිමිත්ත එය වෙයි )

‘උඹේ මුද්ද අත් ඔරලෝසුව පෑන
ඇයි රත්තරන් පුතුනේ එව්වේ මොට ද
මතක් වෙන්න ද නැත් නම් විකුණගෙන
හාල් තුනපහේ අරගෙන කන්නට ද’

………………….

මගෙ දින පොතේ කවියක් ඇත
එය ලියන්න ( නිම කරන්න )
බැතියක් නැත
අද නැති මුත් ඒ බැති සිත
කවදා හෝ ලිවිය යුතු ය

හිම වැටෙනා උදෑසනක
ලන්ඩන්යේ අඳුරු මගක
දෙ නෙත නැගුණු කඳුළු අතර
එ කව මගේ සිත ලියැවිණ

මගෙ දිනපොතෙ කවියක් ඇත
එය ලියන්න බැතියක් නැත
අද නැති මුත් ඒ බැති සිත
කවදා හෝ ලිවිය යුතු ය

ඔවුන් හරි ද අපි වැරදි ද
අපි හරි නම් උන් වැරදි ද
ඇති මග පියවිලි උඩින් ද
වගුරන ලේ වැල් තුළින් ද

නැගෙන කුකුස නිති මා සිත
සිඳලයි බැති සිත මා තුළ

මගෙ දිනපොතෙ කවියක් ඇත
එය ලියන්න බැතියක් නැත
අද නැති මුත් ඒ බැති සිත
කවදා හෝ ලිවිය යුතු ය

මම කවියෙකි හදැති සසල
ලොසත සියලු දුක වළඳන
එ දුක ලොවට කියනු විනා
නොමැත මසතු අන් යුතුකම

‘උඹේ මුද්ද අත්ඔරලෝසුව පෑන
ඇයි රත්තරන් පුතුනේ එව්වේ මොට ද
මතක් වෙන්න ද නැත්නම් විකුණගෙන
හාල් තුනපහේ අරගෙන කන්නට ද’

අමරසේකර කවියාගේ හද සසැලෙන්නේ එතෙර සිටිය දී දකින මෙරට පුවතක් රැගත් පත්තර වාර්තාවකිනි. කවියා ම පවසන ලෙස ඔහු සැබැවින් ම සංවේදී සිදුවීමකින් සසල වන හදැත්තෙකි. විප්‍රවාසයේ සිටිය ද ඔහු ජීවත්වන්නේ ඔහුගේ සහෝදර ජනතාව සමග ය. ලන්ඩනයේ සිටින ඔහු සිත පුවත්පත් වාර්තාවකින් සසලවන්නේ ඔහු තම මව්බිමට” එහි වෙසෙන ජනතාවට ආදරය කරන්නෙකු නිසා බැවින් නොවෙ ද? කවියෙහි නිරූපිත අත්දැකීමට පසුබිම් වන දේශපාලනය ඔහු ප්‍රශ්න කරයි. එහෙත් ඔහු ප්‍රශ්නයට විසඳුම් ඉදිරිපත් නොකරයි. ඔහුගේ නෙතෙහි කඳුළක් නැගෙන්නේ හිම වැටෙන උදයක ලන්ඩනයේ අඳුරු මඟක දීය. ඒ කඳුළු අතර මේ කවිය ලියැවී ඇත. පුතු සොයා ගිය මවක ගේ චිත්ත රූපය මවන කවියා ඈ හද වූ දාරක ස්නේහය කුළුගන්වන්නේ පුතුගේ ඇඳුම් කැඩුම්” අත්ඔර්ලෝසුව” පෑන ඈ සන්තකයේ තිබෙන බව කීමෙනි. පුතු නොමැති ව ඇයට ඒ කිසිවක අගයක් වේ ද? හාල් තුනපහේ අරගෙන කන්නට ද යන්නෙන් ඇගේ පුත්‍ර ස්නේහය කෙතරම් විසාල ද යන්න පාඨකයනට හඟවයි. ලියා නිම කරන්නට බැතියක් නොවූ බැති සිත අවසන කවියක් ලෙස ලියැ වී ඇත. එය අප හද කම්පනයට පත් කරවයි. කවියකුගේ යුතුකම කුමක් ද? අමරසේකර කවියාගේ පිළිතුර කවියකුට පමණක් නොව ඕනෑ ම නිර්මාණකරුවකු විසින් ප්‍රගුණ කළ යුතු වූ උතුම් ගුණාංගයක් සිහිපත් කිරීමකි.

මම කවියෙකි හදැති සසල
ලොසත සියලු දුක වළඳන
ඒ දුක ලොවට කියනු විනා
නොමැත ම සතු අන් යුතුකම
දෙවැන්න බෙදවාචකයක්
: කවි තුනක්

අඳුරු රෑ එක දිගට
රුදුරු වෙඩි හඬ නැගිණ
සිහිනයක් කුඩු වෙමින්
ලේ ගඟක් ඇද හැලිණ

තරුණයකුගේ සිරුර
ගලන ලේ මත වැටිණ
නො එන පුතු දැන් එතැයි
බල බලා සුසුම්ලන
අසරණ වු මවකගේ
නෙත‘ඟ නැගි දුක් කඳුළු
ඉතිහාසයේ කොපුල්
මත සෙමෙන් ගලා යයි

සිය දෑතින් ගෙල සිඳගෙන
උණු ලේ වගුරාගෙන හිරු
ඇඹරි, කැරකී, පෙරළී
රකුසු අඳුර යට වැළලෙයි

මරණය කළු කොඩි නගමින්
සිය තෙද ඔද බල පෙන්වයි

දෙපසින් වෙඩි හඬ ගුගුරයි
වැලපුම් හඬ විහිදී යයි
ජීවිත පස් යට වැළලෙන
මරණය තව කොඩි ලෙලවයි

තැතිගෙන බියපත් වූ මම
ගන වනපෙත මැද තනි වූ
අසරණ මල් පෙත්තක් සේ
බලා සිටිමි අනාථ වී

කිසිදු දිනෙක මම අවියක්
නොම ලෙලදෙව්වෙමි සකි සඳ
කුරා කුහුඹුවෙකු හට මම
වධ හිංසාවක් නොකළෙමි
සැබෑ බසක් වේ මෙය නම්
එනමුත් මාගේ මතකය
බිහිසුණු රුදු රණ බිමක්ය
එහි නෙක අවි විසිරී ඇත
ගැලූ ලෙයින් නැහැ වී ඇත

විමල් දිසානායක කවියාගේ නිර්මාණයෙහි ප්‍රස්තුතය වන්නේ වෙඩි වැදීමෙන් මිය ගිය” නො එනා පුතකු පිළිබඳ සුසුම්ලන වැලැපෙන මවකගේ ශෝකාන්දරයකි. එකී සිදුවීමෙහි කථානායිකා මවගේ දුක් කඳුළු ඉතිහාසයේ කොපුල් මත සෙමින් ගලා යනු කවියා දකී. කවියා ඔහුගේ කවි බසෙහි විශේෂිත හා ඔහුට ම අනන්‍ය වූ රූපක භාවිතයෙන් නිර්මාණය කොට ඇති සංකල්ප රූප කාව්‍යානුභූතියෙහි ජීව ගුණය හා කවියාගේ පරිකල්පනයෙහි ප්‍රභාව ද මනාව විශද කරයි. හිරු රකුසු අඳුර යට වැළලෙන්නේ සිය දෑතින් ගෙල සිඳගෙනය. මරණය සිය තෙද බල පෙන්වන්නේ කළු කොඩි පෙන්වමිනි. කිසිදිනෙක අවි අත නොදැරූ කවියා තැතිගෙන බියපත් ව අනාථ වී සිටින්නේ අසරණ මල් පෙත්තක් ලෙසිනි. ඔහු අවිහිංසාවාදී වුව ඔහු මතකය දිව යන්නේ නෙක අවි විසිරී ඇති රුදු රණ බිමක් වෙතය. ගැලූ ලෙයින් නැහැවුණු අවි එහි වේ. කාව්‍ය නිර්මාණය ආරම්භයේ කවියා අප හමුවට ගෙන ආ තරුණයා අවි දැරූවෙකු ද? ඔහුගේ සිහිනය ද රුදුරු වෙඩි හඬින් අඳුරු රැයක කුඩු වී යන්නේ? ඔහු එන තෙක් බලා සිටිනා මවගේ මුහුණෙහි චිත්ත රූපය අපට පෙනේ. එහෙත් ආ පුතු යළි නො එනා බව අපි දනිමු. එකී සිදුවීමෙහි ප්‍රතිවිරෝධය කවියා අපූරුවට ප්‍රතිනිර්මාණය කරයි. මේ කවියෙහි සිදුවීම වුව බක් මස මෙරට සිදු වූ සිද්ධීන් හි එක් සිදුවීමක් ලෙස කවියා දැක ඇති බව නිසැක ය. බක් මස මෙලෙස අඳුරු අත්දැකීම් රැගත් නිර්මාණ සාහිත්‍යයක ඇරැඹුම 71 අප්‍රේල් මස තරුණ පිබිදීමෙහි බලපෑමෙන් බිහි වූවක් නොවේද යන්න අඩ සියවසක මතකය ආවර්ජනය කරන කල්හි දැනේ. හැඟේ.

බුද්ධදාස ගලප්පත්ති
[email protected]

බක් මහ මතකය කවියක රැඳුණා
advertistmentadvertistment
advertistmentadvertistment