බිමල් කතාව අවසන් කරද්දී කථානායක කඳුළු සලයි
පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක්
කොමිෂන් වාර්තාව ගැන උපදෙස් යෝජනා කරන්න ජනපතිගෙන් විශේෂ කමිටුවක්
බටලන්ද වධකාගාරයෙහි එදා සිදුකළ මහා සංහාරයන්හි සැබෑ ඝාතකයන් නීතිය ඉදිරියට පැමිණවීමටත්, එවන් සාහසික යුගයක් ඇති නොවන පරිදි කටයුතු කිරීමත් අධිෂ්ඨාන කරගෙන, “බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීති විරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යෑම පිළිබඳ පරීක්ෂණ කොමිසම් සභාවේ සම්පූර්ණ වාර්තාව” පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පවසමින් සභානායක ඇමැති බිමල් රත්නායක මහතා ඊයේ (14 දා) එම වාර්තාව සභාගත කළේය. මේ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ ඉදිරි කටයුතු සිදු කිරීම පිළිබඳ උපදෙස් යෝජනා කිරීම සඳහා ජනාධිපති විසින් විශේෂ කමිටුවක් පත් කිරීමටත්, එමෙන්ම සුදුසු අවස්ථාවක මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් පැවැත්වීමටත්, කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.
මෙම කොමිෂන් සභා වාර්තාව ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී ඊයේ (14 දා) ඉතා සංවේදීව බිමල් රත්නායක මහතා සිදුකළ කතාව, මැති ඇමැතිවරු ඉතා නිහඬව සෝ සුසුම් හෙළමින්ද, ඇතමකු කඳුළු සලමින් අසා සිටි අතර කතානායක ජගත් සමරවික්‍රම මහතාද ඉතා සංවේදීව කඳුළු පිරි දෙනෙතින් ඉතා අසීරුවෙන් වචන පිටකරමින් පාර්ලිමේන්තු කටයුතු මෙහෙයවනු දක්නට ලැබිණ.
එහිදී බිමල් රත්නායක මහතා මෙසේද කියා සිටියේය.
“ජාතික වශයෙනුත් ජාත්‍යන්තර වශයෙනුත් සැලකිය යුතු සංවාදයක් ඇතිවී තිබෙන “බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීති විරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යෑම පිළිබඳ පරීක්ෂණ කොමිසම් සභාවේ වාර්තාව” පිළිබඳව ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ ස්ථාවරය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබාදීම පිළිබඳ ඔබතුමාට ස්තුතිවන්ත වෙමි.
1977 දී හයෙන් පහක බහුතරයක් සහිතව බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව, ජනමත විචාරණයකින් තොරවම විධායක ජනාධිපති ක්‍රමය ස්ථාපිත කළ බවත්, බලයට පත්වූ 1977 වසරේම ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට හා විරුද්ධ දේශපාලන පක්ෂ සාමාජිකයන්ට එරෙහිව දැවැන්ත ප්‍රචණ්ඩත්වයක් මුදාහළ බවත්, බලය ලබාගෙන වසරක් ගතවනවාත් සමගම 1978දී ත්‍රස්තවාදය මර්දනය කිරීමේ පනත් වැනි අති මර්දනකාරී පනත් ගෙනැවිත් ප්‍රජාතන්ත්‍ර විරෝධී නීති ක්‍රියාවට නැගීම ආරම්භ කළ බවත්, 1980දී වෘත්තීය අරගලයක් කළ රාජ්‍ය සේවකයන් ලක්ෂයකගෙ රැකියා අහෝසි කළ බවත්, 1981දී යාපනයේ පැවති සංවර්ධන සභා ඡන්දය අමු අමුවේ මංකොල්ලකෑ බවත්, එහිම ප්‍රතිඵලයක් ලෙස යාපනය පුස්තකාලයට ගිනි තබා විනාශ කළ බවත්, නිසි කලට පැවැත්විය යුතු පාර්ලිමේන්තු මැතිවරණය නොපවත්වා, ජනමත විචාරණයක් නමින් ලංකා ඉතිහාසයේ දූෂිතම මැතිවරණය ලෙස මැතිවරණ නිලධාරීන් විසින්ම වාර්තා කරන ලද ජනමත විචාරණ මංකොල්ලයක් හරහා පාර්ලිමේන්තුවේ බලය පැහැරගෙන තවත් අවුරුදු හයකට නීති විරෝධීව දික් කරගත් බවත්, මෙරට ප්‍රජාතන්ත්‍රවාදී වෘත්තීය සමිති, ජනමාධ්‍යවේදීන්, ශිෂ්‍ය සංගම්, සාහිත්‍යවේදීන්, ආගමික නායකයන් මර්දනය කරමින් පැමිණ 1983 කළු ජූලියේදී දෙමළ ජනතාවට එරෙහි ජාතිවාදී සංහාරයක් එවකට පැවති ආණ්ඩුවේ නායකත්වයෙන්ම මෙහෙයවා රට දශක තුනක සිවිල් යුද්ධයකට ඇද දැමූ බවත්,
එවක එජාප ආණ්ඩුවේ ඇමතිවරුන් විසින්ම සිදු කරන ලද කලු ජූලියම යොදාගෙන ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු වාමාංශික පක්ෂ කිහිපයක් තහනම් කර ඒවායේ අයිතිවාසිකම් උල්ලංඝනය කර, ජනමත විචාරණ මංකොල්ලයට එරෙහි ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සහෝදරයා විසින් ගොනුකර කර තිබූ පෙත්සම නිෂ්ප්‍රභා වන පරිදි කටයුතු කළ බවත්, 1983න් ආරම්භ කරන ලද නීති විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්දනකාරී පාලනය, ක්‍රමයෙන් රාජ්‍ය ත්‍රස්තවාදය එකම පාලන ක්‍රමය බවට පත් කරගත් මිනීමරු ඒකාධිපති පාලනයක් ලෙස කටයුතු කළ බවත්, එවකට සිටි පාලකයන් විසින් කෙතරම් තදින් වළලා දමන්නට උත්සාහ කළද, කෙතරම් තදින් ඉතිහාසය විකෘති කර ලියා තිබුණද, ජනතාව විසින් ජනතාවගේ ඉතිහාසය ලිවීම ආරම්භ කර ඇති යුගයක් පසුගිය සැප්තැම්බර් 21 වැනිදායින් පසු උදා වී තිබෙන බව ඔබතුමාද හොඳින් දන්නා කරුණකි. එම ඒකාධිපති භීෂණකාරී 1987 – 1990 සිවිල් යුද වකවානුවේ එම ආණ්ඩුවේ මැදිහත්වීමෙන් කරන ලද දහසකුත් එකක් අපරාධ අතරින් බටලන්දේ පවත්වාගෙන යන ලද මහා පරිමාණ ඝාතකාගාරයක් පිළිබඳව සිදු කරන ලද ජනාධිපති කොමිෂන් වාර්තාව පිළිබඳ මේ වනවිට ජාතික හා ජාත්‍යන්තර උනන්දුවක් ඇති වී තිබේ. 1977 සිට 1994 දක්වා පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජයට පත්කර 1994 දී සිදු වූ ආණ්ඩු පෙරළියේ සාරය වූයේම මෙම නීති විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති භීෂණකාරී පාලනය බිඳ දමා, එම දාහත් වසරක සාපයට එරෙහිව යළි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමයි. එම දාහත් වසරක අඳුරු යුගය තුළ රාජ්‍ය ත්‍රස්තවාදය විසින් මරා දමන ලද දස දහස් ගණන් ජනතාවට යුක්තිය ඉටු කිරීමයි.
සූරියකන්ද වැනි සමූහ මිනීවළවල් පිළිබඳව ද, බටලන්ද ආදී වධකාගාර පිළිබඳව ද එවකට සිටි නායකයන් ඒ ස්ථානවලටම ගොස් හෙළිදරව් කිරීමේදී ජනතාව බලාපොරොත්තු වූයේ යුක්තිය ඉටු කිරීමයි. තම ආදරණීයයන්ට සිදු වූයේ කුමක්ද යන්න දැන ගැනීමයි. එම ඝාතකයන් නීතිය හමුවට පැමිණ වීමයි. එම කෲර පාදඩ දේශපාලන සංස්කෘතිය සදහටම අවසන් කිරීම යි. ඒ අනුව 1995 සැප්තැම්බර් මස 21 වන දින, 1948 අංක 14 දරණ පරීක්ෂණ කොමිෂන් සභා පනතේ දෙවැනි වගන්තිය ප්‍රකාරවද, නැවතත් 1995 දෙසැම්බර් මස 15 වැනිදින නව අධිකාරී පත්‍රයක් මගින්ද, 1995 දෙසැම්බර් මස 19 වන දින අංක 902/8 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින්ද මෙම, “බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීති විරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යෑම පිළිබඳ පර්යේෂණ කොමිෂන් සභාව එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ නියෝගයකින් ස්ථාපිත කෙරිණි. කොමිසමේ කාලසීමාව වරින් වර දීර්ඝ කිරීමෙන් පසුව එහි අවසන් වාර්තාව, 1998 මැයි මස 21 වැනිදා එම කොමිෂන් සභාවේ ලේකම් ජී. කේ. ජී. පෙරේරා මහතා විසින් ජනාධිපති ලේකම්වරයා අමතා යවා තිබෙන මෙම ලිපියෙන් සනාථ වේ.
උපුටා ගැනීම, “ජනාධිපති ලේකම්, බටලන්ද ජනාධිපති පර්යේෂණ කොමිෂන් සභාවට අදාළ ලිපි ගොනු හා ලේඛන යනාදිය ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට භාරදීම. මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර් තාවේ පිටපතක් ද ඇතුළුව අදාළ ලිපිගොනු හා ලේඛන යනාදිය 1998 මැයි මස 20 වැනි දින ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක වෙත මවිසින් භාර දෙන ලදී. එම භාරදීමේ ලැයිස්තුවේ පිටපතක් හා Franchise පෝරමයේ පිටපතක්ද අවශ්‍ය කටයුතු කිරීම සඳහා මේ සමග එවා ඇති බව කරුණාවෙන් දන්වමි. ජී. කේ. ජී. පෙරේරා, ලේකම්, ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව.
මෙම වාර්තාවත් එයට පදනම් වූ පිටු දහස් ගණනක සාක්ෂි සටහන්ද වැඩිපුර සමන්විත වී තිබෙන්නේ, මෙම වධකාගාර තුළ අනන්ත වධ වේදනා විඳි එමෙන්ම තමා සාක්ෂි දෙන මොහොතේදී පවා එම වධකයන් බලවත් තනතුරුවල විරාජමානව සිටියදීත්, ඔවුන්ගේ පන්ති මිතුරන් පැහැදිලිවම එකී වධකයන් රකිමින් සිටියදීත්, දහස් ගණන් පුද්ගලයන් ජීවිත අනතුරු සහිතව සිටියද එම ජීවිත අනතුරු නොසලකමින් මෙම කොමිසමට පැමිණ සාක්ෂි දීමට ඉදිරිපත් වූ නිසා බව ඔබතුමා හොඳින් දනී.
එමෙන්ම තම පියා, පුතා, සහෝදරයා, සාහසික ලෙස පැහැරගෙන ගොස් දෙතිස් වධදී ඝාතනය කිරීමේ වේදනාව හදවත පතුලේ රඳවාගෙන, එය සදහටම අමතක කිරීමේ අමාරු උත්සාහයක සිටි මනෝරානී සරවනමුත්තු ඇතුළු දහස් ගණන් අම්මාවරුන්, පියවරුන්, දූ දරුවන්, පෙම්වතුන් පෙම්වතියන්, සොයුරු සොයුරියන් එම තුවාලය නැවත නැවතත් පාරා
ගනිමින් මෙම කොමිෂන් සභා ඉදිරියට පැමිණ ක්ලාන්ත වී වැටෙමින් මෙම කොමිෂම් මගින් තම ආදරණීයන්ට යුක්තිය ඉටුවේය යන විශ්වාසයෙන් යුතුව සාක්ෂි දුන් නිසා බව ඔබතුමා පිළිගනු ඇතැයි මම සිතමි. ඒ අනුව බටලන්ද කොමිෂන් සභාවේ අවසාන වාර්තාව 1998 මැයි මස 22 දාට පෙර දිනක එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට කොමිෂන් සභාව මගින් භාරදී තිබිය යුතු බව පැහැදිලි වේ. එසේ වුවද ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට පවා පිටපතක් යවා ඇති මෙම වාර්තාවේ පිටපතක් ඇය විසින් නීතිපතිවරයාට යොමු නොකළ හේතුව එවකට අපැහැදිලි වුවත් අද අහස සේ පැහැදිලිය. එමෙන්ම වර්ෂ 2000 මාර්තු මස 16 දා රජයේ මුද්‍රණාලයාධිපති අමතමින් ජනාධිපති අතිරේක ලේකම් ඩබ්ලිව්. ජේ. එස්. කරුණාරත්න මහතා විසින්ම යවන ලද ලිපියකින් පැහැදිලි වන්නේ,
“අතිගරු ජනාධිපතිතුමියගේ උපදෙස් පරිදි වාර්තාවේ සිංහල හා දෙමළ පරිවර්තන සැසි වාර්තාවක් ලෙස මුද්‍රණය කර ප්‍රසිද්ධ කිරීම සඳහා මේ සමග එවමි. සිංහල හා දමිල පරිවර්තන අඩංගු ඩිස්කට් දෙක බැගින් හතරක් ඔබ වෙත එවා ඇත. වාර්තා මුද්‍රණය කර සිංහල පිටපත් පන්සියයක් සහ දෙමළ පිටපත් 250ක් මාර්තු 27 දිනට ප්‍රථම මාවෙත එවන ලෙස කාරුණිකව දන්වමි.”
නමුත් පුදුමයක මහත වන්නේ එම මුද්‍රිත වාර්තා 750න් එකක් හෝ නීතිපතිවරයාට යොමුකර නැති වීමය. එමනිසා මෙම වාර්තාව කැඳවූ අයම එමගින් නිර්දේශිත සැබෑ අපරාධකරුවන්ට දඬුවම් දීම හෝ එහි සඳහන් වැදගත් නිර්දේශ ක්‍රියාත්මක නොකර එය මැතිවරණවලදී දේශපාලන පන්දුවක් ලෙස යොදාගත් බව පැහැදිලිය. එමෙන්ම කොමිසමේ ප්‍රධාන චූදිතයාම අල්ජසීරාවට ප්‍රකාශ කරන පරිදි එය පාර්ලිමේන්තුවට හෝ ඉදිරිපත් කර නොමැත. ජීවිත අනතුරු දරා ගනිමින්, හදවතේ ගැඹුරුම තැන්වල පිහිටි තුවාල නැවත නැවතත් පාරා ගනිමින් සාක්ෂි දීමට පැමිණි දස දහස් ගණන් මිනිසුන්ගේ අතිශය සාධාරණ අභිලාෂයන් සහ ගැඹුරුතම මානුෂීය හැඟීම් පාවා දෙන ලද්දේ, මරා දමන ලද්දේ එපරිද්දෙන්ය. 1990 සිට වසර 35ක් ද, කොමිෂන් සභාව අරඹා වසර තිහක්ද, කොමිෂන් සභාවේ වාර්තා නිකුත් කර වසර විසිපහක්ද ගතවී ඇති මොහොතක මාගේ පක්ෂය සහ කැබිනට් මණ්ඩලය විසින් මා වෙත පරපුරක හෘද සාක්ෂිය කැටි වී ඇති මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, එය ජනගත කිරීමටත් වගකීම පවරා ඇත. අරගල කළ පරපුරක කඳුලුත්, ඔවුන් විඳි මහ පොළොව නුහූලන වධ වේදනාවන්වල ප්‍රමාණය හා සසඳද්දී ඒවාට අලගු තැබීමටවත් මෙම පිටු දෙසීයඅටකින් යුතු වාර්තාවට නොහැකිවන බව අපි දනිමු.
මෙම වාර්තාව මරා දමන ලද යෞවනයන්ගේ හා ඔවුන්ගේ ආදරණීයන්ගේ වධ වේදනාවන්ගෙන් හා සුසුම්වලින් අංශුමාත්‍රයක් නියෝජනය කරන වාර් තාවක් වුවද, එය හැකිතරම් සාධාරණව සකස් කිරීමට දායක වූ කොමිෂන් සභාවේ සියලුම නිලධාරීන් හා එයට සහයෝගය දුන් සියලු දෙනාටම ස්තුතිය පළ පළකිරීමට මෙය අවස්ථාවක් කරගනිමු. එමෙන්ම ඉතිහාසයේ පොදු ජනතාවට එරෙහිව අපරාධ කළ අයම එම පොදු ජනතාව මර්දනයෙන්, ධනයෙන් හා බලයෙන් යට කොට තිස්පස් වසරක්ම තම අපරාධ රකිමින්, තමන්ට නීතියේ රැහැනින් ගැළවී යෑමට හැකිවන පරිදි සියලු දේ සකස්කර ක්‍රියාත්මක කර තිබුණි. එහෙත්, 2024 සැප්තැම්බර් 21දා සියවස් ගණනක් මෙරට පොදු ජනයා දුටු සිහිනය සැබෑවීමත් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ අඳුරු ගබඩාවක සැඟවී තිබූ මෙම වාර්තාව 25 වසරකට පසු අද හිරු එළිය දැක තිබේ. අපගේ මාතෘ භූමියේ ආධ්‍යාත්මයේ ගැඹුරුම තැන්වල තැන්පත්ව ඇති, සියවස් ගණනක් මෙරට පොදු ජනයා දුටු සිහිනය සැබෑ කිරීමේ අරමුණ දිනවීම වෙනුවෙන් මරණය වැළඳගත් විජයදාස ලියනආරච්චි සහෝදරයා ඇතුළු පරම්පරාවක දුක්, වේදනා සහ අරගලය පිළිබඳ මහත් බරකින් යුත් මෙම වාර්තාව දැන් මම පාර්ලිමේන්තුවේ සභාගත කරමි. ඒ දකුණු ඇමරිකාවේ අන්දීස් ප්‍රදේශයේ අධිරාජ්‍ය විරෝධී ජාතික විමුක්ති ව්‍යාපාරයේ නායකයකු වූ TUPAC Amaru සිය හිස ගසන ගහලයන් ඉදිරියේ ප්‍රකාශ කළ පරිදිම, ‘මම නැවත එමි, ඒ මා වැනි මිලියන ගණනක් සමගිනි’ එම අවංක හා ප්‍රතිපත්තිගරුක මිනිසුන් හා ගැහැනුන් මරා දමා හරියටම පරම්පරාවකට පසු මිලියන ගණනක් ශ්‍රී ලාංකිකයන් එක්වී අපගේ අතීත පරම්පරාව ආරම්භ කළ සටනේ පළමු අදියර ජයග්‍රහණය කර ඇති නිසාවෙන්ම අද මෙරට ජනතාවටත් ලොවටමත් දැනගැනීමට හැකිවන පරිදි මෙම වාර්තාව ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබී තිබේ.
මෙම වාර්තාව මාතෘ භූමියේ අයිතිය පැහැරගත් ගහලයන් පිළිබඳව ඔවුන්ගේ කෲරත්වය පිළිබඳ වාර් තාවක් පමණක්ම නොවේ. මෙම වාර්තාව තම දේශපාලන උවමනාව වෙනුවෙන් රටක් යුග ගණනාවක් මුළුල්ලේ විනාශ කරන ලද්දේ කෙසේද යන්නත්, ඒ විනාශය හෙළිදරවු කිරීමට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ලැබුණු ජනවරමක් තම පංති මිතුරන් වෙනුවෙන් පාවා දෙන්නේ කෙසේද යන්නත් පිළිබඳව ජීවමාන සාක්ෂියක් ද වෙයි. එමෙන්ම විසිපස් වසරක් හිරුඑළිය පවා නොවැටෙන ගබඩාවක තිබූ වාර්තාවකට නීතියේ හා යුක්තියේ ආලෝකය ලැබීම තුළින් එම වාර්තාවේ නිර්දේශයන්ට සාධාරණත්වය ඉටුකරන්නේ කෙසේද යන්න පිළිබඳව අනාගත පරම්පරාවන්ට සාක්ෂියක් ද වනු ඇත.
1989දී රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු දස දහස් ගණනක් ඝාතනය කිරීමෙන් පසු මගේ මනසේ හා හදවතේ තැන්පත් වූ විශාල පර්වතයක් තරම් වූ බරක් තිබේ. එය මාගේ පමණක් නොව ලක්ෂ සංඛ්‍යාත අප පක්ෂයේ සාමාජිකයන්ගේ හිතවතුන්ගේ පමණක් නොව ඉතිහාසයේ නිවැරැදි පැත්තේ සිටින දස ලක්ෂ සංඛ්‍යාත සාධාරණ ශ්‍රී ලාංකිකයන්ගේද හිත්වල තැන්පත් වූ විශාල බරක් බව මම දනිමි. 2024 සැප්තැම්බර් 21 එම ගල් පර්වතයේ බරින් සැලකිය යුතු කොටසක් අප සියලු දෙනා විසින්ම නිදහස් කරගෙන තිබේ. නමුත් ඒ බර සම්පූර්ණයෙන් නිදහස් කරගත හැක්කේ ඒ සාධාරණ පොදු ජන අරගලය වෙනුවෙන් දිවිදුන් සහ අනේක විධ දුෂ්කරතාවන්ට මුහුණදුන් සෑම කෙනෙකුටම යුක්තිය හා සාධාරණත්වය ඉටු කිරීමෙනි. එය කළ හැක්කේ ජනමත විචාරණය නම් නීති විරෝධී ඡන්ද මංකොල්ලයකින් ශ්‍රී ලංකා රාජ්‍යයේ බලය පැහැරගෙන, මුළු රටම එකම විසාලා මහනුවරක් කළ බටලන්දේ ප්‍රධාන වධකයා ඇතුළු ප්‍රධාන අපරාධකරුවන්ට නීති මගින් කටයුතු කිරීමෙනි.
එමෙන්ම 1987-1990 මහා සිවිල් යුද්ධයකට මැදි වී, එහිදී විවිධ පැති ගැනීමට සිදුවූ විවිධ දේශපාලන පක්ෂවලට සම්බන්ධ හා සම්බන්ධ නැති පොදු ජනතාවට මේ මහා සිවිල් යුද්ධයේ මූල හේතුව තේරුම් කරදෙමින්, පොදු ජනයා අතර දේශපාලන පක්ෂ බේදයෙන් තොරව මාතෘ භූමිය ගොඩනැගීමට මේ මොහොතේ ඇති වී තිබෙන පොදු උනන්දුව තවත් ශක්තිමත් වන පරිදි සංහිඳියාවේ හා සමාව දීමේ යෝද දෑත්වලින් එම ගල්පර් වතය මාතෘ භූමියේ හෘද සාක්ෂියෙන් බිමට ගෙන මේ මාතෘ භූමිය සදහටම එම හෘද සාක්ෂි බරෙන් නිදහස් කිරීමෙනි.එම නිසා, මෙම මහා සංහාරයන්හි සැබෑ ඝාතකයන් නීතිය ඉදිරියට පැමිණවීමටත්, එම ඝාතකයන් තම බලය රැක ගැනීම උදෙසා කරන ලද නීති විරෝධී පාදඩ දේශපාලන උපක්‍රම නිසා එම කාලයේදී විවිධ පැති ගැනීමට සිදුවූ පොදු ජනයා අතර සංහිඳියාව හා සහෝදරත්වය තව තවත් ශක්තිමත් කිරීමටත්, නැවත කිසි දිනක අපගේ මාතෘ භූමිය තුළ එවන් සහාසික යුගයක් ඇති නොවන පරිදි කටයුතු කිරීමත් අධිෂ්ඨාන කරගෙන, මෙම බටලන්ද වාර්තාව පිළිබඳව කටයුතු සිදු කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේ.
ඒ අනුව මෙම වාර්තා නීතිපතිවරයා වෙත යොමු කිරීමටත්, මේ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ ඉදිරි කටයුතු සිදු කිරීම පිළිබඳ උපදෙස් යෝජනා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කිරීමටත්, එමෙන්ම සුදුසු අවස්ථාවක මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් පැවැත්වීමටත්, අපි බලාපොරොත්තු වෙමු. එමෙන්ම මෙම බටලන්ද කොමිෂන් වාර්තාව සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම මවිසින් පාර්ලිමේන්තුවේ සභාගත කරන අතර මන්ත්‍රීවරුන්ගේ සහ ජනතාවගේ පරිහරණය සඳහා එය මුද්‍රණය කළ යුතු යැයිද ඔබතුමාට යෝජනා කරමි. එමෙන්ම කොමිසමට අදාළ සාක්ෂි සහිත වෙළුම් විසිඅටක්ද ඉදිරියේදී මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදහස් කරමි. මාතෘ භූමිය දරා සිටින මෙම මහා හෘද සාක්ෂි බර සම්පූර්ණයෙන්ම නිදහස් කිරීම වෙනුවෙන් යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් කටයුතු කරන සෑම කෙනාටම ආරාධනා කරමින් මගේ කතාව අවසන් කරමි.
අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන