බටහිර ඖෂධවලට ගැති නොවූ ආදිවාසින්ගේ වෙද හෙදකම්

162

කැලෑ පොජ්ජේ මේ හැම එකකටම ඖෂධ පොජ්ජ තිබෙනවා

වන්නියැලැ ඇත්තන්ගේ බිරිඳ මිය ගියේ කොරෝනාවලින් කීම බොරුවක්

අපි කැලෑවෙ හිටිය කාලෙ අසනීපයක් වුණේ බොහොම කලාතුරකින්

දඹාන කොටබකිණිය ගම්මානය රට තුළ තිබෙන තවත් සංවිධිත රාජ්‍යයක් වැනිය. කාලයෙන් කාලයට පැමිණි නේක උවදුරු විපත්වලින් මේ වෙනස් සංස්කෘතික රාජ්‍ය අතීතයේ සිටම රක්ෂා වූයේ ඔවුන්ගේම දැනුම ඔස්සේය. රටේ පවතින නීතිවලට යටත්ව පාරම්පරික වරිග නීති රෙගුලාසිවලට ගරු කරමින් ගෙවන ආදිවාසීන්ගේ එම ජීවන රටාවෙන් මහා සමාජයට ගත හැකි ආදර්ශ බොහෝය. වර්තමාන ආර්ථික කඩා වැටීමේ හමුවේ ආහාර සහ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ඇති වී තිබෙන අභියෝග ඔවුන් තම දැනුම් ප්‍රමාණයෙන් කළමනාකරණය කරගෙන ඇත. එහි ඇති විශ්මිත ඉසව්ව වන්නේ නිතර ඇතිවන රෝග පීඩාවන් සඳහා ආදිවාසීන් සතුවන පාරම්පරික වෙද හෙදකම්ය.

බටහිර වෙදකමේ පිහිට අංශු මාත්‍රයක් නොතිබුණු යුගයක එදා මහ වනයේදී ආදිවාසීන් තම වරිගයාගේ නිරෝගී පැවැත්ම ආරක්ෂා කරගත්තේය. රැහේ එකෙකුට වැළඳෙන ඕනෑම රෝගයක් සුව කරගැනීම සඳහා අවැසි ඖෂධ ප්‍රතිකර්ම ඔවුන්ගේ දැනුමෙහි තිබුණේය. එම දැනුම ඔස්සේ භාවිතා කරන ඖෂධ වර්ග දියුණු බටහිර වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකර්මවලට වඩා වේගවත් සහ ඵලදායී විය. බටහිර ඖෂධ වර්ග වෙළෙඳපොළේ හිඟ වී ඇති මේ කාලයේ ආදිවාසීන්ට එම පාරම්පරික වෙද හෙදකම මිල කළ නොහැකි වටිනාකමක් එකතු කර ඇත. ශ්‍රී ලංකාවේ ජීවත්වන නබුඩ වරිගේ, ඌරු වරිගේ, තලා වරිගේ, උනාපාන වරිගේ, මොරාණ වරිගේ නමැති වරිග හතරකින් යුතු ආදිවාසී ජනයා අදටත් ඔවුන්ගේ එම පාරම්පරික වෙද හෙදකම් භාවිතා කරන්නේය. කොටබකිණිය ගමේදී ඒ දැනුමින් වරිගයා සුවපත් කරන්නේ නායකයෙක් ලෙස මහා සමාජයේ පවා සම්භාවනාවට පත් ආදීවාසී නායක වන්නියැලා ඇත්තෝය.

“ඉස්සර කාල මැච්චේ ඉඳන් ආව වෙදරාලගේ වැඩේ දැන් මන්දො කරන්නෙ මේ ඇත්තො තමයි. ඒ කාල මැච්චෙ හැම එකකටම මේ ඇත්තන්ගෙ ඖෂධ තමයි පාවිච්චි කරල මන්දො කෙරුවේ.” වරිගේ එකෙකුට ලෙඩක් දුකක් වූ විට වෙදරාළගේ වෙස් ගන්නා ආදිවාසී නායකයා එසේ කියමින් එම විශ්මිත ප්‍රතිකර්ම ක්‍රම ගැන අප සමග කතා දැමුවේය. ආදිවාසී භාෂාවෙන් සිදු වූ එම පැහැදිලි කිරීම කාටත් වටහා ගත හැකි අයුරින් මෙසේය.

බටහිර ඖෂධවලට ගැති නොවූ ආදිවාසින්ගේ වෙද හෙදකම්

මොනම ලෙඩ පොජ්ජක් හැදුණත් මේ ඇත්තො ඉස්සරවෙලාම “ගල් පේන පොජ්ජ” මන්දො කරල බලනවා. මේක පේන බැලීමක්. අර සාස්තර බලනවා වගේ එකමක් මේ. එකෙන් බලන්නෙ ඒ ඇත්තන්ට හැදිලා තියෙන්නෙ යක් පොජ්ජල ඇත්තො නිසා ඇතිවුණ එකක්ද. නැත්නම් ඇඟ පොජ්ජෙන් නැත්නම් ශරීරයෙන් ඇතිවුණ ලෙඩක් ද කියල.

“දැන් මේක යක්පොජ්ජල ඇත්තන්නෙ ලෙඩ පොජ්ජක් නම් මේ ඇත්තො මළගිය ඇත්තන්ට යදුම් පොජ්ජ මන්දො කරනවා. එහෙම කොදොයි නම් තමා ඇඟ පොජ්ජෙන් මන්ගච්චන ලෙඩක් නම් ඒ තැනට මේ ඇත්තො ඖෂධ පාවිච්චි කරන්නෙ.” වන්නියැල ඇත්තො කියන්නේය.

පේන බැලීම, යැදීම, අඩුක්කු තිබීම වැනි අභිචාර විධි එදා සිටම අද දක්වා භාවිතා වන බව ඔහු කියන්නේය. කැලේ බැද්දේ සිටියදී නම් වැඩි හරියක් රැහේ උන්ට හැදෙන්නෙ ශරීරයෙන් හට ගන්නා ලෙඩ රෝග නොව මළගිය ඇත්තන්ගෙන් සහ ප්‍රේතයන්ගෙන් ඇතිවන ලෙඩ රෝග බව ඔවුන්ගේ විශ්වාස කරන්නේය.

ගල යකුන් මඩු , හැට්ම ශාන්ති කර්මය, බුලත් කහඳ, ඇල්ලැකින්නම් මඩුව, මුක්කාලිය, අඩුක්කු මඩුව සහ කුඹ මඩුව වැනි ශාන්ති කර්ම එම නොපෙනෙන බලවේගවලින් සිදුවන රෝග පීඩාවලට ප්‍රතිකර්මයක් ලෙස ආදිවාසීන් භාවිතා කරන්නේය.

රෝග විනිශ්චය සඳහා පේන ගල ලෙසින් ඔවුන් හඳුන්වන්නේ කිලෝ විස්සක් පමණ බරකින් යුතු ගල් කැබැල්ලක් ය. ආදිවාසීන්ගේ පේන බැලීම යනු එම ගල ලී කැබැල්ලක ගැට ගසා බිම වාඩි වී එය දෙකකුල මත තබා රෝග විනිශ්චය කරන ක්‍රමයකි. එහිදී තමන්ගේ ඥාතියාගේ අසනීප තත්ත්වය ගැන ඔවුන් මළ නෑ යකුන්ට කන්නලව් කරයි. එවිට ගල චලනය වන ආකාරය අනුව එය මළගිය ප්‍රාණකාරයෙක් නිසා සිදු වූවක්ද නැත්නම් ශරීරයෙන් හටගත්තද යන්න විනිශ්චයකට පැමිණෙයි. මෙහි විද්‍යාත්මක පසුබිම ගැන අපට කුමන ප්‍රශ්න තිබුණද ඔවුහු එහි ඇති සත්‍යතාවය දැඩිව විශ්වාස කරති. විද්‍යාත්මක පසුබිම කුමක් වෙතත් අවසාන ප්‍රතිඵලයේදී රෝගියා සුවය ලැබේ නම් එය ප්‍රතිකර්මයක් ලෙස අභියෝග කළ හැකි නොවේ. ලෙඩක් දුකක් හැදුන විට රැහේ වෙද හෙද කම්, කෙම් ක්‍රම ගැන අදටත් විශ්වාස කරන ආදිවාසීන්ගේ මේ අභිචාර විධිවලට අමතරව වටිනා කියන ඖෂධවලින් සිදුකරන ප්‍රතිකර්ම ද ඕනෑ තරම් ඇති බව වන්නියලැ ඇත්තෝ කීවේය.

බටහිර ඖෂධවලට ගැති නොවූ ආදිවාසින්ගේ වෙද හෙදකම්

“කැලෑ පොජ්ජේ මේ හැම එකකටම ඖෂධ පොජ්ජ තිබෙනවා. උණක් වගේ ලෙඩක් මන්දො වුණොතින් කැලෑ පොජ්ජේ තිබෙනවා බින් නෙල්ලි. එකෙන් කළං දොළහක් අරගෙන තම්බල ගත්තාම උණ පොජ්ජ නැතිවෙනවා. හෙම්බිරිස්සාව වගේ පොඩි ලෙඩක් මන්දෝ වුණොතින් ඒ තැනට තියනවා කැඳ වර්ග. වහතැල්ල වැල් වර්ගය ඒකට හොඳ බෙහෙතක්. එළබටු, යකි නාරං කොළ තම්බල ඒ දුම ඇල්ලීම වගේ ලෙහෙසියෙන් හොයාගන්න පුළුවන් සුළු සුළු බෙහෙත් ආදිවාසීන් අතර තියනවා. හැබැයි බෙහෙත සුළු වුණාට ලොකු වැඩක් එකෙන් කෙරෙනවා. දැන් බඩේ අමාරුවක් අජීර්ණයක් වගේ හැදුණොත් මේ ඇත්තො ගන්නෙ කැලේ පොජ්ජෙ තියෙන දුණු මඬලා රුකන් පොජ්ජ. ඒක ලුණු වතුරෙන් තරමක් උරච්චි කරල කෑමට ගන්නවා. ඒ බඩේ අමාරුවක් වමනයක් වගේ දෙයක් තිබුණ නම් ඒ ඖෂධ පොජ්ජට ගුණයක් ලැබෙනවා. වීර පොත්තක් දෙහි ඇඹුලෙන් උරච්චි කරල කෑමට ගත්තත් ඒකෙන් ගුණ පොජ්ජ මන්දො වෙනවා.’‘

රැහේ එවුන්ට වෙදකම් කරන නිසා වන්නියලැ ඇත්තන්ට මේ ඖෂධවල ගුණ ඉර හඳ සේ විශ්වාස බව ඔහු කියන්නේය.

“ඒ කාල මැච්චේ මේ පළාත්වල ආණ්ඩු පොජ්ජේ ඉස්පිරිතාල තිබන්න කොදොයිනෙ. හදිස්සියේ වෙද හූරෙක් ළඟට මංගච්චන්ට කොදෝ වුණොතින් ඒ අත් බෙහෙත් තමා පාවිච්චි කරන්නෙ.”

සැම වරිග පොජ්ජකටම වෙද හූරෙක් ඒ කාලයේ සිටි බව වන්නියලැ ඇත්තන් කියන්නේය. දරුණු රෝගාබාධ සුවපත් කිරීමට පවා ඔවුන් ළඟ කල්ක ගුලි චූර්ණවලට අයත් ඖෂධ වර්ග තිබී ඇත. වන්නයලැ ඇත්තන්ගේ ලොකු අප්පිලා ඇත්තෝ එකල ආදිවාසී ජනයා අතර සිටි හොඳ වෙද හූරෙක් බව ඔහු අපට කීවේය. කැඩුම් බිඳුම් වෙදකම් ශාස්තරේ උගත් ආදිවාසී නායකයාගේ මලනුවන් සමග දැන් ආදිවාසී වරිග හතරටම සර්වාංග වෙදකම කරන්නේ වන්නියලැ ඇත්තන්ය.

බටහිර ඖෂධවලට ගැති නොවූ ආදිවාසින්ගේ වෙද හෙදකම්

ආදිවාසී නායකයාට අනුව පසුගිය සමයේ රට පුරා ව්‍යාප්ත වූ කොරෝනා වසංගත රෝගය අලුත් අමුතු රෝගයක් නොවේ ය. එම වසංගත රෝග ඔවුන් පොදුවේ හඳුන්වන්නේ “කෝලය” නැමති නමිනි. ආදිවාසී වෙදකමට අනුව කෝල වර්ග දහ අටකි. කොරෝනා යනුවෙන් බටහිර වෛද්‍යවරුන් නම් තැබූ වසංගතය එම කෝල වර්ගයට ගැනෙන එක් වසංගතයක් පමණකි.

“උණ, හතිය, සෙම වගේ කෝලේ තියෙන රෝග ලක්ෂණ තමා කොරෝනාවලත් තිබව්වෙ. මේ ඇත්තන්ගෙ ගම් පොජ්ජෙත් විසි එකකට කොරෝනා මන්දො වුණා. හැබැයි මේ ඇත්තො ඒකට ඇනව් කලාවේ : ගත්තෙ) මේ ඇත්තන්ගේ කසාය. සමහර ඇත්තො කාලයක් තිබුණ ලෙඩ පොජ්ජත් එක්ක ඌරනියේ තිබුණ ඉස්පිරිතාලෙට ගියා. හැබැයි ඒ යනකොටත් ඒ ඇත්තන්ට ගුණ පොජ්ජ මන්දො වෙලා තිබුණෙ. හදිස්සියේ වත් මොනව හරි වුණොත් කෝකටත් හොඳයි කියල තමයි දොස්තර හූරලා ඒ ඇත්තන් අරන් ගියේ. හැබැයි අනිත් කණ්ඩායම ම මේ කැලෑ පොජ්ජේ තිබුණ කොළ පොතුවලින් තමයි ගුණ පොජ්ජ මන්දො කරගත්තෙ.” වන්නියලැ ඇත්තන් එසේ ස්ථීරසාර ස්වරයෙන් කීවේය. ඒ කතාව හමුවේ මම ඔහුගෙන්,

“නායකතුමාගේ බිරිඳත් කොරෝනා කෝලය නිසා නේද මියැදුණේ? යැයි ඇසූ විට වන්නියලැ ඇත්තන් කීවේ එය බොරු ප්‍රචාරයක් කියාය.

“ඒතැන නම් බොරු ප්‍රචාරයක් මන්දො කරව්වෙ. මේ ඇත්තන්ගේ නෑනිල ඇත්තන්ට කොරෝනා නෙවේ තිබව්වේ. ඒ ඇත්නන්ට කෝණ පොජ්ජ එකොළහක් වකු ගඩුවක් බද්ධ කරල තිබුණෙ. ඊට පස්සෙ ඒ වකු ගඩුවත් නරක්වෙලා මාස අටක් විතර එකතැන ඉඳන් බෙහෙත් ගත්තෙ. ඒ ඇත්තන්ට ලෙඩ පොජ්ජවල් එකමක් නෙවේ ලෙඩ පොජ්ජවල් විසිපහමක් විතර තිබව්වා. ඒ තැනින් තමයි ඒ ඇත්තො මියබට දැම්මෙ. හැබැයි ඒ කාල මැච්චේ කොරෝනා කතාව වැඩි තැනෙන් තිබව්ව හන්දා කොරෝනාම කියල ප්‍රචාරයක් මන්දො කෙරුවා” යැයි වන්නියැලැ ඇත්තන් මේ කතා දැමීමේදී අවසානයේ අපට කීවේය.

බටහිර වෙදකමේ ප්‍රතිකාර ආදිවාසීන්ට මුල් වරට ලැබුණු බව සඳහන් වන්නේ සුදු ජාතිකයන් රට පාලනය කළ අවසන් කාලයේය. සුදු ජාතික වෛද්‍යවරයකු වූ ආර්. එල්. ස්පිට්ල් මැලේරියා වසංගතයට ගොදුරුව සිටි වැදි ජනයාට ප්‍රතිකාර කළ බව ඉතිහාසයේ සඳහන්ය. දැන් ආදීවාසී ජනයාගෙන් වැඩි දෙනෙක් ආණ්ඩුවේ ඉස්පිරිතාලයට යෑමට පුරුදුව සිටින්නේ වකුගඩු රෝගයට ගොදුරු වීම නිසාය.

“ අපේ වරිගේ වැඩිහිටියෝ වැඩි දෙනෙක් දැන් වකුගඩු රෝගයට ගොදුරුවෙලා. ගිරාඳුරුකෝට්ටේ, දෙහිඅත්තකණ්ඩිය, මහියංගණය වගේම සමහර අය පොලොන්නරුව මහ රෝහලට ප්‍රතිකාර ගන්න යනවා. අපි කැලේ හිටියා නම් මේ වගේ කිසිම ලෙඩක් හැදෙන්නෙ නැහැ. කැලෙන් එළියට ආවට පස්සේ අපි ඉල්ලුවා බෙහෙත් ඖෂධ එකතු කරන්න කැලේට යන්න අවසර දෙන්න කියලා.නමුත් ඒ සදහා අපට අවස්ථාවක් ලැබුණෙත් නැහැ.” හොඳට සිංහල කතා කරන තලා වරිගයේ ආදිවාසී හූරෙක් අපට එසේ කීවේ වර්තමානයේ ආදීවාසී ජනයාගේ සෞඛ්‍යයට අත්ව ඇති ඉරණම ගැන පහදමින්ය.

බටහිර ඖෂධවලට ගැති නොවූ ආදිවාසින්ගේ වෙද හෙදකම්

බෝවන රෝගවලට සේම බෝ නොවන රෝගවලට ද ආදිවාසීන් සතුව පුදුම හිතෙන පිළියම් තිබිණ. ඒවායින් ඔවුන්ගේ රෝග දුක්ඛ දෝමනස්සයන් පහව ගිය බව කීවේ මේ කතා දැමීමට සම්බන්ධ කරගත් ලොකුබණ්ඩා ඇත්තෝය.

“අපි කැලෑවෙ හිටිය කාලෙ අසනීපයක් වුණේ බොහොම කලාතුරකින්.”

“මේ ඇත්තන්ගෙ මී මුත්තටත් ඉස්සර ඉඳන් පරම්පරාව කෝණපොජ්ජ (අවුරුදු) තිස් හත්දාහක්ම හිටියෙ කැලේ. අපේ වැදි රැහේ ඇත්තෝ ඒ කාල මැක්කේ (කාලේ) මීපැණි, දඩමස්, කුරක්කන් වගේම බෙහෙත් පොජ්ජ කැවිල්ලෑවා. ඒ නිසා අපේ ඇත්තන්ට අපිට ඉහෙන් බහින ලෙඩක් තිබුණේ නැහැ. මගේ මුත්තා අවුරුදු 116 ක් ජීවත් වුණා. මේ ඇත්තන්ට ලෙඩක් දුකක් හැදුනම මේ ඇත්තන්ගේ දෙයියල ඇත්තන්ට කන්නලව් කරනවා. මේ ඇත්තන්ගේ දෙයියලෑ ඇත්තෝ මේ අයට රැකුම් පොජ්ජ මන්දෝ කරනවා. (ආරක්ෂා කරනවා). ගහකට නැග්ගත්, කන්දකට නැග්ගත්, මේ හැම තැනදිම මේ ඇත්තෝ දෙයියලැ ඇත්තන් සිහි කරනවා. මේ දෙයියෝ තමයි අපේ රැහේ මියගිය නෑදෑයෝ. සමහර විට මේ අය නෑ යකුන් කියලත් හඳුන්වනවා. මේ ඇත්තෝ කැලෑ පොජ්ජෙන් එළියට ආවට පස්සෙ තමයි මේ රටේ නැති ලෙඩදුක්වලට ගොදුරු වෙන්න පටන්ගත්තේ. මේ ඇත්තන්ල බලෙන් කැලයෙන් එළියට ඇදල දැම්මට පස්සෙයි මේ හැම ලෙඩ දුකක්ම. කැලේ හිටිය කාලේ අපිට සර්පයින්ගෙන් කවදාවත් හිරිහැරයක් උනේ නැහැ. උන්ගෙන් අපිව රැකගන්න යක් ගොල්ල ඉන්නවා. බොට කඳා (අලියා) කවදාවත් අපිට හිරිහැර කරල නැහැ. බොටකඳා අලියා මුලිච්චි උනොත් අපි ඌට මතුරනවා’ යැයි කියමින් ලොකුබණ්ඩා ඇත්තෝ කී කතාව අපේ රටේ ආදිවාසී පරම්පරාවට මේ රටේ දේශපාලකයන් ගත් වැරදි තීන්දු තීරණ නිසා අත්වූ ඉරණම ද එක් පැත්තකින් කියාපාන්නේය.

තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment