එකලස් කරන ලද වාහන (බට් වාහන) දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගැනීම් වාර්තා වුවත් ඒ කිසිදු සිද්ධියකට මෝටර් රථ අමතර කොටස් ආනයනයකරුවන්ගේ සංගමයේ සාමාජිකයන්ගේ සම්බන්ධතාවයක් නැතැයි එම සංගමයේ උප සභාපති එන්.ආර්. ලින්ඩ්සේ වයිට් මහතා ඊයේ (13දා) ප්‍රකාශ කළේය.
තම සංගමයේ සාමාජිකයන් නොවන පිරිස් දේශපාලන හයිය සහ දූෂිත ඇතැම් නිලධාරීන් සමග එක්ව අමතර කොටස් ගෙන්වා දූෂිත ක්‍රියාවන්ට සම්බන්ධ වී ඇති බවත් එම නිසා එම දූෂිත පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බවත් වයිට් මහතා දෙල්කඳ ප්‍රදේශයේ ඊයේ (13දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.
මෙම දූෂිත ක්‍රියාවන් නැවැත්වීම සඳහා රටේ පවතින නීති හොඳටම ප්‍රමාණවත් බවත් එහෙත් එම නීතිවලට මුවාවී දූෂිත දේශපාලනඥයන් සහ දූෂිත ඇතැම් නිලධාරීන් එක්ව බට් වාහන ජාවාරම සිදුකළ බවත් වත්මන් රජය නීතිය ක්‍රියාත්මක කරන දෙස තම සංගමය බලා සිටින බවත් ඔහු කීය. අමතර කොටස් ගෙන්වීමේදී ඇතැම් දූෂිත නිධාරීන්ට අතයට මුදල් ගෙවීමට සිදුවන බවත් එම ගණන් ද එකතු කර පාරිභෝගිකයන්ගෙන් අයකර ගැනීමට සිදුවන නිසා පාරිභෝගිකයන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවත් එයට එරෙහිව තම සංගමයට කළ හැකි කිසිවක් නොමැති බවත් ඔහු කීය. පසුගිය රජයට පෙර පැවැති රජයේ සුදුකරපටි නිලධාරියකු ලෙස චෝදනා ලැබූ නිලධාරියකු සිටි බවත් ඔහු සමග සිදුකළ සාකච්ඡාවලින් තම සංගමයේ නිලධාරීන්ට හෝ පාරිභෝගිකයන්ට කිසිදු සහනයක් නොලැබූ බවත් ඔහු කීය.
පසුගිය රජය සමයේ ද රට විරුවන් ලෙස හඳුන්වාගත් පිරිසට වාහන ගෙන්වන මුවාවෙන් සුඛෝපභෝගි වාහන රටට ගෙන්වා තියෙන බවත් ඒවා සම්බන්ධයෙන් ද විමර්ශනයක් සිදුකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ඔහු කීය. ඒ වගේම රටවල් අතර සිදුකර ඇති අනවශ්‍ය වෙළෙඳ ගිවිසුම් මගින් සියයට තුන්සියයක (300%) මුදලක් ගෙවා නොවටිනා වාහන මිලදී ගැනීමට සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් වත්මන් රජයේ බලධාරීන් දැනුවත්කිරීමට තම සංගමය ඉල්ලීම් කර ඇති බවත් ඔහු කීය. මෙහිදී සංගමයේ සභාපති බුද්ධික ද සිල්වා මහතා අදහස් දැක්වූ අතර එම සංගමයේ නිලධාරීහු කිහිපදෙනෙක් ද මාධ්‍ය හමුවට එක්ව සිටියහ.
චමින්ද සිල්වා