බඩගින්න පිපිරීමට ආසන්නයි!

441

ආසියානු කුසලානය (ටී ටුවෙන්ටි /20 යි විස්ස) සහ 12 වන ආසියානු දැල්පන්දු ශුරතාව ජයග්‍රහණය කර නැවත මව්බිමට පැමිණි ජාතික ක්‍රිකට් සහ දැල්පන්දු කණ්ඩායම් දෙක පිළිගැනීමට පසුගිය අඟහරුවාදා (13දා) පෙරවරු 6 යේ පමණ සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ- කොළඹ දක්වා මග දෙපස ජනතාව රැස්වූයේ සියලු ආර්ථික අපහසුතා අමතක කර දමාය. ආර්ථික අර්බුදය හේතුවෙන් රෝහල් පද්ධතිය බරපතළ අවුලක බවද අමුතුවෙන් කිවයුතු නැත.

සිංහල, ද්‍රවිඩ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම මාර්ගය දෙපස රැස්වීමට රජය ජනතාවට ආරාධනා කළේය. ඒ එම ජයග්‍රාහී කණ්ඩායම් දෙක පිළිගැනීමට ය.

සුළු වෙලාවකට හෝ ජනතාවගේ අවධානය වෙනතකට යොමු කරන ඕනෑම අවස්ථාවක්, ක්‍රියාවක් හෝ කණ්ඩායමක් රජයේ අනුග්‍රහය ලබනු ඇත. එහි වරදක් නැත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයේ සිටියත් අනිවාර්යෙන්ම ජනාධිපති මාධ්‍ය අංශය එවැනි නිවේදනයක් නිකුත් කරනු ඇත. එහිද කිසිදු වරදක් නැත.

ප්‍රබල පකිස්තාන් ක්‍රිකට් සහ සිංගප්පූරු දැල්පන්දු කණ්ඩායම් පරදවා ශ්‍රී ලංකාව ලබා ගත් ජයග්‍රහණ හේතුවෙන් දරා ගත නොහැකි ආර්ථික පීඩනයට යටවී ඇති ජනතාවට යම් සතුටක් ලැබුණු බව සත්‍යය. නමුත් කිසිදු සහනක් නැත.

ක්‍රිකට් සහ දැල්පන්දු කණ්ඩායම් දෙකට පිළිවෙළින් නායකත්වය දුන් දසුන් ශානක සහ ගායන්ජලි අමරසේන ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔල්වරසන් දෙමින් ජනතාව පිළිගත්තේ හද පිරි සතුටිනි.

මැති ඇමැතිවරුන් කිසිවෙකුට එවැනි පිළිගැනීමක් නුදුරු අනාගතයේදී ලැබෙන්නේ නැත. ජනතාවට නියෝජිත ප්‍රජාත්‍රන්තවාදය එපා කරවූයේ තරු පහේ දේශපාලනය බව නැවත නැවතත් අවධාරණය කළ යුතුය. ඒ පොහොට්ටු ආණ්ඩුවේ සහ ඊට පෙර කාලයක් තුළ රට කරවූ සියලුම ආණ්ඩුවල අවපාලනය නිසාය.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අගෝස්තු 31 දින පාර්ලිමේන්තුව මැති ඇමැතිවරුන් ඉදිරියේ පළ කළ පැයක දෝෂාරෝපණය අසා සිටිය එකෙකු මැති සබයේ සිටින කිසිවෙකු සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් තබා ගන්නේ නැත. එහි සැකයක් නැත.

ජාතික කණ්ඩායම් දෙක එනතුරු පැයක් දෙකක් සිටගෙන සිටීම ජනතාවට ප්‍රශ්නයක් නොවේ. සිටගෙන සිටීම හොඳ හැටි පුරුදුය. මෙම වසර පුරාම අති බහුතර ජනතාවක් ඉවසීම ප්‍රගුණ කර ඇත්තේ පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් සහ ගෑස් පෝලිම්වල දින ගණන් රස්තියාදු වීමෙනි. ඉන්ධන අහේනිය නිසා පොදු ප්‍රවාහනය නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවීය. එම තත්ත්වයද ජනතාවට තවදුරටත් ඉවසීම පුරුදු කර ඇත.

කිව් ආර් කේතය අසාර්ථකභාවයේ ලක්ෂණයක් මිස රටේ ජයග්‍රහණයක් නොවේ. ඇත්ත වශයෙන්ම එම කේතය සමස්ත ආර්ථිකය අන්තයටම පිරිහීමේ සලකුණයි. මෙතෙක් කල් කැබිනට් අමාත්‍යධුර ලැබූ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල මැතිවරණ දෙපාර්තමේන්තුව/ කොමිසම ලබා දුන් ලාංජනයට ඉදිරියෙන් කිව් ආර් කේතය යෙදීම සුදුසුය. ඒ විධායක බලතල පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරන්නේ කැබිනට් අමාත්‍යවරුන් වන බැවිනි. එවකට කැබිනට් අමාත්‍යවරුන් වූ වාසුදේව නානායක්කාර, විමල් වීරවංස සහ උදය ගම්මන්පිල 2021 සැප්තැම්බර් 17 මධ්‍යම රාත්‍රීයේ අත්සන් කළ ‘යුගදනවි’ ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට එරෙහිව රටේ ඉහළම උසාවියට ගියේය. කැබිනට් මණ්ඩලයේ සැබෑ තත්ත්වය හෙළිවිය. ඒ දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් විය. එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එම සිදුවීම සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කළානම් ‘ගෝඨා ගෝඨා ගම’ මෙහෙයුම ව්‍යර්ථ කිරීමට අවස්ථාවක් තිබිණි.

එදා ‘ගෝ ගෝඨා ගම’ ඉදිරියෙන් ක්‍රිකට් සහ දැල්පන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැගෙන එම රථ පෙළපාලිය ගමන් කළත් එම කණ්ඩායම් දෙකම ඉතාමත් ආදරයෙන් ජනතාව පිළිගනු ඇත.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයෙන් ඉවත් විය. නමුත් ජනතාව දැඩිව ඉල්ලා සිටි ආණ්ඩු ක්‍රමයේ සැබෑ වෙනසක් ලැබී තිබෙනවාද යන ප්‍රශ්නයට පිළිතුරු අමුතුවෙන් කිව යුතු නැත. අමාත්‍ය මණ්ඩලය ව්‍යවස්ථානුකූලව ප්‍රසාරණය කිරීමෙන් රටේ වර්ධනය වෙමින් පවතින අර්බුදය කිසිසේත් විසඳෙන්නේ නැත.

ජනතාව මුහුණ දෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සංවේදී ආණ්ඩුවක්/පක්ෂයක් කිසිසේත් රාජ්‍ය අමාත්‍යවරුන් 37 පත් කරන්නේ නැත. ව්‍යවස්ථානුකූලව තව රාජ්‍ය අමාත්‍යවරුන් තුන් දෙනකු සහ කැබිනට් අමාත්‍යවරුන් 12 දෙනකු පත් කිරීමේ අවස්ථාව පොහොට්ටු පක්ෂයට ඇත. ඒ ව්‍යවස්ථාව අනුව කැබිනට් අමාත්‍යධුර 30 සහ කැබිනට් නොවන අමාත්‍යධුර 40 පත් කිරීමේ අවසරය ඇති නිසාය.

බඩගින්න රට අස්ථාවර කළ හැකි බව රජය වහාම වටහ ගත යුතුය. පිපිරීම වළක්වාගත යුතුය.

‘ටී ට්වෙන්ටි’ ජයග්‍රහණය හෝ අනෙකුත් මාධ්‍ය මෙහෙයුම් හරහා තවදුරටත් වේගයෙන් වර්ධනය වෙමින් පවතින ආර්ථික-දේශපාලනික – සමාජීය අවුල කිසිසේත් යටපත් කළ නොහැක. භූමියේ සැබෑ තත්ත්වය එයයි.

මහා බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහා රැජන අභාවය සම්බන්ධයෙන් ජාතික ශෝක දිනයක් අමුතුවෙන් ප්‍රකාශ කිරීමට අවශ්‍ය නැත. ශ්‍රී ලංකාවේ මිලියන 22 වන ජනගහනයෙන් අති බහුතරයක් ජීවත් වන්නේ දිනකට නිසියාකාරව ආහාර වේලක් ගැනීමට නොහැකි තත්ත්වයකය.

රැජනගේ අභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ඇසට කඳුළු උනන්නේ අන් කිසිවක් නිසා නොව මහා බ්‍රිතාන්‍යය එදා ‘සිලෝන්’ වලට නිදහස ලබා දුන්න දුකටය.

මෑතකදී හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ (2015-2019) දුන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර හෙන්රි එඩ්වඩ් මැකලම් අපේ රටට සර්වජන ජන්ද බලය නොදිය යුතු බවට දුන් හේතු දෙක අවධාරණය කළේය. ඒ ශ්‍රී ලාංකිකයන්ට ජන්දය පාවිච්චි කිරීමට දේශපාලන ඥානයක් නොමැති බවත් එලෙසම ඔවුන්ට එසේ ජන්දය දීමට අවස්ථාවක් ලබා දුන්නොත් රටේ බලය පවුල් කීපයක් අතට පත්වනු ඇති බවත්ය.

මූල්‍ය විනය සහ නීති සම්පාදනයට වගකිවයුතු පාර්ලිමේන්තුව එම බරපතළ වගකීම් දෙකම පැහැර හැර ඇති බව විජේසිංහ දිගින් දිගටම අවධාරණය කර ඇත. මෙම තත්ත්වයට විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය වගකිව යුතු ආකාරය එතුමා (එතුමා කියා ගෞරවයෙන් ආමන්ත්‍රණය කළ හැකි දේශපාලනඥයන් සහ ඉහළ රාජ්‍ය අංශයේ නිලධාරීන් සිටින්නේ ස්වල්පයකි).

ජාත්‍යන්තර ක්‍රීඩා ජයග්‍රහණ දෙකක උණුසුම යෑමට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව මුහුණු දී තිබෙන බරපතළ අනතුර අවධාරණය කළේය. එදිනම විදේශ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි රටේ ආර්ථිකය කඩා වැටීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතීමට ශ්‍රී ලංකාවට සිදුවීම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ පැවැත්වෙන 51 වැනි සැසිවාරයේදී සඳහන් කළේය. දූෂණය, වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් රජය ගෙන ඇති සහ ගැනීමට යෝජිත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මානව හිමිකම් කවුන්සිලය දැනුවත් කළේය. ඒ මහ කොමසාරිස්වරියගේ වාර්තාවේ ‘ආර්ථික අපරාධ’ පිළිබඳව පුළුල් ලෙස සාකච්ජාවට භාජන වන තත්ත්වයක් තුළය. සබ්රි අමාත්‍යවරයා අවධාරණය කළේ ‘ආර්ථික අපරාධ’ සම්බන්ධයෙන් කථා කිරීම මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වරම ඉක්මවා යෑමක් බවයි. අමාත්‍යවරයා මහ කොමසාරිස් කාර්යාලය ගත් ස්ථාවරය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කළේය.

නමුත් අති බහුතරයක් එම ජාත්‍යන්තර අත පෙවීම ඉහළින්ම පිළිගනු ඇත. ‘ආර්ථික අපරාධ’ සම්බන්ධයෙන් ජිනීවා කළ ප්‍රකාශය විමසා බැලිය යුතු වන්නේ දූෂණය, වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කිසිදු සාධනීය පියවරක් මෙතුවක් කල් නොගැනීම යන අතිශය තීරණාත්මක චෝදනාවද සලකා බැලීමෙනි. මෑතකදී පොහොට්ටුවේ විකල්ප කණ්ඩායමේ ආචාර්ය නාලක ගොඩහේවා රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් කලක් තිස්සේ ක්‍රියාත්මක දූෂිත ක්‍රියාවලිය සහ මහාචාර්ය චරිත හේරත් රාජ්‍ය අංශය ලෝක බැංකුව බංකොලොත් ආණ්ඩුවට ගෑස් ආනයනය කිරීමට ලබා දුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 70 සහ ශ්‍රී ලංකාව යෙදවූ ඇමෙරිකානු ඩොලර් මිලියන 20 මුදලෙන් කොටසක් අවභාවිත කිරීම ජාත්‍යන්තරයේ අවධානයට ලක්වීම පුදුමයක් නොවේ. පොහොට්ටු ජාතික ලැයිස්තු මන්ත්‍රී හේරත් ප්‍රකාශ කළේ ගෑස් ගනුදෙනුවෙන් රුපියල් බිලියන 1.3 යටි මඩි ගැසූ බවයි. එම මන්ත්‍රීවරු දෙදෙනා දේශපාලන වාසි තකා බොරු පතුරනවානම් පාර්ලිමේන්තුව ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය.

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩපිළිවෙළ සැප්තැම්බර් 12 දින රෝමයේ සහ කොළඹදී නිකුත් කළ වර්තාවක අවධාරණය කළේ ජනගහනයෙන් 30% නැතහොත් මිලියන 6.3 මධ්‍යම තත්ත්වයේ සිට උග්‍ර ආහාර හිඟයකට මුහුණ දී ඇති බවයි. හදිසි ආධාර ප්‍රමාද වුවහොත් තත්ත්වය උග්‍ර විය හැකි බවට එම සංවිධාන දෙකම භාෂා තුනෙන්ම ප්‍රකාශ නිකුත් කර ඇත. මෙහිදී අවධාරණය කළ යුතු වන්නේ රජයේ ඉල්ලීම මත කරන ලද සමීක්ෂණයකින් පසුව නිකුත් කරන ලද එම වාර්තාවට අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග නොගතහොත් ආහාර අනාරක්ෂිතභාවය මෙම වසරේ ඔක්තෝබර් සිට 2023 පෙබරවාරි දක්වා තවදුරටත් වර්ධනය වනු ඇත.

මෙම වාර්තාව එලි දැක්වීම සිදුවන්නේ ශ්‍රී ලංකාවේ දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙන බවට ලෝක ළමා අරමුදල රජයට කළ අනතුරු ඇඟවීම සුව අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කළ වාතාවරණය තුළය.

මියන්මාරයෙන් පවා සුදු සහල් නොමිලේ ඉල්ලීමට ශ්‍රී ලංකාවට සිදුවීම සම්බන්ධයෙන් පැවති සියලුම ආණ්ඩු වගකිව යුතුය. මෙවැනි තත්ත්වයක් තුළ වී මිලදී ගැනීමට ආණ්ඩුවට මුදල් නැති බව පැවසූ කෘෂිකර්මාන්ත ඇමැති මහින්ද අමරවීර කැබිනට් මණ්ඩලය වෙනුවෙන් ගොවියාගෙන් සමාව ගත යුතු බව ලියුම්කරුගේ හැඟීමයි.

ආහාර අර්බුදයට ප්‍රධාන හේතු දෙක එම එක්සත් ජාතීන්ගේ සංවිධාන දෙක සඳහන් කර ඇත. එනම් (1) ආසන්න වාර දෙකකදී බෝග අස්වැන්න අසාර්ථක වීම සහ (2) විදේශ විනිමය අර්බුදය නිසා ආහාර සහ ධාන්‍ය ආනයනය සැලකිය යුතු ලෙස පහත වැටීම. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ එවකට මුදල් ඇමැති අලි සබ්රි ස්වර්ණවාහිනී සමග ජුනි මස මුල කළ සාකච්ජාව අනුව සමස්ත අර්බුදයට පොහොට්ටු ආණ්ඩුව වගකිව යුතුය.

ගොවියාට අවශ්‍ය පොහොර සහ වල් සහ දිලීර නාශක ලබා නොදීමේ පාපයට අමතරව ඉතාමත් අපහසුවෙන් ලබා ගත අස්වැන්න මිලදී ගැනීමට නිසි ක්‍රියාදාමයක් නැත. විදේශ විනිමය අර්බුදය නිසා අදටත් ක්‍රියාත්මක විදුලි කප්පාදුව ජනතාවට කරන බලපෑමේ සීමාවක් නැත. විදුලි බිල ඉහළ දමා ඇති ආකාරය අනුව නොකඩවා විදුලිය ලබා දුන්නත් එය පාවිච්චි කිරීමේ ශක්තිය බහුතරයකට නැත. වතුර බිලත් සැරය.

ඇත්ත වශයෙන්ම මෙවැනි තත්ත්වයක් යටතේ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහා ලේකම් මාර්ටින් චෝන්ගොන් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට කුමකට පැමිණියේදැයි සිතා ගත නොහැක.

ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 30% ආහාර අර්බුදයකට මුහුණ දී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර දිනකට පසුව රජය ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීමට බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණයක් පිහිටු වූ බව නිවේදනය කළේය. රජය කරුණු 06 ක් අවධාරණය කළේය. ඒවා පිළිවෙළින් (1) කිසිදු පුරවැසියෙක් ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොතැබිය යුතුයි (2) ආහාර සුරක්ෂිතතාවට කමිටු 07 ක් (3) මන්දපෝෂණය තුරන් කිරීමට ප්‍රමුඛත්වය (4) ගොවි ජනතාවට සාධාරණ මිලට පොහොර (5) මහ කන්නය සාර්ථක කර ගැනීමට කෘෂි යෙදවුම් අඛණ්ඩව (6) 2025 වන විට ආහාර අවශ්‍යතාව දේශීයව සපුරා ගැනීමට සැලසුම් ක්‍රියාත්මක කිරීම.

වර්තමාන රජය අර්බුදයේ බරපතළ ස්වභාවය තවමත් තේරුම් ගෙන නැත. දශක ගණනාවක් රට අගාදයට අද දැමූ දේශපාලන අධිකාරියට (කවුරු බලයේ සිටියත්) ආහාර සුරක්ෂිතභාවයට එල්ල වී ඇති තර්ජනය තේරුම් ගැනීමට නොහැකි වී ඇත.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment