බඩගිනි අපට ‘විසි එක’ ගිනි තපින්ටද?

306

විස්ස කටු ගෑවත් – විසිඑක රැගෙන ආවත්
මැති – ඇමති පින්වත් – දනෝ පෙර සේම වැජඹෙත්!

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ප්‍රශ්න ආර්ථිකයට පමණක් සීමා නොවන බවත් වර්තමාන දේශපාලන ක්‍ෂේත්‍රයෙහිද ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙන බවත් ඉකුත් 29 වනදා අගමැති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය. ඔහුට අනුව ඒ දේශපාලන අර්බුදය විසඳා ගැනීමට යළිත් 19 වන සංශෝධනය බලගැන්වීමට 21 වන සංශෝධනය සම්මත කළ යුතුය. අනෙක විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය. අගමැති රනිල් සඳහන් කරන විධායක බලය අඩුකිරීම මෙන්ම විධායකය විසින් දුර්වල කරන ලද පාර්ලිමේන්තුව යළි බලගැන්වීම අතිශය වැදගත් දේශපාලන යෝජනාවකි. එය මෙරටේ ජනතාව දිගු කලක් මුළුල්ලේ පුලපුලා බලා සිටි අපේක්‍ෂාවක් ඉටු කිරීමක් ලෙසද සඳහන් කළ යුතුය. මෙම විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට මෙරටේ පසුකාලීනව බලය ලබාගත් නායකයෝ ද විටින් විට දේශපාලන වේදිකාවලද මොර දුන්හ. එහෙත් ඒ සඳහා කිසිවෙකුට අවංක වුවමනාවක් නොවූ බව ඉතිහාසය තුළ සටහන්ව තිබේ. එසේ වුවද 2015 දී බලය ලබාගත් යහපාලන ආණ්ඩුව විසින් සම්මත කරන ලද 19 වැනි සංශෝධනය විධායක බලයේ ශක්තිය අඩු කිරීමට ගත් සාධනීය පියවරකි. එය යළිත් ව්‍යවස්ථාදායකය හා විධායකය අතර සීතල යුද්ධයක් බවට පත්ව රටේ පාලනය අච්චාරුවක් වූ ආකාරයද බොහෝ දෙනෙක් දනිති. 19 අහෝසි කර 20 බල ගැන්වීමට රාජපක්‍ෂ පාලනය ක්‍රියාත්මක වූයේද ඒ දේශපාලන ඇදය නැති කරීමට බව ජනතාවට පවසමින්ය. එලෙස බලය අතට ගත් රාජපක්‍ෂවරුන් විසින් රටට උදාකරන ලද්දේ කෙබඳු සමාජ ආර්ථික හා දේශපාලන සංස්කෘතියක්ද යන්න පුන පුනා කිව යුතු නොවේ. ඉතාම සැකෙවින් කිවහොත් රාජපක්‍ෂ පාලනය විසින් අරාජික බවට පත් කරනු ලැබූ රටක සරණාගතයින් ලෙස අද බොහෝ දෙනෙකුට ජීවත්වීමට සිදුව තිබේ.

බඩගිනි අපට ‘විසි එක’ ගිනි තපින්ටද?

කෙසේ වුවද අගමැති රනිල් ඉදිරියට රැගෙන එන ලද එකී දේශපාලන ප්‍රතිසංස්කරණ යෝජනා දෙක නොමැනවයි කිසිවකුට කිව නොහැක. ඒ සඳහා ස. ජ. බ. සහාය නොදෙන බව විපක්‍ෂනායක සජිත් පවසා තිබුණත් ඔහුගේම පක්‍ෂයේ වෙනත් අයෙක් ඒ යෝජනාවලිය සාධනීය එකක් ලෙසද දක්වයි. කොහොමටත් රටට යහපතක් සෙතක් සිදුවන යෝජනාවලියක් 21ට ඇතුළත් වන්නේ නම් එයට එරෙහිවීම දේශපාලන බංකොලොත්කමක් බවද මෙහිදී පෙන්වා දිය යුතුය. හැමදාමත් බල අරගලවලට මැදිවී පක්‍ෂ දේශපාලනය කිරීමට අපේ නායකයෝ වැඩි දෙනෙක්ම හපන්නු වෙති.

මෙහිදී අපට තිබෙන ප්‍රශ්නය 21 දියාරුද පදමට තිබේද යන්න නොව ඊට කලින් විසඳිය යුතු සමාජ ආර්ථික අර්බුදය යටපත් විය හැකිද යන්නයි. අස්ගිරි පාර්ශ්වයෙහි අනුනාහිමියන්ගේ අනුශාසනාව වී ඇත්තේද දේශපාලන ස්ථාවරත්වය වැදගත් කරුණක් වුවත් මේ අවස්ථාවේ ආර්ථික අර්බුදයෙන් රට මුදා ගෙන ජනතාවට සහන සැලසීම පස්සට නොදැමිය යුතු බවත්ය. ඇත්ත වශයෙන්ම අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් කරන බව සඳහන් පුවත ඇසූ බොහෝ දෙනෙක් කල්පනා කළේත් රටේ ආර්ථිකය හා දැනටමත් අනතුරු අඟවා තිබෙන ආහාර අර්බුදය පිළිබඳ කිසියම් අනාවරණයක් සිදු කෙරෙනු ඇති බවකි. දැන් මාස කීපයක් තිස්සේ ඉන්ධන හා ගෑස් පෝලිම්වලම ජීවිත ගෙවීමට සිදුවී සිටින සාමාන්‍ය ජනයාගේ දැවෙන ප්‍රශ්නය 21 වැනි සංශෝධනය නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. දිනපතා තරගයට ඉහළ යන භාණ්ඩ මිලත් ආහාර හිඟවීමෙන් එළඹිය හැකි දුර්භික්‍ෂයක අනතුරත් සිහි කරන කිසිවෙකුට මේ දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ උනන්දුවක් නොවීමද සහේතුකය. අද හව්හරණක් නොමැති පොදු ජනයා ගෙල දිගු කරමින් බලා සිටින්නේද යන්තම් හුස්මක් කටක් ගැනීමටය. එහෙත් ආණ්ඩුව රට කරගෙන යන්නේ එක් රටකින් තෙල් හා ගෑස් ටිකත්, තවත් රටකින් ඩොලර් ණයකුත් ලබා ගනිමින්ය. අපේ අසරණභාවය කෙතරම්ද යත් ඉන්දියාවේ තමිල්නාඩුව පවා අප කෙරෙහි සානුකම්පික වී අපට ආධාර කිරීමටද ඉදිරිපත්වී ඇත. තමිල්නාඩු පාලකයන් සිය වැටුපත් එහි ව්‍යාපාරිකයන්ගේ මූල්‍යමය ආධාරත් අපට එවා තිබුණි. වෙනදා නම් තමිල්නාඩුව සලකන්නේ යාපනයේ ජනතාවට පමණි. එසේම මෙරටේ දකුණේ සමහරු තමිල්නාඩු දේශපාලනය දකින්නේද අසුබවාදී ලෙසය. කුමක් වුවත් මේ හැම දෙයකින්ම තහවුරු වන්නේ අපේ ආර්ථිකය බින්දුවට බැස තිබෙන බවය. ආහාර සුරක්ෂිතතාව එහෙම පිටින්ම අනතුරක ගිලී තිබෙන බවය. අලුත් කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීරට අනුව මේ යල කන්නයද බලාපොරොත්තු රහිත එකකි. අපට රසායනික පොහොර ලබා ගැනීමටද කිසිදු ක්‍රමයක් නැති බව ඔහු කියයි. ගොවියාට වගා හානි ගෙවීමට තබා තම දෙපාර්තමේන්තුවේ සේවකයන්ගේ වැටුපවත් ගෙවීමට මුදල් නැති බවද කියන ඇමැතිවරයා අපට යෝජනා කරන්නේ මක්‍ද්fක්‍දාක්කා දණ්ඩක් හා බතල වැලක් හිටවා ගන්නා ලෙසය. ඇමැති මහින්ද අමරවීර කර ගසා තිබෙන්නේ ගෝතකරුම අමාත්‍යාංශකට බව සැබෑය. හිතුවක්කාර හා මුග්ධ දේශපාලන තීන්දුවලින් විනාශ කරන ලද කෘෂිකර්මාන්තයට යළි ජීවයක් ලබාදීම මේ මොහොතේ විශ්වකර්මයාටත් බැරි වැඩකි. ඇමැතිවරයා යෝජනා කරන වගා කිරීම් අපට අලුත් දෙයක්ද නොවේ.

කලකට පෙර මෙරටේ වගා සංග්‍රාම කීයක් තිබුණේදැයි හරියට මතක නැතත් ඩඩ්ලි සේනානායක, සිරිමාවෝ, මෙන්ම ජේ. ආර්ද රාජ්‍ය මට්ටමින්ම ඒ කටයුතු ඇරඹූ බව නම් මතක තිබේ. ඩඩ්ලි රට පුරා ගොවි බිම්වලට ගොස් ගොවි රජවරුන්ද තෝරා ඔටුනු පැලන්දවූ නායකයෙකි. එහෙත් ගොවියා එතනමය. සිරිමාවන්ගේ වගා සංග්‍රාමයද වැඩිපුර සිදු වූයේ එකල තිබුණු ගුවන් විදුලියෙහි හා පුවත්පත්වල බවද සමහරු කීහ. ජයවර්ධන පොතේ හැටියට වප්මගුල සඳහා කුඹුරටම බැස්ස නායකයෙකි. පඬුවස්නුවර දී වප්මගුල ඇරඹීමට කුඹුරට බට ජයවර්ධනට සිදුවූ අකරතැබ්බය පිළිබඳ එදා දේශපාලන අංශවලද රසබර කතා සිදුවිය. මේ හැම වගා සංග්‍රාමයක්ම බොරු සෝබන වැඩ ලෙස අවසන් වූයේද ඒවා භාරව සිටි ඇතැම් නිලධාරීන්ගේ හාස්කම්ද නිසාය. එසේ වුවද වගා සංග්‍රාම නැතිව වුවද මෙරටේ ගොවියාට වුවමනා පොහොර, වල්නාශක ද්‍රව්‍ය, බිත්තර වී ආදිය ලබාදීමේ සැලසුමක් තිබේනම් ඒ කාර්ය අධීක්‍ෂණයට ආණ්ඩුවද වුවමනා නැත. නවීන තාක්‍ෂණඥයත් එබඳු උපදේශත් ගොවීන්ට ලබා දීම ආණ්ඩුවකට කළ හැකිය. රට ආහාරවලින් ස්වයංපෝෂිත කිරීම ආර්ථික අර්බුදය හෑල්ලු කරන්නකි.

මේ අනුව අගමැතිවරයාට අප යෝජනා කරන්නේ 21ට සමගාමීව නොව ඊටත් වඩා ප්‍රමුඛතාවක් ආර්ථික අර්බුදයට හිමිවිය යුතු බවය. එසේම අගමැති රනිල් යනු මෙරටේ ඉමහත් ආන්දෝලනයට තුඩු දුන් 1978 ව්‍යවස්ථාව බලාත්මක කිරීම සඳහාද පෙනී සිටි දේශපාලනඥයෙකි. එදා එම ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනී සිටි අයගෙන්

කිසිවෙක් අද දේශපාලනයේ සිටිත්ද යන්නත් අපට කිව නොහැක. කුමක් වුවත් ජේ. ආර්ගේ ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථාදායකය මෙන්ම අධිකරණයද විධායකයට පහළින් තැබූ බව රහසක් නොවේ. ජේ. ආර්.ට එදා එල්ල වූ චෝදනාවක් වූයේ ඔහු විසින් අගවිනිසුරු ධුරයට පත් කරන ලද විනිසුරුවරයාට ඒ සඳහා සුදුසුකම් නොවූ බවය. තවත් අවස්ථාවකදී ජේ. ආර්. සංවේදී වූ කරුණක් සම්බන්ධයෙන් අධිකරණය විසින් දෙන ලද විනිශ්චයක් ඔහුගේ නොසතුටට හේතු වූ බවද කියති. එදා විනිසුරුවන්ගේ නිවෙස් ඉදිරිපිට එජාප ආධාරකරුවන් සටන්පාඨ කියමින් උද්ඝෝෂණ කරද්දී ජේ. ආර්. මුනිවත රැක සිටි බවද කියති. කුමක් වුවත් 1978 ව්‍යවස්ථාවේ අභ්‍යන්තර කථාව මෙන්ම එයින් ලංකාවේ දේශපාලන සංස්කෘතියට සිදුවූ බරපතළ හානියද සක්සුදක් සේ දන්නා පුද්ගලයන් අතර අද පාර්ලිමේන්තුවේ සිටින එකම තැනැත්තාද අගමැති රනිල් විය යුතුය. 1978 ව්‍යවස්ථාව ජේ. ආර්.ගේ ඇඟෙහි මිම්මට මැසූ ඇඳුමක් මෙන් ඔහුගේ දේශපාලන මනදොල සපුරාලීමට ගත් වංක සටකපට මෙහෙයුමක් බව එදා පාර්ලිමේන්තුව තුළ නොසිටි කෘතහස්ත දේශපාලනඥයන් දෙදෙනෙකු වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා හා ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා අවධාරණය කළහ. පසුව ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා එම ව්‍යවස්ථාව ගැඹුරු විමර්ශනයකට ලක් කරමින් අගනා ග්‍රන්ථයක්ද එළි දැක්වීය. එම කෘතියට පෙරවදනක් ලියූ ආචාර්ය කොල්වින් මෙබඳු සඳහනක් කර තිබේ.

“ශ්‍රී ලංකාවේ ධනපති පංතියේ අවශ්‍යතාවන්ට සුදුසු වන සේ සකස් කරන ලද, නොයෙකුත් ජනාධිපතික්‍රමයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල ආචාර්ය පෙරේරාගේම වචනවලින් කියතොත් අවුල් ජාලයකි. එම අවුල් ජාලය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් නොව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ඇඳුම් ආයිත්තම් පැලඳගත් ව්‍යවස්ථානුකූල ජනාධිපති ඒකාධිපතිත්වයකි.

ජයවර්ධන සිය ව්‍යවස්ථාවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ගමන සදහටම අවහිර කර ඇති බවද කොල්වින්ගේ නිගමනයයි. එනිසා අගමැති රනිල් ඒ ව්‍යවස්ථාව වෙනස් කිරීමට ඉදිරිපත්වීම එක් අතකින් තමන්ද දායකවූ ඓතිහාසික වරදක් නිවැරදි කිරීමක් වැන්න. වසර හතළිහකටත් වැඩි කාලයක් මුළුල්ලේම බලය ලබාගත් කිසිදු පක්‍ෂයකට හෝ නායකයකුට ඒ ජනතා අභිලාෂයන්ට පටහැනිවූ 1978 ව්‍යවස්ථාව අහෝසි කිරීමට නොහැකි විය. 2015 දී ඒ සඳහා දරන ලද සාධනීය ප්‍රයත්නයක් දැකගත හැකි වුවද එය යළිත් ආපසු හැරවීමට 2020 දී රාජපක්‍ෂවරුන්ගේ දේශපාලන ජයග්‍රහණයෙන් පසු පියවර ගෙන තිබුණි. 20 වැනි සංශෝධනය යනු රාජපක්‍ෂවරුන්ගේ බලය කූටප්‍රාප්තියට නැංවීමට සිදු වූ වංචනික මෙහෙයුමකැයි අද දේශපාලන අංශවලම විවේචනය වී තිබේ. ඒ අනුව 20 අනුමත කළ අයම හෝ වැඩි දෙනෙක් 21ට අත ඔසවනු ඇතැයිද අපේක්‍ෂා කෙරේ. ශ්‍රී. ල. නි.පය මෙම සංශෝධනයට සහාය දක්වන බව අධිකරණ ඇමති විජයදාසට ලිපියකින්ම දන්වා තිබේ. දෙමළ සන්ධානයේ සුමන්තිරන්ගේ විවේචනය වන්නේද 21 වැනි සංශෝධනය 19ට වඩා පසුගාමී එකක් බවය. කුමක් වුවත් අවසන් කෙටුම්පත සකස් වූ පසුව එයට සහායදීම පිළිබඳ තීරණයක් ගැනීමට දෙමළ සන්ධානය සූදානම් බවද ප්‍රකාශ කර ඇත. ජ. වි. පෙ. ස්ථාවරය වී ඇත්තේ බල දේශපාලන සූදුව වෙනුවෙන් සකස් කළ ව්‍යවස්ථා පොරය වෙනුවට කෑලි එල්ලූ සංශෝධනයන්ගෙන් තොර අලුත් ව්‍යවස්ථාවක් රටට අවශ්‍යව තිබෙන බවය. එසේම මෙම සංශෝධනයෙහිදී ජනාධිපතිවරයාට අමාත්‍ය ධුර දැරීමට ඉඩ නොතැබිය යුතුය යන යෝජනාවද ජ. වි. පෙ. ඉදිරිපත් කරයි. එසේම ජනාධිපතිවරයාගෙන් ඉවත් කරනු ලබන කිසිදු බලයක් ජනවරමක් නොමැති අගමැතිවරයකු අතට නොදිය යුතු බවද ජ. වි. පෙ. ආස්ථානය වී තිබේ. හිටපු ඇමැතිවරයකු වන ඩලස් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඉල්ලා ඇත්තේ 21ට සියලු පක්‍ෂ සහාය ලබා දිය යුතු බවය. ඕමල්පේ සෝභිත හිමියන් පවසන්නේ 21ට විරුද්ධව ඡන්දය දෙන කිසිවකුට ගමට යන්න බැරිවිය හැකි බවය. මේ ලියන මොහොත වනවිට ජනාධිපතිවරයා හා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අතර 21 පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතව තිබිණි. කුමක් වුවත් 21 පොහොට්ටුවට මෙන්ම ජානධිපතිවරයාටද තීරණාත්මක බව ඉතා පැහැදිලිය. එය මේ වනවිට බිඳ වැටෙමින් තිබෙන රාජපක්‍ෂ බලකඳවුරත් ඔවුන්ගේ දේශපාලන සමුගැනීමත් ඉක්මන් කරන ක්‍රියාන්විතයක් ද වනු ඇත.

ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බවට පත් කළ ආර්ථික ඝාතකයන් පමණක් නොව රටට බත සැපයූ ගොවියන් සරණාගතයින් කරමින් රටේ ගොවි බිම් මුඩුබිම් කළ කෘෂිකාර්මික ඝාතකයන්ද ඒ සියලු විනාශයන් සිදු කර ඇත්තේ පොහොට්ටු පාලකයන්ගේද අනුදැනුම හා අනුග්‍රහය සමග බවද දැන් හෙළිවී තිබේ. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදීත් නම් ගම් හා දින වකවානුද සහිතව අනාවරණය වූයේ පොහොට්ටුවේ මුග්ධ ආර්ථික ව්‍යසනය පිළිබඳ කථාන්තරයයි. ඒ විපතට මුදල් ඇමැති ධුරය හෙබවූ මහින්ද – බැසිල් දෙබෑයන් පමණක් නොව ආර්ථික ක්‍ෂේත්‍රයෙහි ප්‍රධාන නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් ද හේතු වූ අයුරු ඒ කාරක සභාවලදී හෙළි වී තිබේ. ඒ සියල්ලෝම මේ රට බංකොලොත් බවට පත් කර සුවසේ සිටිති. ඒ කිසිවකට හීනෙකින්වත් සම්බන්ධ නොවූ මුළු ජනතාවම කඹුරමින් ඒවාට වන්දි ගෙවති. සැබැවින්ම මෙරටේ වී ගොවිතැන ඇතුළු වගාවන් විනාශ කළ පොහොට්ටු ඇමැත්තා මෙන්ම ඔහු වටා සිටි නිලධාරීහුද අද ඒ අසුන්වලින් බැස ගොස් සිටිති. ජනාධිපතිවරයා තමන්ට වූ ප්‍රමාදය නිහතමානීව පිළිගත් නමුත් මේ විනාශයට දොර හැරදුන් ගොවි හඬට නෑසූ කන්ව සිටි බකපණ්ඩිතයන්ටද ඒ වගකීම්වලින් නිදහස් විය නොහැක. වෙනතක් තබා පොහොර බිඳක් හෝ නොලැබ චීන පොහොර නැවකට ජනතාවගේ මුදලින් වන්දි ගෙවූ නිලධාරීන්ට දඬුවම් කළ යුතු නොවේද? පාර්ලිමේන්තුවත් ජනතාවත් නොමග යවා රටම අස්ථාවර කළ පාපයද සුළුපටු එකක් නොවේ. අවසානයේදී රාජපක්‍ෂ තුන්බෑයන්ගේ ආර්ථික සෙල්ලම මුළු ජනතාවගේම බෙල්ල හිරවෙන උගුලක් බවට පත්ව තිබේ. රාජපක්‍ෂ පවුලේ දෙටු සොහොයුරු හිටපු ඇමති චමල් නිවැරදිව සඳහන් කළ ආකාරයටම තම සහෝදරයා වූ අගමැති මහින්ද අත්හැරීම ප්‍රගුණ කර තිබුණි නම් රටට මේසා විපතක් සිදු නොවීමටද ඉඩ තිබුණි. සිය කීර්තිමත් දේශපාලන අතීතයටත් සාඩම්බර නායකත්ව පෞරුෂයටත් බරපතළ හානි සිදු කරගත්තේද ඒ බලතණ්හාව නිසා බව මේ වන විට හිටපු අගමැතිවරයාට පසක් වී තිබිය හැකිය. පොහොට්ටුවේ දේශපාලන හනුමන්තලාට රට ගිනි තැබීමට ඉඩ ලැබුණේද මහින්දගේ බාල දේශපාලන ප්‍රතිචාරය නිසා බව බොහෝ දෙනෙකුගේ විවේචනය වී තිබේ.

මෙහිදී තවත් එක් දෙයක්ද කිව යුතුය. එනම් මෙරටේ අභිනව දේශපාලන සංස්කෘතියක් උදෙසා අරගලයක නිරතව සිටින ගාලුමුවදොර විරෝධතාකරුවන්ගේ ආදරයේ අරගලයට දින පනහක්ද සම්පූර්ණ වී තිබෙන බවය. රාජපක්‍ෂවරුන්ගේ දේශපාලන ව්‍යාපෘතියද නිෂ්ක්‍රීය කරමින් ගාලුමුවදොර අරගල භූමියෙන් නැගුණු හා නැගෙන කාහල නාදය නිසැකයෙන්ම අපේ දේශපාලන දිශාන්තය වෙනස් කරනු ඇත. නිදහසින් පසු මේ දක්වා ක්‍රියාත්මක වූ දූෂිත, අශිෂ්ට අමන, ජරපත් දේශපාලනයේත් ඒ දේශපාලන දෙවිවරුන්ගේත් යුගය අවසන් වී තිබේ. දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමට කැපවූ ආදරයේ අරගලකරුවන්ගේ හඬ කිසිවෙකුට යටපත් කළ නොහැක.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment