බඩු මිල ආයෙත් වැඩිවෙයි

67

විදේශ ණය ගෙවීම නතර කර තිබියදී පවා ඉන්ධන, ගෑස්, සහ බෙහෙත් වැනි අත්‍යවශ්‍ය ආනයනවලටවත් විදේශ විනිමය නොමැති වීම නිසා මේ වන විට මහජනයා මුහුණ දෙන පීඩනය සුළු පටු නොවේ. කාලයක් තිස්සේම මේ දුක ජනයා විඳිමින් තිබේ. මහජනයාට දිගු පෝලිම්වල දුක් විඳිමින් තම වටිනා කාලය ඉන්ධන ටිකක් ලබා ගැනීමට සහ ගෑස් සිලින්ඩරයක් ලබා ගැනීමට වැය කිරීමට සිදුව ඇත. රුපියල පිරිහීමත් සමග භාණ්ඩ මිල ගණන් වේගයෙන් ඉහළ යෑම ද සිදුවෙමින් තිබේ. මෙය ඉතාම හදිසියේ ඇති වූ අර්බුයක් නොවේ. මෙය බොහෝ කල් තියා දැන සිටි සහ මුල සිට නිසි පියවර, නිසි වෙලාවේ නොගැනීම නිසා අප විසින්ම වර්ධනය කරගත් අර්බුදයකි. ආර්ථිකය වේගයෙන් විශාල ප්‍රපාතයක් කරා ගමන් කරමින් සිටියදී එවකට සිටි ආර්ථික බලධාරීන් ඉතා සැහැල්ලුවෙන් කටයුතු කරමින් සිට ඇත. රටේ ආර්ථික විද්වතුන් මෙන්ම ව්‍යාපාරික ප්‍රජාව සහ වාණිජ මණ්ඩල පවා මේ ගැන විටින් විට බලවත් අනතුරු ඇඟවීම් කළේය. ආර්ථික හා මූල්‍ය කටයුතු වාර්තා කරන මාධ්‍යවේදීන් මේ අනතුර ගැන බොහෝ පෙර සිටම නොයෙක් විට ප්‍රශ්න කර සිටියත්, ඒ හැම විටම පාහේ සියලු විදේශ ණය කලට වේලාවට ගෙවන බවත් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවක් නැති බව මෙන්ම අයිඑම්එෆ් යෑමේ අවශ්‍යතාවක් නැති බව ද පිළිතුරු වශයෙන් ප්‍රකාශ විණි. දැන් සිටින ආර්ථික බලධාරීන් පවසන පරිදි දැන් අපට පැහැදිලි වනුයේ අප මුහුණ දී සිටි බලවත් විදේශ විනිමය අර්බුදය එදිනෙදා කෙටිකාලීනව සමනය කරමින් (එනම් රෝල ගසමින්) ඉතා භයානක තත්ත්වයක් කරා රට ගමන් කරමින් තිබී ඇති බවයි.

මහජන විරෝධතා සහ දේශපාලන වෙනස්කම්

මේ තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය ආනයනවලට මුදල් ගෙවීමට පවා මුදල් නොමැති තත්ත්වයට උග්‍ර වූ විදේශ විනිමය හිඟය නිසා රටේ ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම් සහ භාණ්ඩ හිඟයන් නිර්මාණය වී විශාල වශයෙන් මහජනයා පීඩාවට පත්වන තත්ත්වයක් නිර්මාණය විය. දිනපතා පැය ගණනක් විදුලිය කැපෙන්නට විය. එසේ වුවත් ඒහේතුවෙන් ඇතිව තිබූ මහජන පීඩනය එතරම් සැලකිල්ලට ගනිමින් එය විසඳීමට මුල සිටම ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගත් බවක් අපට දක්නට නොලැබිණි. ගත් ඇතැම් පියවර ප්‍රශ්නය තවත් උග්‍ර අතට පත් කළේය. ලැබෙමින් තිබූ විදේශ විනිමය ප්‍රේෂණ ආදායම් පවා විශාල වශයෙන් අඩු වීමට පටන් ගත්තේය. ඉවරයක් නැති පෝලිම්, භාණ්ඩ හිඟයන් මෙන්ම විශාල වශයෙන් භාණ්ඩ මිල ගණන් ඉහළ යන ජනපීඩක තත්ත්වය හමුවේ මහජනයා සාමාන්‍ය ආණ්ඩු විරෝධයකට එහා ගිය විශාල කෝපයකට සහ වෛරයකට පත්ව සිටියේය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ පීඩාවට පත් මහජනයා පාරට බැස රජයට එරෙහිව උද්ඝෝෂණ කිරීමට පටන් ගැනීමයි. මෙහි තීරණාත්මක ආරම්භක මග සලකුණක් වන්නේ ජනපති නිවෙසට යන මිරිහානේ පැඟිරිවත්ත පාර අසල පැවති උද්ඝෝෂණයයි. ඉන්පසු බොහෝ විරෝධතා රැසක් රට පුරා ඇති වී විශාල දේශපාලන අර්බුදයක් නිර්මාණය වූ අතර ඒ හමුවේ පැවති අමාත්‍ය මණ්ඩලයට පමණක් නොව පසුගිය මැයි 09 දින ගෝල්ෆේස් විරෝධතාකරුවන්ට සිදු කළ ප්‍රහාරයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතාට එදිනම අගමැති ධුරයෙන් ඉල්ලා අස් වීමට ද සිදු විය. එසේම එදින රාත්‍රී බොහොමයක් ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන්ගේ නිවාස ගිනිබත් කිරීම, අරලියගහ මන්දිරයට පැමිණි පිරිස්වලට පහර දී ඔවුන් පැමිණි ඇතැම් බස් රථ ගිනි තැබීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීම ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් ද සිදු විය. කෙසේ හෝ මේ වන විට රටේ සාමකාමී තත්ත්වයක් තිබේ. නව අගමැතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පත්ව සිටී. ඔහු විසින් පසුගිය මැයි 16 දින රටේ ආර්ථික තත්ත්වය ගැන ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් ද කළේය.

දුෂ්කරම කාලයට මුහුණ දීම

මේ ප්‍රකාශය සිදු කරමින් සිය ජීවිතවල දුෂ්කරම කාලපරිච්ඡේදයට මුහුණදීමට ලාංකිකයන්ට සිදුවනු ඇතැයි ද එම මාස කීපය අපහසුවෙන් හෝ දරාගතහොත් රටට යහපත් හෙටක් උදාකරගත හැකි යැයි ද අගමැති රනිල් වික්‍රමසිංහ කීවේය. මේ රට හමුවේ ඇති ආර්ථික අභියෝග ජයගැනීම සඳහා සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන්නේ යැයි ද අගමැතිවරයා කීවේය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසන පරිදි අපට ඉදිරි කාලයේ දී ජීවිතයේ දුෂ්කරම කාලයකට මුහුණ දීමට සිදුවනු ඇත. ඒ ගැන අගමැතිවරයා සිය විශේෂ ප්‍රකාශයේ දී මෙසේ කීවේය.‘ඉදිරි මාස කිහිපය ඔබට මට ජීවිතයේ දුෂ්කරම කාලපරිච්ඡේදය ගත කරන්න සිදු වේවි. එයට අපි සියල්ලෝම කැපවීමෙන් මුහුණ දිය යුතුයි.’දැනටම ජනයා ගත කරමින් සිටින්නේ ද අති දුෂ්කර කාලයකි. බඩු මිල ගණන් ද විශාල වශයෙන් වැඩි වී උග්‍ර මිල පීඩනයක් ද ඇතිව තිබේ. තවදුරටත් බඩු මිල ගණන් ඉහළ යමින් ද තිබේ. එසේම මේ වාතාවරණය හමුවේ ඇතැම් වෙළෙඳුන් ද හිතූ හිතූ මිල ගණන්වලට බඩු විකුණමින් පාරිභෝගක ජනයා ගසා කෑමට ද පටන් ගෙන ඇත. කිසිදු මිල පාලන ක්‍රියාමාර්ගයක් ද ක්‍රියාත්මක නොවේ. තවමත් නව රජය සඳහා පත්ව සිටින්නේ අගමැතිවරයා සහ ඇමැතිවරු කිහිප දෙනෙක් පමණි. එනම් යෝජිත නව අන්තර්කාලීන රජය මුළුමනින්ම පිහිටුවා අවසන්ව නැත. කෙසේ හෝ අගමැතිවරයා මේ කියන කතා අනුව අපට පැහැදිලි වන්නේ ඉදිරි කාලයේ ජනජීවිතය තවත් අති බොහෝ දුෂ්කර වනු ඇති බවයි. ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපති වීමෙන් පසු පැවැත්වූ පළමු මාධ්‍ය හමුවේදී ද ඔහු සමාන කළේ අපේ ආර්ථිකය තිරිංග නොමැතිව වේගයෙන් ප්‍රපාතයකට ගමන් කරමින් සිටින වාහනයකටය. තිරිංග යොදා එම වාහනය නවත්වා ගැනීමට උත්සාහ කිරීමේ දී එය තවත් ටිකක් පහළට ගමන් කරනු ඇති බව ද ඔහු කීවේය. ඒ අනුව නන්දලාල් වීරසිංහ මහතා කීවේ ද ආර්ථිකය හොඳ තත්ත්වයකට පත් කිරීමට පෙර තවත් දුෂ්කර තත්ත්වයකට ගමන් කරනු ඇති බවයි. ජනතාවට තවත් පීඩා විඳීමට සිදුවනු ඇති බවයි. එහෙත් තවත් කොපමණ කලක් මේ පෝලිම් තත්ත්වයට සහ අති දුෂ්කර ආර්ථික පීඩා ජනයාට විඳීමට සිදුවනු ඇති ද යන්න පැහැදිලි නැත. කෙසේ හෝ අපට එම අමාරු තත්ත්වයට මුහුණ දීමට අකැමැත්තෙන් වුවත් හිත හදා ගැනීමට සිදුවනු ඇත.

ආදායම් සහ වියදම් තත්ත්වය

අගමැතිවරයා සිය විශේෂ ප්‍රකාශයේ දී රාජ්‍ය මූල්‍ය තත්ත්වය ගැන මෙසේ කියා සිටියේය. ‘මේ මොහොතේ ලංකාවේ ආර්ථිකය ඉතාමත් දරුණු තැනකයි තියෙන්නේ. 2022 ආරම්භයේ දී පසුගිය රජයේ අයවැයෙන් රුපියල් ටි්‍රලියන 2.3ක ආදායමක් ඇති බවට පෙන්නුම් කළත් මේ වසර සඳහා සැබෑ ආදායම් අනාවැකිය වන්නේ රුපියල් ටි්‍රලියන 1.6 ක්. 2022 වසර සඳහා රජයේ වියදම රුපියල් ටි්‍රලියන 3.3 ක්. කෙසේ වෙතත් පසුගිය රජයේ පොලී අනුපාත වැඩිවීම් සහ අතිරේක වියදම් හේතුවෙන් 2022 වසර සඳහා රජයේ සමස්ත වියදම රුපියල් ටි්‍රලියන 04 කි. වර්ෂය සඳහා අයවැය හිඟය රුපියල් ටි්‍රලියන 2.4 ක් වන අතර එය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 13 කි.ඒ වගේම අනුමත ණය සීමාව රුපියල් බිලියන 3200ක්. අපි මැයි මාසයේ දෙවන සතිය වන විට රුපියල් බිලියන 1950ක් වියදම් කරලා. ඒ අනුව දළ ඉතිරිය රුපියල් බිලියන 1250ක්. අපි ඊයේ කැබිනට් මණ්ඩලයේදී තීරණයක් ගත්තා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ අනුදත් සීමාව බිලියන 3000 සිට 4000 දක්වා වැඩි කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන්න.’මේ අනුව රටේ උග්‍ර රාජ්‍ය මූල්‍ය අර්බුදයක් ද තිබේ. රජයේ ඇස්තමේන්තුගත ආදායම් අඩු වී ඇස්තමේන්තුගත වියදම් වැඩි වී අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13 ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. මේ නිසා රජයට තව තවත් ණය ගැනීමට සහ මහ බැංකුවට තවත් මුදල් අච්චු ගැසීමට ද සිදුවනු ඇත.

අගමැතිවරයා විශේෂ ප්‍රකාශය

අගමැති රනිල් සිය විශේෂ ප්‍රකාශයේදී ආර්ථිකය මුහුණ දී සිටින අභියෝගය ගැන ඇත්තම කීවේය. පසුගිය වසර දෙකහමාරේ ඔහු රට පාලනය නොකළ නිසා එය කීමට ද ඔහුට පුළුවන. එහෙත් හිටපු මුදල් ඇමැති අලි සබ්රි මහතා මෙන්ම නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද ආර්ථිකයේ පවතින ඇත්තම තත්ත්වය මීට පෙර කීවේය. එසේම නව අගමැති පත් වීමට පෙර මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් විශේෂ සටහනක් මගින් ‘රාජ්‍ය මූල්‍ය අංශයේ වර්තමාන තත්ත්වය හා ඉදිරිමග’ මැයෙන් මේ නරක අතට හැරී ඇති රාජ්‍ය මූල්‍ය තත්ත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. මේ නිසා නව අගමැතිවරයා පැමිණ මහ ලොකු අලුත් දෙයක් රටට කියා නැත.මේ ඇත්ත අප හැමෝම දන්නා දෙයකි. අප මේ ආර්ථිකය වැටී ඇති ඉතිහාසයේ නරකම තත්ත්වය ගැන මේ වන විට ඕනෑතරම් කතා අසා ඇත. එහෙත් ජනතාවට අවශ්‍ය වන්නේ ආර්ථික අභියෝගය ජය ගන්නා විසඳුම් වහාම ක්‍රියාත්මක කිරීමයි. හැමෝම ආර්ථිකයේ තත්ත්වය ගැන ඇත්ත කීවත් හරිහමන් විසඳුමක් ගැන කියන්නේ නැත. නව අගමැතිවරයා පත් වී තවමත් දින කිහිපයක් නිසා අපි ඒ ගැන බලා සිටිමු. නව අයවැයක් මෙන්ම නව ආර්ථික සැලැස්මක් ඉදිරිපත් වීමට ද නියමිතව තිබේ. අපගේ ආර්ථික අර්බුදය විසඳා ගැනීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑම එහි එක් වැදගත් පියවරක් මිස එකම විසඳුම ද නොවේ.

උද්ධමනය තවත් ඉහළට

ලෝකයේ උද්ධමනය වේගයෙන් ඉහළ යන රටවල් අතර ප්‍රමුඛ ස්ථානයකට අප පත්ව ඇත. පසුගිය අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 30 ක් පමණ දක්වා විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. ආහාර උද්ධමනය සියයට 46.6 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. එය තවදුරටත් වැඩි වනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි. මේ ගැන මහ බැංකුව මෙසේ කියයි.‘ඉදිරි මාසවලදී උද්ධමනය ඉහළ මට්ටමක පවතිනු ඇතැයි ද ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල සම්පූර්ණ බලපෑමෙහි සහාය ඇතිව ඉන්පසුව උද්ධමනය පහළ යනු ඇතැයි ද පුරෝකථනය කෙරේ.
දේශීය සැපයුම් හිඟය, ගෝලීය වෙළෙඳ භාණ්ඩ මිල ගණන් ඉහළ යෑම, 2022 වසරේ මේ දක්වා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල විශාල වශයෙන් අවප්‍රමාණය වීමේ බලපෑම් මෙන්ම සමස්ත ඉල්ලුම් පීඩනවල බලපෑම හේතුවෙන් නුදුරු කාලීනව මෙසේ මතුපිට උද්ධමනය ඉහළ යනු ඇතැයි මහ බැංකුව පුරෝකථනය කර ඇත.’
අපගේ නිල උද්ධමන අගයන් මෙසේ වේගයෙන් වැඩි වෙමින් තිබියදී ශ්‍රී ලංකාවේ සැබෑ උද්ධමනය සියයට 132 ක් පමණ දක්වා ඉහළ ගොස් ඇතැයි ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හැන්කිගේ වාර්තාවකින් පවසයි. ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කි විසින් මූල්‍ය අර්බුදයන්ට ලක් වූ රටවල්වල ආර්ථික සාධක සලකා බලමින් මෙම වාර්ෂික උද්ධමන දර්ශකය ගණනය කරයි. ඇත්ත වශයෙන්ම උද්ධමනය ගණනය කරන්නේ කිසියම් තෝරාගත් භාණ්ඩ මල්ලක ඇති භාණ්ඩවල මිල ගණන් වෙනස්කම් සලකා බැලීමෙනි. එහෙත් අප මිලදී ගන්නා භාණ්ඩ අනුව සැබෑ ලෙස අප මුහුණ දෙන උද්ධමනය නිල අගයන්ට වඩා බොහෝ වැඩි විය හැකිය. මහාචාර්ය ස්ටීව් හැන්කිගේ අගයන් අනුව අප මුහුණ දෙන උද්ධමනය නිල උද්ධමන අගයන්ට වඩා කිහිප ගුණයකින් වැඩිය. මේ නිසා ඉදිරියේ දී තවත් බඩු මිල ඉහළ ගොස් මීටත් වඩා අමාරු තත්ත්වයකට මුහුණ දීමට අප සියලු දෙනාටම සිදු වනු ඇත. ඒ ගැන අගමැතිවරයා මෙන්ම මහ බැංකු අධිපතිවරයා ද දැනටමත් පවසා ඇත.

2022 දී ආර්ථික වර්ධනයේ පසුබෑමක්

මහ බැංකුවේ අලුත්ම පුරෝකථනවලට අනුව මේ වසරේ (2022) ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සංකෝචනය වනු ඇත. මැයි මස මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති විවරණයට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ මේ වසර (2022) තුළදී ආර්ථික වර්ධනයේ පසුබෑමක් වාර්තා වනු ඇති බවයි. ඒ ගැන මහ බැංකුවේ අපේක්ෂා මෙසේය.“ප්‍රධාන ආර්ථික දර්ශක කිහිපයක් මගින් පිළිබිඹු වන ආකාරයට, පවතින සැපයුම් හිඟය, බලශක්ති සම්බන්ධ පැටලුම් සහ සමාජනොසන්සුන්තාව මගින් ආර්ථික ක්‍රියාකාරකම් සඳහා සැලකිය යුතු බලපෑමක් සිදු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මහ බැංකුවේ ඉල්ලුම් පාලනය කිරීමේ ප්‍රතිපත්ති සහ අපේක්ෂිත රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාමාර්ග මගින් ද සමස්ත ඉල්ලුම වසර තුළදී අඩු මට්ටමක පවත්වා ගැනීමට අපේක්ෂා කෙරේ. මේ අතර, උද්ධමන පීඩන පාලනය කිරීම සඳහා ගෝලීය වශයෙන් මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීම මෙන්ම නැගෙනහිර යුරෝපයේ පවතින භූ දේශපාලනික අර්බුදය මගින් අනෙකුත් අංශවලට වන බලපෑම් හේතුවෙන් ගෝලීය ආර්ථික වර්ධනය ද පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මහ බැංකු පොලී අනුපාත වෙනස් නොවේ

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ඉකුත් මැයි 18 දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්තිය නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර ඇත. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාත වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින්, සියයට 13.50 සහ සියයට 14.50 ක් ලෙස දැනට පවතින මට්ටමේ නො වෙනස්ව පවත්වා ගෙන යෑමට තීරණය කර ඇත. එසේම ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සියයට 4.00 ක මට්ටමේ නොවෙනස්ව පවතී.

පුළුල් දේශපාලන එකඟත්වයක අවශ්‍යතාව

රට වැටී ඇති අමාරු තත්ත්වය අනුව මෙය තම තමන්ගේ දේශපාලනය කරන මොහොතක් බවට පත් කරගත යුතු නැත. අපට දේශපාලනය පසුව කළ හැකිය. එනම් මෙය රටේ තත්ත්වය ඉහළට ගැනීම සදහා සියලු දෙනාම එක් වී කටයුතු කළ යුතුව ඇති මොහොතකි.මේ මොහොතේ දී රටට අවශ්‍ය කරන්නේ පුළුල් දේශපාලන එකඟත්වයක් සහිත අන්තර්කාලීන රජයකි. එය පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල එකතුවෙන් යුතු එකක් වුවා නම් වඩාත්ම හොදය. තවමත් එය එසේ වී නැත. නොයෙකුත් දේශපාලන සිදු වීම් රැසකින් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් කළේය. ‘මහ බැංකු හොරා’ සහ බැඳුම්කර මංකොල්ලයේ මහ මොළකරු ලෙස ලෙස චෝදනා කළ යහපාලන රජයේ හිටපු අගමැතිවරයාම අවසානයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට රටේ අගමැතිවරයා ලෙස පත් කිරීමට සිදු විය. ඔහු හරිහැටි රාජ්‍ය පාලනය කළා නම් අද මෙවැනි දේශපාලන තත්ත්වයක් උදා වන්නේ නැත. කෙසේ හෝ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීම සම්බන්ධයෙන් ද බොහෝ විවේචන මතු වෙමින් තිබේ. ඔහු පසුගිය ජන්දයෙන් මහජනයා ප්‍රතික්ෂේප කළ නායකයෙකි. ඔහු ද ජන්දයෙන් පැරදී අන්තිමට පාර්ලිමේන්තුවට ආවේ එම පක්ෂයට ලැබුණු ජන්ද ප්‍රතිශතයට අනුව හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට පින්සිදු වන්නටය. එවැනි අයෙක් අගමැති ලෙස පත් කිරීමේ ජනපති තීරණය බොහෝ දෙනා ප්‍රශ්න කරමින් තිබුණත් නැවතත් කිව යුතු වන්නේ මෙය දේශපාලනය කරන මොහොතක් නොව සියලු දෙනාම එක් වී රට ගොඩගත යුතු මොහොතක් බවය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment