බණ්ඩාරනායකට එපා වූ එ.ජා.ප.ය චන්ද්‍රිකාට ඕනැවෙලා ද?

511

අලුත් අවුරුද්ද විසින් කෙටි නිද්‍රාවකට පත් කරන ලද සමාජ දේශපාලන අංශවල ක්‍රියාකාරකම් සෙමෙන් ආරම්භ වෙමින් තිබේ. දින කීපයක අවුරුදු නිවාඩුව පොදුවේ බහුතර පිරිසකට කිසියම් සැනසිල්ලක් ලබාදුන් බව කිවහැකිය. එසේ වුවද ගෙවී ගිය අලුත් අවුරුද්ද පිළිබඳව දෙවිධියක ප්‍රතිචාර දැකගත හැකි විය. ආණ්ඩුවේ සමහරකුට මෙන් ජනාධිපති රනිල්ගේ සමීපතමයන්ට මෙම අවුරුද්ද සාර්ථක හා සොඳුරු අත්දැකීමක් බව පෙනුණි. එහෙත් විපක්ෂවලට මෙන්ම සමාජ ආර්ථික පීඩා විසින් තෙහෙට්ටුවට පත් කරන ලද බොහෝ දෙනකුගේ පොදු අදහස වූයේ, ණයතුරුස් වී අමාරුවෙන් අවුරුදු සිරිත් ඉටුකළ බවය. අවුරුදු සමයේ වෙළෙඳපොළ භාණ්ඩ මිල ගණන් හිතුමතයට ඉහළ දැමූ වෙළෙන්දන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වූයේ ආණ්ඩුවටය. අවුරුදු උදාවට පෙර සිටම වෙළෙඳ ඇමැතිවරයා රටටම පවසා සිටියෙ, සාධාරණ මිලකට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදෙන බවය. කොහොමටත් එබඳු කතාවලට ඇමැතිවරයා හපනෙකි. වෙළෙඳපොළට ගිය ජනතාව ආණ්ඩුවටත් වෙළෙඳ ඇමැතිටත් දෝෂාරෝපණය කළ ආකාරය ආණ්ඩුවේ නොවන රූපවාහිනී නාළිකාවල, පුවත්වලින් දැකගත හැකි විය. විශේෂයෙන් කුකුළු මස් හා බිත්තර මිල ගණන් සම්බන්ධයෙන් ගෘහණියන් හා බොහෝ දෙනකු විසින් පළකරන ලද විවේචන මේ ඇමැතිවරයා ප්‍රමුඛ පාරිභෝගික අධිකාරිය ද අවධානය යොමු කළ යුතුය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්ව සිටි නුවරඑළියේ අවුරුදු උත්සවවලට අමතරව අගමැති දිනේෂ් ගුණවර්ධන සහභාගි වූ හිසතෙල් ගෑමේ ජාතික අවුරුදු උත්සවය හැර දේශපාලනඥයන් පිළිබඳ අවුරුදු පුවත් වාර්තා නොවූ තරම්ය. වත්තල හැඳල පුරාණ රජමහා විහාරයෙහි පැවති හිස තෙල් ගෑමේ අවුරුදු සිරිත සමරන ලද්දේ අගමැතිවරයා හා රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩිගේ සහභාගිත්වයෙනි. ජනාධිපති රනිල් එක්ව සිටි නුවරඑළියේ අවුරුදු උත්සවවලදී දරුවන්ට අවුරුදු තෑගි ලබාදීමේ වැඩසටහන් ද දැකගත හැකි විය. එහෙත් අලුත් අවුරුද්ද පිළිබඳ සැබෑ චිත්‍රය බෙහෙවින් වෙනස් එකක් බව ද සඳහන් කළ යුතුය. ඇත්තටම අලුත් අවුරුද්ද පිළිබඳ තිබුණේ උද්‍යොගයකට වඩා වෙනත් ජාතික සංස්කෘතික සිරිතක් රැකගත යුතුය යන හැඟීමය. අවුරුදු වෙළෙඳාම් පෙර පරිදි සරු නොවූ බව කුඩා පරිමාණයේ වෙළෙන්දන්ගේ මැසිවිල්ල විය. රටේ තිබුණු ඉන්ධන, ගෑස්, භාණ්ඩ හිඟය දුරු වී තිබුණත් බොහෝ දෙනකුට බඩු මුට්ටු මිලට ගැනීමට වුවමනා මුදල් නොවූ බව පෙනුණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පීටර් බෲවර් පැවසූ පරිදිම වේදනා සහගත අත්හදා බැලීම් නිසා පීඩාවට පත්ව සිටින සමාජයක යථාර්ථය උත්සවවලින් වසන් කළ නොහැකිය. විශේෂයෙන් බදු බර නිසා තුන්කුදු වී සිටින රාජ්‍ය සේවකයන්ට මෙන්ම ජනතාවට අවුරුදු සතුට ඉතා කුඩා කාල වේලාවකට සීමා වූවකි. පෙරටුගාමි පක්ෂයේ පුබුදු ජාගොඩ මාධ්‍යයකට පවසා තිබුණේත් ‘කන්න නැති රටක මොන අවුරුදු ද?’ යනුවෙනි.

ආර්ථික හා සමාජ විද්‍යා යන ක්ෂේත්‍ර දෙකෙහිම බොහෝ විද්වතුන් විසින් ද අවධාරණය කරන ලද්දේ ආර්ථික අර්බුදය නිසා සංස්කෘතික උත්සව පැවැත්වීමේ සම්ප්‍රදාය අභියෝගයට ලක්ව තිබෙන බවය. රටට දරාගත නොහැකි තරම් ප්‍රමාණයක ණය කන්දක් ඉතිරි වී තිබේ. පරම්පරා ගණනාවක්ම ණයකාරයන් බවට පත් කළ ආණ්ඩු සහ ඒවායේ ඇමති ධුර ඉසිලූ කිසිවකුට ඒ සම්බන්ධ වගකීම්වලින් නිදහස් විය නොහැක. බලය, වරදාන හා වරප්‍රසාදවලට යට වූ දේශපාලනඥයන් බහුල රටක හෙට දවස පිළිබඳ කිව හැක්කේ කුමක් ද? ජනාධිපති රනිල් රටේ සමාජ ආර්ථික අරබුදවලට විසඳුම් දෙන විශ්වකර්ම චරිතයක් ලෙස කෙරෙන ප්‍රශස්තිවල ස්වරූපය කෙබඳු වුවත් අද මේ රට ක්‍රියාත්මක වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස්, යෝජනා, මෙහෙයුම් අනුවය.

ආණ්ඩුව දැනටමත් එකඟ වී සිටින පරිදි විදුලිබල, ටෙලිකොම්, රක්ෂණ වැනි ප්‍රමුඛ රාජ්‍ය ආයතන ගණනක්ම පෞද්ගලීකරණය වීම නිසැකය. මහජන සේවාවන් මෙන්ම අධ්‍යාපනයේ ද රාජ්‍ය වගකීම් පෞද්ගලික අංශයට ලබාදීම ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවය. විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය ද සාර්ථක වී නැති බව සමහරු කියති. ඒ අතර වරාය, ගුවන්තොටුපළ, බලශක්ති වැනි දේවල් ඩැහැගැනීමට ඉන්දියාව ඇතුළු තවත් රටවල් බලා සිටින බවට ප්‍රකට චෝදනාවක් ද තිබේ. වෘත්තීය සංවිධාන ගණනාවක්ම ඒ ප්‍රයත්නය පරාජය කරන බව ද පවසා ඇත. එපමණක් නොව, මෙම අලුත් අවුරුද්දෙන් පසු ඒ සම්බන්ධයෙන් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹෙන බව ද ඔවුන් විසින් පවසනු ලැබ තිබේ.

අපට පෙනෙන ආකාරයට නම් දැනට විපක්ෂයේ ඉදිරියෙන්ම සිටින ස.ජ.බ. හෝ ජා.ජ.බ. රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව බරපතළ මැදිහත්වීම් සිදු නොකරයි. ඇතැම් විට මේ පක්ෂ දෙකෙහි නායකයන් වන සජිත් හා අනුර කුමාර යන දෙදෙනාගේ මුහුණට මුහුණ විවාදයෙන් මේවාට පිළිතුරු ලබාගත හැකිය. කුමක් වුවත් මේ ආර්ථික විවාදය සඳහා තවම නිශ්චිත දිනයක් හෝ ස්ථානයක් ප්‍රකාශයට පත්ව නැත. අනෙක් අතට ඉතා ඉක්මනින් සිදුවේ යැයි අනුමාන කෙරෙන දේශපාලන සන්ධානවලින් ද මේ ප්‍රශ්න පිළිබඳ ස්ථාවරය කුමක්දැයි ප්‍රකාශයට පත්ව නැත. ස.ජ.බ. හා නිදහස් ජනතා සභාවේ කීපදෙනෙක් සන්ධානගත වූයේ අලුත් අවුරුද්දටත් කලින්ය. මහාචාර්ය ජී.ඇල්., ඩිලාන්, නාලක ගොඩහේවා, වසන්ත යාපා ඇතුළු හයදෙනෙක් එයට එක්වෙද්දී එහි කැපීපෙනෙන චරිතය වූ ඩලස් සමග තව කීපදෙනෙක් වෙනම සිටිති. මේ සන්ධානගත වීම ගැන මහාචාර්ය චරිත පළ කළ අදහස උත්ප්‍රාසය දනවයි. ඔහු පැවැසුවේ, නිදහස් ජනතා සභාවේ ඇඳුම් ආයිත්තම් ද රැගෙන පිරිසක් ස.ජ.බ.ය සමග සන්ධානගතව සිටින බවකි. ඒ අතර ඩලස් ඇතුළු අනික් කීපදෙනා විමල් සමග සන්ධානගත වන බවක් ද මාධ්‍යවල පළ විය.

බණ්ඩාරනායකට එපා වූ එ.ජා.ප.ය චන්ද්‍රිකාට ඕනැවෙලා ද?

මේ සන්ධාන කුමක් සඳහාද? ඒවා හුදු බලය ලබාගැනීමටත් යළි පාර්ලිමේන්තුවට පත්වීමටත් අටවා ගනු ලබන දේශපාලන කෙමනක් පමණක් වන්නේ ද? ඇත්තටම මේ ආණ්ඩුව ගෙදර යවා බලයට එන ජනතාවාදී සන්ධානයක් ගොඩනැඟේ ්ද යන්න තවමත් කිව නොහැක. ආර්ථික අර්බුදය පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදයට ද තර්ජන එල්ල වෙමින් තිබෙන වාතාවරණයක් තුළ ඒවාට සාර්ථකව මුහුණ දෙන ප්‍රබල සන්ධානයක් රටට වුවමනා බව අවධාරණය කළ යුතුමය. මේ සන්ධාන උද්‍යොගය පොදුජන පෙරමුණට හෙවත් පොහොට්ටුවට ද දැඩිව දැනී තිබෙන්නකි. අලුත් අවුරුද්දට පෙර ජනාධිපති රනිල් හා පොහොට්ටු මේ නිර්මාතෘ බැසිල් අතර දීර්ඝ වශයෙන් මේ පිළිබඳ සාකච්ඡා සිදු වූ බවක් ද වාර්තා වේ. එහිදී බැසිල්ගේ යෝජනාව වී ඇත්තේ ස.ජ.බ.යේ ප්‍රබලයන් කීපදෙනකු හෝ දිනාගත යුතු බවය. එසේම මැතිවරණය කුමක්දැයි තීරණය කිරීම ද ජනාධිපති රනිල්ට පැවරිය යුතු බව ද බැසිල්ගේ අදහස වී ඇත.

මේ නිල නොවන කතා බහ සිදුවෙද්දී ශ්‍රීල.නි.ප. සභාපති සටන පිළිබඳව ද කාගේත් අවධානය යොමුව ඇත. චන්ද්‍රිකා – මෛත්‍රී ගැටුමේ ගිනි පුපුරු විහිදෙමින් තිබේ. ඩාලි පාරේ ශ්‍රීල.නි.ප මූලස්ථානය ඉබි යතුරු දමා වසා තිබේ. සමහර ඉබි යතුරු චන්ද්‍රිකා පාර්ශ්වයේ තිබෙන අතර මෛත්‍රීගේ කණ්ඩායම විසින් දමන ලද ඉබි යතුරු ද වේ. මෙම 18 වැනිදා තෙක් මෛත්‍රීගේ තහනම ද වලංගුය. ඉන්පසු කුමක් සිදුවිය හැකි ද? දේශපාලන ක්ෂේත්‍රවල සිදුකෙරෙන කතා බහ අනුව නම් චන්ද්‍රිකා මේ සටනට එක්ව ඇත්තේ ශ්‍රීල.නි.ප.ය හා එ.ජා.ප.ය පූට්ටු කිරීම සඳහාය. චන්ද්‍රිකාට ඒ සඳහා අයිතියක් තිබෙන බව හිටපු ජනාධිපතිවරයකු මෙන්ම ශ්‍රීල.නි.ප.යේ හිටපු නායකයකු ද වන මහින්ද පවසා තිබේ. ශ්‍රීල.නි.ප.යට ඇති ලේ නෑකම විනා චන්ද්‍රිකා විසින් එම පක්ෂයට කරන ලද සේවය පිළිබඳවත් විවේචන තිබේ. ඇය පක්ෂය කඩාගෙන කීපවරක් පිටතට ද ගොස් ඇත. එහෙත් ජයවර්ධන යුගයේ බින්දුවට වැටී තිබුණු ශ්‍රීල.නි.ප.ය දේශපාලන බලවේගයක් ලෙස පෙරට ගැනීමට චන්ද්‍රිකාට හැකි විය. චන්ද්‍රිකා හා මහින්ද අතර වූ විරසකය නිසා ඇය පසුබැස ගියත් 2015දී යහපාලන ආණ්ඩුව ගොඩනඟා මහින්ද ගෙදර යැවීමට ද චන්ද්‍රිකා කැප වූ බව රහසක් නොවේ. එදා ශ්‍රීල.නි.ප. මහ ලේකම්ව සිටි මෛත්‍රිපාල ඉන් ගලවා ගත් ඇය ඔහුට ජනාධිපති පුටුවට යෑමට ද උපකාර කළාය. එහෙත් අද ඔවුහු පසමිතුරුව සිටිති.

ශ්‍රීල.නි.ප.ය එ.ජා.ප.යට එක් කිරීමට චන්ද්‍රිකා මැදිහත්ව සිටින බවට ප්‍රබල චෝදනාවක් ද ඇත. එහෙත් මෙය හුදු එබඳු සරල දේශපාලන ගනුදෙනුවක් නොවන බව අපට හැඟෙයි. මේ වනවිට උද්ගත වී තිබෙන දේශපාලන වාතාවරණය තුළ ජනාධිපති රනිල්, හිටපු ජනාධිපති මහින්ද එකම කඳවුරකට ගොනු වෙමින් සිටිති. චන්ද්‍රිකා අයත් වන්නේ ද ඒ කඳවුරටමය. ඇත්ත වශයෙන්ම ඇගේ පියා විසින් ධනපති කඳවුරට එරෙහිව ගොඩනඟන ලද ශ්‍රීල.නි.ප.ය අද ඇය යළිත් ඒ කඳවුරට සම්බන්ධ කිරීම ද දෛවයේ සරදමක් වැන්න. එදා එ.ජා.ප.යෙන් ඉවත් වූ බණ්ඩාරනායකට පනස්හයේ පොදුජන යුගයක් ඇරඹිය හැකිවිය. එදා එ.ජා.ප.ය ලද ඛේදනීය පරාජයේ රිදුම්, වේදනා 1977 දීත් ජේ.ආර්. ජයවර්ධනට තදින් දැනුණි. කුමක් වුවත් අද චන්ද්‍රිකා තම කඳවුරත් එය නියෝජනය කරන සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටීම පුදුමයක් නොවේ. එළැඹෙන කවර මැතිවරණයකදී වුවද දශක ගණනාවක් පැවති සාම්ප්‍රදායික බල හුවමාරුව සිදු නොවන බව චන්ද්‍රිකා ද දන්නා කරුණකි. රනිල්ට සහාය දීමට මහින්ද සිටියත් මේ තීරණාත්මක මොහොතේ චන්ද්‍රිකා උනන්දු වන්නේ තම කඳවුරට අයත්ව තිබුණු බලය රැකගත හැකි ද යන කරුණ විනා අන් දෙයක් ගැන නොවේ. ස.ජ.බ.ය මෙන්ම ජා.ජ.බ.ය ද අද තම කඳවුරේ පසමිතුරෝය. යම් හෙයකින් ස.ජ.බ.ය හා එ.ජා.ප.ය අතර පෑහීමක් සිදුවුවත් ජා.ජ.බ.ය සමග නම් එබඳු එකඟතාවකට සුළු හෝ ඉඩක් නැති බව ද චන්ද්‍රිකා දනී.

‘ගෝඨාභය ගෙදර යැවූ ජනතා විරෝධය මැඬලූ ජනාධිපති රනිල්ට වුවද එබඳු ජනතා විරෝධයක් යළි මර්දනය කළ නොහැකි බව චන්ද්‍රිකා මෙන්ම මහින්දත් දනිති. මේ දේශපාලන ඉරණම වෙනස් කළ නොහැකි නියතයක් වුවත් එයට මුහුණ දිය හැකි ජනබලයක් ලබාගැනීමට මහින්දට, රනිල්ට මෙන්ම චන්ද්‍රිකාට ද අවශ්‍ය වේ. බැසිල්ගේ මහ මැතිවරණය පෙරට ගැනීමේ හෙවත් කලින් පැවැත්වීමේ යෝජනාව තුළ ඇත්තේ ද ඒ අපේක්ෂාව බව අමුතුවෙන් කිව යුතු නැත. යළි ශ්‍රීල.නි.ප.යෙන් තම කඳවුරට සුළු හෝ අභියෝගයක් වීමට ඉඩ දිය යුතු නැති බව චන්ද්‍රිකා නිවැරදිව තේරුම් ගෙන සිටියි. ඇය අධිකරණයට ගොනු කළ පෙත්සමේ එන චෝදනා සුළු පටු නැත. කුමක් වුවත් මේ සියලු ගැටුම් අර්බුද සමනය වුවත් ඔවුන්ගේ කඳවුරට බලය ලබාගත නොහැකි බව ද ඔවුහු දනිති.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment