ආරාධනාව අගමැතිගෙන්
බණ්ඩලා කුණ්ඩසාලේ යෝධ මිනිස්සු
වත්මනේදී අපේ බදු මුදලින් ගොඩනැගෙන ‘පොදු වැසිකිළියක් ‘විවෘත කිරීමක් පවා සාමාන්‍ය ජනතාවට ‘කිට්ටු “ විය නොහැකි අන්දමේ ප්‍රභූවරුන්ට පමණක් සීමාවූ එකකි. සාමාන්‍ය ජනතාවට තබා එවැනි ඉදිකිරීමකට සම්බන්ධ වූ ‘බාස්’ මහතෙකුට පවා එවැන්නකට සහාභාගි වීමේ අවස්ථාවක් ලැබෙන්නේ නැත. එහෙත් අතීතයේදී එවැනි අවස්ථා ලද ‘සාමාන්‍ය’ මිනිසුන් ගැන ඕනෑ තරම් උදාහරණ ඇත. මේ එවැනි කතාවකි.
1953 වර්ෂයේදී වැඩ අවසන් වූ කැලණි පාලම ජනතා අයිතියට පත් කිරීම සඳහා සැලසුම් කර තිබුණේ එවකට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ සුරතනි. මේ පාලම විවෘත කරන දිනයේ විශාල ජනකායක් එක්රැස්ව සිටි අතර අග්‍රාමාත්‍යවරයා එම අවස්ථාවට පැමිණ ප්‍රධාන වේදිකාවට පැමිණීමෙන් අනතුරුව සිදුවූයේ කිසිවෙකුටත් සිතාගත නොහැකි, අදහාගත නොහැකි අතිශය විශ්මජනක වූ සිදුවීමකි. අගමැති වරයාගේ ආරාධනයෙන් මේ සුවිශේෂී මොහොතේ පාලම විවෘත කිරීමේ අවස්ථාවේ පීත්ත පටිය කපා කැලණි පාලම ජනතා අයිතියට පත් කිරීම සඳහා පැමිණියේ හැඩිදැඩි දේහධාරී දැවැන්ත වූ මිනිසෙකි. ඔහු පාලමේ කම්කරුවෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකු වීම හැමෝම පුදුමයට පත් කරවන සිදුවීමක් විය.
වැඩම කර සිටි මහා සංඝරත්නයට ගෞරව කරමින් ඔහු අගමැතිවරයා සමීපයට පැමිණියේය. එක්රැස්ව සිටි සියලු දෙනා මොහොතකට අන්දමන්ද කරමින් අගමැති වරයාගේ ආරාධනයෙන් මේ සුවිශේෂී කම්කරුවා පාලම විවෘත කිරීමේ පීත්ත පටිය කපා කැලණි පාලම ජනතා අයිතියට පත් කළේ සියල්ලන්ගේ අත්පොළසන් හඬ මධ්‍යයේ ය. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ චරිතයේ උතුම් මානව හිතවාදී වූ ගුණය හා සැබෑ ජනතා නියෝජිතියකුගේ ලක්ෂණ පෙන්නුම් කළ මෙම සිදුවීම ඉතිහාසගත ව ඇත්තේ රන් අකුරිනි.
මහා පරිමාණ වූ යෝධ රජයේ සංවර්ධන ව්‍යාපෘතියක් මෙලෙස විවෘත කළ ප්‍රථම ශ්‍රී ලාංකික සාමාන්‍ය පුරවැසියා වීමේ භාග්‍යය අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක අතින් එදා උදා කර ගනු ලැබුවේ කන්ද උඩරට සෙංකඩගල පුරවරයේ මහනුවර කුණ්ඩසාලේ සිරිමල්වත්ත ප්‍රදේශයේ විසූ පදිංචිකරුවෙකු වූ මහර බණ්ඩාරගේ ඩිංගිරි බණ්ඩා නමැති අපූරු මිනිසායි. ඔහු එවකට කැලණි පාලම් ව්‍යාපෘතියේ ප්‍රධාන පෙදරේරුවා ලෙස සේවය කරමින් සිටියේය.
මේ අපූරු මිනිසාගේ ජීවන චරිතය පිළිබඳ වත් ඔහුගේ පවුල හා සබැඳි අපූරු වටිනාකම් පිළිබඳව සැඟවුණු ඉතිහාසගත කතා පුවත මෙවැන්නකි.
විවිධ අතීත යුග වලදී ජනහිත සුව පිණිස සිය පාලනයන් යහපත්ව සිදු කිරීම වෙනුවෙන් විවිධ වූ දක්ෂතා සහිත පිරිස් එක්කර ගැනීම සිදුව ඇති බව ඉතිහාසයේ දක්නට ලැබේ. දුටුගැමුණු රජතුමා ගේ දසමහා යෝධයන් මීට කදිම ආදර්ශයකි.
මහනුවර කුණ්ඩසාලේ නත්තරම්පොත මැද පංගුව ග්‍රාමයේ විසූ එම යෝධ පරපුරක් පිළිබඳව දිවයින අනාවරණය කරගත් තොරතුරු මෙලෙස ඔබ වෙත ගෙන එන්නේ ඒ පිළිබඳව තවත් උදාහරණයක් ලෙසය.
අප කවුරුත් දන්නා කොළඹ නුවර ප්‍රධාන මාර්ගය සම්බන්ධ කරමින් කැලණි ගඟ හරහා ඉදිවූ කැලණි පාලමේ වැඩ කටයුතු අවසන් වූයේ ශ්‍රී ලංකාවේ සිටි කෘතහස්ත දේශපාලනඥයෙකු වූ දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ පාලන කාලයේදීය.
මෙම සිදුවීමේ සුවිශේෂී චරිතයක් වූ ඔහු ඉපදුනා වූ පරම්පරාව මීට සම්බන්ධවීම ද පුදුම සහගතය.
වර්තමාන ශ්‍රී ලංකාවේ ප්‍රචලිතව පවතින නූතන පාලම් තාක්ෂණයේ මූලාරම්භය සිදුවී ඇත්තේ බ්‍රිතාන්‍ය යුගයේ දී ය. බ්‍රිතාන්‍යයන්ගේ වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය පදනම් කරගනිමින් ආර්ථිකයේ යටිතල ව්‍යුහය වර්ධනය කර ගැනීම සඳහා මාර්ග පද්ධතිය හා සම්බන්ධව ආරම්භ වූ පාලම් ඉදිකිරීමේ කටයුතුවල පදනම වී ඇත්තේ සමකාලීන ව බ්‍රිතාන්‍යයෙහි පැවැති පාලම් තාක්ෂණයයි. ඒ අනුව 1822 වර්ෂයේ දී කැලණි ගඟ හරහා බෝට්ටු පාලමක්
ඉදි කිරීමෙන් පාලම් සෑදීම ආරම්භ වුවත්, බ්‍රිතාන්‍යයන්ගේ පාලම් තාක්ෂණයෙහි මුල් පාලම් ගලින් හා ගඩොලින් කළ ආරුක්කු පාලම් වී ඇත. ඉන් අනතුරුව 1850 ගණන්වලදී යකඩ පාලම් ඉදිකිරීමේ කටයුතු ආරම්භ වී ක්‍රමයෙන් නූතන තාක්ෂණය දක්වා විකාශනය වී ඇත.
කොළඹ නුවර ප්‍රධාන මාර්ගය සම්බන්ධ කරමින් කැලණි ගඟ හරහා ඉදිවූ මෙම කැලණි පාලමේ වැඩ කටයුතු ආරම්භයත් සමග ඒ සඳහා ශ්‍රමදායකත්වය ලබාදීමට ශ්‍රී ලාංකිකයින් හට ද අවස්ථාව උදාවිය. ඒ අනුව ලංකාවේ නොයෙක් ප්‍රදේශයන්හි ජීවත් වන ජනයා මෙහි සේවය සඳහා පැමිණියේ ඉමහත් ආඩම්බරයකිනි. කඩිනමින් පාලමේ කටයුතු අවසන් කිරීමට පියවර ගෙන තිබූ අතර මෙය බ්‍රිතාන්‍ය පාලම් තාක්ෂණය හා මුසුව ඉදිවන්නට විය.
එදා කැලණි පාලම් ව්‍යාපෘතියේ සේවකයෙකු ලෙස සේවය කළ, අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගෙන් පිදුම් ලැබූ, සංවර්ධන ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත් කළ පළමු මහජන පුරවැසියා ලෙස විශිෂ්ටත්වයට පත් ඒ අපූරු මිනිසාගේ ජීවන රටාවන් හා ඔහුගේ පවුලේ තොරතුරු පිළිබඳව දැන් අපි විමසා බලමු.
මහර බණ්ඩාරලාගේ පවුල ජීවත් වූයේ කුණ්ඩසාලේ සිරිමල්වත්ත මැද පංගුව නම් ග්‍රාමයේ ය. මහර බණ්ඩාරලාගේ කිරිබණ්ඩා හා එච්. එම්. පළිඟු මැණිකේ යුවළගේ වැඩිමල් දරුවා වූයේ එදා කැලණි පාලම විවෘත කිරීමේ උත්සවයේදී සුවිශේෂී චරිතයක් ලෙස පාලම විවෘත කිරීම සඳහා භාග්‍යය ලද අපූරු පුද්ගලයා වූ ඩිංගිරි බණ්ඩා ය. වැඩිමහල් පුතා ඇතුළුව පුතුන් හය දෙනකු හා එක් දියණියකට ජන්මය ලබාදුන් මොවුන් දෙපල විසින් තැනුවේ යෝධ පරම්පරාවකි. ඒ අනුව මෙම පවුල සාමාජිකයන් හත් දෙනකුගෙන් සමන්විත වූ අතර මොවුන් ඩිංගිරි බණ්ඩා, උක්කු බණ්ඩා, රන්බණ්ඩා, ඉන්ද්‍රරත්න බණ්ඩා, වීරසේන බණ්ඩා, පුංචිබණ්ඩා සහ පොඩි මැණිකේ නම් විය. පවුලේ පිරිමි දරුවන් සියලු දෙනා දැවැන්ත දේහධාරීන් වූ අතර ඔවුන් සියලු දෙනා අඩි 7කට ආසන්න උසකින් යුක්ත විය. එසේම පවුලේ බාලම සාමාජිකාව වූ පොඩිමැණිකේ ද අසාමාන්‍ය ශරීරයක් ඇත්තියක වූවාය. ඇයද අඩි හයක් පමණ උසකට හිමිකම් කීවා ය.
අද වන විට මේ පවුලෙන් ඉතිරිව සිටින්නේ මහර බණ්ඩාරගේ පොඩිමැණිකේ මාතාව පමණි. ඇයද මේ වනවිට අනූ එක් වන විය පසු කරමින් සිටී. පිරිමි සහෝදරයන් සියලු දෙනා මේ වන විට ජීවතුන් අතර නැති අතර ඔවුන් සියලු දෙනා උපරිම ආයු කාලයක් ලබමින් ජීවත් වීම ද විශේෂත්වයකි. යෝධ පරම්පරාව සොයාගිය මේ ගමනේ දී අපට පළමුවෙන්ම හමුවූයේ මහර බණ්ඩාරගේ පළමු පරම්පරාවේ අවසන් පුරුක වන පොඩි මැණිකේ මහත්මියයි. මේ යෝධ කතාව මෙන්ම විශිෂ්ට චරිතයන්ගෙන් හෙබි පවුලේ විස්තර ඇය අපට මෙසේ පැවසීය.
අපේ පවුලේ සහෝදරයන් හය දෙනෙක් හිටියා. දැන් ඉතිරි වෙලා ඉන්නෙ මං විතරයි. ලොකු අයියා තමයි ඔය කැලණි පාලමේ වැඩ කරපු ඩිංගිරි බණ්ඩා. අනිත් අයියලා පස් දෙනයි මායි ඔක්කොම හත් දෙනෙක් හිටියා. මේ ඔක්කොමල අඩි හතකට කිට්ටුවෙන්න උස අය. ඒ වගේම ඇඟපත විශාලව හොඳ පෙනුමක් තිබුණ අය. අපට ඒ කාලේ මේ පළාතේම මිනිස්සු කිව්වේ සද්ධන්ත පවුල කියලා. ඒ තරමට ගමේ අයට වඩා සාමාන්‍ය මිනිසුන්ට වඩා වෙනස් ශරීරයක් මේ සියලු දෙනාට තිබුණා. මගේ තාත්තා මහර බණ්ඩාර ගේ කිරිබණ්ඩා. තාත්තා මට අවුරුදු පහක් විතර වෙනකොට මිය ගිහින්. තාත්තත් ගමේ හිටපු දැවැන්තම චරිතයක්. අඩි 7 කට කිට්ටු වෙන්න උසක් වගේම විශාල ශරීරයක් ඔහුට තිබුණා. මගේ අම්මා පළිඟු මැණිකේ .1970 අම්මා මියගියා. අම්මයි මමයි තමා ගෙදර හිටියේ. මගේ උසත් අඩි හයකට කිට්ටුයි. ඒ කාලේ ගෙවල් දැන් තියෙන ඒවා වගේ නෙවෙයි. පොඩියි. අයියලා නිතරම ගෙදර හිටියේ නැහැ මොකද උස වැඩි නිසා. ඒ අය උස වැඩි නිසා අමාරුවෙන් තමයි ඉන්න වුණේ. ඒ අය වැඩිපුර ගෙදර නොසිට වැඩි වෙලාවක් හිටියේ විවිධ වැඩපලවල් වල ඇය කීවාය.
මීළඟට අපට හමුවූයේ මේ විශේෂිත පවුලේ තවත් දැවැන්ත පුද්ගලයෙකි. ඔහු නමින් මහර බණ්ඩාරගේ මිතිල රත්න බණ්ඩාරය. බණ්ඩාරගේ පරපුරෙහි දෙවන පරම්පරාවේ දැවැන්තයෙක් ලෙස මොහු හැඳින්විය හැකිය.
ඔහු අපට අතීත සිදුවීම් මෙසේ විස්තර කළේය.
“මගේ අප්පච්චි තමයි ඉන්ද්‍රරත්න බන්ඩා කියන්නේ. එතකොට ඩිංගිරි බණ්ඩා කියන්නේ මගේ ලොකු අප්පච්චි. එයයි මගේ අප්පච්චි දෙන්නා තමයි අතීතයේ ඔය විශ්වකර්ම අදහාගත නොහැකි පුදුම වැඩ කරේ. මගේ ලොකු අප්පච්චිලා, බාප්පලා වගේම නැන්දම්මාත් විශාල ශරීරයක් තියෙන අයයි. මම අහල තියෙනවා මේ සියලුම දෙනා කිසිම දවසක කිසිම කෙනෙක් එක්ක රණ්ඩුවකට පැටලිලා නැතිබව. මොකද මේ අයගෙන් පහරක් වැදුනොත් ඒ පහර වැදුණ කෙනාට වාවගන්න දරා ගන්න අමාරුයි. මේ ප්‍රදේශයේ සියලුම දෙනා මේ පවුලේ ශක්ති සම්පන්න බව පිළිබඳව හොඳ වැටහීමක් තිබූ අයයි ඒ වගේම මොවුන් සියලුම දෙනා පැරණි සටන් කලාවක් ප්‍රගුණ කර ඇති පරම්පරාවකට අයිති යි. අංගම්පොර හා සමාන වූ පා පහරවල් ප්‍රමුඛ වී ඇති රහසිගත සටන් කලාවක් මොවුන් සියලුම දෙනා ප්‍රගුණ කරලා තියෙනවා.
මේ පවුලේ පරම්පරාව පිළිබඳව හා ඔවුන් කළ වීරත්වයට පත් සිදුවීම් වල සවිස්තර තොරතුරු පිළිබඳව කරුණු පැහැදිලි කළ මිතිල රත්න මහතා අපට ඒ පිළිබඳව තවදුරටත් මෙසේ පැහැදිලි කළේය.
මගේ අත්තා තමයි මහර බණ්ඩාරගේ කිරිබන්ඩා කියන්නේ. මම දන්න විදියට සහ මට දැනගන්න ලැබිලා තියෙන කරුණු එක්ක බලනකොට අත්තා අඩි හතක් විතර උස දැවැන්ත ශරීරයක් තිබුණ කෙනෙක්. එයාට විශාල පිරිස් බලයක් ද තිබිලා තියෙනවා. ඒ වගේම අත්තා කරපු වීර ක්‍රියා රාශියක් ම පැවතිලා තියෙනවා. ඒවා අදටත් මේ ප්‍රදේශයේ පැරැණි ජනයා කතා වෙනවා.
මහවැලි ගඟේ ලේවැල්ල අසල තිබෙනවා යහන්ගල කියලා ස්ථානයක්. රජකාලයේ රජතුමා දිය කෙළියට ඇවිල්ලා තිබෙන්නේ මෙතෙන්ට. එතන මේ තියෙන යහන්ගල කියන ගල දෑතින් ඔසවලා වෙනත් තැනකට ගිහින් දාල තිබෙනවා අත්තා ඒ එයාගේ ශක්තිය පෙන්නන්න කරපු වැඩක් කියලයි ගමේ හැමෝම කියන්නේ. ගම්මු අතර අදටත් ඒ කතාව පවතිනවා අදත් ගමේ පරණ උදවිය ඒ කතාවට සාක්ෂි දරනවා. හැබැයි මේ යහන්ගල සාමාන්‍ය මනුස්සයෙකුට උස්සනවා තියා හිතාගන්නවත් බැරි විශාල එකක්. ඒ කාලේ විශේෂයෙන්ම ගමනාගමනයට භාවිත කළ වාහන වුණේ පාපැදිය. දවසක් ඩිංගිරි බණ්ඩා ලොකු අප්පච්චි තැන්නෙකුඹුරට ගිහින් ආපසු පැමිණෙන විට පිරිසක් උසුළු විසුළු කරලා ගහන්න ගිහින් තියෙනවා. හැබැයි ලොකු අප්පච්චි ඒ අයත් එක්ක රණ්ඩුවට ගිහිල්ලා නෑ. කෙසේ නමුත් ඉක්මනින් ගොස් තැන්නෙකුඹුර පරණ පාලමෙන් යකඩ බටයක් කඩලා අරගෙන ඒක දණිහ තියලා නවල ඒ අයට පෙන්නලා කිව්වලු පුළුවන්නම් මේක දිග ඇරලා පෙන්නපල්ලා මට ගහන්න කලින් කියලා. මේක දැකපු ඒ පිරිස ආපසු හැරී ගොස් තියෙනවා. අදටත් මේ සිදුවීම පැරණි අය අතර හරි ජනප්‍රියතවයක් උසුලනවා.
එසේම මොවුන්ගේ ශක්තිමත් බව පෙන්නුම් කරන තවත් සිදුවීමක් මිතිල මහතා මෙලෙස අපට පැවසීය.
ඔය කැලණි පාලමට සම්බන්ධවෙලා වැඩ කරන වකවානුවෙත් ඩිංගිරි බණ්ඩා ලොකු අප්පච්චි සිය ශරීර ශක්තිය පෙන්නපු අවස්ථා රැසක් තියෙනවා.
යකඩ කම්බි සිය සේවකයන්ට දෑතින් අවශ්‍ය ලෙස නවා දුන් බවත් කොන්ක්‍රීට් බාන ඔසවන උපකරණය සිය අතින් ඔසවා ඉහළට දුන් බවත්, ඔහු කළ විශ්මිත ක්‍රියාවන්ගෙන් කිහිපයක්. ඒ පාලම සැදීමේදී සුදු ජාතිකයන්ගෙන් සිය කම්කරුවකුට දෝෂාරෝපණ එල්ල කළ විට තම ශක්තිය පෙන්වීම සඳහා ඔයු මෙසේ කර තිබෙනවා.
ඉන්ද්‍රරත්න බණ්ඩාර ද මෙවැනි අසීමිත කාය ශක්තියක් තිබූ පුද්ගලයෙකි. සිය සහෝදරයන් සමග සිටියදී ඔවුන් රැක බලා ගත් අතර ඔවුන්ට වන හිරිහැරයකදී වහාම අවශ්‍ය පරිදි ඒ අවස්ථාවට උචිත ලෙස ක්‍රියාත්මකව ඉදිරිපත් වීම ඔහුගේ ගති ලක්ෂණයකි. ඒ පිළිබඳව කරුණු පැහැදිලි කළ මිතිල මහතා ලොකු අප්පච්චිලා ඔය කැලණි පාලමේ වැඩපොළේ වැඩ කරන කාලේ ඩිංගිරි බණ්ඩා ලොකු අප්පච්චිලා නතර වෙලා හිටියෙ සුදු ජාතිකයන් දීලා තිබුණ සේදවත්තේ ගේක. දවසක් සේවක ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා. ඒ කාලේ සේදවත්තේ හිටපු චණ්ඩියා තමයි ඇලෝසියස් කියන්නේ. එයා පාලම් වැඩපොළේ සුපවයිසර් විදිහට වැඩ කළ රම්බණ්ඩා ලොකු අප්පච්චිට හොඳටම ගහලා තිබුණා. පසුව ගෙදර ආවට පස්සෙ ගුටි කෑවත් මේ පිළිබඳව ඩිංගිරි බණ්ඩා ලොකු අප්පච්චිට කරුණු කියලා නැහැ. හැබැයි මේ ගැන කරුණු දැන තියෙනවා මගේ අප්පච්චි ඉන්ද්‍රරත්න බණ්ඩා. ඔහු ගිහිල්ලා ඇලෝසියස්ට කියලා තියෙනවා පුළුවන් නම් මාත් එක්ක හැප්පිලා බලපං හැබැයි තනියෙන් ආයුධ නැතිව කියලා. එතැනදි අප්පච්චි ඇලෝසියස් ගේ කණ්ඩායමට හොඳටම ගහලා තියෙනවා මතක හිටින විදිහට. අපේ වැඩිහිටියෝ අදටත් ඒ ගැන කතා වෙනවා. අසාධාරණය පෙන්නන්න බැරි චරිතයක් ලෙසයි ඔහු ගම්මු අතර ජනප්‍රිය. ඉන්ද්‍රරත්න මහතා ඇලහැර ප්‍රදේශයේ පදිංචිව සිටින කාලෙදී වලසකු සමඟ ද සටන් කර දිවි බේරාගෙන ඇති බවත් දිනක් සිය දියණිය සුරතලයට ඇති කළ සුනඛයෙකු පිඹුරෙකු ගොදුරක් කර ගත් අවස්ථාවේදී පිඹුරා සමඟ පොරබදා සත්වයා බේරා ගත් බව ද මිතිල මහතා පවසයි. ඉන්ද්‍රරත්න මහතා ගමේ සිටින කාලයේ එවකට ගමේ ආගම ප්‍රචාරණය කිරීම සඳහා පැමිණි පාදිලි වරයෙකුට විරුද්ධවද නැගී සිට ඇත. ගමේ සියල්ලන්ම එක්වී මේ පාදිලි වරයාට විරෝධය ප්‍රකාශ කළ නිසා ඉන්ද්‍රරත්න මහතා ද මේ දේට මුල් වී ඇති බවත් පසුව මේ විරෝධය හේතුවෙන් ගමෙන් පිටත්ව යෑමට සැරසුණු ඔවුන්ට ඔවුන්ගේ රථය පණ ගන්වා යෑමට නොදී රථය පිටුපසින් අඩි කිහිපයක් ඉහළට ඔසවා එක්වරම බිම දමා ඇති බවත් මිතිල මහතා පවසයි. “මේ දැනුම් දීමක් කළේ ආයේ මේ පැත්තේ එන්න එපා” කියලා ඔහු ඒ ආගම්වාදීන් ට අණ කිරීමක් ද සිදු කළ ඇති බව පවසයි.
මෙම පවුලේ සාමාජිකයෙකු වන වීරසේන බණ්ඩාර වීර චරිතයකි. ඔවුන් දෙවන ලෝක සංග්‍රාමයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිංගප්පූරුවට ගොස් යළි සිය රට පැමිණ අයෙකු වේ. ඉතා හැඩිදැඩි ශරීරයක් හෙබි යෙකු බවට ද ප්‍රචලිත ය.
මෙහිදී අපට අදහස් දැක්වූ වීරසේන බණ්ඩාගේ පුතෙකු වන නිහාල් හරිස් චන්ද්‍ර මාරසිංහ මහතා කියා සිටියේ සිය පියාට ශක්තිමත් වූ දත් පද්ධතියක් තිබූ බවයි. ඔහු දත් උපයෝගි කර ගනිමින් විවිධ දේ සිදු කර ඇති බවත් එක්තරා අවස්ථාවක කිලෝ 50ක හාල් මිටියක් කටින් ඔසවා තරාදියෙන් තැබූ බව පවසයි. එසේම ඔහු මිය යන තුරුම කිසිම දිනයක දතක් ගලවා නැති බවත් අද වනවිට මගේ තාත්තා, බාප්පලා ජීවතුන් අතර නැහැ. මේ ගොල්ලන්ගෙ ඇගේ ප්‍රමාණ වල විශාලත්වය නිසා මිනී පෙට්ටි ඒ ප්‍රමාණයට තිබුණෙත් නැහැ. ඒක නිසා මිනීපෙට්ටිය හදවලා තමයි මිනී භූමිදාන කරන්න සිදු වුණේ යැයි වැඩිදුරටත් පැවසීය.
වර්තමානයේ මේ වනවිට මැද පංගුවේ යෝධ පරම්පරාවේ දෙවන තෙවන පරම්පරාවල විසිරී ගිය දරු පරපුර දිවයින පුරා විවිධ ප්‍රදේශ වල ජීවත් වන අතරම මෙම පරපුරේ අතීත ලක්ෂණ ටිකෙන් ටික ක්ෂය වී යමින් පවතී. යහපත් ම දෙයක් රටට, පලාතට උරුම කර දී සැඟවුණු යෝධ පවුලක තතු මෙලෙස දිග හැරෙද්දී මහර බණ්ඩාර ගේ පරපුරේ අවසන් සාමාජිකාව වන පොඩි මැණිකේ මහත්මිය අපට අවසන් වරට මෙසේ පැවසීය.
අපි කවදාවත් ආහාර ගත්තේ කඩෙන් නෙවෙයි. ගමේ තියෙන කොස්, දෙල්, වට්ටක්කා, අලවර්ග තමා අපි පවුලක් විදිහටම කෑවෙ බත් එක්ක. අපේ ගමේ ඉස්සර අද වාගේ සීමා මායිම් වටකරගෙන තිබුණෙ නැහැ. ඕනම කෙනෙකුටම කොහේ හරි වත්තකින් බඩගින්න නිවාගන්න බාධාවක් ඒ කාලේ තිබුණේ නැහැ. ඉස්සර බොහොම සමගියෙන් තමයි ගමේ ප්‍රදේශයේ හැමෝම සිටියේ. අද ඒවා ටිකෙන් ටික වියැකී යනවා. අපි මෙච්චර කාලයක් ජීවත් වුණේ අතීතයේ ගත කරපු ජීවිතේ වටිනාකම් නිසා වෙන්න ඇති. අද කුළල් කා ගන්නවා ඉඩම්වලට. හැමදේම වස විස කෑම විතරක් නෙවෙයි කුඩා දරුවන්ට පවා ලබා දෙන්න වෙලා තියෙන්නෙ වස විස. ඉතින් අපේ පරම්පරාව වගේ අය බිහි වෙන්නේ නැති වෙයි ඉදිරියට ඇය දැඩි ශෝකයෙන් පැවසීය.
ජානක සම්පත් බණ්ඩාර
ගුන්නෑපාන